Home » වාද්දුවේ ත්‍රිරෝද රථ රියැදුරුගේ පන්දහසේ හොර නෝට්ටු ජාවාරම

වාද්දුවේ ත්‍රිරෝද රථ රියැදුරුගේ පන්දහසේ හොර නෝට්ටු ජාවාරම

by thanushika
February 10, 2024 12:30 am 0 comment

එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර, කොස්තාපල් 102110 එවන්ත සමඟ කොස්තාපල් රියැදුරු 17072 ඩයස් පැදවූ වාහනයට නැඟුණේ යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතර තවත් සුවිශේෂි මෙහෙයුමක් සිදු කිරීමට අවස්ථාව උදාකර ගැනීමේ අරමුණ ඇතිවය. නගරය අවට සිසාරා උකුසු ඇස් යොමු කරවමින් ඉකුත් 05 වැනිදා දහවල් කාලයේ ගමන් කළ පොලිස් නිලධාරින් කණ්ඩායමට එගොඩඋයන වට රවුම් පාර අසලට යන විට දැකගැනීමට ලැබුණේ සැක කටයුතු පුද්ගලයෙකි.

“වාහනේ ඔහොම නවත්තන්න… අර මනුස්සයා ගැන මට ටිකක් සැකයි. මොකද අර හොරගල් අහුලන්නෙ…”

බස් නැවතුමේ රැඳී සිටි අදාළ පුද්ගලයා පොලිසිය දුටු විට හොරෙන් හොරෙන් වටපිට බලමින් දැඩි අපහසුතාවකින් පසුවන බව හඳුනාගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයාට කිසිම අපහසුතාවක් නොවිණි. මඳ වේලාවක් ඔහුට නොදැනෙන ලෙස ඔහුගේ ඉරියවු නිරීක්ෂණය කිරීමට කටයුතු කළ ස්ථානාධිපතිවරයා ඊළඟ පියවර ලෙස ඔහු සමීපයට ගියේය. සැක කටයුතු පුද්ගලයා තිගැස්සිණි. ඔහුගේ සියොළඟම දහදියෙන් නැහැවී ගියේ ඔහු යම් කිසි වරදක් කළ අයෙකු බව පොලිස් නිලධරයන්ට පැහැදිලි කරමිනි.

“මෙයාව සර්ච් කරන්න…” පොලිස් ස්ථානාධිපතිවරයා සෙසු නිලධරයන්ට පැවැසුවේය.

රුපියල් පන්දහසේ නෝට්ටු දහයක බණ්ඩලයක් ඔහුගේ සාක්කුවේ තිබුණේ පොලිස් නිලධරයන් පුදුම කරවමිනි. සියලුම නෝට්ටු එකම අංකයෙනි. ඒ ගැන විමසු විට ඔහු කිසිවක් කරකියාගත නොහැකිව අසරණ ලෙස නිරුත්තර විය.

“සර් මගෙ නෝනා අසනීපෙන්. එයාට හාට් ප්‍රශ්නයක්. වෑල් හතරක් දාන්න වෙලා. මාස තුනක් ඇතුළත කළේ නැත්නම් එයාව බේරගන්න බෑ කියලා දොස්තරලා කිව්වා. ඒකට ලක්ෂ 15ක් ඕනෑ. මං ඒ සල්ලි හොයාගන්නයි මේ වැඩේ කළේ සර්…”

සැක කටයුතු පුද්ගලයාගේ කතාව දිග හැරුණේ ඒ ආකාරයටය. ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස රැකියාව කරන මේ පුද්ගලයා 47 හැවිරිදිය. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ඔහුගේ පියාය. පියා මෙන් සමාජයේ ඉහළ තලයක වැජඹෙන්නට ඔහුට වාසනාව තිබුණේ නැත. ඔහු වැටුණේ ත්‍රීරෝද රථ රියැදුරු රස්සාවටය. දරුවන් සිවු දෙනෙකුට පිය පදවිය ලබා දුන් ඔහු ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව නිතරම සොයා බලා කටයුතු කළේ දරුවන් ඉගෙනීමට ඉතා දක්ෂ වූ නිසාය.

වැඩිමල් දරුවා අපොස සාපෙළ විභාගයෙන් ඒ 07 බී 01 සී 01 ලබා සමත් වන විට දෙවැනි දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196ක් ලබාගත්තේ ඔහුගේ දෑසට සතුටු කඳුළු එකතු කරමිනි. තෙවැන්නාද ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත් වූයේ විහාරස්ථානයක නතර කර පාසල් යැවීමට කටයුතු කරමිනි. එහෙත් ඔවුන්ගේ ජීවිත කඩා වැටුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරින් බිරිය රෝගාතුර වීම නිසාය. අවාසනාව ඔහු පසුපසම එන්නට වූයේ ජීවිතයේ සියලු හීන කණපිටට හරවමිනි. රද්දොළුගම නිවාස සංකිර්ණයක ජීවත් වූ මේ පවුල ඉන් බිමට විසි වී ගියේ ඒ නිසා විය යුතුය. වාද්දුව, මොල්ලිගොඩ කුලි නිවසකට කොටු වී මේ වන විට ඉතා දුක්බර ජීවිතයක් ගත කිරීමට ඔහුට සිදුව තිබිණි.

දිනක් ඡායා පිටපතක් ලබා ගැනීමට නගරයේ ‘කොමියුනිකේෂන්‘ එකකට ගිය අවස්ථාවේ ඒ ක්‍රියාවලිය වෙත ඔහුගේ දෑස ඉතා උනන්දුවෙන් ඇදී ගියේ තමන් වැටී ඇති අගාධයෙන් ගොඩ එන මඟක් කල්පනා කරමින් සිටියදීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම බිරිය සුවපත් කරගැනීමේ භාරධූර වගකීම පැවරී තිබුණේ ද ඔහුගේ කර මතය.

“සර් මේ සේරම හරි. ඒ මදිවට මගෙ මොළෙත් ලේ කැටියක් තියෙනවා. මේ වළෙන් ගොඩ එන්නනං සල්ලි ටිකක් වැඩිපුර ඕනෑ. ඉතිං මට හිතුණා සල්ලි ටිකක් අච්චු ගහල හරි මේ ප්‍රශ්නෙ විසඳගන්න”

ඔහු කුමක් කීවද පොලිසියට තම රාජකාරිය අමතක කළ නොහැකිය. විමර්ශකයන් වාද්දුවේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට ඔහු සමඟ ගියේ මේ මුදල් උල්පත පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමටය. එම නිවසේ තිබී ප්‍රින්ටරයක්, අත් කාචයක්, ස්ප්‍රේ ටින් දෙකක්, කටර් එකක්, එක පැත්තක් ප්‍රින්ට් කළ රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු 10ක් හා සම්පුර්ණ කළ පන්දාහේ මුදල් නෝට්ටු 10ක් ඇතුළු උපකරණ කීපයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

“කුලි ගෙයින් අයින් වෙලා සල්ලිවලට ගෙයක් ගන්න හිතාගෙනයි එක සැරේ වැඩිපුර සල්ලි ටිකක් අච්චු ගැහුවේ” යැයි සැකකරු කීවේ හැඬුම්බරවය.

දිනකට ව්‍යාජ පන්දාහේ නෝට්ටු තුනක් පමණ රැගෙන වෙළෙඳපොළට ගොස් අවශ්‍ය බඩුමුට්ටු රැගෙන එන මේ පුද්ගලයා ඉන් ඉතිරි මුදල් තම වියදමට තබාගෙන තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මහනුවර, පාණදුර, මොරටුව සහ වාද්දුව ප්‍රදේශවලද මොහු ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු 15ක් පමණ මාරුකර ඇති බව ද හෙළි විය.

මොහුට එක් පන්දාහේ නෝට්ටුවක් මුද්‍රණය කිරීමට ගත වන්නේ විනාඩි 15කි. කුඩා ලී කෑල්ලක් සහ නට් එකක ආධාරයෙන් නෝට්ටුවේ ඇති රේල් පාරක් වැනි දාරය සකස් කරන බව ද මේ පිළිබඳ අධ්‍යාපනික දැනුමක් නොමැති වුවද ඔහු තුළ ඇති ශිල්පීය ඥානය මොනවට ඔප්පු කරන සාධකයක් බව පෙනී යයි. මාස තුන හතරක් වැනි කාලයක් තුළ ඔහු මේ කාර්ය ආරම්භ කර තිබෙන බව ද පොලිසිය පවසයි.

කෙසේ වුවත් පොලිසියට සිදුව ඇත්තේ මෙම ව්‍යාජ මුද්‍රණාලය පවත්වාගෙන ගිය ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division