Home » එඬේරමුල්ලේ ගෙදරක රුපියල් කෝටි 10ක මත්කරල්
මහනුවර කෝටිපතියෙක් කළ ජාවාරමක්:

එඬේරමුල්ලේ ගෙදරක රුපියල් කෝටි 10ක මත්කරල්

by thanushika
February 10, 2024 12:30 am 0 comment

මත් කරල් ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මඩිය තර කරගන්නා ප්‍රධානතම ව්‍යාපාරයක් බවට මේ වන විට පත්කරගෙන ඇත. ලොකු-පොඩි භේදයකින් තොරව විශේෂයෙන් පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්කකොට මත්පෙති ජාවාරම බහුලව සිදුකරන බව හෙළි වී ඇත.

මේ දිනවල ක්‍රියාත්මක ‘යුක්තිය‘ මෙහෙයුමත් සමඟ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල හිඟකම මෙන්ම මත්ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ මත්ලෝලීන් වේදනා නාශක ඖෂධයක් ලෙස වෛද්‍ය නිර්දේශ මත ඖෂධ සල්වලින් මිලදී ගන්නා වේදනානාශක ඖෂධ මත්පෙති ලෙස භාවිතයට ඇබ්බැහි වී ඇති සෙයකි.

සාමාන්‍යයෙන් ඖෂධ සල්වලින් රුපියල් 25ක් වැනි මිලකට වෛද්‍ය නිර්දේශ මත අලෙවි වන ප්‍රිගැබ් (PREGAB) 150g නමැති වේදනානාශක පෙති, කරල් මෙකී මත්ලෝලීන් අතර බහුලව භාවිතයට ගැනෙන බවට වාර්තා වේ.

එලෙස මත්ලෝලීන් සහ පාසල් ළමුන් ඉලක්කකොට එක් මත්කරලක් තොග මිල රුපියල් 100ක් වැනි ඉහළ මිලකට අලෙවි කරමින් රුපියල් කෝටි ගණනින් ලාභ ඉපැයූ මත්කරල් ජාවාරමක සුලමුල අනාවරණය කරගනිමින් සැකකරුවකු සමඟ මත්කරල් 192000ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාස නිලධාරින්ට හැකි විය. ඒ පසුගිය 02 වැනිදා සිදුකළ වැටලීමකිනි. එඞේරමුල්ල පොලිස් වසමට අයත් වත්තල, අප්පුගේවත්ත නිවසක එම ජාවාරම සිදුවිය. සැකකරු සමඟ අත්අඩංගුවට ගත් මත්කරල් තොගය මෑත කාලයේ අත්අඩංගුවට ගැනුණු වැඩිම මත්කරල් ප්‍රමාණය ලෙස සැලැකේ.

පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව ඉලක්කකොට සිදුවන මත්පෙති ජාවාරම මර්දනය සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘යුක්තිය‘ මෙහෙයුම ඔස්සේ උපදෙස් දෙන්නේ සියලු පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායට මේ ගැන දැඩි අවධානයක් යොමුකරන ලෙසටය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු කණ්ඩායමට ඉකුත් දිනෙක ලැබුණු බුද්ධි තොරතුරක් ඔස්සේ ඒ ගැන දීර්ඝ විමර්ශනයක් සිදු කෙරිණි. ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහගේ මඟපෙන්වීම පරිදි බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ ඍජු අධීක්ෂණය මතය.

ඒ අනුව පසුගිය දෙවැනිදා එඬේරමුල්ල පොලිස් වසමේ පොලිස් ස්ථානයට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටි අප්පුගේවත්තේ නිවෙසක් වටලා මත්කරල් 192000ක් සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු 39 හැවිරිදි ගනේෂන් ආනන්දරාජා නමැත්තෙකි.

බදුල්ලේ, ස්ප්‍රිංවැලිහි ස්ප්‍රිං වතුයායේ පදිංචිකරුවකු වන සැකකරු මත්කරල් තොගය අත්අඩංගුවට ගත් නිවෙසේ රැඳි සිට ඇත්තේ මව, බිරිය, දරුවා සහ සහෝදරයෙක් ද සමඟිනි.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති නදික සිල්වා ඇතුළු කණ්ඩායම විමසිල්ලෙන් පසු වූයේ පසුගිය දිනවල ජාවාරම්කරුවන් කොළඹ සහ අවට පෙදෙස්වලට මත්කරල් රැගෙන එන්නේ කුමන ඉසව්වලින් ද යන්න සොයා ගැනීම සඳහාය. ඒ සඳහා අවේක්ෂණ රාජකාරි වෙනුවෙන් බුද්ධි නිලධාරින්ද තැන තැන රඳවා තබන ලදී. ඊට පෞද්ගලික තොරතුරුකරුවන් සහ උපාය දූතයන්ගෙන්ද බොහෝ සහායක් ලැබිණි.

එලෙස එක්රැස්කරගත් තොරතුරුවලින් අනාවරණය වූයේ මත් ජාවාරම්කරුවන් ඉන්දියාවෙන් ඉතා අඩු මිලකට මිලදී ගන්නා මත්පෙති සහ මත්කරල් තොග යාපනය සහ මන්නාරම පෙදෙස්වලින් රට තුළට ගෙන එන බවයි. එසේම මත්කරල්, අයිස් සහ කේරළ ගංජාද රට තුළට එසේ ගෙන එන බවට ද සැලවිණි. එලෙස රට තුළට ගෙනෙන මත්පෙති සහ මත්කරල් කොළඹට ගෙන එන්නේ පුත්තලමේ කිසියම් ස්ථානයක ගබඩා කිරීමෙන් පසුව බව ද බුද්ධි නිලධාරීන් අනාවරණය කරගත්තේ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ අතරේ තොරතුරුකරුවන් මඟින් ගනේෂන් ආනන්දරාජා ගැන හෝඩුවාවක් ලැබිණි. වත්තල අවට සැරිසරමින් සිටි ඔහු ගැන එස්ටීඑෆ් නිලධාරින් සෝදිසියෙන් පසුවෙද්දී ආනන්දරාජා එක්වරම අතුරුදන් විය. එහෙත් මේ වැටලීමට සති දෙකකට පමණ පෙරදී නැවත ආනන්දරාජා සිටින ස්ථානය එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් තහවුරු කරගන්නා ලදී. ඒ ඔහු පවුලේ අය සමඟ එඬේරමුල්ලේ, අප්පුගේවත්තෙ නිවෙසක පදිංචිව සිටින බවයි. ඊට පෙර ඔහු සිට ඇත්තේ වත්තල වෙනත් ස්ථානයකය.

පසුගිය 2 වැනිදා නැවත තොරතුරක් ලැබී තිබුණේ ආනන්දරාජා සිටින නිවෙසට මත්කරල් තොගයක් බෙදාහැරීම සඳහා ගෙනැවිත් තිබෙන බවය. ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු කණ්ඩායම උසස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ වැටලීම සිදුකරන්නේ ඒ අනුවය.

ඒ මොහොතේ ආනන්දරාජාට එස්ටීඑෆ් නිලධාරින්ගෙන් ගැලවීමක් නොවිණි. නිලධාරීන් නිවස පරීක්ෂා කරද්දී මත්කරල් 10 බැගින් වූ කාඩ් විශාල තොගයක් කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා නිවසේ තැන තැන ගොඩගසා තිබිණි. එම මත්කරල් සියල්ල නිලධාරින් භාරයට ගෙන පරීක්ෂා කරද්දී අනාවරණය වූයේ එහි මත්කරල් 192000ක් තිබෙන බවයි. මත්කරල් තොගය සමඟ ආනන්දරාජා අත්අඩංගුවට ගැනිණි. ඒ වන විටත් නිවසේ ඔහුගේ බිරිය, මව, දරුවා සහ සහෝදරයෙක්ද විය.

“කොහෙන්ද මේ මත්කරල් එන්නෙ…“ වැටලීමට එක්වූ නිලධාරියෙක් ආනන්දරාජාගෙන් එසේ විමසීය.

“මං ඇත්තම කියන්නම් සර්… මේවා ඉන්දියාවෙන් ගේන්නේ… මං වැඩ කරන්නෙ මට ලැබෙන පඩියට… මේවා අයිති කෙනා නුවර කෙනෙක්… මං කරන්නෙ එක එක්කෙනාට බෙදාහැරීම විතරයි…“ යැයි පැවසූ ආනන්දරාජා මත්කරල් ජාවාරමේ සුලමුල එලෙස හෙළි කෙළේය.

එම මත්පෙති ජාවාරමේ ප්‍රධානියා මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකි. රෙදිපිළි ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් ඔහු මේ ජාවාරම ඔස්සේ කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට සැක කෙරේ.

රුපියල් තිස්දහසක මාසික කුලියට එඬේරමුල්ලෙ, අප්පුගේවත්තෙ නිවෙස වෙන්කර දී ඇති කෝටිපතියා, ආනන්දරාජාට රුපියල් 75000ක මාසික වේතනයක් ගෙවා මත්කරලක් ඔහු ලවා රුපියල් 100ක තොග මිලට අලෙවි කරමින් අධික මුදල් කන්දරාවක් උපයාගෙන ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් අනාවරණය කරගත්තේය.

ආනන්දරාජා එස්ටීඑෆ් නිලධාරින්ට කොටුවීමත් සමඟ එස්ටීඑෆ් නිලධාරින් එම කෝටිපති ව්‍යාපාරිකයා සොයා මහනුවර, දිගන ඔහුගේ නිවෙසට ගියද එම පුද්ගලයා ඒ වන විටත් නිවසින් පලා ගොස් සිටියේය. විමර්ශන නිලධාරින් ඔහු පිළිබඳව මේ වන විට අධිකරණයටද කරුණු වාර්තා කිරීමටද කටයුතු කළේය.

මෙසේ සොයාගන්නා ලද මත්කරල් 192000ක ප්‍රමාණයේ වීදි වටිනාකම රුපියල් කෝටි 10කට අධික බව වැටලීම සිදුකළ නිලධාරිහු පවසති.

“යුක්තිය මෙහෙයුමත් සමඟ මත්කුඩුවල අඩු බව නිසා මත්ලෝලීන් මෙවැනි වේදනානාශක ඖෂධ මත්කරල් භාවිතයට ඇබ්බැහි වෙලා… ඖෂධහල් වෛද්‍ය නිර්දේශ මතයි මෙවැනි මත්කරල් ජනතාවට විකුණන්නේ… ඒ නිසා ජවාරම්කාරයෝ ඉන්දියාවෙන් හොර රහසේ අඩු මිලට මේවා ගෙන්නලා අධික ලාභ තියාගෙන මත්කරල් ලෙස විකුණනවා…“ ඒ වැටලීමට එක්වූ උසස් නිලධාරියෙක් අපට කී කතාවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division