සුජාතා සිනමාපටය ඔස්සේ රිදී තිරයට පිවිසි ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත ටෙලි නිර්මාණය හරහා පුංචි තිරය ද ස්පර්ශ කළේය. එදා මෙදා තුර ටෙලි නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයකට දායකත්වය සපයා ඇති ඔහු සම්මානිත ප්‍රවීණ රංගන ශිල්පියෙකි. කලක් පුංචි තිරයේ සිහින කුමරාව සිටි ඔහු රංගනය සහ අධ්‍යක්ෂණය හරහා සිනමාපට විසි පහකට පමණ දායක වී ඇත. කවදත් ප්‍රේක්ෂක හදවතට ළෙන්ගතුව ආමන්ත්‍රණය කරන ඔහු අද අපේ කතාබහට එක්වීය.
චන්න දීපනාත් පෙරේරා චන්න පෙරේරා වුණ හැටිත් කියලම කතාවට මුලපුරමු?
ගමේ යාළුවො කවුරුත් මාව හැඳින්නුවේ දීපනාත් කියලා. කලාවට එද්දි තමයි චන්න පෙරේරා බවට පත්වුණේ.
මේ දවස්වල පුංචි තිරයේ දකින්නෙම නැති තරම්. කොහොමද මේ දවස්වල තොරතුරු?
ඉන්දියාවෙ ලයිකා ප්‍රොඩක්ෂන් සමාගම ශ්‍රී ලංකාවෙ අධ්‍යක්ෂවරු පස්දෙනෙක් තෝරගෙන සිංහල චිත්‍රපටි පහක් සඳහා මුදල් යොදවන්න තීරණය කරල තියෙනවා. මාත් ඉන් එක්කෙනෙක්. චමත්කා නමින් නිර්මාණය වෙන මගේ චිත්‍රපටිය ගායකයකු වටා ගෙතුණු කතාවක්. මේ දිනවල ප්‍රී ප්‍රොඩක්ෂන් කටයුතු කෙරීගෙන යනවා. ඊට අමතරව මගේ සිහින අනන්තේ චිත්‍රපටය වගේම එකයි දෙකයි තුනයි කියන ළමා චිත්‍රපටයත් මේ වසරේ තිරගත වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ පුංචි තිරයෙන්. මේ වෙද්දි පුංචි තිරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ද?
එහෙම එකක් නැහැ. මෙගා නාට්‍යවල යෙදෙන්න නම් කැමැත්තක් නැහැ. කොටස් 100ක් හෝ ඊට අඩු එකක මට කරන්න පුළුවන් හොඳ කැරැක්ටර් එකකට ආරාධනා ලැබුණොත් මං බාර ගන්නවා.
ඔබ අඩු වයසින් විවාහ වුණු කෙනෙක්. සිදුවුණු දේවල්වලට පසුතැවිල්ලක් නැද්ද?
අනේ නෑ. මට ලස්සන දුවල දෙන්නෙක් ලැබුණා. අපේ පවුලෙ ගෑනු ළමයි නැති නිසා මගේ විශේෂ කැමැත්තක් තිබුණෙ දුවලට. හැමදාම මං ප්‍රාර්ථනා කළේ දුවෙක්. මට දූල දෙන්නෙක්ම ලැබුණා. ජීවිතේ වෙන්න තියෙන දේවල්නෙ වෙන්නෙ. ඒ නිසා කිසිම පසුතැවිල්ලක් නෑ. ජීවිතය ගලාගෙන යද්දි ඒකත් අත්දැකීමක්. මට මෙහෙම සතුටකුත් තියෙනවා. ජීවිතේ ඒ ඒ කාලෙදි කරන්න ඕන හැම දෙයක්ම මං කළා. මං හිතනව මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා. නළුවෙක් විදිහටත් මං ආස කරපු අපේක්ෂා කරපු දේවල් මට ලැබුණා. මිනිස්සුන්ගෙ ආදරේ නොඅඩුව ලැබුණා. තවත් මොනවද ඕන.
ආදරෙන් විවාහ වුණු ඔබ දෙදෙනා වෙන් වෙන්න හේතුව මොකක්ද කියල ඇහුවොත්?
එහෙම කිසිම හේතුවක් නෑ. ඒ අපි දෙන්නගෙ තිබුණු නොගැළපීම. අපි දෙන්න දෙන්නෙක්නෙ. මම චන්න පෙරේරා. එයා ගයත්‍රි ඩයස්. සිදු වුණු සමහර දේවල් අද වැරදියි කියල හිතුනට ඒ වෙලාවෙ වැරදියි කියල හිතෙන්නෙ නෑනෙ. මට සාපේක්ෂව මං හරියි කියන දේ වගේම ගයත්‍රිට සාපේක්ෂව එයා හරියි කියල හිතන දේත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික්කර ගන්න බෑ ඉතින්.
නොගැළපීම් ගළපගෙන ජීවත් වෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා නේද?
ඔව්. එහෙමත් කියනවා. අපිටත් දරුවො වෙනුවෙන් ලොකු ඉවසීමක් තිබුණා. මං කියන්නෙ නෑ අපි ගත්ත තීරණේ හරිම තීරණේ කියලා. දික්කසාද වෙන එක නෙවෙයි එකම තීරණය. ඒ වෙලාවෙ අපිට වෙන විසඳුමක් පෙනුණෙ නෑ.
විවාහයට ඉක්මන් වුණා වැඩියි කියල හිතිල නැද්ද?
එහෙම නෑ. මං පවුලේ වැඩිමලා නිසා මුලින්ම මං විවාහ විය යුතුයි කියලනෙ අම්මල හිතන්නෙ. අම්මලටත් ඕන වුණා මටත් විවාහයක් කරල දෙන්න. ඒ වෙලාවෙ ගයත්‍රිත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. මං ඒක අම්මලට කිවුවා. එයාලගෙ කැමැත්තත් ලැබුණ නිසා අපි විවාහ වුණා.
ගෑනු ළමයි නැති පවුලක ලොකු දුව මලීෂා ලැබුණු වෙලාවෙ ඔබේ පවුලෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
එයාල පුදුම විදිහට ආදරේ කළා. තාමත් එහෙමයි. අනිත් දරුවන්ටත් එහෙමයි. අපේ පවුලට මුලින්ම ආව ගෑනු දරුව මලීෂා නිසා ඒක පවුලට වෙනම සතුටක් වුණා.
ලිවින් ටුගෙදර් සංකල්පය ගැන මොකද හිතෙන්නෙ?
මං ඒක අනුමත කරනව නෙවෙයි. ඒත් මට හිතෙන්නෙ පුද්ගලයො දෙන්නෙක් එකට ඉන්නෙ නැතුව කොහොමද එකිනෙකාගෙ සිතුම් පැතුම් අඳුනගන්නෙ. ඉඳල හිටල හමුවෙද්දි පෙන්නන්නෙ ඇත්තම නෙවෙයිනෙ. ඔක්කොම මවාගත්ත ස්වරූපයෙන්නෙ ඉන්නෙ. කාලයක් එකට ඉද්දි තමයි කාගෙ කාගෙත් ඇත්ත ස්වරූපය මතු වෙන්නෙ. ඒක දරන්න, අනුගත වෙන්න පුළුවන් අය ඉන්නව. බැරි අය වෙන්වෙනවා. විවාහ වෙලා ළමයි හදලා වෙන් වෙන එකද හොඳ? විවාහ වෙන්න කලින් ළමයි හදන්නත් කලින් එකිනෙකා හඳුනගෙන ගැළපෙනව නම් එකතු වෙනවා. නැත්නම් වෙන්වෙනවා. ඒකද හොඳ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ.
නැවත විවාහයක් කරගන්නෙ නෑ කියන තැන නේද ඔබ ඉන්නෙ?
අනාගතය කොහොම වෙයිද දන්නෙ නැහැ. මේ මොහොතෙ මං ඉන්නේ එහෙම තීරණයක.
දුවල දෙන්න කලාවට එනවට ඔබේ අකැමැත්තක් නැද්ද?
මං හරි කැමැතියි. දෙන්නම සම්බන්ධ වෙලත් තියෙනවා. ලොකු දුව යුගාත්‍රා එකෙත් හිටියා. එයා හොඳට ඉගෙන ගන්නවා. මේ වෙද්දි මාස්ටර්ස් කරනවා. පොඩි දුව සංගීතය හදාරනවා. පූර්ණ කාලීනව කලාවට යොමු වෙයි කියල හිතන්න නම් බැහැ. එයාල ආස පැත්තට යන්න දිරිමත් කරනව ඇරෙන්න අපි ආස පැත්තට යවන්න උනන්දු කරන්නෑ.
ජීවිතේ දිහා ආයෙ හැරිල බැලුවොත් ඔබ තෘප්තිමත් ද?
අනිවාර්යයෙන්ම. මම මගේ ජීවිතේ ගැන, මට ලැබුණු දේ ගැන හරිම තෘප්තිමත්. නොලැබී ගියේ එකක් දෙකක් වෙන්න පුළුවන්. මට සීයක් ලැබෙද්දි එකක් දෙකක් නොලැබුණා කියල මං කම්ප්ලේන් කරන්නෙ ඇයි? අපිට ලැබුණ දේ වැඩි නම් ඒ ගැන හිතල අපි කොතරම් සතුටු වෙන්න ඕනද? වැරදීම් වුණා. ඒවායින් පාඩමක් ඉගෙන ගත්තා. එතැනින් එහාට එච්චරයි. මං ජීවිතේ සැහැල්ලුවෙන් යන්නෙ. ගැටීම් එනවා. ඒවා ගැටීම් කියල හිතන්නෙත් නැහැ. හැමදාම එකම විදිහට යද්දිත් වැඩක් නැහැනෙ. වෙනස් වේවී යන තරමට තමයි ජීවිතේ ලස්සන. ජීවිතේ කියන්නෙ එකම ප්‍රේම වෘත්තාන්තයක්.
නාමලී ගමගේ