Home » හුස්ම පොද නික්මෙන මොහොතෙදිත් ඒක මට මතක් වේවි

හුස්ම පොද නික්මෙන මොහොතෙදිත් ඒක මට මතක් වේවි

by thanushika
February 3, 2024 12:30 am 0 comment
තුෂාරී කළුබෝවිල

“ලාබ සිනා සිත කළඹන නුහුරු සෙයිල‍මේ
නුඹ පාර සොයා මඟ නොඅසන් මගේ ස්වාමිනේ…..“

එදා ජාතික තරුණ සේවා සභාවත්, ජාතික රූපවාහිනියත් අත්වැල් බැඳන් වත්මන් රියැලිටි සංගීත වැඩසටහන් සඳහා පෙරමඟ කියා දුන් “තුරුණු ශක්ති” ගායන වේදිකාවේ ජනප්‍රියත ම නාමය තුරුලු කර ගත් මේ ගීතය සහ එම ගීය ගැයූ ඇය අදටත් ප්‍රසංග වේදිකාවට නැතු‍වම බැරි ගායිකාවකි. ඇය විශාරද සුභානි හර්ෂණී.

තුරුණු ශක්ති වේදිකාව අමතක කරන්න බැහැ නේද…?

ඒක මගේ හුස්ම පොද නික්මෙන මොහොතෙදිත් මට මතක් වේවි. ඇත්තටම මට තුරුණු ශක්ති වැඩසටහන දැනෙන්නේ මාව මේ ක්ෂේත්‍රයට ගෙන ඒම සඳහාම බිහි වූ වැඩසටහනක් කියලයි. මං හිතන විදිහට සහ බොහෝ අය කියන විදිහට තුරුණු ශක්ති වැඩසටහන් මාලාවෙන් වැඩිම ජනප්‍රියත්වයක් ලැබුණේ මට යි. අදටත් ප්‍රසංග වේදිකාවෙදී නිවේදකයින් මාව හඳුන්වා දෙන්නේ ඒ විදිහටයි. එදා ඒ ලැබුණු ජනප්‍රියත්වය නිසා මගේ ජීවිතය විශාල වශයෙන් ගොඩනැඟුණා. ගෙවල් දොරවල් යාන වාහන හැමදේම මට ලැබුණේ තුරුණු ශක්ති වේදිකාවෙන් ලද ජනප්‍රියත්වය නිසා ම යි. ඒ වෙනුවෙන් මගේ අම්මා තාත්තා හා සමාන ව මං ගරු කරන ජාතික තරුණ සේවා සභාවටත්, එහි හිටපු සභාපති සුනිල් ජයන්ත නවරත්න මහතාටත්, ජාතික රූපවාහිනියටත් මා සදා ණයගැතියි. ස්තුතියි මාව මේ තරම් දුරක් අරගෙන ආවාට.

අපේ රටේ සුපර් ස්ටාර් උන්මාදය ආරම්භ වුණේ තුරුණු ශක්ති වැඩසටහනෙන් නේද…?

ඔව්. ඉන්දියාවේ ඒ සංකල්පය ආශ්‍රිත වැඩසටහන් තිබුණත් තුරුණු ශක්ති වැඩසටහන අපේ රටට අනන්‍ය වන ආකාරයට සැකසී තිබුණා. තුරුණු ශක්ති වැඩසටහන්වලින් ජනතා මනාපය ලබන්න එස්. එම්. එස්. කරන ක්‍රම ඒ කාලේ තිබුණේ නැහැ. ජනප්‍රියත්වයට වඩා මුල් තැන දුන්නේ දක්ෂතාවයටයි. දක්ෂතාවය නිසා මතු වුණු අපට මේ නිසා ජනප්‍රිය වෙන්න හැකි වුණා. නමුත් වර්තමානයේ රූපවාහිනී නාළිකා කිහිපයක්ම රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒවායේ අරමුණ දක්ෂයින් බිහි කිරීමට වඩා ජනප්‍රිය රැල්ලක් ඇති කිරීම හා ඒ ඒ රූපවාහිනී නාළිකා ජනප්‍රිය කරවීමයි. නමුත් අපට ඒ කාලේ වගේ නෙවෙයි අද මේ වැඩසටහන් නිසා ආධුනිකයින්ට අවස්ථාවන් ගොඩාක් බිහිවී තිබෙනවා. ඒවායින් නිසි ප්‍රයෝජන අරගෙන ඉදිරියට යන්න කියලා මම නව පරපුරෙන් ඉල්ලා සිටිනවා. අපට නැඟිටින්න අත දුන්න අයට අපේ ගරුත්වය තියෙන්න ඕනෑ. මම අදටත් අලුත් දෙයක් කරන්න කලින් ජාතික තරුණ සේවා සභාවටත්, ජාතික රූපවාහිනියටත් අවැඩක් වෙයි ද කියලා දෙතුන් සැරයක් කල්පනා කරනවා. අපව බිහි කළ අයව කෙලෙසන්න, අවනම්බු කරන්න හොඳ නැහැ.

මේ වනවිට ගීත කීයක් විතර එළිදක්වා තිබෙනවාද…?

ගීත 300ක් පමණ එළිදක්වා තිබෙනවා. ඒවා අතරින් සමහර ගීත මටවත් හොයාගන්න නැහැ. ඒ කියන්නෙ සමහර ගීත රචකයින්, තනු නිර්මාණකරුවන්, වෙනත් අය මට කියලා ගායනා කරවාගෙන ගිය ගීත බොහෝමයක් තියෙනවා. ඒ හැර අනෙක් ගීත මගේ යූටියුබ් නාළිකාවේ තියෙනවා. ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ප්‍රචාරය වෙනවා. කොච්චර ගීත තිබුණත් ‘ලාබ සිනා’ ගීතයට නම් පුදුම ඉල්ලුමක් තමයි තියෙන්නේ.

වෘත්තීය ගායන ශිල්පිනියක් හැටියට ආර්ථික අස්ථාවරතාවක් ඇති වුණොත් අනාගත සුරක්ෂිත බවක් තියෙනවා ද…?

ඒක මෙහෙමයි. අපට ලැබෙන කාලෙට ඕනෑවටත් වඩා ලැබෙනවා. අපි දැනගන්න ඕනේ හැමදාම අපට සින්දු කියන්න බැහැ කියලා. කටහඬ හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. අපට විශ්‍රාම වැටුපක් කියලා එකක් ලැබෙන්නෙත් නැහැනේ. ඒ නිසා උපයන කාලෙදි අනාගතය ගැන හිතලා කොටසක් ඉතිරි කර ගන්නම වෙනවා. සැප සම්පත් භුක්ති විඳින්න ඕනේ ඒ අනාගත සුරක්ෂිත බව ආරක්ෂා කර ගන්නා අතරතුරයි. ඒකට මනා කළමනාකරණයක් තිබිය යුතුයි. අමතර ව්‍යාපාරයක් කිරීමේ සැලසුමකුත් තියෙනවා. ඒ නිසා මම අනාගතයට බය නැහැ.

විවිධ රැලි මතුවෙද්දි බයක් දැනෙන්නේ නැද්ද…?

රැලි ගැන නම් කොහෙත්ම බය වෙන්න දෙයක් නැහැ. ඒවා එකපාරට මතු වෙලා සැණින් නැති වෙලා යනවා. රැල්ල මතුවෙද්දි හරි ලස්සනයි. ආකර්ෂණීයයි. හඬ නැංවෙනවා. ප්‍රචලිත වෙනවා. නමුත් පුංචි පෙණ හැදිලා ඒ රැල්ල නැති වෙලා යනවා. නමුත් මුහුද හැමදාම තියෙනවා. තමන් ගොඩනැඟුණු විදිහ, තමන් මේ ක්ෂේත්‍රයේ රැ‍‍‍ඳෙන්න ඕනෙ පිළිවෙළ, තමන්ව ගොඩනැංවූ අයගේ ගරුත්වය රැකගෙන ඉදිරියට යන විදිහ හොඳින් අවබෝධ කරගෙන ගමනක් ගියොත් රැලිවලට හසුනොවී දියඹට යන්න පුළුවන්කම තියෙනවා. මං මෙච්චර දුරක් එකම ජනප්‍රියත්වයකින් පවතින්නේ ඒ නිසයි. අනාගතයේදිත් මම ඒ තත්ත්වය ආරක්ෂා කරගෙන වර්තමාන පරපුරට ගැළපෙන විදිහට අලුත් නිර්මාණත් කරගෙන හොඳින් ඉන්න තමයි උත්සාහ කරන්නේ.

ඔබගේ කලායතනයට මොකද වුණේ…?

කොවිඩ් වසංගත කාලේ නතර කළා. නැවත ආරම්භ කරන්න සූදානමක් තියෙනවා. දරුවාගේ වැඩ නිසා වෙලාව වෙන් කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා. නමුත් ඉතා ම ඉක්මනින් කලාගාරය ආරම්භ කරනවා.”

මවක් සහ බිරිඳක් හැටියට ඔබ කාර්ය බහුල නැද්ද…?

දුව නිසා ගොඩාක් කාර්ය බහුලයි. සමහර ප්‍රසංග පවා මම දුව නිසා ප්‍රතික්ෂේප කළා. දුව පාසල් එක්කගෙන යන. එන වැඩ ගොඩාක්ම කරන්නේ මමයි. මගේ සැමියාත් සංගීත ක්ෂේත්‍රයට ම සම්බන්ධ කෙනෙක් නිසා එයා මටත් වඩා කාර්ය බහුලයි. ඒ නිසා දරුවාගේ වගකීම් බොහොමයක් මගේ අතින් ඉටු කෙරෙනවා. දුව ජාත්‍යන්තර පාසලක දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

දුවත් ගායනයට දක්ෂ ද…?

මගෙ දුව සාරා. දුවටත් ලස්සනට සිංදු කියන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඒ වුණාට පුංචි කාලේ ඉඳලාම දුව සංගීතයට යොමු වෙනවාට වඩා අධ්‍යාපනයට යොමු වෙනවා නම් මං කැමතියි. එයා හොඳට ඉගෙන ගෙන පස්සෙ කාලෙක මොන ක්ෂේත්‍රයක් තෝරගත්තත් මට කමක් නැහැ. ඒත් මේ කාලේ දුව පාසල් අධ්‍යාපන කටයුතු හොඳින් කරනවාට මම කැමතියි.

ඔබගේ සැමියාත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නේද..?

එයා වාදනයට තමයි ගොඩාක් ප්‍රිය කරන්නේ. තවත් ව්‍යාපාරයකුත් කරගෙන යනවා. මගේ ගායන වැඩවලදී එයා ලොකු සහායක් ලබා දෙනවා. ප්‍රසංගවලට යද්දි එයත් පුළුවන් විදිහට මාව එක්කගෙන යනවා. මවුපියන්, තව අපේ ඥාතින් මගේ තනියට යනවා. දුව මං නැතුව තනියම ඉන්නේ නැහැ. ඒ නිසා ප්‍රසංගවලට යද්දි දුවවත් එක්කගෙන යන්න වෙනවා. මම වේදිකාවට යද්දි දුවත් එක්ක ඉන්න මගේ කියලා කවුරුහරි එක්කගෙන යන්න වෙනවා. දුවට අසනීපයක් එහෙම හැදුණොත් මං ප්‍රසංගවලට යන්නේ නැහැ.

දැන් ගම අමතකයි ද..?

අනේ නැහැ. මගේ ගම තංගල්ල. අම්මා නම් ගොඩාක් වෙලාවට මගේ ගෙදර ඉන්නවා. මගේ අක්කා තංගල්ලේ ඉන්නවා. ඉඩක් ලැබුණු ගමන් තංගල්ලේ යනවා. මං තුරුණු ශක්ති වේදිකාවට ආවේ මගේ ගම තංගල්ලේ ඉඳලා යි. ඒක මට කවදාවත් අමතක නැහැ.”

මෑතකදී ඔබ ආයෙමත් විවාහ වුණා නේද…,?

නැහැ. මනමාලිට ඇඳලා පින්තූර ගත්තා. හංවැල්ල සැලොන් ලක් රූ හි විදර්ශනී බෝගමුව බතික් සාරියකින් මාව මනමාලියක් ලෙස හැඩගැන්නුවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division