Home » නිළියක් ජනප්‍රිය වෙන්නෙ එක කාලයයි

නිළියක් ජනප්‍රිය වෙන්නෙ එක කාලයයි

by thanushika
February 3, 2024 12:30 am 0 comment

දැයේ දූපුතුන්ට යහපත් අනාගතයක් තනන්නට නැණ නුවණ පාදන ඇය වෘත්තියෙන් ගුරුවරියකි. තවත් අතකින් ඇය දක්ෂ රංගන ශිල්පිනියකි. මේ දිනවල තිරගත වන ක්‍රිෂ් ඇන්තනීගේ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණයේ යමුනා ටීචර් ඇයයි. වෙළෙඳ දැන්වීම් හරහා නිරතුරුවම ඔබ වෙත එන ඇය ජයනි වීරසිංහයි. පියාගේ කැමැත්තට ඉඩ දෙමින් තෝරාගත් ගුරු වෘත්තිය තම ජීවිතේම කොටසක් කරගත් ඇය වෘත්තියට හානියක් නොවන පරිදි කලා කටයුතුවල ද නිරත වන්නීය. අද ඇය අප හා කතාබහට එක්වූවාය.

මේ දිනවල සාර්ථකව තිරගත වන ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණයේ ඔබත් කොටස්කාරියක්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

එහි තිරපිටපත් රචක ලලිත් වරුණ රාජපක්ෂගේ ආරාධනයෙන් තමයි මං ඒකට සම්බන්ධ වෙන්නේ. එහි අධ්‍යක්ෂණය ක්‍රිෂ් ඇන්තනීගේ. එහි යමුනා ටීචර් ප්‍රින්සිපල්ගේ චරිතය එක්කම ගැටෙන චරිතයක්. ඔයත් ටීචර් කෙනෙක් නිසා මේක ලේසියෙන්ම කරන්න පුළුවන් කියල ඔහු මට කිවුවා. ඇත්තටම ඒක රසවත් අත්දැකීමක් වුණා.

‘අපේ ප්‍රින්සිපල්’ රූගත කළේ කොටහේන ජනාධිපති විද්‍යාලයේ. ඒකෙ ළමයිත් යොදාගත්තා. වයස් භේදයක් නැතුව ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන් ආදර්ශවත් නිර්මාණයක්. ගුරුවරයකුට, මවුපියන්ට හෝ කිසිම වැඩිහිටියකුට පොඩි කාලයක් අරන් කියා දෙන්න බැරි දෙයක් පැය දෙකක් වගේ කාලයක් ඇතුළත හරිම අපූරුවට ඔළුවට දෙන්න පුළුවන් සිනමා නිර්මාණයක්.

මත්ද්‍රව්‍ය වගේම වෙනත් නරක දේවල්වලට දරුවන් ඇබ්බැහි වෙන්න ප්‍රධානම හේතුව මවුපියන් ඒ දරුවන්ගෙන් ඈත්වීම. බොහෝ මවුපියන් පහ වසරට යනකල් අතින් අල්ලන් ඉඳලා ඊට පස්සෙ අතෑරලා දානවා. අන්න එතැනදි තමයි අපි තදින්ම අල්ලාගත යුත්තේ කියන පණිවුඩයත් මේකෙන් දෙනවා. නව යෞවන වියත් එක්ක දරුවන්ගේ සිදුවන වෙනස්කම් දරාගන්න ඔවුන්ට මවුපියන්ගේ උදවු අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් දුවෙක් බැඳෙන්නෙ තාත්තට. පුතෙක් බැඳෙන්නෙ අම්මට කියනවනේ. දුවෙකුට තාත්තගෙ රැකවරණය කියන්නෙ හරිම හයියක්. මේක පාසල් මට්ටමින් පෙන්වන්නත් මේ දිනවල සැලසුම් කරගෙන යනවා.

යමුනා ටීචර්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හැමෝම මට මේ දවස්වල කතා කරන්නෙ යමුනා ටීචර් කියලා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය දවස්වල අම්රිතා වෙළෙඳ දැන්වීම වැඩිපුර ප්‍රචාරය වුණු නිසා ළමයි මට අම්රිතා මැඩම් කියලත් කතා කළා. ඒ ඒ කාලෙට එන නිර්මාණවල නමින් අමතනවා. මං මුලින්ම සම්බන්ධ වුණේ ලිලන්ත කුමාරසිරිගේ මුතු පිහාටු ළමා නිර්මාණයට. ඒකෙ නිල් සුරංගනාවි. මගේ ගුරු පත්වීම ලැබුණෙත් ඒ කාලෙමයි. ඒ කාලෙ ළමයි මට කතා කළේ නිල් සුරංගනාවි කියලා.

ඉන්දියානු නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්. ඒක මගේ ලොකු භාග්‍යයක්. ඉස්කෝලෙ නිවාඩු දාගෙන ලොකු කැපකිරීමක් කරන්න වුණා. දෙමළ පාඩම් කරන්නත් වුණා. දරුවො එක්ක ඉන්න තිබුණ කාලයත් නැති වුණා. කොහොමහරි මම ඒක කළා. Irani මේ වසරෙ ලංකාව ඇතුළු රටවල් 5ක තිරගත වෙනවා. එහි අධ්‍යක්ෂ ජෙගන් සුබ්‍රමනියම් ඉන්දීය ජාතිකයෙක් වුණාට විවාහ වෙලා ඉන්නෙ ලංකාවෙ කෙනෙක් එක්ක. ඒ නිසා සිංහල තරමක් පුළුවන්. ඉන්දීය ජනප්‍රිය නළුවෙක් වන රාජ් කුමාර් එක්ක මං ප්‍රධාන භූමිකාවට දායක වුණා. ඒක ලොකු අත්දැකීමක් වුණා. ඒක තමයි මගේ පළමුවැනි සිනමා අත්දැකීම. ඒකත් එක්ක මට ‘අපේ ප්‍රින්සිපල්’ යමුනා ටීචර් චරිතයත් පහසු වුණා. ඒකෙ ඇක්ටින් ඩිරෙක්ටර් මෘර්දි. එයාල ශිල්පීන් ගැන පුදුම විදිහට හොයලා බලනවා. මං ලංකාවෙ ජනප්‍රියම කෙනෙක් නෙවෙයි කියන එක එයාලට අදාළ වුණේ නෑ. ඔහු මට නිතරම කිව්වෙ ඔයා හරියට ශ්‍රී දේවි වගේ කියලා. නුවර කිරිමැටියාවෙ රූගත කළේ. ගුරු වෘත්තියෙන් අයින් වෙලා ඉන්දියාවට ඇවිත් නිර්මාණවලට දායක වෙන්න කියලත් ආරාධනා ලැබුණා. ඒක කොච්චර ලොකු අවස්ථාවක් වුණත් ඒ හැම දේටම වඩා මට මගේ රස්සාවයි පවුලයි වැදගත් වුණා.

ඔබ රංගනයට පිවිසෙන්නෙ රැකියාව කරන්න කලින් ඉඳල නේද?

මගේ ජීවිතේ ඔක්කොම වැදගත් දේවල් වුණේ එකම කාල වකවානුවක. 2011 වසර මගේ ජීවිතේට ස්වර්ණමය වසරක්. 2011 අවුරුදු කුමරිය වීමත් එක්ක රංගනයට අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම රැකියාවත් ලැබෙනවා. ඒ වසරෙම මගේ විවාහයත් සිදු වෙනවා.

මුලදි ඔබ ගුරු වෘත්තියට කැමැත්තක් තිබුණෙ නෑ කිවුවනේ. මේ වෙද්දි මොකද හිතන්නේ?

දැන් නම් මං හරිම සතුටින්. ආයෙමත් ඉස්කෝලෙ යනවා වගේ හැඟෙනවා. ළමයි මට හරිම ආදරෙයි. නිළියක් ජනප්‍රිය වෙන්නෙ එක කාලයයි. ඒත් මේ වෘත්තිය හැමදාටම පවතිනවා. මට තිබුණ ලොකුම ගැටලුව ස්ටයිල් කරන්න බැරි එක. ඒත් අපේ සීමාවෙ ඉඳන් කරන්න බැරිකමකුත් නැහැ. අපේ තාත්ත හැමවෙලේම කිවුවෙ ගෑනු ළමයකුට සුදුසුම වෘත්තිය ගුරු වෘත්තිය කියලා.

ලං වී ටෙලි නිර්මාණයේ ඩයනා ඔබට අභියෝගයක් වුණු චරිතයක් නේද?

ඔව්. ඒක මැර පාතාල නායකයකුගේ සෙකට්‍රි. ගිනි අවියක් අතේ තියන් කුඩු ගංජා එහා මෙහා යන තැන් ගැන හොයල බලන්න තමයි තිබුණෙ. ස්ක්‍රිප්ට් එක මගේ යාළුවෙක්ගෙ. ඔහු තමයි මට අවස්ථාව ලබා‍දෙන්නේ. ඒත් ස්ක්‍රිප්ට් එක කියවද්දි මං ටීචර් කෙනෙක් නිසා බාර ගන්න බයත් හිතුණා. ගොඩක් ප්‍රතිචාර ලැබුණෙත් බැණලම තමයි.

ජයනිට නිරන්තරයෙන් ශක්තියක් වන ආදරණීය සැමියා ගැනත් කියමු?

එයා අපට දුරින් නෑයො වෙන කෙනෙක්. මාව මුලින්ම දකින්නෙ මගේ අක්කගෙ වෙඩින් එකට ඇවිත්. අපේ පුංචි හරහා මට ප්‍රපෝසල් එකක් ගෙනාවා. අකමැති වෙන්න හේතුවක් තිබුණෙත් නැහැ. අවුරුද්දක් විතර අපි ආදරේ කරලා 2011 දී විවාහ වුණා. එයා මට හරිම ආදරෙයි. දැන් අපිට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. එයා බිස්නස් වැඩ කරන නිසා ගොඩක් කාර්යබහුලයි. ඒ නිසා මට ලොකුම හයිය වෙලා තියෙන්නෙ මගේ තාත්තා. අම්මා හෙදියක් නිසා එයත් කාර්යබහුලයි. තාත්තා තමයි වැඩි බර කරට අරන් මට අවශ්‍ය නිදහස දෙන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division