Home » මම හැබෑ කළේ අම්මගෙයි තාත්තගෙයි හීන

මම හැබෑ කළේ අම්මගෙයි තාත්තගෙයි හීන

by thanushika
February 3, 2024 12:30 am 0 comment

ඉමා වීරසූරිය පුංචි තිරයෙන් අපිට දකින්න ලැබෙන්නේ එකිනෙකට වෙනස් වූ චරිත තුළින්. 2015 වසරේ ස්වර්ණවාහිනියේ ස්වර්ණ අවුරුදු කුමරියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට ආ ඇය කලාවට රංගනයට නැඹුරු වී තිබෙන්නේ පාසල් වේදිකාවෙන්. අද වෙද්දි පුංචි තිරයේ නොමැකෙන චරිත ඔස්සෙ ප්‍රේක්ෂකයන් අතරට එන ඉමා වීරසූරිය සමඟයි රසඳුන මේ කෙටි කතාබහ….

මේ දිනවල ඔබව දකින්න ලැබෙන “අළුපාට දේදුනු” හි චරිතය ගැන කිවුවොත්?

අළුපාට දේදුනු කියන්නෙ සේනන් විමලවීර අධ්‍යක්ෂතුමාගේ අලුත්ම නිර්මාණයක්. මම එහි පොඩ්ඩි එහෙම නැත්නම් ප්‍රවීනා කියන චරිතය කරන්නෙ. උදාරි වර්ණකුලසූරියගේ නංගිගේ චරිතය. මගේ අම්මට ඉන්නෙ මොරින් චාරුණි මහත්මිය. ඒ එක්කම සාරංග දිසාසේකර, කිංස්ලි ලෝස් එක්ක රඟපාන්න ලැබිලා තියෙනවා. ඔවුන් සමඟ රංගනයෙන් දායක වෙන්න ලැබීමම සතුටක්.

වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් ද?

මගේ පළමුවෙනි ටෙලි නාට්‍යය වන තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ රාවණ 2 නාට්‍යයේ සෙන්පති ගීතාගේ චරිතය. මම කළේ නපුරු සටන්කාමී චරිතයක්. ඒ තුළින් තමයි මුලින්ම මාව ප්‍රේක්ෂකයින් හඳුනා ගන්නේ. මෑතකාලයේ ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිත අතරේ හසුන් සමීර අධ්‍යක්ෂණය කළ ඇස් ටෙලි නාට්‍යයේ සිහිලැලි මන්දාරාගේ චරිතය විශේෂයි. ඒක බොහොම අහිංසක නිවුනු ආදරණීය ගැමි චරිතයක්.

වේදිකාවට තියෙන කැමැත්ත ගැන කතා නොකරම බැහැ. ඒ ගැන කිවුවොත්?

පාසල් වේදිකාවෙන් තමයි මම රංගනයට අවතීර්ණ වෙන්නෙ. වේදිකාවට අපි වඩාත් කැප වෙන්න ඕනේ. ටෙලි නාට්‍ය සහ සිනමාව එක්ක බැලුවම වෙනස්ම මාධ්‍යයක්. මේ හැම මාධ්‍යයකින්ම අපි ගෙනියන්නෙ රූපණය. රූපණයට මම බොහොම ආදරෙයි. පාසල් කාලයේ ඉඳලා හොඳම නිළිය විදියට සමස්ත ලංකා ජයග්‍රහණ සහ ටවර් හෝල් නාට්‍ය ජයහ්‍රහණ ලැබිලා තියෙනවා.

මෑතකදීත් ඔබ සම්මාන ලැබුවා, ඒ ගැනත් කිවුවොත්?

ඔව් 43වන යෞවන නාට්‍යය උලෙළේ චමෝදි දයාවංශගේ “මං ඇතුළේ ඝාතකයෙක්” කියන වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම සහාය රංගන ශිල්පිනිය විදිහට සම්මානිත වෙන්න අවස්ථාව ලැබුණා. වේදිකාව කියන්නෙ අමතක කරන්න බැරි තැනක්. ඉදිරියටත් මගේ තියෙන කාලය එක්ක වේදිකාව එක්ක වැඩ කරගෙන යයි.

රංගනයට අමතරව මොකද කරන්නෙ?

රංගනයත් එක්කම මේ දිනවල මගේ මූලිකවම ප්‍රධාන කාර්ය වෙන්නෙ මගේ පශ්චාත් උපාධියේ වැඩකටයුතු. මම ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ රූපණ විෂයටම අදාළ මාතෘකාවක්. ඒ එක්කම මගේම කියලා රංගන පාසලක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් මේ දවස්වල මූලික කටයුතු සිදු කරගෙන යනවා.

අවුරුදු කුමරියක් වෙලා නිළියක් වෙන්න ලැබුණු එක ගැන අද මොකද හිතන්නෙ?

මම අවුරුදු කුමරියක් කියන එක කවදාවත් මම මගේ රංගන භූමිකාවට ආභරණයක් කර ගත්තේ නැහැ. අවුරුදු කුමරිය කියන්නෙ මගේ අම්මගෙයි තාත්තගෙයි හීනයක්. ඒ අය වෙනුවෙන් 2015 ස්වර්ණවාහිනී ස්වර්ණ අවුරුදු කුමරිය වෙලා මම ඒ හීනය ඉටු කළා. ඒ කාලෙත් මට ආරාධනා ලැබුණා රංගනයට. මම ඒ වෙද්දී සරසවි ප්‍රවේශයට සූදානමින් හිටිය නිසා මට නිර්මාණ මඟ හැරුණා. ඒ මඟ හැරුණ නිර්මාණ ගැන පොඩි කනගාටුවක් නැත්තේමත් නැහැ. .

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

මම රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා. වෙනස්ම චරිතයක් කරපු නිර්මාණයක් විකාශය වෙන්න නියමිතයි ළඟදීම. ඒ වගේම අනිත් නිර්මාණත් විකාශය වෙනකම් මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඉමා ආදරවන්තියක් ද?

මනුෂ්‍යයෙක් විදිහට මම කැමතියි බොහොම ආදරණීයව ජීවත් වෙන්න. ඒ නිසා මා වටා ඉන්න අම්මට මල්ලිට සහ මගේ සුරතලුන්ට බොහොම ආදරෙයි. මේ රූපණ කලාවට බොහොම ආදරෙයි. එහෙම බැලුවම මම හිතනවා මම ආදරවන්තියක් කියලා.

අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ එකම අනාගත බලාපොරොත්තුව බොහොම ආදරණීයව සතුටින් ජීවත් වෙන එක. මම හිතන්නේ මනුෂ්‍යයෙක් වුණාම හැමෝටම මානසික නිදහස සතුට සැහැල්ලුව ලැබෙන්න ඕනේ. ඉතින් මමත් කැමතියි බොහොම සතුටින් ජීවත් වෙන්න.

ඡායාරූප – කෝසල සුබසිංහ

අනූෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division