Home » 2027 දක්වා නොව ආර්ථිකය දිගටම ගෙන යා යුත්තේ මේ මාර්ගයේමයි

2027 දක්වා නොව ආර්ථිකය දිගටම ගෙන යා යුත්තේ මේ මාර්ගයේමයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

– වේදනාකාරී දේ ලැබුණට ප්‍රතිඵලය දිගුකාලීනයි
– උද්ධමනය 5% තබාගතහොත් ඉදිරියේදී බැංකු පොලිය තනි අගයකට ගෙන ආ හැකියි
– පසුගිය කාලයේ 16 වතාවක් IMF යන්න වුණේ මේ මාර්ගයේ නොගිය නිසයි
– බඩු මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි වීමට තව කාලයක් ගත වේවි

කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් යායුත්තේ මේ යන ගමන් මඟම පමණයි කියා ඔබ අවධාරණය කළා?

මේ දක්වා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු ක්‍රියාත්මක කළ අනිකුත් ව්‍යුහාත්මක ප්‍රතිපත්ති දිශාව යම්කිසි කෙනෙක් වෙනස් කරන්නට උත්සාහ කරනවා නම් සිදු වන්නේ නැවතත් ආපස්සසට හැරවීමක් පමණයි. මේ වන විට මුදල් ප්‍රතිපත්තිය උද්ධමනයට ගැළපෙන ආකාරයට පොලී අනුපාතය අඩුවැඩි කරමින් යනවා. රජයේ ආදායම වැඩිකර ගැනීමට, වියදම් පාලනයට, ණය ගැනීම අඩුකර ගැනීමට අදාළ ක්‍රියාදාමය සාර්ථකව පවත්වා ගෙන යනවා. රජයට අයත් විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබා තිබුණා. දැන් වැයට ගැළපෙන මිල ස්ථායි පද්ධතියක් ක්‍රියාත්මක කරමින් යනවා. රාජ්‍ය ආයතන නිසියාකාරයෙන් පාඩු නොලබන මූලික දිශාවකට ගමන් කරමින් යනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් රටේ බදු ආදායම අඩු බව එවිට සිදු වන්නේ නැවතත් ණය ගැනීම වැඩි වීමයි. එවිට සිදු වන්නේ පරණ වැරදි ක්‍රමයම අනුගමනය කරමින් රට නැවතත් ආර්ථික අර්බුදයකට තල්ලු වීමයි. කවුරු ගියත් ඉදිරි වසර හතර ඇතුළත රජයේ ආදායම වැඩිකර ලබන වසරේ දළ දේශීය නිෂ්පාදිතය 15% දක්වා වැඩි කරමින් යන ක්‍රියාදාමයේම යායුතු වෙනවා. ඒ සමඟ උද්ධමනය 5% තබා ගත යුතුයි. විදුලි බිල, තෙල් බිල ජාත්‍යන්තරව යම් ක්‍රමවේදයක් හරහා අඩු විය හැකි යි. නමුත් වැය කරන මුදලට වඩා අඩු මුදලකට සහනය ලබා දී එයට රජයට පාඩු නොලබනවා යැයි යමකු කිවුවොත් එයින් සිදු වන්නේ නැවතත් වැරදි දිශාවට ගමන් කිරීමක්. ඒ සමඟම වංචාව, දූෂණය වැළැක්වීම හා යහපාලනය වැනි වැඩ පිළිවෙළ මෙන්ම දුගී පිරිස් සඳහා වූ සහනාධාරය දිගටම ක්‍රියාත්මක විය යුතුයි. කුමන රජයක් යටතේ හෝ ඉදිරියට යාමේදී ඒ සඳහා වූ මූල්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක් විය යුත්තේ මේ දිශාවට පමණයි. එසේ නොවුණොත් යළිත් ආපස්සට රට කැරකැවිය හැකියි. ප්‍රතිපත්ති යම් ආකාරයකට වෙසක් විය හැකි වුවත් යායුතු දිශාව මෙයයි.

ඔබ පවසන්නේ වසර 2027 තෙක් යා යුත්තේ මේ ගමන් මාර්ගයේ පමණක් බවද?

2027 වසර දක්වා නොව දිගටම ආර්ථිකය ගෙන යායුත්තේ මේ මාර්ගයේමයි. අය වැය හිඟය, ණය, රජයේ ආදායම් වියදම් අනුපාත මීට වඩා ඉහළ මට්ටමකට ගෙන ගොස් ස්ථාවරව පවත්වා ගෙන යා යුතු වෙනවා. දිගටම යායුත්තේ මේ මාර්ගයේමයි . පසුගිය කාලයේ 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නට සිදු වුණේ මේ මාර්ගයේ නොගිය නිසයි.

2022 වසර ආර්ථිකමය අර්බුදයෙන් වැටුණු වසරක්. බංකොලොත්භාවයට පත් වූ වසරක්. 2023 මේ තත්ත්වය පහව ගියාද?

අපි කිසිම විටක ආර්ථික බංකොලොත්භාවයකට පත් වුණේ නැහැ. රජයක් හෝ පුද්ගලයෙකු ලබාගත් ණය නැවත නොගෙවීමයි, බංකොලොත්භාවය යන වචනයෙන් අර්ථකථනය කරන්නේ. නමුත් අපි 2022 ප්‍රකාශ කළේ රජය ණය කොටසක් දිගටම ගෙවා ගෙන යන බවත්, තවත් කොටසක ණය තාවකාලිකව ගෙවීම අත්හිටුවා ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්කොට නැවත ගෙවීම ආරම්භ කිරීම සිදු කරන බවත්. එය තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීමක් මිස බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමක් නෙවෙයි. නමුත් ආර්ථික අර්බුදයක් සිදු වූ බව අපි අනිවාර්යයෙන් පිළිගත යුතුයි. නිදහසින් පසු අපි දරුණුම ආර්ථික අර්බුදයකට ලක් වුණා. ඒ ගැන විවාදයක් නැහැ. එහිදි ආර්ථිකය 8% කින් සංකෝචනය වුණා. උද්ධමනය 70% ට ගියා. විනිමය අනුපාතය 203 සිට 365 දක්වා මාස දෙකක් තුළ 45% – 50% කින් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වුණා. ඒ සමඟම වෙළෙඳපොළ විදේශ විනිමය නොලැබුණා. මහ බැංකුවේ භාවිත නොකළ සංචිත මුල් අවස්ථාවේ තිබුණේ ඩොලර් මිලියන 25 යි . 2023 වසර අවසන් වන විට අපේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 දක්වා වැඩි වුණා. භාවිත කළ හැකි සංචිත බිලියන 3 දක්වා වැඩි වුණා. විනිමය අනුපාතය 315 මට්ටම දක්වා අඩු වුණා. එසේම උද්ධමනය වැට් සමඟ මේ මස 6.4% යි. මේ සංසන්දනය කිරීම් ගත් විට රජයේ ප්‍රාථමික ගිණුම් ශේෂය පොලී වියදම හැරුණු විට ආදායම වියදම ගත් විට 2021 වසරේ ඍණ 4% හිඟය 2023 වසරේ ධන මට්ටමට පැමිණ තියෙනවා. අද ආදායම් වැඩි වී තියෙනවා. හැම අතින්ම බැලූ විට 2023 වසර අවසන් වන විට ඉහළ ප්‍රගතියක් ලබා තියෙනවා.

ඔබ එසේ පැවසුවත් මේ සුබවාදී තත්ත්වය ජනතාවට තවමත් දැනී නැහැ?

ඔව්. අද බඩු මිල වැඩි වෙලා තියෙනවා. එයට සාපේක්ෂව රටේ ජනතාවගේ තවම අදායම් වැඩි වී නැහැ. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන විට දැනෙන වේදනාකාරී තත්ත්වය තවමත් පවතිනවා. මෙය යම් ප්‍රමාණයකට ලිහිල් වුණා මිස සම්පූර්ණයෙන් අඩු වී නැහැ. එහි ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. උද්ධමනය 6% කින් අඩු වුණාට ආර්ථිකය 6% කින් තවමත් වර්ධනය වී නැහැ. ජනතාවගේ ආදායම බඩු මිලට සාපේක්ෂව වැඩි විය යුතුයි. එසේ වෙන්න කාලයක් ගත වෙනවා. බඩු මිලට ගැළපෙන ආදායමක් ජනතාවට ලැබෙන්නේ ඉන්පසුවයි.

එදා වේල කාල ජීවත් වන ජනතාවට ආදායම වැඩි වීමේ බලාපොරොත්තු තබා ගත හැකිද?

රජයේ ස්ථීර වැටුපක් ඇති අයකුගේ ආහාර උද්ධමනය වැඩි වුණාට ආදායම වැඩි වූයේ නැහැ. අනිත් පැත්තෙන් මේ දිනවල ආහාර බෝගයක් නිෂ්පාදනය කරන කෙනෙකුගේ උද්ධමනයට සාපේක්ෂව ආදායම වැඩිවිය හැකියි. බඩුමිල වැඩිවීමේ දෙපැත්තක් පවතිනවා. නිෂ්පාදනය කරන කෙනාට උද්ධමනයට සරිලන ආදායමක් ලැබිලා තියෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් එහි බර රජයේ සේවකයාට දැනෙනවා. එයාගේ ආදායම වැඩි වන්නේ යම් කිසි කාලයකින්. ඒ නිසයි පසුගිය කාලයේ රජයේ සේවකයන්ට යම්කිසි වැටුප් වැඩි වීමක් ලබා දුන්නේ. නමුත් එය මුළු බඩු මිලට ගැළපීමට යම් කිසි කාලයක් ගත වේවි. එසේ ගැළපිය හැකි වන්නෙත් රජයේ ආදායම වැඩි වුුවහොත් පමණයි. පුද්ගලික අංශය ගත් විට උද්ධමනයට සාපේක්ෂව අවිධිමත් වෙළෙඳපොළ තුළ වැටුප් වැඩිවීමක් සිදු වී තියෙනවා. පුද්ගලික අංශයේ ව්‍යාපාරයක් ලාභ ලබනවා නම් සේවකයාට වැටුප් වැඩි වී යම් ගැළපීමක් සිදු කළ හැකියි. රාජ්‍ය අංශයේ මේ ගැළපීම සඳහා යම් කාලයක් ගත වන අතර, ඒ කාලය තුළ ජනතාව විවිධාකාර පීඩාවකට ලක් විය හැකි බව පිළිගත යුතුයි.

2024 වසර අපිට අලුත් බලාපොරොත්තුවක් ඇතිකර ගත නොහැකිද?

අපි බලාපොරොත්තු වන්නේ මේ වසරේ මූර්ත 3% කින් ආර්ථික වර්ධනයක්. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය 3% කින් වැඩි විය යුතුයි. ඒ නිසා ආර්ථිකය වර්ධනය වීම වැදගත්. ඒ සඳහායි පසුබිම සකස් කරගෙන යන්නේ. ඒ හරහායි ජනතාවට යම් ආකාරයකින් වාසියක් ලබා ගත හැක්කේ. රජයට වැඩි වැටුපක් ගෙවිය හැක්කේ ආදායම වැඩිකර ගතහොත් පමණයි. ණය අරගෙන වැටුප් වැඩි කරන්න බැහැ. මේ සඳහා යම් කාලයක් ගත වේවි. බඩු මිල වැඩි වූ මට්ටමට වෙනස පියවන්න නම් රජයේ ආදායම වැඩි විය යුතුමයි. එය එක සැරේ කිරීමට නොහැකියි.

ආර්ථික විශේෂඥයකු ලෙස මේ තත්ත්වයට පත් වීමට කොපමණ කාලයක් ගත වේවි ද?

මේ වසරේ 3%කින් ආර්ථික වර්ධනයක් සිදු වුවහොත් ජනතාවගේ ආදායම නාමික වශයෙන් 8% කින් හෝ වැඩිවිය යුතුයි. ලබන වසරේ 5% කින් වැඩි වුවහොත් ජනතාවගේ නාමික ආදායම 10% කින් වැඩිවිය යුතුයි. උද්ධමනය 5% නම් තමන්ගේ මූර්ත අගය තවත් 5% කින් ඉහළ යනවා. එවිට අර්බුදය නිසා ඇති වූ පාඩුව වසර තුන හතරකින් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ දිගටම ගියොත් පමණයි ඉදිරිය සාර්ථක වන්නේ. උද්ධමනය15-20% ට යම් හෙයකින් වැඩි වුවහොත් මීට වඩා අමාරු තත්ත්වයකට පත්විය හැකියි. එවිට මූර්ත අදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ජීවත් වෙන්න. ඒ නිසා මේ මාර්ගයේම ගියොත් පමණයි, ආදායමට ගැළපෙන ආකාරයට ජීවත් වීමට හැකි වන්නේ.

රජයේ බදු ප්‍රතිපත්තිය හරහා රාජ්‍ය ආදායමේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි නේද? ඇයි ජනතාවට සහනයක් ලබා දිය නොහැක්කේ?

වැඩි වීමක් සිදු වෙනවා. මහ බැංකුවේ අධිපති ලෙස මම ඒ ගැන පැවසීම නිවැරදි නැහැ. එය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ, පාර්ලිමේන්තුවේ, භාණ්ඩාගාරයේ රජයේ කාර්යභාරයක්. මම දකින්නේ රජයේ ආදායම වැඩි කර ගතහොත් ඒ වාසිය ජනතාවට ලබා ගත හැකි වෙනවා. රජය තීරණය කළ යුතුයි; මෙසේ වැඩි වූ ආදායම අත්‍යවශ්‍ය දේට වෙන් කරන්නේ කෙසේද කියා.

ජනතාව පවසනවා ඉදිරියේදි විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමෙන් පසු මීටත් වඩා පීඩාවන්ට ලක් වීමේ ඉඩකඩ ඇති බවට?

එය එසේ වන්නේ නැහැ. ‍ණය ප්‍රතිව්‍යුහගතකරණය වැදගත් වන්නේ ඒ නිසයි. රජයේ ආදායමට වඩා වැඩි ණය බරක් ගෙවීමට තිබුණේ. එවිට රජයට ණය ගෙවීමේ හැකියාව නොමැති වුණා. ඒ නිසා තාවකාලිකව ගෙවීම් අත්හිටෙවුවා. නමුත් කොටසක් පමණක් ගෙවීම් කළා. ගෙවීම් නැවැත්වූයේ විදේශීය ණය හා විදේශීය වෙළෙඳ පොළෙන් වාණිජව ලබා ගත් ණයයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර අඛණ්ඩව ගෙවා ගෙන ගියා. විදේශ ණය බිලියන 6 ගණනේ ගෙවීමට තිබුණේ. තවමත් වසරකට බිලියන 6 ගෙවීමේ හැකියාවක් නැහැ. ඉදිරියේදී අපි ණය ගෙවීම ආරම්භ කරන්නේ පරණ මට්ටමින් නෙමෙයි. ඊට වඩා අඩු මට්ටමින්. බිලියන 3කට වඩා අඩුවෙන්. එය ගෙවීම අපට අපහසුවක් නැහැ. ගෙවාගත හැකි ප්‍රමාණයට අපි ණය බර අඩුකර ගෙන ණය ගෙවාගෙන යනවා. දැන් රජයේ ආදායම යම් ප්‍රමාණයකට වැඩි කරගෙන තියෙනවා. අලුතින් ණය ගැනීමත් දැන් අඩු වී ගෙන යනවිට අපේ ආදායමට සරිලන පරිදි ණය ගෙවීමට හැකියාව පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගත නොකළා නම් ඔය කියන තත්ත්වයට වැටීමේ ඉඩකඩ තිබුණා.

රජයට ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව තීරණය වන්නේ කොයි ආකාරයෙන්ද?

අපි මේ වන විට දේශීය ණය ගෙවීම් සිදු කරගෙන යනවා. සමහර විදේශීය ණය කොටස් ගෙවමින් යනවා. ද්විපාර්ශ්වීය ණය ගත් ඒවායේ ගිවිසුම් අත්සන් කිරීමට සූදානම්. මේ වසරේ දෙවැනි කාර්තුවේ එය ආරම්භ කළ හැකි වෙනවා. එසේම අනිකුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසුව දෙවැනි කාර්තුවේ සිට අඩු මට්ටමින් ගෙවාගෙන යාම ආරම්භ කළ හැකි වෙනවා. ණය ගෙවීමට හැකි පරිදි අපේ සංචිත වැඩි කරමින් යන නිසා අපිට ගැටලුවක් පැන නඟින්නේ නැහැ. අපිට ආර්ථික අර්බුදයට යන්න වුණේ බිලියන 6ක් ණය ගෙවීමට තිබෙද්දි තිබුණේ මිලියන 25ක සංචිත නිසායි. නමුත් බිලියන 6ක් සංචිත තියෙනවා නම් ගෙවීමට ඇත්තේ බිලියන 3ක් නම් එය සාමාන්‍ය තත්ත්වයක්.

මහ බැංකුව කොතරම් නීති දැම්මත් බැංකුවකින් ණයක් ලබා ගැනීමේදි තවමත් ඉහළ පොලියක් අනුගමනය කරන බවට බැංකුවලට චෝදනා නැඟෙනවා?

පසුගිය වසරට සාපේක්ෂව පොලිය අඩුවුවා ද නැද්ද? යන්න කල්පනා කරන්න. 2021 වසරේ මාස තුනේ පොලී අනුපාන 34% කට ගියා. පසුගියදා එය මාස තුන සඳහා 12% දක්වා අඩු වුණා. පුද්ගලික අංශයේ ප්‍රධාන ගනුදෙනුකරුවන්ට ණය ලබා දීමේදී 29% ට තිබුණු ණය දෙන පොලී අනුපාත 12% දක්වා අඩු වුණා. එසේ නම් අඩුවීම පැහැදිලියිනේ. පොඩි පොඩි ණය 15-18% විය හැකියි. නමුත් හොඳ ගනුදෙනුකරුවන්ට පොලී අනුපාත තනි අගයකින් එන දිනයක් ළඟදීම එයි. ගෙ‍වීම් හරියට කරනවා නම් බැංකු විසින් අඩු පොලියකට ණය දෙනවා. ලොකු හා පොඩි ණය ගැනීම අතර වෙනසක් පවතිනවා. ලොකු ණයකට දෙන වියදම බැංකුවට අඩුයි. හොඳට ගෙවන විශාල ණයක් ගන්නා අයට ලබා දෙන පොලී අනුපාතය අඩුයි.

නමුත් සාමාන්‍ය ජනතාව බැංකුවකට ගොස් ණයක් ලබා ගැනීමේදී දැඩි අපහසුතාවයකට පත් වෙනවා?

පොඩි ණය ගන්නා අයට ණය ගන්නා පොලී අනුපාත පසුගිය කාලයට සාපේක්ෂව අඩු වූ බව පැහැදිලියි. ඉදිරියේදි තව දුරටත් අඩු වේවි. බැංකුවක් ණය දෙන්නේ ඔබගේ තැන්පතු මුදලින්. අපේ තැන්පතුවට ලැබෙන පොලී අඩුකර එයින් ව්‍යාපාරිකයින්ට ණය දෙන්න ඔබ කැමැති ද? කාගේ මුදලින්ද ඒ සහනය දිය යුත්තේ. තැන්පත්කරුවන් කැමැති නොවී ඒ සහනය දෙන්නේ කෙසේද? මහ බැංකුව ව්‍යාපාරිකයන්ට ණය දෙන්න කිවුවත් එය ලබා දෙන්නේ කෙසේද? කෙනකුගේ පොලිය කපා පමණයි සහන දෙන්න වෙන්නේ. අපේ තැන්පත් මුදලින් ණයක් දෙන විට බැංකුවකට වගකීමක් පවතිනවා ණය අයකර ගෙන තැන්පතුව ආරක්ෂා කර ගැනීමට. ණය ගෙවීමේ හැකියාව බැංකුව විසින් සොයා බැලීම අනිවාර්යයයි. ඉල්ලන අයට ණය දීමට කියනවා නම් ඔබගේ තැන්පතු හා ඊට අදාළ පොලිය ගැන වැඩි බලාපොරොත්තු තබා ගත නොහැකි වෙනවා.

ඉදිරි කාලයේදී බැංකු පොලී අනුපාතය තනි අගයකට ගෙන ආ හැකි වෙයිද?

පොලී අනුපාතය රඳා පවතින්නේ උද්ධමනය මතයි. ඉදිරියේදී උද්ධමනය 5% නම් හොඳ ගනුදෙනුකරුවන්ට තනි ඉලක්කමේ පොලී අනුපාතයකට ලබා ගත හැකි වෙන්න පුළුවන්. දැන් උද්ධමනය 6.4% යි. නමුත් ස්ථාවරව උද්ධමනය 5% ක පැවතිය යුතුයි. අපේ ඉලක්කය එයයි. ඒ ඉලක්කයේ තබා ගතහොත් අපිට බලාපොරොත්තුවක් තබාගත හැකියි. මේ සියල්ලේ වෙනස්කම් සිදුකළ හැක්කේ රජයේ ආදායම වැඩිවීම අනුවයි.

lIMF තෙවැනි වාරිකය සඳහා වූ කැප කිරීම්වල සාර්ථික අසාර්ථකත්වය කෙසේද?

IMF තෙවැනි වාරිකය මේ වසරේ ජුනි මසදී ලැබේ යැයි අපේක්ෂා කරනවා. මෙයට ආදළ දේ කරගෙන යනවා. එය සාර්ථකයි.

2024 මහ බැංකුවේ වගකීම හා අභියෝගය ගැන සඳහන් කළොත්?

අපේ ප්‍රධාන අරමුණ වන්නේ උද්ධමනය 5% මට්ටමේ දිගටම පවත්වා ගෙන යාමයි. එසේම ඒ හරහා තැන්පත්කරුවන්ට සාධාරණ පොලියක් ලබා දෙන ගමන් ණය ගන්නා අයට පහසු පොලියක් ලබා දී ආර්ථිකය නැවත යථාවත් කිරීමයි. උද්ධමනය වැඩි වන්නට ගතහොත් අපිට ඇති අභියෝගය එයයි. එසේ වුවහොත් පොලී අනුපාත වැඩි කරන්න සිදු වෙනවා. නමුත් එසේ නොවෙයි කියා අපි විශ්වාස කරනවා. සංචිත යම් ආකාරයකින් තව වැඩි කරගත යුතු වෙනවා. ජාත්‍යන්තර අර්බුද නිසා තෙල් මිල වැඩි විය හැකියි. නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවමින් ස්වාභාවික විපත්වලින් ආහාර නිෂ්පාදනය අඩාළ වුවහොත් ඒවා අපිට අභියෝගයක්. බැංකු පද්ධතිය ස්ථායිතාව ආරක්ෂා කිරීම තවත් අභියෝගයක්. ඔබගේ තැන්පතු සහිත බැංකුව විශ්වසනීයත්වයෙන් යුතුව ආරක්ෂා කිරීම අපේ වගකීමක් වෙනවා.

ජනතාවට දැනෙන වෙනසක් මේ වසරේදී සිදු වෙයිද?

දරුණු ආර්ථික අර්බුදයක් ඇති වූ අවස්ථාවේ සාමාන්‍ය මට්ටමට පත්වීමට කාලයක් ගත වෙනවා. තවමත් ඒ තත්ත්වයට පත් වී නැහැ. ඉදිරියට ඒ මාර්ගයේම යන්න නම් මේ මාර්ගයේම යා යුතුයි. වෙනස් වුණොත් ජනතාව අමාරුවේ වැටෙයි. වේදනාකාරී දේ ලැබුණට ප්‍රතිඵලය දිගුකාලීනයි. ඒ සඳහා යම් කිසි කාලයක් යනවා. ඉවසීමෙන් සිටියහොත් ඒ සහනය ජනතාවට ලැබෙයි. මෙවැනි ආර්ථික අර්බුදවලට ලක් වූ රටවල් වසර ගණනාවක් ගියත් තවමත් ඉන් මිදී නැහැ. අපි සාපේක්ෂව කෙටි කාලයක් තුළ ඒ මාර්ගයේ ගමන් කරමින් තියෙනවා. ජනතාව ඒ තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division