Home » වියපත් බවින් මුදා සිරුර තිරිහන් කරන අපේ බෙහෙත් කරල මෙන්න…

වියපත් බවින් මුදා සිරුර තිරිහන් කරන අපේ බෙහෙත් කරල මෙන්න…

කොළඹ සරසවියේ පර්යේෂකයන්ගේ අලුත්ම සොයා ගැනීම

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම විසින් හඳුන්වා දුන් නිෂ්පාදන

– ලංකාවේ මිල අධික ඇන්ටි ඒජින් කැප්සියුල්ස් ඕනෑතරම් තිබෙනවා. හැබැයි ඒ සියල්ල ගෙන්වන්නේ පිටරටින්
– වියපත්බව නැති කිරීමේ ඖෂධ අපේ පාරම්පරික වෙදකමේ ද භාවිත වුණා
– අතුරුපල නැතැයි යන සහතිකය නුදුරේදීම ලැබේවි
– අපේ ඉලක්කය තව නිෂ්පාදන දෙකක් මේ අවුරුද්දේ එළි දැක්වීමයි

විද්‍යාව ජීවිතයේ සුන්දරම බලාපොරොත්තු යථාර්ථයක් කරන සංවේදී භූමි ස්ඵර්ෂ කරන විට එතැන බිහි වන්නේ කලාවකි. ඒ කලාවේ මියුරුම රිද්ම නැඟුනේ කොළඹ සරසවියෙනි. කොළඹ සරසවියේ ඒ සොඳුරු කලාකාර විද්‍යාඥ කණ්ඩායම යළිත් සංවාද උපදවා තිබේ. ඒ ලෝකයේ බහුලව පරිහරණය වන පෝෂක අතිරේක කාණ්ඩයක් සේ සලකන වියපත් බව පාලනය කිරීමේ පෝෂණ අතිරේකයක් අපේ සාම්ප්‍රදායික වෙදකමේ සහ ආහාර රටාවේ එන ශාක සාර නිස්සාරණයෙන් අපේ අනන්‍යතාව සහිත කැප්සියුලයක් ලෙස නිපදවා ගැනීමෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම ඔබට අමතක නැතැයි සිතමි. මීට වසරකට පෙර පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන Vernolac පෝෂක ඖෂධය, අකලට හිස කෙස් වැටීම, ජානමය තත්ත්ව නිසා තට්ටය ඇතිවීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි Satiny ඖෂධීය ශීර්ෂාලේපය, සන්ධි ආශ්‍රිත වේදනා වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මකව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද Ortho Shield ආලේපනය, ස්ථූල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන Bio Shape පෝෂක ඖෂධය හඳුන්වා දීමේ විද්‍යාත්මක පදනම දැම්මේ මේ පර්යේෂකයෝය.

ඔවුන්ගේ නවතම විද්‍යාත්මක නිෂ්පාදනය වන වයසට යෑම හෙවත් වියපත් බව පාලනය කරන මෙම පෝෂක අතිරේකයේ මූලික පර්යේෂණ කටයුතු මේ වනවිට නිමා වී තිබේ.

නව නිෂ්පාදනයේ කුහුල දනවන සුලු තොරතුරු හා නව ඖෂධීය කැප්සියුලය පිළිබඳ මේ විශිෂ්ට පර්යේෂණ කණ්ඩායමේ නියමු කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් කාර්යබහුල මොහොතක දී ලද කෙටි ඉඩහසර තුළ අප සමඟ සංවාදයට එක් විය. “ මේ නිෂ්පාදනය ඖෂධයක් ලෙස නෙමෙයි, පෝෂක අතිරේකයක් ලෙසයි හඳුන්වා දෙන්නේ. මෙවැනි නිෂ්පාදනයක් කරන්න අදහස පහළ වෙන්නේ මීට අවුරුදු හතර පහකට පමණ ඈත දවසක. මගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඉන්නවා, වෛද්‍ය කණිෂ්ක සේනාතිලක කියලා. අපි දෙන්න බොහෝ දේවල් ගැන සංවාදයේ යෙදෙනවා. එහෙම ඇතිවුණු සාකච්ඡාවක දී තමයි අපට මේ අදහස එන්නේ.”

වයසට යෑම පාලනය කිරීම සිහිනයකි. ඒ සිහිනයේ වැඩිපුරම ගිලී ඉන්නේ සොබාදහම ප්‍රකාරව ක්ෂය වෙමින් යන වියපත් මිනිස්සුය. ඒ සිහිනය ලෝකයේ වෙ‍ෙළඳ ප්‍රජාව වෙ‍ෙළඳ පොළක් කරගෙන තිබිණි. ඒ වෙ‍ෙළඳ පොළ ලංකාවේත් බොහොම සරුවට තිබුණේය. ඒ දැනුම්වත්භාවය කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සතුවත් තිබිණි.

“ ලංකාවේ ඇන්ටි ඒජින් කැප්සියුල්ස් ඕන තරම් තිබෙනවා. නමුත් ඒ සියල්ල ගෙන්වන්නේ පිටරටින්. බොහෝම මිල අධිකයි. ඒ වෙනුවෙන් රට විශාල විදේශ විනිමයක් හායනය කරනවා. මෙවැන්නක් නිෂ්පාදනය කරන්න අපව පොලඹවන්නේම මේ සියලුම කාරණා. අපි මුලින්ම කළේ අපේ සංස්කෘතික වහරින් දැනගත් වියපත්වීම වළකන ද්‍රව්‍ය ගැන සොයා බැලීමයි. අපේ පාරම්පරික වෙදකමේ එවැනි ඖෂධ භාවිත වුණා. පාරම්පරික වෙදකමේ එලෙස හඳුනාගත් වයසට යෑම වළක්වන ශාකවල තිබෙන සංයෝග පිළිබඳ අපි විද්‍යාත්මකව හැදෑරීම් කළා. වියපත් බව සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ වෙන්නේ වැහැරෙන හමෙන්. එම නිසා මුලින්ම කළේ විශේෂයෙන්ම සම වයස්ගත වීම යන කාරණය හා එයට අදාළ ජාන ක්‍රියාකාරිත්වය වෙනස් කළ හැකි සංයෝග හඳුනා ගැනීම. දෙවනුව සෛල පදනම් කරගත් පරීක්ෂණ අප පටන් ගත්තා. ඒ ප්‍රවේශයෙන් තමයි මේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ.” මහාචාර්යවරයා එසේ විස්තර කරමින් සිට අතරදී ලද විරාමයක විමසුවෙමි. “ඖෂධීය කැප්සියුලයේ අන්තර්ගත සංයෝග තුළින් වයසට යෑම පාලනය කෙරෙන අයුරු ඔබට සරලව පැහැදිලි කරන්න හැකිද?” මහාචාර්යවරයා පිළිතුරු දුන්නේය.

“එය ක්‍රමවේද කිහිපයකටම සිදු වෙනවා. විස්තර කරන්න යාන්ත්‍රණ 10ක් විතර තිබෙනවා, ශාක නිස්සාරණවල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි කරමින් එහි තිබෙන සංයෝග වැඩි වශයෙන් ඇතුළත් කර තිබෙනවා. සම වයස්ගත වීම සහ වයස්ගත වීමට අදාළ ජාන ප්‍රකාශනය විධිමත් කරන සංයෝග මේ ශාක නිස්සාරිතවල තිබෙනවා. එයට අමතරව විටමින් වර්ග, කොලැජන් වැනි සෛල ස්ථරවල ස්ථායීබව හා නීරෝගි බව තහවුරු කරන තවත් සංඝටකවලින් සමන්විත වෙනවා. මෙය ඉතා සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලියක් නිසා සරලව හඳුන්වා දීම දුෂ්කරයි. ඒ සමස්ත ක්‍රියාවලිය මේ සටහනට අන්තර්ගත කරන්නත් බෑ. “

මේ පෝෂණ අතිරේකය භාවිත කළ හැකි වයස් කාණ්ඩයක් තිබෙනව ද? මම විමසුවෙමි. “ සාමාන්‍යයෙන් ලෝකයේ “ඇන්ටි ඒජින්” කියන පෝෂක නිර්දේශ කරන්නේ වැඩිහිටි ප්‍රජාවට. ඔවුන්ට තමයි වයසට යෑම පාලනය කරගන්න අවශ්‍යය. වයසට යනකොට ශරීර ක්‍රියාකාරිත්වයේ සමහර සංඝටක උරා ගැනීම හීන වීමෙන් විටමින් උණතා ඇතිවී එය ශරීරයට උකහා ගැනීමේ විධි අක්‍රමවත් වෙනවා. ඒ අක්‍රමවත් බව විධිමත් කරන සංඝටකත් අප මේ පෝෂක අතිරේකයේ අන්තර්ගත කර තිබෙනවා.” මෙම පෝෂක අතිරේකයේ ප්‍රතිඵල දැකීමට යන කාලය සම්බන්ධව නිශ්චිත නිගමනයකට එළැඹීම සඳහා සායනික පරීක්ෂණයක් සැලසුම් කර ඇති බව මහාචාර්යවරයා කියන්නේය. “පෝෂකය ගත්තට පස්සේ එහි කාලය කියන්න බෑ. ඒකට කාලයක් තවම තීරණය කරලා නෑ. සාමාන්‍යයෙන් මේ වගේ ඖෂධ තමන්ට කැමති කාලයක් අරන් නවත්වන්න පුළුවන්.“

මේ ඖෂධීය අතිරේකය සොබා දහම අතික්‍රමණය කිරීමක් ද කියලා අපි ඇහුවොත් ඔබ එය පැහැදිලි කරන්නේ කොහොම ද?

“මේක සොබාදහම අතික්‍රමණය කිරීමක් නෙවෙයි. අපේ ජාන ප්‍රකාශනය අපේ පරිසරය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අධික ලෙස හිරු එළියට විවෘත වන අය, අධික ලෙස බර වැඩ කරන අය, ඒ අයගේ පරිසරය අනුව වයස්ගත වීම පේනවා. අපි බලමු කොළඹ ඉන්න වයස අවුරුදු 65ක කෙනෙකුයි ගමේ බර වැඩ කරන වයස අවුරුදු 65ක කෙනකුයි සංසන්දනය කරලා. බර වැඩ කරන අය වයස්ගත වෙලා වගේ පේනවා. හම වයස්ගත වීමට අදාළ ගොඩාක් දේවල් අපි මේකේ විශේෂ කොට දක්වනවා.

මේ විදිහේ සප්ලිමන්ට් අලුත් දේවල් නෙමෙයි… බහුල වශයෙන් ලෝකයේ තිබෙනවා. රූපලාවණ්‍ය සම්බන්ධ උනන්දු වන අය නිතර මේ සප්ලිමන්ට් භාවිත කරනවා. ලංකාවෙත් නළු නිළිෙයා් වගේ රූපය ගැන වැඩිපුර හිතන කට්ටිය මේ අතිරේක ආහාර බහුලවම භාවිත කරනවා.”

නමුත් එවැනි පෝෂක අතිරේක ශරීරයට අයහපත් ප්‍රතිඵල අත්කර දෙන අවස්ථා ගැන ලොව ඕනෑතරම් වාර්තා වෙනවා. මේ පෝෂක අතිරේකයේ අයහපත් අතුරු ප්‍රතිඵල නැතැයි ඔබට දිය හැකි සහතිකය කුමක් ද? මහාචාර්යවරයා එයට ලබා දෙන්නේ අපේ සංස්කෘතික ආහාර පැවැත්ම සංක්ෂිප්ත කරගත් පිළිතුරකි.

“අයහපත් අතුරු පල අඩුයි කියලා දෙන්න පුළුවන් සහිතකයක් තිබෙනවා. ඒ තමයි අපේ ජීවන රටාව තුළ අපට සාම්ප්‍රදායික ආහාර ක්‍රමයක් තිබුණා. ඒ ආහාර රටාව තුළ කන බොන දේවල්වලින් තමයි මේ සංයෝග නිස්සාරණය කර තිබෙන්නේ. ඒ සංයෝගවල ටොක්සීන් අන්තර්ගත ද යන්න පිළිබඳත් අපි අධ්‍යයනය කර තිබෙනවා. ඊළඟට අපේ සැලසුම වන්නේ සායනික පරීක්ෂණයක්. එය අවසන් වුණාම ඔබ ඔය අහන ප්‍රශ්නයට මා දෙන නැතැයි කියන පිළිතුර තහවුරු වීම විද්‍යාත්මකවම සිදු වේවි.”

මෙවැනි නිෂ්පාදන පර්යේෂණ කාර්යය සම්පූර්ණ වූ පසු එය නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළට නිකුත් කෙරෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුදත් ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළම තිබේ. “යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් ” (University Business Linkage (UBL) ) ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලිය සෑම සරසවියකම පිහිටුවා තිබේ. එහි පරමාර්ථය ලංකාවේ සරසවි පද්ධතිය තුළ සිදු වන විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට ප්‍රායෝගිකව ළඟා කරගැනීමට වෙ‍ෙළඳපොළ සමීප කරගැනීමය. විශ්වවිද්‍යාලයේ දැනට පවතින නිශ්චිත ක්‍රමවේද තුළ නිෂ්පාදකයෙක් සොයා ගැනීම සඳහා විධි නියාම පවති. සමාගමට එහි නිෂ්පාදන අයිතිය පවරන්නේ සරසවිය වෙත කර්තෘ භාගයක් ලැබෙන ආකාරයටය. එමෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුළත එම නිෂ්පාදනවල නියැදි පරීක්ෂාවක් කරමින් නිෂ්පාදන ප්‍රමිතිය, අන්තර්ගත ද්‍රව්‍ය සහ ක්‍රියාශීලිත්වය පිළිබඳ පරීක්ෂා කරන්නේය. මින් පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ සිදුකළ නව නිපැයුම් සියල්ල වෙ‍ෙළඳපොළට යොමු වන්නේ මෙම ක්‍රමවේදය තුළය.

“ අපේ ඉලක්කය තමයි මේක ඇතුළෙ තව නිෂ්පාදන දෙකක් මේ අවුරුද්ද තුළ එළි දැක්වීම. විටමින් පෝෂණ අතිරේක නිෂ්පාදන හරහා අපට විදේශ වෙ‍ෙළඳපොළට යන්න පුලුවන්. එයටත් වඩා වැදගත් වෙන්නේ විදේශ විනිමය මේ වැනි නිෂ්පාදන සඳහා පිටරටට ඇදී යෑම නැවැතීමයි. පසුගිය කාලය තුළ අප හඳුන්වා දුන් නව නිෂ්පාදනවල සාර්කත්වය නිසා ඒ විදේශ විනිමය ගලා යෑම යම් ප්‍රමාණයකට නැවතී ඇති බව අත් විඳ තිබෙනවා. එය මේ වගේ අවස්ථාවක ඉතාම වැදගත්. අප උත්සාහ කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂ විද්වත් පර්යේෂකයන්ට මෙය කළ හැකියි යන පණිවුඩය ලබා දෙමින් ඔවුන් උත්තේජනය කිරීමයි.

අදටත් දියුණු රටවල සියලුම විශාල විශ්වවිද්‍යාල පවත්වා ගන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සහ පේටන්ට් අයිතිය මාර්කට් කරලා ගන්න මුදල්වලින්. යුරෝපය විතරක් නෙමෙයි… ඉන්දියාවත් එහෙම තමයි. දියුණු විශ්වවිද්‍යාලයක් ලෙස පවතින්න පුලුවන් එ් විදිහටයි.

ලංකාවේ මේ සංකල්පය ලොකුවට තිබුණේ නෑ. වර්ෂ 2015 දි යම් සංකල්පීය පිබිදීමක් සිදු වුණත් කිසිම විශ්වවිද්‍යාලයක ලොකුවට සාර්ථක වුණේ නෑ. කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 07කට කලින් බයෝ ක්ලීන් කියන නිෂ්පාදනය වෙළඳ පොළට දැම්මා. ඒක තමයි මුලින්ම ගොඩක් සාර්ථක වුණේ. ඊට පස්සේ අප හඳුන්වා දුන් අනෙකුත් නිෂ්පාදනවලටත් මේ වන විට මෙරට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළත් හොඳ ඉල්ලුමක් ලැබී තිබෙනවා. “

අපට එය කළ හැකි බව මේ විද්වත් වෘත්තික පර්ෂදය තහවුර කර ඇත. අනාගතය වෙනුවෙන් ඔවුන් සතු සැලසුම් අතර ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ විෂය ක්ෂේත්‍රයේ විද්වතුන් බිහි කිරීම ප්‍රමුඛ වේ.

“අණුක ජීව විද්‍යාව සහ සෛල විද්‍යාව සම්බන්ධ කරගෙන ජීව තාක්ෂණය සහ ජීව තොරතුරු විද්‍යාව සම්බන්ධ ඉහළින්ම පර්යේෂණ කරන අධ්‍යාපන ආයතනය තමයි මේ ආයතනය. අපේ ඉන්නේ විශේෂඥ විද්වතුන් 10 දෙනෙක් පමණ පිරිසක්. ඒ අය තමයි මේ ටික කරන්නේ. දැනට පශ්චාත් උපාධි පාඨමාලා තුනක් තිබෙනවා. එකක් අණුක ජීව විද්‍යාව ගැන. අනෙක ජෛව තොරතුරු තාක්ෂණය ගැන. තුන්වැන්න ප්‍රතිශක්තිකරණ විද්‍යාව. අපි ආචාර්ය උපාධි සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. ළඟදීම ජෛව තාක්ෂණය ගැන බාහිර උපාධියක් පටන් ගන්න සැලසුම් කර තිබෙනවා. ඉදිරියේදී වෛද්‍ය විද්‍යාත්මකව මේ පරිසරය තුළ බොහෝ පර්යේෂණ සහ නිපැයුම් සිදු වේවි. ” මහාචාර්ය සමීර ආර්. සමරකෝන් රට වෙනුවෙන් ඔහුගේ ශාස්ත්‍රීය සැලසුම කියන්නේය. ලොව පුරා විසිරී සිටින සිය සෙවනේ ගොඩනැඟුණු සිසුන්ගෙන් සැදුම් ලත් විද්වත් පර්ෂදයක ගෞරවය ලබන මේ තරුණ මහාචාර්යවරයා බිඳී ගිය ජාතියක් යළි ගොඩනන්වන ආකාරය සම්බන්ධව ස්වකීය වපසරිය තුළ සැලසුම් සකස් කරමින් ඇත. මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් ජීවිත ප්‍රමිතිය වැඩිකරන දේශීය නිෂ්පාදන ලෙස ඔහු ඇතුළු විද්වත් කණ්ඩායමේ පර්යේෂණ පල දරමින් ඇත. මේ මිනිස්සු ගෙනෙන බලාපොරොත්තු අපට කියා දෙන්නේ අප බංකොලොත් නැති බවය.

ඡායාරූප – වාසිත පටබැඳිගේ

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division