Home » පොරොව අතහැර පන්දුව අතට ගෙන ඔස්ට්‍රේලියාව දණ ගැස් වූ කොදෙව් රටේ දර කපන්නා

පොරොව අතහැර පන්දුව අතට ගෙන ඔස්ට්‍රේලියාව දණ ගැස් වූ කොදෙව් රටේ දර කපන්නා

by Mahesh Lakehouse
February 3, 2024 12:30 am 0 comment

හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට අසූව දශකය අග භාගය දක්වා ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ආධිපත්‍ය පතුරුවාලූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ‘ලොයිඩ් සහ යකඩයෝ රෑන‘ ගැන ඔබ අසා තිබේද ? එවකට පිත්තෙන් හෝ පන්දුවෙන් ක්ලයිව් ලොයිඩ්ගේ බළඈණිය අබිබවා යෑමට සමතකු කෙළිකාරයකු සිටියේම නැත.

ගෝර්ඩන් ග්‍රින්ජ්ලා, ඩෙස්මන්ඩ් හේන්ස්ලා, ඇල්වින් කලිචරන්ලා, විවියන් රිචඩ්ස්ලා වැනි කොදෙව් පිතිකරුවන් හමුවේ එංගලන්තයේ ඉයන් බොතම්ලා, ඔස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලීලා, පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ලා වැනි ලෝක පූජිත වේගපන්දු යවන්නන් අසරණ වෙද්දී, මැල්කම් මාෂල්, ජොයෙල් ගානර්, මයිකල් හෝල්ඩින්, ඇන්ඩි රොබට්ස්ලාගේ භයානක වේග පන්දු හමුවේ සුනිල් ගවස්කර්ලා, ග්ලෙන් ටර්නර්ලා, ඇලන් බෝඩර්ලා, ඩේවිඩ් ගවර්ලා මෙන්ම සහීර් අබ්බාස්ලාත් දණ ගැසූ වාර අනන්තය. තුවාල ලබා ගිලන් මැස්සෙන් පිටියෙන් ඉවත් වූ වාර ගණන නිමක් නැත. ශ්‍රී ලංකාවේ සුනිල් වෙත්තමුණිලාට සහ දුලිප් මෙන්ඩිස්ලාට ද මුහුණ දීමට සිදු වූයේ ඒ අකරතැබ්බටමය.

එවකට ක්‍රිකට් ලොව පෙරළි කළ නොම්මර එකේ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් පිලේ සාර්ථකත්වයට බලපෑ ලොකුම සාධකය වූයේ ඔවුන්ගේ වේග පන්දුව ය. ජැමෙයිකා දූපතෙන් කණ්ඩායමට එක් වූ මයිකල් හෝල්ඩින් ප්‍රචලිත වූයේ ‘මරණය කනට කොඳුරන්නා‘ ලෙසිනි. මැල්කම් මාෂල් ප්‍රචලිත වූයේ ‘කන ළඟින් අකුණු යවන්නා‘ ලෙසිනි. අනිත් වේගපන්දු යවන්නෝද එලෙසමය. ඔවුන්ගේ පන්දු හමුවේ එවකට නොබියව පිතිහරඹයේ නිරතවීමේ වාසනාව අත් වූයේ අතළොස්සකට පමණි.

එහෙත් පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ කොදෙව්වන්ගේ බල පරාක්‍රමය අහිමි වී තිබිණි. නම් දැරූ පිතිකරුවන්ගෙන් ද, ප්‍රතිවාදී පිතිකරුවන් භීතියට පත් කරවන සුලු වේගපන්දු යවන්නන් ද බිහි වූයේ කලාතුරකිනි. ලොව සියලු ටෙස්ට් කණ්ඩායම් කොදෙව් පිල අබිබවා ඉහළට ගිය අතර, කොදෙව්වෝ ටෙස්ට් පිටියේ බිංදුවටම ඇද වැටුණේය.

ඊයේ පෙරේදා ඔස්ට්‍රේලියාවේ ගැබා ක්‍රිඩාංගණයේදී කවුරුත් නොදන්නා කෝඩුකාර වේගපන්දු යවන්නකු ලෝක පූජිත ඔස්ට්‍රේලියානුවන් දණ ගැස්වූයේ ලෝක ටෙස්ට් පිටියේ බටහිර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් ලියා තබමිනි. ඔස්ට්‍රේලියානුවන් සිටියේ ලකුණු 216ක පහසු ඉලක්කයක් හඹා යමිනි. දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා සිටි බැවින් කොදෙව්වන් තළා පෙළා තවත් ටෙස්ට් තරඟමාලාවක් ජයගැනීමේ අරමුණින් ය. ඒ සඳහා දින දෙකක්ම ඉතිරිව තිබිණි.

ෂමාර් ජෝසෙෆ්….!

පළමු තරගයෙන් ටෙස්ට් වරම් ලැබූ මේ 24 හැවිරිදි කෝඩුකාරයාගේ නම එය විය. ඉනිමේ මැද හරියක් යනතුරුම, හරියටම මේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ රෑ කෑමට යද්දී ඔහු සිය 6 වැනි කඩුල්ලත් දවා ගෙන තිබිණි. එතෙක් ඔස්ට්‍රේලියානු පිතිකරුවන් තුට්ටුවකටවත් මායිම් නොකළ මේ දකුණත් වේගපන්දු යවන්නාට කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වේට් පන්දුව භාර කරද්දි ඔස්ට්‍රේලියානුවන්ගේ ඉනිම කඩුලු දෙකකට ලකුණු 92ක් වූ අතර, ජයග්‍රහණය ඔවුන්ට අත වනමින් සිටියේය. ෂමර්ගේ පන්දු යැවීම ගැන ඒ මොහොතේ පිටියේ රැඳී සිටි ස්ටීවන් ස්මිත්ට සහ කැමරොන් ග්‍රීන්ට වගේ වගක් තිබුණේම නැත. ඇරත් ඊට පෙර දිනයේ පිතිකරණයේ නිරතව සිටියදී මිචෙල් ස්ටාක්ගේ යෝකර් පන්දුවකට වම් පාදයේ මාපටැඟිල්ල තළාගෙනය. ඔහු පිටියෙන් ඉවත්ව ගියේ ද සගයන්ගේ කර පිටිනි.

එහෙත් සිදු වූයේ අනෙකකි. ගැබා ක්‍රීඩාංගණයට රැස් වූ සියලු ඔස්ට්‍රේලියානුවන්ගේ නළල් තල රැලි ගැන්වූ මේ දිරිය සම්පන්න පෙරළිකාරයා ඉතිරි කඩුලු 8න් 7ක්ම උදුරා ගත්තේ මුළු තරගයම උඩු යටිකුරු කරමිනි. ලකුණු 8කින් තරගය පරාජය වූ ඔස්ට්‍රේලියානුවන්ගේ ක්‍රීඩක විවේකාගාරය අමු සොහොනක් බවට පත් වෙද්දී කොදෙව්වන්ගේ ක්‍රීඩක විවේකාගාරය මඟුල් ගෙයක සිරිය ගත්තේය. ඔස්ට්‍රේලියානු පිලේ අවසන් පිතිකරුවාගේ ද ඔච්චමට ලක් වන පන්දු යවන්නකු ලෙස පිටියට ගිය ෂමාර් ජෝසෙෆ් යළි ක්‍රීඩාගාරයට පැමිණියේ ඔස්ට්‍රේලියානු භූමියේදී වසර 27කට පසු කොදෙව් නාමය ලියා තැබූ වීරයා බවට පත් වෙමිනි. ඔහුට ඒ සඳහා වැය වූයේ පන්දු 77ක් පමණි. ඒ පන්දු 77න් පළමු පන්දු කිහිපය හැරුණු විට සෙසු සියලු පන්දු පැයට කිලෝමීටර් 140කට වැඩි විය.

‘මම පිට්ටනියට එන්න නෙවෙයි හිටියේ. ටීම් ඩොක්ටර්ට ස්තූති කරන්න ඕනෑ. එයා මහා පුදුම ඩොක්ටර් කෙනෙක්. මට කිව්වේ හෝටලයේ ඉන්න එපා. අඩුම තරමින් කොල්ලන්ට චියර් කරන්නවත් ග්‍රවුන්ඩ් එකට එන්න කියලයි. මම ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ එයා මොනවදෝ මගේ මාපටැඟිල්ලට කළා. මොනව කළාද කියලා මම දන්නේ නෑ. ඒත් ග්‍රවුන්ඩ් එකට බැහැලා බෝල් කරලා ටීම් එක දිනවන්න මට ඒක හොඳටෝම ප්‍රමාණවත් වුණා.‘ තරගයෙන් පසු වාර්තාකරුවන් වට කරගත් ෂමාර් එසේ කීවේ සිනාසෙමිනි. සිය නායකයා වෙතින් පන්දුව අතට ගනිද්දී ඔහු කියා ඇත්තේ ‘මගේ ඇඟිල්ල යකාට ගියාවේ. අන්තිම කඩුල්ල දවාගන්නා තුරු මම පන්දු යවන්නම්‘ කියාය. නායකයා විශ්වාස කළේ ඒ කතාවය. මේ කෝඩුකාරයාගේ දිරිය සම්පන්නභාවය ගැන බ්‍රැත්වේට් පුදුමයට පත් විය. සැබැවින්ම ලෝක ක්‍රිකට් ප්‍රජාව පමණක් නොව කොදෙව් නායකයා ද ෂමාර් ගැන වැඩි දෙයක් දැන සිටියේ නැත. ඇරත් ඔහු මේ කෝඩුකාරයා මුලින්ම දැකගත්තේ ද, කතාබහ කළේ ද ඔස්ට්‍රේලියානු සංචාරයට කණ්ඩායම තේරුවාටත් පසුවය. බ්‍රැත්වේට් කියන්නේ මේ විශ්වාසය ඇති වූයේ පළමු මුණ ගැසීමේදී බවය.

දෙවැනි ටෙස්ට් තරගය වෙද්දී එය දෙගුණ තෙගුණ වී තිබුණේ ඔස්ට්‍රේලියාව ජයගත් ඇඩිලේඩ් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේ සිය මංගල ටෙස්ට් ඉනිමේදීම ඔහු කඩුලු 5ක් දවාලීම නිසාය. එය වූ කලී ටෙස්ට් ක්‍රීඩාවේ හොඳ ආරම්භයකි. එපමණක් නොව ඔහු සිය මංගල ටෙස්ට් පන්දුවෙන් කඩුල්ලක් දවාගැනීමට ද සමත් විය. එය සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල වීම කැපී පෙනුණි. ඊට පෙර කොදෙව් පළමු ඉනිමේදී ෂමාර් ලකුණු 36ක් ද රැස් කළේය. එය ඔහුගේ මංගල ටෙස්ට් පිතිකරණය ද විය.

‘මේ මැච් එකට කලින් ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ක්‍රීඩක රොඩ්නි හොග් කිව්වා අපි කිසිම බලාපොරොත්තුවක් නැති දුක්ඛිත කණ්ඩායමක් කියලා. ඉච්ඡාභංගත්වය සහ දුක්ඛිත… අන්න ඒ වචන දෙක තමයි අපිව මේ මැච් එකේ හොඳට කරන්න දිරි ගැන්වූයේ. ඉතිරි ටික මේ කොල්ලා කළා.‘ තරගයෙන් පසුව බ්‍රැත්වේට් එසේ කීවේය.

ඒ වෙද්දී බ්‍රයන් ලාරා ගැබා ක්‍රීඩාංගණයේ විස්තර විචාරක කුටියේ සිටියේ සතුටු කඳුළු වගුරමිනි. මීට වසර 27කට පෙර අවසන් වතාවට ඔස්ට්‍රේලියානු භූමියේ ටෙස්ට් තරගයක් ජයගත් කොදෙව් පිලේ ඔහු ද සාමාජිකයකු විය. එම කණ්ඩායමේ තවත් සාමාජිකයන් දෙදෙනකුව සිටි කාල් හූපර් සහ ඉයන් බිෂොප් ද ෂමාර්ගේ විස්මිත පෙරළිය ඇසින් දුටු සාක්ෂිකරුවෝ වූහ. දෙදෙනාම සිටියේ ලාරා මෙන්ම සතුටු කඳුළු වගුරුවමිනි.

සිය නායකයා සමඟ ෂමාර් ජෝසෙෆ් එදා තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එද්දී ලොව පුරා විස්සයි 20 ලීග් ක්‍රිකට් ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හිමිකරුවන්ගේ නියෝජිතයන් ඔහු හඹා ඒමට පටන් ගෙන තිබිණි.

‘මම මෙහේ ආවේ වෙස්ට් ඉන්ඩීස් වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නයි. මේ කතාව සජීවිව කියන්න මට කිසිම බයක් නෑ. කවදාහරි දවසක විස්සයි 20 මේ ලොකෙන් තුරන් වෙනවා. අන්න එදාට ඉතුරු වෙන්නේ ටෙස්ට් ක්‍රීඩාව විතරයි. අතට ලැබෙන ගාණ කීය වුණත් මම හැමදාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඉඳීවි.‘ මේ කෝඩුකාරයා එසේ කීවේ මුදලට ලොල් වී ටෙස්ට් ක්‍රීඩාව අතහැර ලොව පුරා විස්සයි 20 ෆ්‍රැන්චයිස් ක්‍රීඩාවට එක් වන සියලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට කදිම පාඩමක් කියා දෙමිනි. ලාරා සිටියේ මාධ්‍ය හමුව ඉවර වනතුරුය. අනතුරුව ඔහු බ්‍රැත්වේට් සහ ෂමාර්ගේ කරට අතදමා ගෙන ඔවුන්ගේ ක්‍රීඩක විවේකාගාරයට ගියේ ෂැම්පේන් බෝතල දෙකක් ද අතැතිවය. ‘අපි අවුරුදු 27ක්ම බලා හිටියා. දැන් ඉතින් සමරමු.‘ සිය මංගල ටෙස්ට් අවතීර්ණයේදීම තරගමාලාවේ වීරයා සහ තරගයේ වීරයා සම්මාන දෙකම දිනූ ෂමාර් ජෝසෙෆ් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රීඩාවේ නව යුගයක් ආරම්භ කළේ එලෙසිනි.

හරියටම එදා තරගය නිමා වූ ජනවාරි 25 වැනිදා මැදියම් රැය වන විට අන්තර්ජාලයේ ක්‍රිකට් පිටු සියල්ල කාර්ය බහුල වී තිබිණි. එය කලාතුරකින් දක්නට ලැබෙන්නකි. ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළ සියලු ලෝකවාසීන්ගේ අවධානයට ලක් වූ කොදෙව් පිලේ අලුත් වීරයා ගැනය. ඔහු ගැන තොරතුරු සොයන්නටය. බ්‍රිස්බේන් නුවර කොදෙව්වන් නවාතැන් ගෙන සිටි හෝටලය ජයග්‍රහණයේ උද්දාමයෙන් නැඟුණු ජයඝෝෂා, සතුටු සැමරුම් අලුයම වෙනතෙක් ඇදී යද්දී ඊට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි මුළු කැරීබියන් දූපත් සමූහයම සතුට සමරමින් සිටියේය.

එහෙත් සතුට එය වූවද, එහි පසුබිම් කතාව අතිශය දුක්බරය. විස්මිතය.

ෂමර් ජෝසෙෆ්..!

මේ දිරිය සම්පන්න වේගපන්දු යවන්නා එක් රැයකින් ලොව දිනුවද, ඊට වසරකට පෙර කොදෙව් දේශයේ පළමු පෙළ තරගවත් ක්‍රීඩා කර නොතිබිණි. මීට මාස 18ක පෙර ඔහු නිව් ඇම්ස්ටර්ඩෑම් නුවර පැය 12ක දීර්ඝ සේවා මුරයක නිරත වූ ආරක්ෂක නිලධාරියෙකි. ඊට මාස කිහිපයකට පෙර එම නුවරම ඉදිකිරීමේ වැඩ බිමක කම්කරුවෙකි. ඇරත් ඔහු ගැන කොදෙව් වැසියන් පවා දැන සිටියේ නැත. සැබැවින්ම ඔහු ජීවත්ව සිටියේ කාත් කවුරුවත් නොදන්නා කැරිබියන් දූපත් සමුහයේ ගයානා දූපතට අයිති බරකාරා නමැති කුඩා දූපතකය. එය හැම අතින්ම හුදෙකලා දූපතකි. හැම අතින්ම අන්ත දුප්පත් ජන කොටසක් ජීවත්වෙමින් සිටින භූමියකි. සියලු අවශ්‍යතා සඳහා යා යුතුව තිබුණේ ගයානා ප්‍රධාන දූපතේ නිව් ඇම්ස්ටර්ඩැම් නගරය වෙත ය. ඒ සඳහා කන්ජි ගංගාව ඔස්සේ කිලෝමීටර් 225ක දුරක් ගෙවමින් බෝට්ටුවකින් යා යුතුව තිබූ අතර, එය දින දෙකක් ගත වන ගමනකි. ෂමාර්ගේ ගම්මානයේ දිළිඳුභාවය කෙතරම්ද කියන්නේ නම් ගමටම තිබුණේ එකම එක සෞඛ්‍ය මධ්‍යස්ථානයකි. දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබුණේ එකම එක පාසලක් පමණි. එය ද ප්‍රාථමික පන්ති ඇතුළත් පාසලක් වූ අතර, ද්විතීය පාසල් අධ්‍යාපනයක් තිබුණේම නැත. ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වූයේ දශක දෙකකට පෙර වුවද ෂමාර්ගේ ගමට නම් අන්තර්ජාල පහසුකම් ලැබුණේ 2018 වසරේදිය.

ගැබා නුවරදී සිය විස්මිත වේග පන්දුවෙන් ලොව නොම්මර එකේ ක්‍රිකට් කණ්ඩායම දණ ගැස්වූ ෂමාර් බිහිවන්නේ එවැනි අන්ත දිළිඳු ගම්මානය ජීවිතය ගැට ගසා ගැනීමට අපමණ දුක් ගැහැට විඳිමින් සිටි පවුලකිනි. සොහොයුරන් 5ක් සහ සොහොයුරියන් 3ක් සහිත මේ විශාල පවුල ජීවත් කරවීමට ඔවුන්ගේ පියා කළ රැකියාව වූයේ දර කැපීම ය. පවුලේ බර කරට ගත් සිය පියාට උදව් කිරීමට සෙසු සොහොයුරන් සමඟ ෂමාර් ද දර කැපීමට කැලයට ගියේය. එය ඔහුගේ පළමු රැකියාව වූ අතර, මුදල් උපයා ගත්තේ ගස් කොටන් කැබැලි කර කන්ජි ගංගාව ඔස්සේ නිව් ඇම්ස්ටර්ඩෑම් නගරයට ගෙනගොස් අලෙවි කිරීමෙනි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ ලොකු සිහිනයක් නම් කුඩා වියේ සිටම ෂමාර්ගේ සිතෙහි කොනක තැන්පත් වී තිබිණි. එවකට කොදෙව් පිලේ හිටපු විශිෂ්ට වේගපන්දු යවන්නන් වූ කර්ට්නි වොල්ෂ් සහ කර්ට්ලි ඇම්බ්‍රොස්ට අතිශයින්ම ප්‍රිය කළ ෂමාර් කොදෙව් කණ්ඩායමේ තරග නැරඹූයේ ගමටම තිබූ එකම රූපවාහිනි යන්ත්‍රයෙනි. එය ද කළු සුදු රූපවාහිනියකි. ඔවුන් අනුකරණය කරමින් පන්දු යැවීම එවකට ඔහුගේ ලොකුම විනෝදාංශය වී තිබිණි. ටේප් පන්දුවක් පවා මිලදී ගැනීමට වත්කමක් නැති මේ ක්‍රීඩකයා පන්දු යැවීම පුරුදු වූයේ ප්ලාස්ටික් බෝතල උණු කර සාදා ගන්නා ලද ප්ලාස්ටික් පන්දුවලිනි. එහි බර අඩු නිසා පේර, පීච්, එම පළාතට ආවේණික විශාල දෙහි ගෙඩි භාවිත කරමින් මිතුරන් සමඟ සිය මිදුලේ ක්‍රීඩාවේ නිරත විය.

සිය පියා සමඟ එක්ව බරකානා වනාන්තරයේ ගස් කැපීමට ගිය ෂමාර් ගම හැරදා නිව් ඇම්ස්ටර්ඩෑම් නුවර රැකියාවක් සොයා ගැනීමට තීරණය කළේ ඔහුගේ ජීවිතය නූලෙන් බේරුණු මාරක සිදුවීමකින් පසුවය. එය සිදු වූයේ දිනක් වනාන්තරයේ දී ඔහුගේ හිස අසලින්ම යෝධ ගසක් කඩා වැටීම නිසාය. එය හිසට වැටුණේ නම් අද වනවිට ෂමාර් ජෝසෙෆ් නමැති ක්‍රිකට් ක්‍රීඩකයකු ගැන කිසිවකු දන්නේ නැත.

ෂමාර්ගේ ක්‍රිකට් සිහිනය සැබෑ වූයේ එවකට ගයානා දූපත් සමූහයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඩේමියන් වැන්ටූල් මුණ ගැසීමත් සමඟය. පසු කාලෙක ව්‍යාපාරිකයකු බවට පත්වූ වැන්ටූල් වරක් ක්‍රිකට් කණ්ඩායමක් කැටුව බරකාරා ගම්මානයට පැමිණි අතර, ෂමාර් මුණ ගැසුණේ ඒ මොහොතේදීය. ඔහුගේ උනන්දුව සහ ක්‍රිකට් හැකියාව වැන්ටූල්ගේ සිත්ගත් අතර, කෙදිනක හෝ ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට උදව් කරන බවට පොරොන්දු වී තිබිණි. නිව් ඇම්ස්ටර්ඩෑම් නුවර ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව කරමින් සිටියදී පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට ෂමාර්ට අතදුන්නේ ඔහු ය. ඒ වන විට නිව් ඇම්ස්ටර්ඩෑම් නුවරදී මුණ ගැසුණු ට්‍රිෂානා නමැති තරුණියක් සමඟ පෙමින් වෙළී සිටි අතර, ඇය ඔහුට සිඟිති පුත්‍රයකු ද තෑගි කර තිබිණි.

නිව් ඇම්සටර්ඩෑම් නුවරදී ෂමාර්ගේ ජීවිතය වෙනස් කළ සිදුවීම වූයේ ගයානා හි දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින් සිටි රොමාරියෝ ශෙෆර්ඩ් මුණ ගැසීමය. ඔහුට බටහිර ඉන්දීය දූපත් සමූහයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව උදා කර දෙනු ලැබුවේ ශෙෆර්ඩ් විසිනි. ගයානා ක්‍රීඩා සමාජයට ෂමාර් කැටුව ගියේ ඔහු ය.

පුහුණු සැසි කිහිපයකට පසු සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත් මේ දිරිය සම්පන්න වේගපන්දු යවන්නා ලැබූ පළමු අවස්ථාවෙන්ම උපරිම ඵල නෙළා ගත්තේ ලකුණු 13කට කඩුලු 5ක් දවාලමිනි. එය ඔහුට සිය ක්‍රිකට් වීරයා වූ කර්ට්ලි ඇම්බ්‍රොස් විසින් පවත්වාගෙන යනු ලබන වේගපන්දු යවන්නන්ගේ ඇකඩමියට බැඳීමේ අවස්ථාව ද උදා කර දුන්නේය.

ෂමාර්ගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ වූයේ එතැනින් ය. ජාතික කණ්ඩායමට සේන්දු වන විට හෙතෙම පළමු පෙළ තරග කට වඩා ක්‍රීඩා කර තිබුණේ ද නැත.

දරිද්‍රතාවයේ අනන්තයටම ගිය තරුණයකු ක්‍රීඩාවට හාත්පසින්ම වෙනස් සමාජ තලයේ පහළ මට්ටමක රැකියා ත්‍රිත්වයක නිරතව සිට ජාත්‍යන්තරය ජයගත් ක්‍රිකට් ක්‍රීඩකයකු වීම දක්වා පැමිණි ගමන් මඟ විස්මය දනවන සුලුය. බරකානා ගම්මානයෙන් බිහි වූ පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සිය දිළිඳු ගම්මානයේ වැසියන්ගේ මුහුණට සිනහ පොදක් එකතු කළ ඔහුගේ දුෂ්කර කැපවීම තවත් එවැනි ක්‍රීඩකයන් දහස් සංඛ්‍යාවකට අපූරු උත්තේජනයක් සපයන තාලයේ කතාවකි. ඔහු දැන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ සිය මුද්‍රාව තබා අවසන් ය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division