Home » නිසි වත්පිළිවෙත් සහිතව බෝධි පූජාවක් පවත්වන්නේ මෙහෙමයි

නිසි වත්පිළිවෙත් සහිතව බෝධි පූජාවක් පවත්වන්නේ මෙහෙමයි

by thanushika
February 3, 2024 12:33 am 0 comment

අප ශරීරයේ ඇතිවන නොයෙකුත් රෝගාබාධයන් මෙන්ම විපත් ඇතිවන කාලයන්හිදී ශරීරයෙන් පිටවන කිරණයන්ගේ ස්වභාවයද වෙනස් අයුරක් වර්ණයක් ගන්නවා ඇත. මෙය කර්ලියන් ඡායාරූප ක්‍රමය මඟින් ඉතා පැහැදිලිව දක්වා ඇති දෙයකි. විශේෂයෙන් අහිතකර කිරණයන් අප සිරුරේ ඇතිවීම මානසික ආතතිය වැඩිවීම වැනි දේ නිසා සිදුවේ. එම ආතතිය අඩු කරගෙන මෙම කිරණවල බලපෑමෙන් සහනයක් ලබා ගැනීමට බෝධි පූජාවන් මඟින් ඉමහත් පිටිවහලක් වේ. අපගේ මානසික ආතතියට පමණක් නොව ග්‍රහයන්ගේ බලපෑමද යහපත් අයුරකට සිදු කිරීමටද මෙම බෝධින් වහන්සේලාගේ සෙවණේ සිටින දෙවි දේවතාවුන් මෙන්ම මෙම බෝධි පත්‍රවල ඇති අහිතකර කිරණයන් අවශෝෂණය කරගනිමින් අප තම ශාරීරික මෙන්ම මානසික සුවයද ලබා දෙනවා ඇත.

අප දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව කරන අකුසල කර්මයන් අප හා සමඟ සංසාරයේ එක්ව ගමන් කරමින් අවස්ථාව ලද විගස අපගේ ග්‍රහචාරයන් දුර්වල වන අවස්ථාවලදී අපට ප්‍රති විපාකයන් ලබාදීමට ඉදිරිපත් වීම ලෝක ස්වභාවයයි. මෙය අප හට කේන්දරයේ අපල කාල වකවානු හෙවත් ග්‍රහචාර දුබල වී අපට ලැබෙමින් තිබුණු රැකවරණය ආරක්ෂාව මෙන්ම ලැබීමද යහපතද නොලැබී යන කාලය තුළදී වඩාත් ප්‍රබලව අත්විඳීමට සිදුවනවා ඇත.

මේ සියලු දේ සඳහා අපට ඉමහත් පිටිවහලක් ලබාගත හැකි පූජා විදි ක්‍රමයක් වශයෙන් බෝධි පූජා පැවැත්වීම සිදු කරලීම එතරම් අසීරු කටයුත්තක් නොවනු ඇත. ඒ නිසා එම බෝධි පූජාවන් ක්‍රමවත්ව සිදු කළ යුතු ආකාරය අප මැනවින් දැනගත යුතුමය. එසේ නියමිත අයුරින් පිරිසිදු සිතින් මෙම මාහැඟි පිළිවෙත මඟින් සහනයක් ලබා ගැනීමට හැකි බව අත්දැකීමෙන් පැවසිය හැකි වනවා ඇත.

අපගේ ජීවිතයේ ඒ ඒ කාල සීමාවන්හිදී අප හට මුහුණපෑමට සිදු විය හැකි අන්තරාවන්, උපද්‍රවයන් පිළිබඳව අපට දැකිය නොහැකි වන නමුත් අතීතයේ සිටම මේ පිළිබඳව මනා දැක්මක් විනිශ්චයක් දීමට අනාගතය දැකගන්නාවූ සෘෂිවරුන්ද, ඒ සෘෂිවරුන් විසින් දායාද කළ අපට අනාගතය ගැන විස්තර දැනගත හැකි ඒ විශිෂ්ට ශාස්ත්‍රය වන ජ්‍යොතිෂය මඟින්ද කල්තියා අප දැනුවත් විය හැකිය. ඒ හේතුව නිසාම පසුගිය ලිපි මඟින් ලග්න විස්තර සටහන් කරන අවස්ථාවේදී ජ්‍යොතිෂයෙන් තමාගේ කේන්දර සටහන පරීක්ෂා කරවා කළ යුතු වත්පිළිවෙත් ඒ ඒ කාල සීමාවන්වලදී කළ යුතු බව දක්වා ඇත.

ඒ අනුව ජන්ම පත්‍රය හෙවත් කේන්දරය දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා නිසි ලෙස අධ්‍යයනය කර ඒ ඒ කාලසීමාවන්වලදී කළ යුතු ශාන්තිකර්මයන් සිදු කරන අතරම මෙම බෝධි පූජාවන් නිසි අයුරින් සිදු කිරීමෙන් මාරක අපලයන්ගෙන් පවා ආරක්ෂා වීමට ඔබ සියලු දෙනාටම අවස්ථාව ඇති බව සිතට ගත යුතුය.

සත් වසක් දුෂ්කර ක්‍රියා සිදුකොට ඇසතු රුක මුලදී සිද්ධාර්ථ කුමාරයාණන් හට බුද්ධත්වය ලබා ගැනීමට එනම් බුද්ධ ඥානය ලබා ගැනීමට සෙවණ දී උපකාර කළ නිසා ඇසතු රුකට බෝධි යන නාමය ආරුඪ කළ බව සඳහන්ව ඇත. ඒ නිසා තුනුරුවන් කෙරෙහි නිසි අවබෝධතා ඥානයක් නොමැතිව කෙතරම් බෝධි පූජාවන් පැවැත්වුවද එමඟින් නිසි ප්‍රතිඵල ලබා ගැනීම අසීරු දෙයක් වනවා ඇත.

බෝධි පූජාවක් පැවැත්වීමේදී ප්‍රථමයෙන්ම තමන්ගේ ශරීරයෙන් මෙන්ම මනසින්ද පිරිසිදුවී සිටිය යුතුමය. ශරීරයේ පිරිසිදුතාවට එනම් ශරීරයෙන් පිට වන දුර්ගන්ධය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව නැති කරගත යුතුමය. අපට නොදැනුණාට අප මස්මාංශ විශේෂයෙන් පිළී සහිත මාළු අනුභව කිරීමෙන් පසු එය අපගේ රුධිරයට එක් වී දහඩිය සමඟ පිට වනවා ඇත. එම ගන්ධය හෙවත් කුයිලය අපට නොදැනුණාට එම බෝධින් වහන්සේ අසල වැඩ සිටින්නාවූ දෙවි දේවතාවුන් වහන්සේට මෙන්ම පින් ලබා ගැනීම සඳහා එවන් ස්ථානවලට රැස්වන ගන්ධබ්බ, ප්‍රේත, පිසාචාදීන් හට හොඳින්ම දැනෙන අතර අපට පිහිටක් ලැබිය හැකි යහපත් ආත්මයන් මෙම කුයිලය පිළිකෙව් කරන අතර අපට පිහිටක් ලබා දීමට පසුබට වනවා ඇත. අප කෙතරම් සුවඳ විලවුන් භාවිත කළද මෙම කුයිලය නැවැත්විය නොහැකි නිසා නිර්මාංශව මෙම ක්‍රියාව සිදු කිරීමට සිතට ගන්න.

බෝධි පූජාවක් පැවැත්වීමට තීරණය කළ විට ඔබ විසින් එය සිදු කළ යුතු දිනය, දිශාව හා කාලය ප්‍රථමයෙන් සකසා ගත යුතු වනවා ඇත. එනම් පුර දිනයක, රාහු කාලය මගහැර, මරු සිටින දිශාවට පිටුපා සිදු කිරීමටත් එය තමාගේ ග්‍රහ අපල සඳහාද නැතහොත් යහපතක් සඳහා පිහිට පැතීමටද යන්න නිෂ්චය ලෙස සිතේ ධාරණය කරගන්න.

මේ සඳහා පුෂ්පයන් තමන් විසින්ම නෙළාගෙන දෝවනය කර මල් වට්ටිය සකසා ගන්න. පහන් දැල්වීම සඳහා අලුත් පහන් වැටිද තිර සඳහා තමන් විසින්ම අඹරා ගන්නා ලද තිරද සූදානම් කර ගන්න. මෙම පහන් සඳහා දැල්වීමට තැඹිලි තෙල් හෝ හැකිනම් තමන් විසින්ම සාදා ගන්නා ලද පොල්තෙල්ද සූදානම් කර ගන්න. බෝධිය නැහැවීම සඳහා නැවුම් කළයක්ද එයට දැමීම සඳහා සුදු හඳුන් කුඩු ස්වල්පයක්ද පිච්චමල් කීපයක්ද සූදානම් කර ගන්න. එම ස්ථානයේ ඇති මුට්ටි හෝ කළ ඒ සඳහා භාවිත නොකරන්න. තමා ගෙනයන කළය නැවත රැගෙනවිත් වෙනන ම ආරක්ෂා කර නැවත ප්‍රයෝජනයට ගත හැකිය. කළයට දැමීම සඳහා ජලය සත් වරක් පෙරා ගන්නා ලෙසද දක්වා ඇති දෙයක් වනවා ඇත.

මේ සියලු දේ රැගෙන බෝධීන් වහන්සේ නමක් අබියසට ගොස් ප්‍රථමයෙන් මල් අසුන පිරිසිදු කරගන්න. ඉන්පසු බෝ මළුවද හොඳින් පිරිසිදුකර මල් අසුන කහ දියරයෙන් සෝදා පිරිසිදු කරගන්න. දැල්වීම සඳහා පහන් සූදානම් කරන විට එය තමාගේ උරහිස් මට්ටමට ඉහළින් සූදානම් කරගැනීමට හැකියාවක් ඇත්නම් ඉතාමත්ම යහපත් වනවා ඇත.

මල් ආසනය මත බුලත් කොළ අතුරා ඒ මත පහන් තැටි තැබීමටද අයහපත් නැත. එසේම බුලත් මත මල් අතුරා පහන් දල්වා සුවඳ හඳුන්කූරු දල්වා පෙරන ලද ජලය සහිත කළය රැගෙන දක්ෂිණාවෘතව බෝධීන් වහන්සේ වටා අවම වශයෙන් සත්වරක් ගමන් කරන්න. මෙසේ ගමන් කරන අතර තමාගේ ප්‍රාර්ථනයද අරමුණද සිහිපත් කරමින් සෑම වටයකදීම බුදුගුණ සිහිපත් කර ජයෝමුනින්දස්ස – සුබෝධි මූලේ ගාථාව සජ්ඣායනා කරමින් තමාගේ ඒ අරමුණ ඉතසිතින් ඉෂ්ට වේවායි ප්‍රාර්ථනය කරන්න.

ඉන්පසු මහා මංගල සුත්‍රය, අටවිසි පිරිත, කරණීයමෙත්ත සුත්‍රය සජ්ඣායනා කරන්න. මේ සිදුවීම් සිදුකරන විට තමා වටා ඇති අයහපත් බලවේගයන් තමාගෙන් ඇත්වී යනු ඇත. ඔබ වටා ඇති ඔබ වෙත එල්ලවී ඇති ග්‍රහයන්ගේ අශුභ කිරණ ශක්තීන් බෝපත් මඟින් අවශෝෂණය කරගන්නවා ඇත.

මෙම පුණ්‍යකර්ම සිදු කිරීමට යන විට සිතින් ගතින් පිරිසිදු වූවා සේම එයට සුදුසු ගැළපෙන සුදු පැහැති වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී යන්න. එයින්ද ඔබ ශරීරයට එල්ල වන අහිතකර කිරණයන් වෙනත් අතට හරවා යැවීමට බලයක් ඇති බව ද සඳහන් කළ යුතුය. තමන්ගේ අපල උපද්‍රව ග්‍රහ දෝෂ මෙන්ම සියලු කටයුතුවලටද පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනය කරමින් මෙම මාහැඟි පූජාව සිදුකර තමාවත් තම පවුලේ සියලු දෙනාමත් සියලු සත්ත්වයන් තමාද නිදුක් නීරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනය කර සියලු දෙවියන් තම පින් අනුමෝදන් කර යහපත ලබාගන්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division