Home » නිපුණතා අංක 1 හිමි තරුණයකුට අංක 3 හිමි පෙම්වතිය හොඳටම ගැළපෙනවා

නිපුණතා අංක 1 හිමි තරුණයකුට අංක 3 හිමි පෙම්වතිය හොඳටම ගැළපෙනවා

by thanushika
February 3, 2024 12:30 am 0 comment

මේ ලිපි පෙළින් ඔබව දැනුවත් කරන්නේ අංක විද්‍යානුකූලව ඔබගේ නිපුණතා අංකයට අනුව හොඳ සබඳතාවක් සඳහා වඩාත් ගැළපෙන සහකරුවා, සහකාරිය හෝ හවුල්කරුවා සම්බන්ධව හඳුනා ගන්නා ආකාරය පිළිබඳවය.

ඔබේ සහ ඔබ ගැළපීම බලන අයගේ නිපුණතා අංකය සොයාගන්නා ආකාරය නොදන්නා අයගේ දැනගැනීම සඳහා සැකෙවින් දක්වමි. මේ සඳහා ඔබගේ උපන් අවුරුද්ද, මාසය සහ දිනයට අදාළ සියලු අංක තනි අංකයක් වන ලෙස එකට එකතු කළ යුතුය. උදාහරණ ලෙස 1992-11-23 දින උපන් අයෙකුගේ නිපුණතා අංකය සොයමු. 1+9+9+2+1+1+2+3 = 28, 2+8 = 10, 1+0 = 1. මේ අනුව උදාහරණයෙන් පෙන්වන අයගේ නිපුණතා අංකය 1 වෙයි.

මේ ආකාරයට ඔබගේ සහ ඔබ ගැළපීම බලන අයගේද නිපුණතා අංක සකස් කරගන්න. ඔබගේ අංකයට එම අංක කෙතරම් දුරට ගැළපෙනවාද යන්න හඳුනා ගැනීමට පුළුවනි.

ඒ අනුව මෙවර ඒ ඒ අංකවලට නිපුණතා අංක 3 අයගේ ගැළපීම කෙසේද යන්න බලමු.

නිපුණතා අංක 3 අයට නිපුණතා අංක 1 වන අයගේ ගැළපීම

නිපුණතා අංක තුනෙන් උපන් අයෙකුට නිපුණතා අංක එක අයෙකුගේ ගැළපීම ඉතාමත් යහපත් සබඳතාවක් බව කිව හැකියි. අංක එක පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වීම වඩා යහපත් වෙයි. අංක එක පිරිමියාගේ සිත සතුටු වන ආකාරයේ ගති ස්වභාවයන් අංක තුන තුළ පවතී. අංක තුන ස්ත්‍රිය තුළ පවතින පිළිවෙළ සහ කළමනාකරණය අංක එකට වඩාත් ගැළපෙයි. මෙහිදී පිරිමියා මූලිකත්වය ගන්නා විට ස්ත්‍රියගේ සහයෝගය එයට මනාව ලැබේ. නමුත් මෙහිදී අංක තුන ස්ත්‍රිය තුළින් යම් ආකාරයක වියදම් කළමනාකරණය කර ගැනීමේ දුර්වලතා සහ අරපිරිමැස්මෙන් තොරව කටයුතු කිරීම් දැකිය හැකි අතර, පවුලේ සමගිය සාමය පවත්වාගෙන යාමට දෙදෙනාම යම් කැපකිරීමක් කිරීම අත්‍යවශ්‍ය වෙයි. අංක තුන ස්ත්‍රිය තුළ තිබෙන චිත්තාකර්ෂණීය බව සහ පෙලඹවීමත් අංක එක පිරිමියා තුළ තිබෙන තමන් ප්‍රමුඛ වීමේ ගතිය සහ ස්වාධීන ස්වයං පාලන ගතිය නිසා මේ අංක අතර හොඳ සංකලනයක් දැකිය හැකිය. අංක තුන පිරිමියා වී අංක එක ස්ත්‍රිය වීම ද මෙහිදී එතරම් ගැටලුවක් ඇති නොකරයි. සාමාන්‍යයෙන් හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමේ හැකියාව ඇත.

නිපුණතා අංක 3 අයට නිපුණතා අංක 2 වන අයගේ ගැළපීම

නිපුණතා අංක තුන සහ නිපුණතා අංක දෙක වන අය අතර ඇතිවන සබඳතාව සාමාන්‍ය සබඳතාවයකි. මෙහිදී අංක දෙක පිරිමියා වී අංක තුන ස්ත්‍රිය වෙනවාට වඩා මෙම අංක දෙක මාරු වී එනම් අංක තුන පිරිමියාත් අංක දෙක ස්ත්‍රියත් වීම වඩා හොඳ දීර්ඝකාලීන සබඳතාවක් පවත්වාගෙන යාමට ඉවහල් වෙයි. අංක දෙකෙන් උපන් පිරිමියා යහපත් කල්පනාකාරී කාරුණික ගති ඇති තමාට පැවරෙන ඕනෑම වැඩක් බාරගෙන කරන අවනතභාවයෙන් කටයුතු කරන සැකයෙන් හා අවිශ්වාසයෙන් යුතු මනසකින් යුක්ත ආත්ම විශ්වාසය අඩු පුද්ගලයෙක් වේ. අංක තුනෙන් උපන් ස්ත්‍රිය දක්ෂ හුරුබුහුටි ප්‍රායෝගික ගතිවලින් යුක්ත බොහොම ක්‍රියාශීලි තැනැත්තියක් වන අතර, හොඳ සහයෝගීතාවක් දක්වන්නියකි. මොවුන්ගේ එකතු වීම මුලින් ටික කාලයක් සාර්ථකව සබඳතාව ගෙන ගියද පසු කාලයේදී ස්ත්‍රියගේ සිත තුළ ස්වාමියා පිළිබඳ ඍණාත්මක ආකල්ප ගොඩනැඟේ. පිරිමියා ඉතා යටහත් පහත් බයාදු ගති ඇති පුද්ගලයෙක් ලෙස සිතමින් තමාට නොගැළපේ යැයි ඇය සිතයි. ඉන්පසු පිරිමියාගේ සිතේ ද ස්ත්‍රිය පිළිබඳ ඇති කරන්නේ ඇයට ඕන ආකාරයෙන් කටයුතු කරන ආඩම්බරකාරී තමාව ගණනකට නොගන්නා තමාට ගරු නොකරන තමන්ව ඉක්මවා කටයුතු කරන තැනැත්තියක් ලෙසත් ඇයට තමා එපා වී වෙනත් සබඳතාවක් ගොඩනඟා ගනී යැයි සැක පහළ කරයි. මෙහිදී දෙදෙනා අතර මත ගැටුම් ඇති කරන අතර විරසක වීම් හෝ විවාහය බිඳ වැටීම් දක්වා දුර දිග යා හැකියි. නමුත් පිරිමියා අංක තුන වී ස්ත්‍රිය අංක දෙක වීම තුළ මේ තත්ත්වය වෙනස් වෙයි.

නිපුණතා අංක 3 අයට නිපුණතා අංක 3 වන අයගේ ගැළපීම

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම හෝ හවුල්කරුවන් දෙදෙනාගේම නිපුණතා අංකය තුන වේ නම් එය බලාපොරොත්තු වන තරම් ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යාමට හැකියාව අඩු කරන අතර, සාමකාමී ස්ථාවර විවාහ ජීවිතයකට බාධා පමුණුවයි. නිපුණතා අංක තුන සෑම විටම ප්‍රමුඛතාව බලාපොරොත්තු වන අතර, යටහත් පහත් වීමට කැමති නැත. එමෙන්ම නිදහසේ සිටීමට කැමැත්තක් දක්වන අතර තනි තීරණ ගැනීම සහ හිතුවක්කාර මුරණ්ඩු ගති ස්වභාවයන් ඇති කරයි. මෙවැනි දෙදෙනකුගේ එකතු වීම තුළ එකිනෙකා පරයා යන ගති ස්වභාවයන් ඇති කරන අතර, අදහස්වල නොගැළපීම් හා ගැටීම් ඇති වෙයි. ඒ තුළ විවාහ ජීවිතයක සබඳතාව ඉදිරියට සාමකාමීව පවත්වාගෙන යෑමට ගැටලු ඇති කරයි. විශේෂයෙන් දෙදෙනාම තම අභිමතය පරිදි තමාගේ නිදහස බලාපොරොත්තු වන විට විවාහ ජීවිතයක ඒකායන පැවැත්මට එය බාධාවක් වෙයි. විශේෂයෙන් අංක තුන අන් අයට උපදෙස් දීමට කැමති අතර, අන් අයගේ උපදෙස් තමා පිළිගැනීමට කැමති නැත. මේ අනුව හවුල් සබඳතාවක පැවැත්මට හේතු වන නම්‍යශීලිභාවය බිඳ වැටෙන අතර වාද විවාද තර්ක විතර්ක ඇති වීමට එය හේතු වෙයි. මෙවැනි හේතු කාරණා නිසා නිපුණතා අංක තුනේ දෙදෙනෙකුගේ එකතු වීම දුර්වල සබඳතාවක් ලෙස සඳහන් කළ හැකිය. ඔබ යම් හෙයකින් දැනට මෙවැනි අංක තුන දෙදෙනෙකු විදිහට විවාහ වී සිටී නම් මෙම තත්ත්වය හොඳින් තේරුම්ගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම තුළ සාර්ථකත්වයක් ඇතිකර ගැනීමට හැකියාව තිබේ.

නිපුණතා අංක 3 අයට නිපුණතා අංක 4 වන අයගේ ගැළපීම

යම් අයෙකුගේ සම්බන්ධතාවකදී නිපුණතා අංක තුන සහ හතර වේ නම් එය සාමාන්‍ය මට්ටමේ සම්බන්ධතාවයකි. ගැටලු ප්‍රශ්න බාධා අවහිරතා මැද ඉදිරියට යාමට සිදු වෙයි. මෙම අංක තුනට සහ හතරට හිමි ලක්ෂණ එකිනෙකට තරමක් නොගැළපෙන ස්වභාවයක් ඇති කරයි. අංක තුනෙන් උපන් කෙනා කල්පනාකාරීව කටයුතු කරන දක්ෂ නිපුණතාවකින් යුක්ත සරල ගති පැවතුම්වලින් යුතු ඕනෑම දේකට නොබියව මුහුණ දෙන විශාල බලාපොරොත්තු නැති නිදහස්කාමී පුද්ගලයෙක් වෙයි. නිපුණතා අංක හතර පුද්ගලයා අභියෝග සහ අවදානම්වලට මුහුණ දීමට එතරම් කැමැත්තක් නොදක්වයි. ලෞකික දියුණුව පිළිබඳ වෙහෙසෙමින් කටයුතු කරයි. යම් ඒකාකාරී මට්ටමක ජීවිතය පවත්වාගෙන යන අතර, ඉක්මන් වෙනසකට කැමති නොවෙයි. එමෙන්ම මොවුන්ගේ සෑම දෙයක්ම ඉතා පිළිවෙළක් මෙන්ම ක්‍රමවත් විධිමත් බවක් දැකිය හැකිය. මේ ආකාරයට එකිනෙකට නොගැළපෙන අදහස් මත දරන බැවින් ඒවා ගළපා ගැනීමට දෙදෙනාටම මනා උත්සාහයක් සහ සංයමයක් තිබිය යුතුය. ස්ත්‍රී පුරුෂ දෙදෙනාට මේ අංක කුමන ආකාරයකින් යෙදුණද මේ තත්ත්වය මේ ආකාරයෙන් බලපායි. මෙහිදී බොහෝ විට අංක තුන පුද්ගලයා තුළින් අංක හතර පුද්ගලයා වැඩිපුර පීඩාවට පත්වන බවක් දැකිය හැකිය. කෙසේ වෙතත් අංක හතර පුද්ගලයා තම ස්ථාවරභාවය නොවෙනස්ව පවත්වාගෙන යෑමට සමත් වෙයි.

නිපුණතා අංක 3ට නිපුණතා අංක 5, 6, 7, 8, 9 අංකවල ගැළපීම ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division