Home » දක්ෂ ජ්‍යොතිෂවේදියකු බිහිකරන කේන්දරේ ප්‍රබල ග්‍රහ පිහිටීම්

දක්ෂ ජ්‍යොතිෂවේදියකු බිහිකරන කේන්දරේ ප්‍රබල ග්‍රහ පිහිටීම්

by thanushika
February 3, 2024 12:30 am 0 comment
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස

ඉසිවරෙහි පළ වන ජ්‍යොතිෂ ලිපි පිළිබඳ ඇතැමෙකු උනන්දුවක් දක්වන්නේ තම අනාගතය පිළිබඳව දැන ගැනීමට විය හැකිය. තවත් කෙනෙකු එම ලිපි පිළිබඳ උනන්දුවක් දක්වන්නේ ජ්‍යොතිෂ දැනුම පෝෂණය කරගැනීමට හෝ ජ්‍යොතිර්වේදියෙකු වීමට විය හැකිය. ඒ නිසා උප්පත්ති කේන්දර සටහනට අනුව දක්ෂ, ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදියෙකු වීමට ඉවහල් වන ග්‍රහ පිහිටීම් පිළිබඳව සාකච්ඡා කිරීමට මෙවර බලාපොරොත්තු වෙමි.

යම් උප්පත්ති කේන්දර සටහනක ඥාන යෝග ඇත්නම් එවැනි පුද්ගලයෙකුට දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වීමට පහසු වනු ඇත. තවද යම් උප්පත්ති කේන්දර සටහනක වෙනත් බලගතු යෝග ඇත්නම් එවැනි පුද්ගලයෙකුට ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදියෙකු වීමට වාසනාව ලැබෙනු ඇත. උදාහරණ ලෙස කිසියම් උප්පත්ති කේන්දර සටහනක ගුරු සහ බුධ යන ග්‍රහයන් එක්ව ඇත්නම් හෝ යම් උප්පත්ති කේන්දර සටහනක රවි සහ බුධ යන ග්‍රහයන් එක්ව ඇත්නම් හෝ යම් කේන්දර සටහනක ගුරු සහ කේතු යන ග්‍රහයන් එක්ව ඇත්නම් එවැනි අයෙකුට ද තම ඥානය භාවිත කරමින් දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු විය හැකිය. යම් අයෙකුගේ මෙම ග්‍රහ යෝග රවි, බුධ, කේතු යෝගයක් ලෙස හෝ රවි, බුධ, ගුරු, කේතු යෝගයක් ලෙස හෝ වුවද තිබිය හැකිය.

එමෙන්ම යම් උප්පත්ති කේන්දර සටහනක කේතු ග්‍රහයා වෙනත් ග්‍රහයන්ගෙන් තොරව ලග්න භාවය තුළ ඇත්නම් එවැනි අයෙකුට ද දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වීමට භාග්‍යය උදා වනු ඇත. එයට එක් හේතුවක් වන්නේ කේතු ග්‍රහයා ලග්න භාවය තුළ ඇත්නම් එවැනි අයෙකුට ස්වභාවධර්මයේ යම් රහස් දැනගෙන ඒවායෙන් පලප්‍රයෝජන ලබා ගැනීමට භාග්‍යය උදා වීමය. මීට අමතර ලෙස යම් උප්පත්ති කේන්දර සටහනක ශනි සහ බුධ යන ග්‍රහයන් එක්ව ඇත්නම් හෝ ශනි ග්‍රහයාට යාබදව බුධ ඇත්නම් හෝ බුධ ග්‍රහයාට යාබදව ශනි ඇත්නම් හෝ ශනි සහ බුධ සප්තමව ඇත්නම් හෝ ශනි සහ බුධ යන ග්‍රහයන් එකම දිසාවේ ඇත්නම් එවැනි අයෙකුට ද දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වීම සඳහා භාග්‍යය උදා වනු ඇත. සැබෑ ජ්‍යොතිර්වේදියෙකු උපදේශන කාර්යයෙහිද යෙදී සිටිය යුතුය. එමඟින් වඩාත් පලදායක සේවාවක්, සේවාදායකයා වෙත ලබා දීමට ඔහුට හැකි වනු ඇත. විශේෂයෙන් කිසියම් උප්පත්ති කේන්දර සටහනක ලග්න අධි යෝගය සම්පූර්ණයෙන් ඇත්නම් එවැනි කේන්දර හිමියෙකුට උපදේශනයෙහි දක්ෂතාව පිහිටනු ඇත. පූර්ණ ලග්න අධි යෝගය යනු කිසියම් උප්පත්ති කේන්දර සටහනක 6, 7, 8 යන භාවවල කුමන ආකාරයට හෝ ගුරු, බුධ සහ සිකුරු යන ග්‍රහයන් තැන්පත් වීමය. සිග්මන් ප්‍රොයිඩ් වැනි මනෝ විශේෂඥයන්ගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්දර සටහන්වල පවා මෙවැනි අධි යෝග සම්පූර්ණ ලෙස තිබී ඇති බව අප විසින් නිරීක්ෂණය කර ඇත.

දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගැනීම මඟින් වඩාත් පලදායක සේවාවක් තම සේවාදායකයන් වෙත ලබා දිය හැකි වනු ඇත. විශේෂයෙන් කිසියම් උප්පත්ති කේන්දර සටහනක චන්ද්‍ර, ශනි, ගුරු වැනි ග්‍රහයන් උච්චව හෝ ස්වක්ෂේත්‍රව පිහිටා තිබීම මඟින් එම කේන්දර හිමියාට ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට භාග්‍යය උදා වනු ඇත. මීට අමතර ලෙස කිසියම් උප්පත්ති කේන්දර සටහනක චන්ද්‍ර සහ රාහු යන ග්‍රහයන් එක්ව ඇත්නම් එවැනි පුද්ගලයෙකුට සාමාන්‍ය නිර්මාණශීලී සිතුවිලි ඇති වෙයි. එවැනි පුද්ගලයෙකුට ජ්‍යොතිර්වේදියෙකු ලෙස සාර්ථක විය හැකි බව අප විසින් අත්දැක ඇත.

එමෙන්ම කිසියම් උප්පත්ති කේන්දර සටහනක ගුප්ත භාවය වන 8 වන භාවය තුළ ගුරු ග්‍රහයා තැන්පත් වීමද ගුප්ත විද්‍යාවන් හැදෑරීමට දක්ෂතාව ඇති කරවන ග්‍රහ පිහිටීමකි. එනම් ගුරු 8 වැන්නෙහි තැන්පත් පුද්ගලයන්ට ජ්‍යොතිෂය ඉගෙනීම කෙරෙහි විශේෂ ලැදියාවක් ඇති වනු ඇත.

මීට අමතර ලෙස කිසියම් උප්පත්ති කේන්දර සටහනක චන්ද්‍ර – කේතු සංයෝගයක් ඇත්නම් එවැනි කේන්දර හිමියන්ට ද සියුම් කල්පනා ශක්තියක් ඇති අතර ඒ නිසාම ජ්‍යොතිෂය ඉගෙනීමේ විශේෂ දක්ෂතාවක් හට ගනු ඇත. එමෙන්ම යම් උප්පත්ති කේන්දර සටහනක ගුරු – කේතු සංයෝගයක් ඇතිනම් එවැනි පුද්ගලයන් ඥානවන්තයන් වන අතර ඔවුන්ට දාර්ශනික අදහස් ඇති වනු ඇත.

අප ඉදිරිපත් කර ඇති පිහිටීම් කිහිපයක් හෝ ඇත්නම් එවැනි පුද්ගලයෙකුට ජ්‍යොතිර්වේදියෙකු වීමට වාසනා ගුණය ඇති අතර යම් පුද්ගලයකුගේ කේන්දර සටහනක ඉහත කී සියලුම පිහිටීම් ඇතිනම් ඔහු හෝ ඇය ඉතා දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු බවට පත්වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division