Home » සිංහල සංගීතයට පෙම් බැඳී ඔස්ට්‍රේලියාවේ සොයුරන්

සිංහල සංගීතයට පෙම් බැඳී ඔස්ට්‍රේලියාවේ සොයුරන්

by thanushika
January 27, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකික සම්භවයකට හිමිකම් කියන මහීෂ ගමගේ සහ ධනූෂ ගමගේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින කලාවට හිතැති සොහොයුරන් දෙදෙනෙකි. ශාන්ත ගමගේ සහ ඉනෝකා ගමගේ යුවලගේ පුතුන් වන මොවුන් දෙදෙනාගෙන් වැඩිමලා මහීෂ වන අතර බාලයා ධනූෂය. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වන මහීෂ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ගායනයට ද දස්කම් දක්වන්නෙකි. බාලයා වන ධනූෂ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සඳහා ක්‍රීඩා කරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ගායනයට මෙන්ම වාදනයට ද දක්ෂ ධනූෂ තොරතුරු තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනු ලබයි. මෙවර කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් හා කළ කතාබහයි මේ.

පළමුව අප හා කතාබහට එක්වූ මහීෂ පසුගිය දා නිකුත්වුණු ‘මහදේ ඔබ නිදනා රැයේ‘ ගීතය පිළිබඳ පළ කළේ මෙවන් අදහසකි.

“මෙවර ලංකාවට ආපු වෙලාවෙ ආදිත්‍යා වැලිවත්ත එක්ක මං කරපු ‘මහදේ ඔබ නිදනා රැයේ“ මියුසික් වීඩියෝව නිකුත් කරන්න අවස්ථාව ලැබුණා. ආදිත්‍යා ලංකාවේ ජනප්‍රිය තරුවක් නිසා ඒක ප්‍රේක්ෂකයන් අතරට යාවි කියන බලාපොරොත්තුව තියෙනවා. මීට කලින් මම ගීත 15ක් විතර කරල තියෙනවා. යමුනා මාලනී පෙරේරා, බණ්ඩාර ඇහැළියගොඩ, රත්න ශ්‍රී විජේසිංහ, රඹුකන සිද්ධාර්ථ හිමි, සුනිල් සරත් පෙරේරා වගේ ප්‍රවීණයන්ගේ ගීත රචනා ඒ අතර තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ, දර්ශන රුවන් දිසානායක, තරුපති මුණසිංහ වගේ දක්ෂ සංගීතඥයන්ගේ ස්වර රටා මුසුවුණු ඒ ගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වුණා. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ සමඟ කළ ගීතය මගේ ගමනට ලොකු ශක්තියක් වුණා“

විදේශිකයන් දෙදෙනකු මෙන් දිස්වුණු ඔවුන් සිංහල භාෂාව හොඳින් හසුරවනු දුටු අප ද මවිතයට පත් විය.

“අපි දෙන්න ඉපදිලා තියෙන්නෙ සිංගප්පූරුවේ. මට අවුරුදු පහේදී වගේ තමයි ඔස්ට්‍රේලියාවට ගිහින් තියෙන්නෙ. අම්මයි තාත්තයි නිතරම ගෙදර කතා කළේ සිංහල. ඒ ආභාසය අපටත් ආවා. ඊට අමතරව සෙනසුරාදා උදේ සිංහල පාසලකට ගියා. ඉරිදා දහම් පාසල් ගියා. තාත්ත වාහනේ යද්දි සිංහල සින්දු දැම්මා. මුලදි තේරුම් ගන්න ටිකක් අමාරු වුණත් හැමදාම අහද්දි ඒක රසවත් වුණා. සිංහල ශාස්ත්‍රීය සංගීතයට වැඩිපුර කැමැත්තක් තියෙනවා. තරුපති මුණසිංහ සර්ගෙ සංගීත පන්තියට යොමු වෙලා ගායනය වගේම ගිටාර් වාදනයත් ඉගෙන ගත්තා. එහි පවත්වන ප්‍රසංගවලදී අපේ දක්ෂතා පෙන්වන්නත් අවස්ථාව ලැබුණා. 2017දී තමයි මම පළවැනි වතාවට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ‘දෙවැනි බුදුන් ලෙස‘ සින්දුව ගායනා කළේ. ඒ අතර ඔස්ට්‍රේලියාවට එන ලංකාවෙ ගායන ශිල්පීන්ට අත්වැල් ගායනය කළා. නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, අනුරාධා නන්දසිරි, දීපිකා ප්‍රියදර්ශනී වැනි ලංකාවේ ප්‍රවීණයන් එක්ක යුග ගායනාවලටත් අවස්ථාව ලැබුණා.“

සිංහල ශාස්ත්‍රීය සංගීතයට පෙම් බැඳි මහිෂ ප්‍රාන්ත අතර ගායන තරගයකින් ජනප්‍රියම තරුව වීම ගැනත් අප හා පැවසුවා.

“සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර පැවැත්වෙන ගායන තරගයේ ජයග්‍රාහකයන්ගේ අවසන් තරගය පවත්වන්නේ මෙල්බර්න්වල. උමාරියා සිංහවංශ, ඉන්ද්‍රචාපා ලියනගේ, කැලුම් ශ්‍රීමාල් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ විනිශ්චයෙන් හොඳම ගායකයා තෝරද්දි ජනප්‍රියම තරුව තේරෙන්නෙ ප්‍රේක්ෂක මනාපයෙන්. 2017 වසරේ ජනප්‍රියම තරුව වුණේ මම. ඒ වගේම ඔස්ට්‍රේලියාවෙ සෙරන්ඩිබ් අවෝඩ් හි Most young entertainer of the Year බවටත් පත් වුණා. 2018දී මමයි මල්ලියි මධුර ධ්වනි කියලා ප්‍රසංගයක් කළා. ඒකෙම දෙවැනි ප්‍රසංගය ගිය වසරේ කළේ මමයි, මල්ලියි, අපේ පුංචියි, සුනීර සුමංගයි.

ශ්‍රී ලංකාවේ ගායන ශිල්පීන්ගේ ප්‍රසංගවල අත්වැල් ගායනයට දායක වුණු මට ඊට පස්සෙ සෝලෝ වගේම යුග ගීත ගයන්නත් අවස්ථාව ලැබුණා. සුනිල් එදිරිසිංහ සර් ප්‍රසංගයකට ආපු වෙලාවක ඔහුගේ දෙවැනි බුදුන් ලෙස ගීතය ගායනා කරන්න මට ආරාධනා ලැබුණා. ඊට පස්සෙ තමයි සුනිල් සර් මගෙත් එක්ක ‘මට මගේ නෑසියන්‘ ගීතය කළේ. ඊට අමතරව තවත් ගීත කිහිපයක්ම මේ වෙද්දි නිකුත් කරල තියෙනවා. ඒ වගේම ඔබ සිහිනෙන් සහ සිත බැඳුණු ආදරේ කියන ගීත දෙක ඉදිරියේ දී නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.“

මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුවෙක් වන මහීෂට පසුගිය දා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇසුරේ දින තුනක පුහුණුවක් ලබන්නට ද අවස්ථාව ලැබිණි.

“ඔස්ට්‍රේලියාවල මොනෑෂ් විශ්වවිද්‍යාලයේ බයෝ මෙඩිසින් කරනව කියන්නෙ මෙඩිසින්වලට පාර්ත් එකක්. එහෙම නැත්නම් මෙඩිසින් යන්න ගොඩක් අමාරුයි. විශ්වවිද්‍යාලෙන් අයින් වුණාට පස්සෙ මං කැමැතියි ස්පෝට්ස් මෙඩිසින් කරන්න. එහෙම නැත්නම් ෆැමිලි මෙඩිසින්. මං මෙඩිසින් කරන්න පටන් ගත්ත කාලෙදිම Mind Step කියලා උසස් පෙළ ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දෙන සංවිධානයක් පටන් ගත්තා. ඒකෙ සාර්ථකත්වය දැක්ක ඔස්ට්‍රේලියානු කවුන්සිල් එක ඒක තවදුරටත් හොඳින් කරගෙන යන්න මුදල් ලබාදුන්නා.“

මොනෑෂ් විශ්වවිද්‍යාලයේම වාණිජ අංශයෙන් සහ තොරතුරු තාක්ෂණය පැත්තෙන් අධ්‍යාපනය ලබන ධනූෂ ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස අනාගත ඔස්ට්‍රේලියානූ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නෙකි.

“තාත්තා මැච් බලද්දි තමයි මටත් ක්‍රිකට්වලට ආසාව ඇති වුණේ. දැන් ප්‍රාන්ත අතර සීනියර් ලෙවල් එකේ අංක තුන පිතිකරුවා විදිහට සෙල්ලම් කරනවා. අයියා වගේම මමත් පොඩි කාලේ ඉඳන්ම ගායන වාදන අංශ දෙකෙන්ම සංගීතය හැදෑරුවා. මං වැඩිපුර කැමැති වාදනය පැත්තට. ආලෝකා ලියනගේ මිස්ගෙන් පියානෝ වාදනය හැදෑරුවා. කීබෝඩ් වාදනය පුහුණු වුණේ ක්‍රිෂ්ටි අමරනාත් සර්ගෙන්. මධුුර ධ්වනි ප්‍රසංගයේ වයලීන වාදනය කළේ මං. වෙස්ටර්න් පැත්තට තමයි වැඩිපුරම බර. අනාගතේදී හැම පැත්තම බැලන්ස් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.“

ලංකාවේ ජීවත් නොවුණත් ලංකාවට ගොඩක් ආදරය කරන බව පැවසූ මේ සොහොයුරන් අපෙන් සමුගෙන ගියේ ද නැවත හමුවන බලාපොරොත්තුවෙනි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division