Home » මම ගොඩක් ආදරේ හොයන කෙනෙක්

මම ගොඩක් ආදරේ හොයන කෙනෙක්

by thanushika
January 27, 2024 12:30 am 0 comment

සචින්තනි කෞශල්‍යා වර්තමානයේ කොයි කාගෙත් ආදරය දිනු දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. “කියා දෙන්න ආදරේ” තරම් නාට්‍යයේ දිගැසි ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය මේ වෙද්දී හිරු නාළිකාවේ විකාශය වන “සංසාරිනී” නාට්‍යයේ උපුලි තුළින්ද දැක ගන්න ලැබෙනවා. කලා ලොවේ මේ විදියට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් අතරට එන සචින්තනි කෞශල්‍යා කඩුවෙල උසාවියේ නීතිඥවරියක් විදියටත් වැඩ කරනවා. කලාව නීතිය වගේම ටියුෂන් ක්ෂේත්‍රය තුළත් ඇය ගෙවන්නේ කාර්යබහුල ජිවිතයක්.

මේ දවස්වල මොකද වෙන්නේ?

උසාවි යනවා. ඒක තමයි මගේ අලුත්ම ජොබ් එක. ඒ වගේම අමතර පන්ති කරගෙන යනවා. ඒ එක්කම මේ දිනවල විකාශය වන නාට්‍යය දෙකක රූපගත කිරීම් සිදු වෙනවා. තව අලුත් නිර්මාණයක් එන්නත් තියෙනවා.

කොහොමද උසාවි යන ජීවිතේ?

දිවුරුම් දුන්නට පස්සේ මේ අවුරුද්දේ තමයි වැඩ ටික පටන් ගත්තේ. මුලින්ම මම හිටියේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියන තැන. හැබැයි පුහුණුවීම්වල නිරත වුණු කාලේ හම්බුණු අත්දැකීම් එක්ක මම දැන් ආසාවෙන් උසාවි යනවා. වදයක් වෙන කිසිම රස්සාවක් කරන්න කැමති නැහැ. මම මේ රැකියාවත් හරි ආසාවෙන් කරන්නේ. මට මේ රැකියාව තුළින් විවිධ මිනිස්සු හම්බෙනවා. මගේ චරිතවලට ආදරේ කරන අය හම්බෙනවා.

නීතියේ විවිධ පැති තියෙනවනේ, සචින්තනි තෝරා ගෙන තියෙන්නේ මොන පැත්තද?

සිවිල් සහ අපරාධ කියන දෙඅංශයම කරගෙන යනවා. මගේ සර් සුජීව ගුණතිලක. සර් යටතේ මම වැඩ කරගෙන යන්නේ කඩුවෙල උසාවියේ. ගොඩක්ම මම ප්‍රැක්ටිස් කරන්නේ මහේස්ත්‍රාත් උසාවියේ. ඒ එක්කම දිසා අධිකරණයේත් වැඩ කරනවා.

කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ චරිත සමහර අවස්ථාවල වෙනස් වුණා, දිගැසිත් වෙනස් වෙයිද?

දිගැසි ගැන ගොඩක් අය අහනවා. ගොඩක් අය ඉවත් වෙනවා. එක එක චරිත අලුතෙන් එනවා. ඒකත් එක්ක මගෙනුත් ගොඩක් අය අහනවා දිගැසිත් වෙනස් වෙයිද කියන එක. නැහැ, මම ඉවත් වෙන්නේ නැහැ කියන තැන ඉන්නේ. එකක් මම ඒ චරිතයට හරි ආදරෙයි. ප්‍රේක්ෂකයින් ආදරේ කරන චරිතයක් විදියට මම ගියේ දිගැසි කියන චරිතය එක්ක. ඇත්තටම මට ඒ චරිතය දාලා යන්න තරම් හේතුවක් නැහැ. ඒ හින්දා මම චරිතය අතහරින්නේ නැහැ. ඒ චරිතය කවදා හරි ඉවර වුණොත් හැර. ඒ නිසා නාට්‍යයේ මගේ චරිතය තියෙනතාක් මම ඉන්නවා.

“සංසාරිනී” නාට්‍යයේ උපුලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දිගැසිව අහිංසකව දැකලා ඊට වඩා වෙනස් නපුරු චරිතයක් නිසා ගොඩක් අය මට පෞද්ගලිකව කතා කරලා කියනවා ඔයා අහිංසක චරිතයක් කරන්න කියන එක. ඒ වගේම ඔයාට මේ වගේ චරිත හරියන්නේ නැහැ කියන අය වගේම හොඳ කියන අයත් ඉන්නවා. ඒ නිසා හොඳ නරක දෙකටම ප්‍රතිචාර ලැබෙනවා.

කලාව, නීතිය සහ ටියුෂන් එක්ක කාර්යබහුල වෙලා ඉන්න සචින්තනි කොහොමද ජීවිතේ දකින්නේ

කාර්යබහුලත්වය කියන දේ මට තේරෙන කාලේ ඉඳන් මගේ ජීවිතේ තිබුණා. මට ඕනේ වුණේ කොහොම හරි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න. මේ වෙද්දී මම තවත් අලුත් දෙයක් ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ ගැන ඉදිරියට කියන්නම්. කලාව, නීතිය සහ ටියුෂන් එක්ක වෙලාව තියෙන වෙලාවට මම මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩත් කරගෙන යනවා. ජීවිතේ දකින විදිය ගැන කිව්වොත් අපි හැමෝම දිවිල්ලක් තමයි මේ දුවන්නේ. මම සාමාන්‍යය ගැහැනු ළමයෙක් විදියටම දුවනවා. පුළුවන් කාලේ මහන්සි වෙලා වැඩ නොකළොත් හාන්සිවෙලා ඉන්න ඕනේ කාලෙත් මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. ඒ නිසා පුළුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරනවා. ඉදිරියේදී විවාහ වුණු දවසක යම් යම් දේවල් අතහරින්නත් වෙයි. ඒ දේවල් සිද්ධ වෙනකම් ඉස්සරහට යාවි. එතකම් දුවනවා.

සචින්තනිට මේ අවුරුද්දේ මංගල සීනු හැඩවෙයිද?

ඔක්කොටම කලින් කෙනෙක් හොයන් ඉන්න එපැයි.

මොන වගේ කෙනෙක්ටද කැමති

මම හැමදාම හොයන්නේ මට ආදරේ කරන කෙනෙක්. මාව තේරුම් ගන්න පුළුවන්. මගේ වැඩවලට උදව් කරගෙන අවබෝධයෙන් ගමනක් යන්න පුළුවන් මට ආදරේ කරන කෙනෙක් මම හොයන්නේ. මම ගොඩක් ආදරේ හොයන කෙනෙක්. ඒ නිසා මට ආදරේ දීලා මා එක්ක ලස්සන ගමනක් යන්න පුළුවන් කෙනෙක් වුණොත් ඒ ඇති.

විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙන්න කිව්වොත් ඒ තීරණය ගන්නත් කැමති ද?

ඒක මෙහෙමයි. ඒ හම්බෙන කෙනා කිව්වත් නැතත් කාලයත් එක්ක සිද්ධ වෙයි. මම මගේ බලාපොරොත්තුව විදියට මම දැනට ඉන්නේ මම විවාහ වුණු කාලෙක යම් යම් ක්ෂේත්‍රවලට සමුදෙන්න. මම ෆැමිලි ලයිෆ් එක කියන දේට හරි ආස කෙනෙක්. ඒකත් එක්ක අධික කාර්යබහුලකම එක්ක ජීවිතේ ගත කරන්න බැරි වෙයි. ඒ දේවල් කාලයත් එක්ක බලමු.

රංගනයට සීමාවන් තියෙනවද?

මට එහෙම සීමාවන් දාගෙන කියලා මම කවදාවත් මගේ වෘත්තිමය ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ පටලවාගෙන නැහැ. මට දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙන නිර්මාණයට දායක වෙන්න ලැබුණොත් එතැනදී මම සීමාවන් දකින්නේ නැහැ. ඒ නිසා සීමා පනවාගෙන රාමුවකට කොටුවෙලා නැහැ. මම ආසයි විවිධ චරිත කරන්න. එතැනදී එන අභියෝග එක්ක චරිත කරන්න ආසයි.

මඟතොටේදී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ දැනෙන්නේ කොහොමද?

ඒක හරි සුන්දර අත්දැකීමක්. සමහර සිද්ධීන්වලට මුහුණ දීලා තියෙනවා. දිගැසිට වෙඩි වැදිලා ඉන්න කාලේ දී මම ඉන්නවා දැකලා ඔයා කොහොමද මෙහෙ ඉන්නේ, ඔයා ඉන්න ඕනේ හොස්පිටල් එකේ කියලා කියනවා. මෙයා වගේ කෙනෙක් ඉන්නවා රඟපාන කියලා සර් එක්ක ඇවිත් කියන අය ඉන්නවා. ඒ දේවල් හරිම සුන්දරයි. මට එපා නොවී උසාවියේ රස්සාව කරගෙන යන්නත් කලාව ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා.

ප්‍රේක්ෂක ආදරේට කියන්න දෙයක් ඇති

ගොඩක් ස්තුතියි සහ ගොඩක් ආදරෙයි. අද මම සචින්තනි විදියට මේ තරම් ආදරයක් ලබන්නේ ප්‍රේක්ෂකයන් නිසයි . කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ධනුෂ්ක රත්නායක, මහේෂ් රත්සරමද්දුමආරච්චි වසන්ත අමරසිංහ ඇතුළු සංසාරිනි නාට්‍යයේ හැමෝටම ස්තුතියි. අපි පවතින්නේ ප්‍රේක්ෂක ආදරේ නිසා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division