Home » මෙතෙක් මා ලැබූ ප්‍රතිලාභය සහ ගෞරවය මගේ ප්‍රේක්ෂකයෝ

මෙතෙක් මා ලැබූ ප්‍රතිලාභය සහ ගෞරවය මගේ ප්‍රේක්ෂකයෝ

by thanushika
January 27, 2024 12:30 am 0 comment

ඔහුගේ හඬ කවදත් එක වගේමය. ඔහු ගයන්නේ යෞවනයටයි. නමුදු ඔහු වෙනුවෙන් බැඳුන රසික පිරිසක් ඔහු වටා හිඳියි. ඒ රසික පිරිසට වයස් බේදයක් ගැහැනු පිරිමි භේදයක් නැත. ඒ තරමටම ඒ ගී හඬට කවුරුත් ප්‍රියය. කවුරුත් ප්‍රිය කරන මේ ගායන ශිල්පියා කීර්ති පැස්කුවල්ය. මනමාල හැන්දෑව – 3 ප්‍රසංගය මෙවරත් 28 වැනි ඉරිදා සවස නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් 16 දෙනෙකු සහභාගි වන සංගීතවේදී මහින්ද බණ්ඩාරයන් විසින් සංගීතය මෙහෙයවනු ලබන මනමාල හැන්දෑව ප්‍රසංගයේ චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා බණ්ඩාර, චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමඟ කිර්තිගේ දියණිය චාරුණි පැස්කුවල් ගීත ගායනයෙන් එක්වේ. මෙම ප්‍රසංගයට චන්න උපුලී කලායතනයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් නර්තනයෙන් දායක වේ. මෙහිදි ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් ගැයෙන අතර ප්‍රසංගයේ නිවේදන කටයුතු ප්‍රවීණ නිවේදක කැලුම් ශ්‍රිමාල් ගෙනි.

“මනමාල හැන්දෑව“ ප්‍රසංගය පවත්වනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකි සී.පී. ආර්. යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙනි. හැමදාම සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ගායන ශිල්පී කීර්ති තම ප්‍රසංගය පිළිබඳ අප හා පැවැසුවේ මෙලෙසිනි.

“මම 1988 වසරේ සිට සංගීත ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ඉන් පෙර සිටම ගායකයෙක් ලෙස කටයුතු කළ මට ත්‍රස්තවාදි අරගල සමයේ සංගීත ක්ෂේත්‍රයේ තිබුණ කඩා වැටීම දැක්කා. ඒ කාලයේ ප්‍රසංග පැවැත්වුණේ නැති තරම්. ඒ කාලයේ ජීවත් වෙන්න ක්‍රමයක් ඕන නිසා මම සංගීත විෂය උගන්වන්න පටන් ගත්තා. එහෙම ආව ගමනක් තමයි මට තියෙන්නේ.

සෑම වසරකදීම මම එ් පවත්වන ප්‍රසංගයෙන් ලැබෙන මුදලින් යම් සමාජ මෙහෙවරක් කරනවා. මෙවර මම තෝර ගත්තේ රෝහල්වලට හදිසි ප්‍රතිකාර කිරීමේ අංශයට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි සී. පී. ආර්. යන්ත්‍ර පරිත්‍යාග කිරීම. මෙදිනට එනම් ප්‍රසංගය පැවැත්වෙන දින එය සංඛේතාත්මක වශයෙන් කොළඹ ජාතික රෝහලට යන්ත්‍රයක් ලබාදෙනවා. ඒ හැරුණම කුරුණෑගල, අනුරාධපුර හා මහනුවර රෝහල් වලට ලබාදෙනවා. මම මීට පෙර තෝරගත් පාසල් දරුවන් සඳහා වයලීන 650ක් පරිත්‍යාග කළා. නමුත් මේ වයලීනවලින් තවත් වයලීන 350ක් වයස අවුරුදු දහයට අඩු දරුවන්ට පරිත්‍යාග කරනවා. මම එහෙම කරන්න තීරණය කළේ කුඩා දරුවන්ව සංගීතයට යොමු කිරීමේ අදහසින්.”

කීර්ති පවසන්නේ තමන් මෙතෙක් කළ සමාජ මෙහෙවරවල්වලින් බිඳක් පමණි.

“මගේ අම්මා තාත්තා බොහෝම පිනට දහමට ලැදි අය. මම කවදත් සමාජ සත්කාරයන්වලට දායක වූ කෙනෙක්. 2011 වසරේදි මට හෘදයාබාධයක් වැලඳුණා. ඒ අවස්ථාවේ මම මිය ගිහිල්ලා නැවත ඉපදුන කෙනෙක්. එතැනින් පස්සේ මම හිතා ගත්තා මට කරන්න පුළුවන් හොඳම දේ නැති බැරි අය වෙනුවෙන් අපේ සමාජයට යමක් කරනවා කියලා.

වරක් මම හිරගෙදර රැඳවියන්ට සංගීතය ඉගැන්නුවා. ඒ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා උදවු කළා. ඒ වගේම ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. කොතලාවල ආරක්ෂක රෝහලට කිමෝ තෙරපි යන්ත්‍රයක් ලබාදී තිබෙනවා.

කොහොම නමුත් මේ රෝහල්වලින් ප්‍රතිකාර ගත්ත රෝගීන් මට කතා කරනවා. ඒ වගේම වතුර නැති ගම්මාන වලට ළිං හදා ගන්න උදවු කරලා තියෙනවා. මේ ආදී වශයෙන් මං මට පුළුවන් විදිහට තවත් බොහෝ අයගේ උදව් උපකාර ඇතිව මේ සත්ක්‍රියාවන් කරනවා.”

බොහෝ සමාජ සත්කාරයන් හී නියැළෙන ඔහු දැන් අලුත් ගීත ගයන්නේ නැද්දැයි ඇසූ විට දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මට ජීවත් වීම සඳහා ප්‍රසංග තියෙනවා. මම අලුත් ගීත කරලා තියෙනවා. නවක ශිල්පීන්ගේ ගීතත් ගයලා තියෙනවා. දැන් මගේ දරුවෝ ලොකුයි. මම ගැයූ ගීත බොහෝම ජනප්‍රියයි. ප්‍රේක්ෂකයන්ගේ බොහෝම ආදරණීය ප්‍රතිචාර ලබන්න තරම් මම වාසනාවන්ත වී සිටිනවා. මෙතෙක් මා ලැබූ ප්‍රතිලාභය ගෞරවය දෙන්නේ මගෙ ප්‍රේක්ෂකයෝ. මම මේ සමාජයට හොඳ දේවල් කරලා තියෙනවා. ඒ ලැබෙන සතුට මට මිල මුදලින් මනින්න බැහැ.

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division