Home » ගැලපෙන කෙනෙක් හමු වුණොත් ආදරය ගලාගෙන යයි

ගැලපෙන කෙනෙක් හමු වුණොත් ආදරය ගලාගෙන යයි

by thanushika
January 27, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

නිකිණි කුසුම් මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් විකාශය වන තුෂාර තෙන්නකෝන්ගේ ටෙලි නිර්මාණයකි. යෞවනයට වැඩි ඉඩක් දෙන එහි සචින්තනී බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයකි. ඒ ඇගේ දිගු වරලස සහ දුඹුරු පැහැති ඇස්වල ඇති ආකර්ෂණීය බව නිසාය. නිකිණි කුසුම් ඇයගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමයි. ටෙලි නිර්මාණයට සචින්තනී වුවද ඇය නමින් රවීෂා රාජපක්ෂය. තම කුලුඳුල් රංගන අත්දැකීම ගැන ඇය මෙසේ අප හා අදහස් බෙදාගත්තාය.

සචින්තනී වින්සුකීට වඩා ටිකක් නපුරුයි වගේ නේද?

පොඩ්ඩක් විතර නපුරුයි. සචින්තනී කියන්නෙ වින්සුකීගෙ නංගි. අක්කා හරිම අහිංසකයි. ඒත් මට ඒ තරම්ම අහිංසක වෙන්න බැරි වුණාට ගොඩක් නපුරු වෙන්නත් බෑ. සැබෑ ජීවිතේදි මං නපුරු නෑ.

රවීෂා සචින්තනී වෙන්නෙ කොහොමද?

රංගන ශිල්පිනියන් අවශ්‍යයි කියල දාපු පෝස්ට් එකක් දැකලා මම විස්තරයි පින්තූරයි යැවුවා. ඊට පස්සෙ මට ස්ක්‍රීන් ටෙස්ට් එකට කතා කළා. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පස්සෙ අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් සර් තමයි මාව තෝරගෙන තිබුණේ. සිලෙක්ට් වුණා කිවුවම ලොකු සතුටක් දැනුණා. ගිය අවුරුද්දෙ මං ජාතික රූපවාහිනියෙ රූ කිරුළ තරගයටත් ඉදිරිපත් වෙලා අවසන් දොළොස් දෙනා අතරට ආවා. ඒත් කැමරාවක් ඉදිරියේ පළවෙනි රංගන අත්දැකීම ලැබු‍වෙ නිකිණි කුසුම් ටෙලි නිර්මාණයෙන්. පළවෙනිම දවසෙ ගොඩක් බය හිතුණා. එදාමයි මං රංගනය වෙනුවෙන් කැමරාවක් ඉදිරියේ හිටගත්තේ. මට මේක කරගන්න පුළුවන් වෙයිද කියන බය ඇති වුණා. ඒත් අධ්‍යක්ෂ තුෂාර සර් හැමදේම කියල දීල ලොකු සහායක් දුන්නා. කොහොමද කැමරාවක් ඉදිරියේ හැසිරෙන්නෙ, කොහොමද කැමරාවට ෆේස් කරන්නෙ කියන එක කියල දුන්නෙ තුෂාර සර්. ඒ වගේම නිකිණි කුසුම් කණ්ඩායමත් ලොකු සහයෝගයක් දුන්නා. එයාලගෙ උදවුවෙන් මම චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවා. ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක්. එයාලට ගොඩක්ම ස්තුතියි කියන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.

ක්ෂේත්‍රයට එද්දි රංගනය ගැන දැනුමක් තිබුණෙම නැද්ද?

පාසලේදි මං විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඒ වගේම පාසලේ කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා. ඒ ඇරුණු කොට වෙනම හැදෑරීමක් කරල නම් නැහැ. ඉදිරියේදී රංගනය ගැන හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කොහොමද මුල්ම රංගනයට ලැබෙන ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ක්ෂේත්‍රයට අලුත් නිසා ගොඩක් අය මාව දන්නෙ නෑ. කවුරු හරි කෙනෙක් මාව දන්නව නම් ඒ සචින්තනී නිසා. සචින්තනී නිසා ලැබුණු පළවෙනි ප්‍රතිචාරය මට තවමත් මතකයි. දවසක් මං ෂොපින් කරද්දි ආන්ටි කෙනෙක් ඇවිත් ‘ආහ් ඔයා සචින්තනී නේද දුව. මං නිකිණි කුසුම් නාට්‍ය හැමදාම බලනවා. එන්නකො අපි සෙල්ෆියක් ගමු’ කියල සෙල්ෆියක් ගැහුවා. ඒක තමයි පළමු වරට රංගනය නිසා මං වින්ද ප්‍රතිචාරය. ඒක මට හැමදාම මතක තියේවි. මේ වෙද්දි හොඳ කමෙන්ට් ලැබෙනවා.

ඔබ තාම ක්ෂේත්‍රයට අලුත්. පෞද්ගලික තොරතුරු ටිකකුත් කියමු?

මගේ ගම නිට්ටඹුව. මට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. පවුලේ එකම ළමයා මං. මගේ පාසල ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය. පොඩි කාලෙ පාසලේදි ක්‍රීඩාවලට සම්බන්ධ වුණා. උසස් පෙළ කරද්දි ශිෂ්‍ය නායිකාවක් විදිහටත් කටයුතු කළා. පාසලේදි නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට කළා.

රවීෂාට තියෙන්නෙ දිග කොණ්ඩයක්. කොහොමද රැක ගන්නේ?

මං කොණ්ඩය වවන්න පටන් ගත්තෙ ඉස්කෝලේ අට වසරෙ පන්තියෙ ඉඳන්. ඒ දවස්වල ලොකු ආසාවක් තිබුණෙත් නැහැ. ඒත් වවන්න ගත්තම කපන්න ලෝබ හිතුණා. ලොකු වෙහෙසක් ගන්න ඕන කොණ්ඩෙ හොඳින් රැකබලා ගන්න. කවුරුත් අහනව මොනවද පාවිච්චි කරන හෙයාර් ඔයිල් එක කියලා. මං කඩෙන් ගන්නෙ නෑ. ගෙදර හදාගන්න ඔයිල් එකක් තමයි පාවිච්චි කරන්නෙ. පොල් තෙල්, ගොටුකොළ, උළුහාල්, සැවැන්දරා වගේ හිසකෙස්වලට පෝෂ්‍යදායී දේශීය දේවල් එකතු කරගෙන අම්මයි මමයි හිසේ ගාන තෙල් එක හදනවා. කොණ්ඩෙ යයි කියන බයට මං වෙන කිසි දෙයක් පාවිච්චි කරන්නේ නෑ. ඉදිරියේදී ඒක ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දෙන්නත් අදහසක් තියෙනවා. මාව දකින ඕනම කෙනක් ඉස්සෙල්ලම කියන්නෙ ඔයාගෙ කොණ්ඩෙ ලස්සනයි කියලා. මට තියෙන්නෙ දුඹුරු ඇස් නිසා ඇස් දෙක ලස්සනයි කියන අයත් ඉන්නවා.

දිග කොණ්ඩෙයි දුඹුරු ඇසුයි නිසා රවීෂාට තරුණයන්ගෙන් බේරිල්ලක් නැතුව ඇති?

තරුණයන්ට මාව දකින්න විතරයි අවස්ථාව තියෙන්නෙ. මොකද හැම වෙලේම මගේ පස්සෙම අම්මා ඉන්නවා හෙවණැල්ල වගේ. ඒ නිසා පිරිමි ළමයින්ට අවස්ථාවක් ලැබෙන්නෙම නෑ.

රවීෂා දැන් ඔබ ආදරවන්තියක් ද කියල ඇහුවොත්?

මට තාම අවුරුදු 23යි. ආදරවන්තියක් නෙවෙයි. ආදරය හොඳයි ලස්සනයි. හොඳ විශ්වාසවන්ත, ගැළපෙන කෙනෙක් හමුවුණොත් ආදරය ඉදිරියට ගලාගෙන යාවි. එහෙම නොවුණොත් තමයි ප්‍රශ්නත් එක්ක අතරමඟ නවතින්නෙ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division