Home » කාලෙන් කාලෙට එක එක අයට ආදරය කරල තියෙනවා

කාලෙන් කාලෙට එක එක අයට ආදරය කරල තියෙනවා

by thanushika
January 27, 2024 12:30 am 0 comment

කට හඬත් භාවනාවක් වගේ කියනවා. ඕනෑම රාග තාලයකට රසට ගයන ඔහුගේ කටහඬත් භාවනාවක් වගේ කියලා බොහෝ දෙනෙක් කියනවා. වසර තුනක නිහැඬියාවකට පසුව ඔහු ආයෙමත් සංගීතයට අවතීර්ණ වෙලා. ඔහු විරාජ් පෙරේරා.

අවුරුදු තුනක නිහැඬියාවකට පස්සේ වැඩ අල්ලලා කියලා ආරංචියි ..?

අවුරුදු තුනක් නිහඬව නිදහසේ හිටියා. මම හිතනවා 2024 අවුරුද්ද මගේ ජීවිතේ කාර්‍යබහුල වන අවුරුද්දක් කියලා. මම සංගීත ප්‍රසංග එක්ක කාර්‍යබහුල වුණු කාල තිබුණා, ඒ කාලේ මම වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණ කරන එක නතර කළා. ඉතිං මියුසික් ප්‍රඩක්ෂන් වැඩත් දැන් ආයෙමත් කරනවා. සංගීතයට අලුතෙන් එකතු වෙන තාක්ෂණය එක්ක අලුත් නිර්මාණ වෙන අයට කරන්නත් මට ස්වයං නිර්මාණ කරන්නත් මේ කාලේ වෙහෙස ගන්නවා. ඒ වගේම පෙබරවාරි මාසේ මගේ අලුත් සංගීත කණ්ඩායමේ වැඩත් පටන් ගන්නවා. කොන්සට් කරන්නත්, අගේ ඇල්බම් එක එළිදක්වන්නත් ලෑස්ති වෙනවා.

විරාජ් පෙරේරාගේ අනන්‍යතාවය කොණ්ඩේ විලාසිතාව. කවුරු නිසාද කොණ්ඩෙ කැපුවේ..?

මම කොණ්ඩෙ කැපුවෙ කවුරුවත් නිසා නෙමෙයි. මම අවුරුදු තුනක් නිහඬව හිටියේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කරන්න. ඒ නිසා කොණ්ඩෙ කපන්න සිදු වුණා. ඇත්තටම මගේ අනන්‍යතාවක් තමයි කොණ්ඩේ. මුල ඉඳලා මාව දැක්කේ කොණ්ඩෙත් එක්ක. කොණ්ඩෙ කපලා සමහර රසිකයින් මාව අඳුරන්නෙත් නෑ. මම ෆේස්බුක් එකේ සංගීතය ගැන මොනවා හරි ලියද්දි සමහරු කමෙන්ට් කරලා තිබුණා සංගීතය ගැන නොදන්න කෙනෙක් කතා කරනවා කියලා. ඒ වගේම මට බැනපු අවස්ථා තියෙනවා. ඒත් මම පසුගියදා රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ගියා. ඊට පස්සේ මාව අඳුනගෙන ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාරවලින් තේරෙනවා මගේ හඬට මිසක් කොණ්ඩෙට හෝ බාහිර පෙනුමට නෙමෙයි ආදරේ කරන්නේ කියලා.

විරාජ්ගේ හඬින් බොහෝ දෙනා අහන්න ආස හින්දි ගීත..?

ඒක ඇත්ත. මට මතක නැහැ මම කොයි කාලෙද සින්දු කියන්න පටන් ගත්තේ කියලා. අම්මා තාත්තා මට කියලා තියෙනවා මම මුලින්ම සින්දුවක් කිවුවෙ අවුරුදු තුන හතරෙන් කියලා. ඒකත් හින්දි සින්දුවක්ලු.

මම හින්දි සින්දු කිවුවම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා මගේ ස්වයං නිර්මාණවලට වඩා. මම ආසත් හින්දි සින්දු කියන්න. ඉන්දියාව එක්ක මට මොකක්දෝ බැඳීමක් තියෙනවා. මට ෆීල් වෙන්නෙත් හින්දි ගීත. ඉදිරියේ දි මගේ ස්වයං හින්දි ගීත කිහිපයක් කරන්න ඉන්නවා. ඒ වගේම මම ඉන්දියාවේ ගිහිං ඉගෙන ගත්තා. බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ සංගීතය එක්ක වැඩ කරන්න

ලංකාවේ දක්ෂ කලාකරුවන් විරාජ්ගේ දක්ෂතාවලින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කිවුවොත්..?

සංගීතය තුළ මට කරන්න පුළුවන් දේ ගොඩක් තියෙනව. මගෙන් හරි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. එහෙම කියලා මම මගේ නිර්මාණ නොකර ඉන්නේ නැහැ. මට හැකි උපරිමයෙන් මම නිර්මාණ කරනවා. මම කවුරුත් මත්තේ යැපෙන්න කැමති නැහැ. හොඳ වැඩ කරන්න අවස්ථාව ලැබුණොත් සම්බන්ධ වෙනවා. එහෙම ආරාධනා නොලැබුණා කියලා දුකක් නැහැ.

සාර්ථකත්වයට හේතුව දෙවියෝ කියලා ඇතැම් අය විශ්වාස කරන යුගයක ඔබේ සාර්ථකත්වයට හේතුවක් වුණේ මවුපියන් කියලා ඔබ කියනවා..?

මම නොදැක්ක දෙවියෝ දැන් විශ්වාස කරන්නෙ නැහැ. එහෙම විශ්වාස කරපු කාල තිබ්බා. ඒත් මගේ අසනීපය එක්ක මම තේරුම් ගත්තා දෙවියෝ කියලා කෙනෙක් නැහැ කියලා. ඇත්තටම මගේ දෙවියෝ තමයි මගේ අම්මයි තාත්තායි. ගායකයෙක් වෙන හීනය පෙන්නුවෙත් ඒ මාර්ගයේ අරන් ගියෙත් එයාලා. මට අවුරුදු පහේදී සකුරා සංගීත කණ්ඩායම එක්ක කොන්සට් එකක් පවත්වලා මගේ අම්මා තාත්තා මම වෙනුවෙන්. ඒ කොන්සට් එක බලන්න ගොඩක් සෙනඟ ඇවිත්. එක කොන්සට් එකක් ඉවර කළත් එළියේ බලාගෙන හිටපු පිරිස වෙනුවෙන් හවසත් කොන්සට් එකක් පවත්වලා. ඒකට මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා කියලා අම්මා තාත්තා කිවුවා. එයාලා මම වෙනුවෙන් නොවින්ද දුකක් නැහැ. ඉතිං අද මම යම් තැනක ඉන්නෙ අම්මා තාත්තා නිසා. මට ලස්සන නංගි කෙනෙක් ඉන්නවා ඕෂිනී පෙරේරා. අයියා ශශික පෙරේරා. මට කට හඬ දුන්නේ දෙවියෝ නෙමෙයි. මගේ හඬ පෝෂණය වුණේ අම්මා තාත්තගේ හයියෙන් මිසක් දෙවියන් නිසා නෙමෙයි.

ප්‍රේමය හා පෙම්වතිය ගැන කිවුවොත් ..?

ආදරේ විඳලා විඳවලා අත්දැකීම් ලබාගෙන තියෙනවා. මට මුලින්ම ක්‍රෂ් එකක් ඇති වෙන්නෙ මොන්ටිසෝරි කාලේ. කාලෙන් කාලෙට ආදරේ කරලා තියෙනවා. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තීබිලා තියෙනවා. මම හැමදාම ආදරෙන් ඉන්න ආස කෙනෙක්. ඒත් දැන් පෙම්වතියක් නැහැ. හිටියොත් කියන්න පැකිළෙන්නෙත් නැහැ.

ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගත්ත පෙම්වතියෝ වැඩි ඇති..?

අවංකවම හැමෝම ආදරේ කරලා තියෙන්නේ මට නෙමෙයි මගෙ ජනප්‍රියත්වයට. මම අවංකව ආදරේ කළත් ඇතැම් පෙම්වතියන් විවිධ ලිපිවලට මගෙන් අත්සන් අරන් ප්‍රශ්න මතු කරපු අවස්ථා තියෙනවා, ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තියෙනවා, ඇතැම් සම්බන්ධතා මගේ වැරදි නිසා අතහැරුණා, සමහර ඒවා ඔවුන්ගේ වැරදි නිසා නැති වුණා. ඒ නිසා මම දැන් හරිම පරිස්සමින් ජීවත් වෙන්නේ.

ඒ කියන්නේ විරාජ් විවාහය ගැන හිතන්නේ නැහැ ..?

විවාහ වෙන්න ඕන. ඒත් මට ආදරේ කරන කෙනෙක් හොයා ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය එනවා. මොකද බොහෝ අය ජනප්‍රියත්වයට සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඉතිං බලමු මොකද වෙන්නෙ කියලා, කසාද නොබැඳ ඉන්නෙ නැහැ. ආදරණීය කෙනෙක් ලැබුණොත් මමත් ආදරේ කරයි අවංකවම. ඒ වගේම මම විවාහ වෙන කෙනා මගේ සංගීත ජීවිතේට බාධා නොකරන කෙනෙක් වෙන්න ඕන. සමහර බැඳීම් ජීවිතේට බාධාවක් වගේම තමන්ගේ වැඩකටයුතුවලටත් බාධාවක්. මගේ ක්‍රියේෂන්ස්වලට බාධාවක් කරගන්න මම කැමති නැහැ. මොකද සංගීතය මගේ ජීවිතේ නිසා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division