Home » IPL එකට එපා වූ චමරි ICCයෙන් ලෝකෙටම ලොක්කිය කරපු අන්දම

IPL එකට එපා වූ චමරි ICCයෙන් ලෝකෙටම ලොක්කිය කරපු අන්දම

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම සම්මානය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.යේ) සම්මාන පෙළ ය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන අයි.සී.සී.ය වාර්ෂිකව සෑම මුහුණුවරකින්ම කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම ලොව හොඳම ක්‍රිකට් කණ්ඩායම් පමණක් නොව, ඒ සියලු මුහුණුවරින් ගෙවී ගිය වසරේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද තෝරා ගනී. එවැනි තේරීමකට ලක්වීම ලෙහෙසි පහසු නැත. ඇරත් ලෝක ක්‍රිකට් පිටියේදී පිත්තෙන් හෝ පන්දුවෙන් වසරක කාලයක් පුරා දස්කම් පවත්වාගෙන යෑමත් ඉතා දුෂ්කර ය. එබැවින් ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත සෑම රටකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයි.සී.සී.ය තෝරා ගනු ලබන වසරේ හොඳම කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබීමත් ලොකු ජයග්‍රහණයකි. අයි.සී.සී.යේ වසරේ හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්වීම ඊටත් වඩා විශාල ජයග්‍රහණයකි.

චමරි අතපත්තු අත්කර ගත්තේ එවැනි විරල ජයග්‍රහණ පෙළකි. දශකයකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ‘ජාත්‍යන්තර ලකුණ‘ බවට පත්ව සිටින මේ 33 හැවිරිදි වමත් ආරම්භක පිතිකාරිනිය අයි.සී.සී.ය විසින් පසුගියදා තෝරා ගනු ලැබූ වසරේ හොඳම කාන්තා එක්දින කණ්ඩායමට සහ වසරේ හොඳම කාන්තා විස්සයි20 කණ්ඩායමට ඇතුළත් වූවා පමණක් නොව මේ කණ්ඩායම් ද්විත්වයේම නායිකාව ලෙසත් නම් කරනු ලැබුවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් තවත් රටවල් රැසක්ම ආධිපත්‍ය පතුරුවාලමින් සිටියදීය. එපමණක් නොව ඉන් නොනැවතී ඇය අයි.සී.සී.යේ වසරේ හොඳම කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවගේ සම්මානයටත් පාත්‍ර වූයේ ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක්ම දෙවැනි තැනට ඇද දමමිනි. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවක් අයි.සී.සී.යේ වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන්නේ ඇගේ වාර්තා ගොන්නට තවත් වාර්තාවක් එක් කරලමිනි.

එවැනි කීර්තියක් සහ ගෞරවයක් අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පවා සිටින්නේ අතලොස්සකි. ඇරත් එකම වසරක අයි.සී.සී.යේ වසරේ හොඳම එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයටත් පත් වෙමින් වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ ක්‍රීඩකයන් නම් ඇත්තේම නැත. එතෙක් මෙතෙක් අයි.සී.සී.යේ වැඩිම සම්මාන ප්‍රමාණයකට පාත්‍ර වූ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර ය. චමරි මෙන්ම වමතින් පිත්ත හසුරුවන සංගක්කාර 2011 වසරේදී අයි.සී.සී.යේ වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ එවැනි කීර්තියක් අත්කරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. ඔහු 2013 වසරේදිත් එම සම්මානයට පාත්‍ර වූ අතර, ඔහු එම සම්මානය දිනාගත් පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද විය. එදායින් පසු චමරි ඊයේ පෙරේදා අයි.සී.සී.යේ වසරේ එක්දින ක්‍රීඩිකාවගේ සම්මානය දිනාගන්නා තුරු කිසිදු ශ්‍රී ලාංකිකයකු එම සම්මානයට අතවත් තබා නැත.

කුමාර් සංගක්කාර 2012 වසරේදී අයි.සී.සී වසරේ ක්‍රීඩකයා සහ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මාන ද්විත්වයම දිනා ගත්තේය. අයි.සී.සී.යේ වසරේ ක්‍රීඩකයා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවට හිමි වූ පළමු හා එකම අවස්ථාව ද එය විය. ඒ අතින් චමරි දෙවැනි වන්නේ සංගක්කාරට පමණි. ඒ හැර අයි.සී.සී.යේ ඕනෑම මුහුණුවරකින් වසරේ ක්‍රීඩකයා බවට පත්වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ අජන්ත මෙන්ඩිස් පමණි. ඔහු 2008 දී අයි.සී.සී වසරේ විස්සයි20 ක්‍රීඩකයා සම්මානයට පාත්‍ර විය. චමරිට මෙවර වසරේ එක්දින ක්‍රීඩිකාව සම්මානයට අමතරව වසරේ ක්‍රීඩිකාව සම්මානය ගිලිහී ගියේ නූලෙනි. අවසන් මොහොතේ දී එම සම්මානයට පාත්‍ර වූ එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩිකා නැට් ෂිවර්ට චමරිගෙන් ලොකු අභියෝගයක් එල්ල වූ බව අයි.සී.සී.ය සම්මාන සඳහා ක්‍රීඩිකාවන් නම් කිරීමේ නිවේදනයේ සඳහන් කර තිබිණි.

අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී නමින් 1990 පෙබරවාරියේ 9 වැනිදා කුරුණෑගල, ගොකරැල්ලේ උපන් මේ සටන්කාමී ක්‍රීඩිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී දැන් දශකයකට වැඩිය. එහෙත් අදටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඇගේ දස්කම් මතය. එබැවින් ඇය උපන්නේම ක්‍රිකට් ක්‍රීඩාවට බවට වෙනත් නිදසුන් අවශ්‍යම නැත.

චමරි ක්‍රිකට් පිත්ත අතට ගන්නේ අවුරුදු හතරේදීය. එවකට කොළඹින් පිට පළාත්වල ගැහැනු ළමුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම ඉතා විරල බැවින් කුඩා වියේ ඇය ක්‍රීඩා කළේ කොලු ගැටව් එක්කය. ඇයම වතාවක් හෙළි කළ පරිදි පිත්ත අතට ගත්තාට පසු ඇය පැය දෙකකටවත් දවා ගැනීමට ගමේ කොලු කුරුට්ටන්ට ඉඩ ලැබෙන්නේම නැත. ඒ නිසාම ඔවුන් ඇයට පිති හරඹයට අවස්ථාව දී ඇත්තේ අවසානයටය. ඇගේ ක්‍රිකට් ක්‍රීඩාව උපතින්ම දායාද වූ එකක් බවට එය හොඳටෝම ප්‍රමාණවත්ය.

සිය ක්‍රිකට් දිවිය මුවහත් කර ගැනීමට සහ ඉදිරියට රැගෙන යෑමට පන්නරය ලැබී ඇත්තේ ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ පිති හරඹය බව ද ඇය කියන්නීය.

‘සනත් අයියා මගේ ලයිෆ් ටයිම් ක්‍රිකට් හීරෝ. එයා බැට් කරද්දී ඊළඟ පන්දුවට මොකක්ද කරන්න යන්නේ කියලා පන්දු යවන්නාට විතරක් නෙවෙයි පන්දු රකින්නන්ටත් හිතාගන්න බෑ.‘ චමරි කියයි. වමත් පිතිකාරිනියක වූවද චමරිට උපතින්ම හුරු දකුණතය. ඇය කියන්නේ වමතින් පිත්ත හසුරුවීමට පටන් ගත්තේ සනත් ජයසූරිය නිසාවෙන් බවය.

‘ඒත් අවුරුදු 21ක් යනකල් මට සනත් අයියා හැබැහින් දකින්න ලැබුණේ නෑ. ඒක සිද්ධ වුණේ මගේ 21 වැනි උපන්දිනයදා.‘ ඇය වරක් එසේ ප්‍රකාශ කර තිබිණි.

චමරිගේ පිත්තෙන් විශාල ලකුණු ප්‍රමාණයක් එක්රැස් වන තරගවලින් ශ්‍රී ලංකා පිල පරාජය වන්නේ කලාතුරකිනි. ඇය දස්කම් නොදක්වන තරගයකින් ශ්‍රී ලංකා පිල ජයගන්නේ ද කලාතුරකිනි. ඊට හොඳම නිදසුන වන්නේ පසුගිය වසරේ ගාල්ලේදී නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ලැබූ වාර්තාගත ජයග්‍රහණය ය. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එක්දින තරගාවලියකින් නවසීලන්තය පරාජයට පත් කළ එම තරගාවලියේ ශ්‍රී ලංකාව ජයගත් තරග ද්විත්වයේදීම ඇය ශතක රැස් කළාය. එම තරගාවලියේ පළමු තරගයේදී පන්දු 83කින් නොදැවී ලකුණු 108ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට කඩුලු 9ක ජයක් ගෙන දුන් චමරි තුන්වැනි තරගයේදී පන්දු 80කින් නොදැවී ලකුණු 140ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් අත්කර දුන්නාය. මේ ඉනිම අතරතුර ඇගේ ශතකය වාර්තා වූයේ පන්දු 60කිනි. එය කාන්තා එක්දින පිටියේ ශ්‍රී ලාංකික පිතිකාරිනියක රැස්කළ වේගවත්ම ශතකය වූ අතර, ලොව සිව්වැනි වේගවත්ම එක්දින ශතකය ලෙසත් වාර්තා පොතට එක් විය. පසුගිය වසරේ මැද භාගයේදී අයි.සී.සී කාන්තා එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමුවතාවට පෙරමුණ ගැනීමට ඇයට ඉවහල් වූයේ ද එම දස්කම්ය. එය ශ්‍රී ලාංකික පිතිකාරිනියක අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පත් වූ පළමු අවස්ථාව ද විය.

2023 වසරේ මුල් භාගයේදි බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය තරග 1-0කින් ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ චමරිගේ පිතිහරඹය මතිනි. එම තරගාවලියේ පී.සරා ඕවල් පිටියේ පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතරමඟ දී නවතා දැමූ අතර, එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි. අනතුරුව එස්.එස්. සී පිටියේ පැවැති වර්ෂාව හේතුවෙන් එක් පිලකට ඕවර 30කට සීමා වූ තුන්වැනි තරගයේදී පන්දු 60කදී ලකුණු 64ක් රැස් කරමින් ඇය ශ්‍රී ලංකාවට ජයගෙන දුන්නාය. පසුගිය වසරේදී පිතිකාරිනියක ලෙස ලෝක එක්දින පිටියේ තරග 8කදී ලකුණු 415ක් රැස් කිරීමට සමත් වූ ඇය ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස දැක්වූ විශිෂ්ට දස්කම් කැපී පෙනිණි. ඇය වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙසත්, ලෝක කාන්තා එක්දින කණ්ඩායමේ නායිකාව ලෙසත් අයි.සී.සී.ය නම් කරනු ලැබුවේ මේ සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසුවය. ඒ අනුව චමරි අතපත්තු ගෙවී ගිය වසරේ ලෝක කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ හොඳම ක්‍රීඩිකාව සහ හොඳම නායිකාව බවට නිතැතින්ම පත් වූවාය.

මේ වන විට ජාත්‍යන්තර කාන්තා එක්දින පිටියේ තරග 98කට ක්‍රීඩා කර ඇති චමරි රැස් කළ ලකුණු සංඛ්‍යාව 3,255කි. ඊට ශතකම 8කි. අර්ධ ශතක 15කි. වසර 2011 අයර්ලන්තයට එරෙහිව ඇය සිය මංගල එක්දින ශතකය රැස් කරද්දී 21 හැවිරිදි වියෙහි පසු වූ අතර, එදා සිට අද දක්වා තවත් එක්දින ශතක 7ක්ම රැස් කළාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය පළමු එක්දින ශතකය රැස් කළ පිතිකාරිනිය බවට පත් වූ අතර, අවුරුදු 12ක් ගත වූවද, මෙතෙක් අන් කිසිදු පිතිකාරිනියකට එක්දින ශතකයක් රැස් කිරීමට නොහැකි වීම ඇගේ විශිෂ්ට පිතිහරඹයට කදිම නිදසුනකි. එක්දින පිටියේ ශතකයක් රැස් කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙස ඇය අදටත් එම වාර්තාවට හිමිකම් කියමින් සිටී.

එක්දින පිටියේ පමණක් නොව ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 තරග බිමේ ද චමරි අභිභවා යෑමට තවම කිසිදු පිතිකාරිනියකට බැරිය. මේ දක්වා විස්සයි 20 තරග 112කට ක්‍රීඩා කර ඇති චමරි එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 2,651කි. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 8කි. එපමණක් නොව විස්සයි20 තරග බිමේ ශතකයක් රැස් කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය ද චමරි ය. පන්දු 66කින් ලකුණු 113ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇය මේ දස්කම පෑවේ 2019 සැප්තැම්බරයේ සිඩ්නි නුවරදීය. ඔස්ට්‍රේලියාව කවදත් ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණඩායම වන අතර, චමරිට ඒ ගැන වගේ වගක් නැත. ඇය කවදත් දත්ත වාර්තා හෝ ඉතිහාස වාර්තා පසුපස හඹා යන ක්‍රීඩිකාවක් නොවන අතර, කවදත් විශ්වාස කරන්නේ තරගයක් ජයගන්නේ එදින හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායම බවටය. එය ඇගේ ක්‍රිකට් දිවියේ උදාන වැකියක් බවට පත් වී ඇත්තේ නිතැතින්මය. එසේ වුවද ඇය අතින් බිහි වූ වාර්තා ගොන්න අසීමිතය.

සිය ක්‍රිකට් ජීවිතය වෙනස් කළ පෙරළිකාර ඉනිම ලෙස ඇය විශ්වාස කරන ඇගේ විශිෂ්ටතම එක්දින ඉනිම ද ඇය ක්‍රීඩා කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිවය. එය සිදු වූයේ 2017 ජූනි මාසයේ එංගලන්තයේ පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුරදීය. ඒ වන විට එක්දින ශතක 2කට හිමිකම් කියමින් සිටි චමරි එදා බ්‍රිස්ටල් නුවරදී මුළු කාන්තා එක්දින ක්‍රිකට් පිටියම උඩු යටිකුරු කරමින් පන්දු 143කින් නොදැවී ලකුණු 178ක් රැස් කළාය.

‘ඒ ඉනිම තමයි මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කළේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළේ.‘ කතාව ඇත්ත ය. ඒ වනතුරු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් හඳුන්වනු ලැබුවේ වැඩි අභියෝගයක් එල්ල නොකරන කණ්ඩායමක් හැටියටය. එහෙත් එදා චමරිගේ ඉනිම නොම්මර එකේ කණ්ඩායමට පමණක් නොව සෙසු ප්‍රබල කණ්ඩායම්වලටත් ශ්‍රී ලංකා පිල ගැන වැඩිපුර අවධානය යොමු කිරීමට හේතුවක් බවට පත් විය.

එතෙක් කාලයක් කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් එක් නොවූ ලොව පුරා කාන්තා ‘ෆ්‍රැන්චයිස්‘ විස්සයි 20 තරග බිමට චමරිට දොරටු විවර කරදීමට ද සමත් වූයේ එම ඉනිම ය. ලෝක කාන්තා ෆ්‍රැන්චයිස් තරග බිමට එක් වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඇය ඔස්ට්‍රේලියාවේ කාන්තා බිග්බෑෂ් තරග බිමට එක්වූයේ ඊළඟ වසරේදීය. අනතුරුව දිගටම ඇයට එම අවස්ථාව ලැබුණු අතර, පසුව එංගලන්තයේ කියා සුපර් ලීග්, බටහිර ඉන්දීය කොදෙව්හි කැරිබියන් ෆ්‍රැන්චයිස් තරග බිමට ද ඇය එක් වූවාය. එසේ වුවද පසුගිය වසරේදී ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියට චමරිට අවස්ථාවක් ලැබුණේ නැත. පසුගිය වසරේදි ජාත්‍යන්තර එක්දින හා විස්සයි 20 තරග බිමේ ලොව කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත් වූවද, මේ වසරට නියමිත දෙවැනි තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසියට ඇගේ නම ඇතුළත් වුවද කිසිදු කණ්ඩායමක් ඇය නොගැනීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාගෙත් විමතියට කරුණක් විය.

එය ඉන්දියාවේ ක්‍රීඩිකාවන්ගේ ද දැඩි විවේචනයට ලක් වූ කාරණාවක් බවට ද පත් විය. ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ හිටපු නායිකා අන්ජුම් චොප්රා මේ පිළිබඳ ප්‍රසිද්ධියේම විවේචනය කළාය. ඇය කීවේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අයි.පී.එල් වෙන්දේසියේ අලෙවි නොවීම ඇගේ විමතියට කරුණක් වූ බවය. ඒ වන විටත් ලොව ප්‍රබලතම කාන්තා ෆ්‍රැන්චයිස් තරගාවලිය වන බිග්බෑෂ් තරග බිමේ අත්දැකීම් ලබා සිටි මේ ප්‍රවේගකාරී පිතිකාරිනිය ඇයට කළ අසාධාරණයක් බව ද කියා සිටියාය.

එහෙත් පසුගිය වසරේ දෙසැම්බරයේ පැවැති බිග්බෑෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙමින් චමරි ඊට කදිම පිළිතුරක් දුන්නාය. ඊළඟට නවසීලන්තයේ පළමු ෆ්‍රැන්චයිස් තරගාවලිය වන සුපර් ස්මෑෂ් කාන්තා තරග බිමට ද එක්වී පෙන්නුම් කළ දස්කම් ඊට තවත් පිළිතුරකි. ඒ සියල්ලටම වඩා අයි.සී.සී.යේ වසරේ හොඳම එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකත්වයට පත් වෙමින් ද, අයිසීසී වසරේ එක්දින ක්‍රීඩිකාව බවට පත් වෙමින් ද ඇය අයිපීඑල් කාන්තා ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හිමිකරුවන් බිංදුවටම ඇද දැමුවාය. විශේෂත්වය වන්නේ ඇගේ නායකත්වය යටතේ අයි.සී.සී.ය නම් කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක ඇතුළත් නොවීමය. අයි.සී.සී.ය නම් කළ වසරේ විස්සයි20 කාන්තා කණ්ඩායමට ඉන්දියාවෙන් ඇතුළත් වූයේ ද පන්දු යවන ක්‍රීඩිකා දීප්ති ෂර්මා පමණි.

චමරි කියන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් යනු හුදෙක් මුදල් උපයා ගැනීමේ තරගාවලි නොවන බවය. ඉන් නව තාක්ෂණය සහ හැකියාවන් අවබෝධ කරගැනීමට මං විවර වීමක් බවය.

‘විවිධ සංස්කෘතීන්වලට අයිති දේවල් බෙදා හදා ගන්න හොඳ අවස්ථාවක්. මම ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගෙන් ඉල්ලන්නේ දකුණු ආසියාතික ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් මුවහත් කරගන්න වැඩි වැඩියෙන් ඒවාට අවස්ථාව දෙන්න කියලයි. බිග්බෑෂ් කියන්නේ හොඳම ෆ්‍රැන්චයිස් තරගාවලියක්. ඒ තරගාවලියෙන් සෑහෙන ඉහළ මට්ටමේ අත්දැකීම් ලබා ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම කවීෂා දිල්හාරි, විශ්මි ගුණරත්න හා හර්සිතා මාධවී වගේ අපේ විශිෂ්ට ක්‍රීඩිකාවන්ටත් ඒ අවස්ථාව ලැබිය යුතුයි.‘ චමරි එසේ සඳහන් කරයි.

චමරි අතපත්තුට ක්‍රීඩිකාවක් ලෙස පමණක් නොව නායිකාවක් ලෙසත් වඩාත් හොඳින් දස්කම් පෑමට ෆ්‍රැන්චයිස් තරගාවලි කදිම පිටුවහලක වී ඇත. එමෙන්ම සෙසු කණඩායම්වල විශිෂ්ට ක්‍රීඩිකාවන් සමඟ එකම විවේකාගාරය බෙදා හදා ගැනීමෙන් සිය විශ්වාසනීයත්වය ඉහළ දමාගැනීමටත් ඇයට ලැබී ඇත්තේ කදිම අවස්ථාවකි. ඇය අයි.සී.සී.යේ ගෞරවයට සහ ඇගැයීමට ලක් වන්නේ මේ සියලු සාධක සමඟිනි.

මේ වන විට ඇය ජාත්‍යන්තර කාන්තා එක්දින පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනත්, විස්සයි20 පිතිකාරිනියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි තැනත් පසුවන අතර, එක්දින තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර 13 වැනි තැනට සහ විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර 8 වැනි තැනටත් පත්ව සිටින්නීය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division