Home » කොළඹ පාරවල්වල සෙල්ලම් දැම්මොත් දඩ කොළේ දැන් ගෙදරටම

කොළඹ පාරවල්වල සෙල්ලම් දැම්මොත් දඩ කොළේ දැන් ගෙදරටම

by Mahesh Lakehouse
January 27, 2024 12:30 am 0 comment

– දඩ කොළ දෙන්නේ පෙබරවාරි 1 වැනිදා සිට
– කැමති නම් දඩ පත්‍රිකාව ගන්නත් පුළුවන් නැත්නම් උසාවි එන්නත් පුළුවන්

හ මඟ සිදු වන රිය අනතුරු හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් තුන් දහසක් පමණ මියයන බවත් වසරක් පාසා මේ සංඛ්‍යාව ඉහළ යන බවත් ඉකුත් වසර අග භාගයේදී කොළඹදී පැවති ජාත්‍යන්තර මාර්ග ආරක්ෂාව පිළිබඳ සමුළුවේදී හෙළි වී තිබිණ. රිය අනතුරු හේතුවෙන් 2023 වසරේ පමණක් ළමා මරණ 115ක් සිදුව ඇති බවත්, එම සමුළුවේදී අනාවරණය විය. අනතුරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැති වීමත් දියුණු තාක්ෂණය සහ උපකරණ නොමැති වීමත් අනතුරු වළක්වා ගැනීමට බාධා පවතින බව ද එම සමුළුවේ විශේෂ අවධානයට යොමු වී තිබිණ.

අනතුරු රැසකට හේතු වන්නේ මාර්ග නීති කඩ කරමින් අවිනීත සහ අපරීක්ෂාකාරී අන්දමින් රිය පදවන රියැදුරන්ගේ හැසිරීම බව කවුරුත් දන්නා කරුණකි. එසේ නම් එවැනි රියැදුරන් නිරීක්ෂණය කර නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එකී කාලීන අවශ්‍යතාව අවබෝධ කරගත් ශ්‍රී ලංකා පොලිසිය ඒ වෙනුවෙන් ඉකුත් ජනවාරි 22 වැනිදා සිට නව ක්‍රමවේදයක් ආරම්භ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන සී.සී.ටී.වී පද්ධතියක් තුළින් කොළඹ නගරය තුළ සිදු කරන මාර්ග නීති උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය වේ. නිරීක්ෂණයෙන් පමණක් නොනැවතී අදාළ වරද සිදු කළ වාහනයේ ලියාපදිංචි හිමිකරුවාගේ නිවෙසටම කඩිනමින් දඩ පත්‍රිකාවක් යවා අදාළ නීතිමට කටයුතු සඳහා අවකාශ සැලසීම මෙම ක්‍රමවේදයේ ඇති විශේෂත්වයයි. පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් සී.සී.ටී.වී පද්ධතිය යොදා ගනිමින් සිදු කරන රථ වාහන වැරදි නිරීක්ෂණයේදී මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමඟ ඍජු සබඳතාවක් ඇතිව කටයුතු කරන අතර නිරීක්ෂණය කරන වාහනවල නීත්‍යනුකූල ලියාපදිංචි හිමිකරුවා ඇතුළු තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ පොලිස් සී.සී.ටී.වී කොට්ඨාසය වෙත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

ඒ අනුව කොළඹ නගරයෙන් බැහැර ප්‍රදේශයක ලියාපදිංචි රථයක් මඟින් සිදු කරන රථවාහන වරදක් පිළිබඳ පවා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා එහි හිමිකරු දැනුම්වත් කිරීමට පොලිසියට හැකියාව ඇත. ඒ තුළින් වඩාත් මහජන මිත්‍රශීලි සේවාවක් ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුණ බව මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අදහස් දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් පැවසීය. මෙම ක්‍රමවේදය මඟින් ශ්‍රී ලංකා රථවාහන පොලිසියේ සේවය තවදුරටත් කාර්යක්ෂම වනු ඇති බවට මෙම සංකල්පය ඉදිරිපත් කළ වැඩබලන පොලිස්පති ෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද විශ්වාසය පළ කරයි.

යුරෝපය ඇතුළු ලොව දියුණු රටවල් රාශියක පොලිස් රථවාහන කොට්ඨාසය විසින් මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය මඟින් රථවාහන නිරීක්ෂණය කිරීම ආරම්භ කරන ලද්දේ මීට වසර විසි ගණනකට පෙර සිටය. ශ්‍රී ලංකාවට ද එය අලුත් අත්දැකීමක් නොවන්නේ හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බාලසූරියගේ නිල කාලය තුළදී එනම්, 2010 වසරේ දෙසැම්බර් 29 වැනිදා කොළඹ නගරයේ සමීප රූප ආවේක්ෂණ කැමරා පද්ධතියේ ආරම්භය සනිටුහන් වූ නිසාය. කොළඹ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හය වැනි මහලේ එදා එලෙස පොලිස් සී.සී. ටී.වි කොට්ඨාසය ස්ථාපිත වූයේ කොළඹ නගරයේ ජීවත් වන ජනතාව හා දේපළ එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ මූලික පරමාර්ථය ඇතිවය. ඊට හේතුව ඒ වන විට ත්‍රස්තවාදය මුළුමනින් උපුටා දමා තිබුණද පුනරුත්ථාපනය නොවූ ත්‍රස්තවාදින් හා වෙනත් කොටස් සමාජය තුළ රැඳී සිටි නිසාත් ඔවුන් යම් අවස්ථාවක ක්‍රියාත්මක වීමේ අවදානමක් පැවතීමය. ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධිවල සවිකර ඇති කැමරා 105කින් අඛණ්ඩ වීඩියෝ දත්ත සම්ප්‍රේෂණය වන එල්සීඩී තිර 28කින් පාලක මැදිරියකින් පොලිස් සී.සී.ටී.වි කොට්ඨාසය සමන්විත විය. ඒ අනුව රථවාහන වැරදි කරන රියැදුරන් සී.සී.ටී.වී මඟින් නිරීක්ෂණය කර පොලිස් නිලධාරීන් ලවා එම රියැදුරාට තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබා දී ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු විය.

වසර 2010 මෙම සී.සී.ටී.වී පද්ධතිය ආරම්භ කළ දින සිට ඉකුත් 2023 දෙසැම්බර් 31 වැනිදා දක්වා එසේ මාර්ග නීති කඩකළ රියැදුරන්ට එරෙහිව ලබා ගත් රිය නඩු සංඛ්‍යාව 114,982ක් බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ ලසන්ත ඒකනායක සිළුමිණට පැවසීය. ඊට අමතරව එම කාලය තුළ රිය අනතුරු 6,512ක් මෙම පද්ධතිය මඟින් නිරීක්ෂණ කර ඇත.

වසර 2010දී එම පොලිස් සී.සී. ටී.වි කොට්ඨාසය ස්ථාපිත කිරීමට පෙර 2005 වසරේදී කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල විද්වතුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මඟින් පොලිසියේ ආවේක්ෂණ කටයුතු සඳහා සී.සී.ටී.වී තාක්ෂණය යොදා ගැනීමේ විශ්ලේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ බව ද ඔහු පැවසීය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නියෝජ්‍ය පොලිස්පති, ඉංජිනේරු තුෂාර ගමලත්ගේ අධීක්ෂණය යටතේ ඉකුත් ජනවාරි 22 වැනිදා ආරම්භ වූ නව නියමු ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ ලසන්ත ඒකනායක මෙසේ පැවසුවේය.

“කොළඹ නගරයට ඇතුළු වීමේ ස්ථාන 33ක් පිළිබඳ මෙම සී.සී.ටී.වී කොට්ඨාසය මඟින් නිරීක්ෂණය කරනු ලබනවා. ගාලු පාර, පොල්දූව, කැලණි පාලම් දෙක, පරණ කදිරාන ප්‍රදේශය ඇතුළු ප්‍රධාන මංසන්ධි ඊට ඇතුළත්. ඒ සඳහා සී.සී.ටී.වී 108ක් යොදා ගෙන තිබෙන අතර ඒ මඟින් රිය වැරදි නිරීක්ෂණය කිරීමට වරකට පස් දෙනකු බැගින් නිලධාරීන් දවසේ පැය විසිහතරේම රාජකාරියේ නිරත වනවා. මෙහිදී මූලික වශයෙන්ම මාර්ග නීති කඩකරන වාහනයේ අංක තහඩුව හඳුනා ගනු ලබනවා.

රියැදුරු සම්බන්ධයෙන් එම අවස්ථාවේදී කිසිදු හඳුනාගැනීමක් කරන්නේ නැහැ. මෙහිදී ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය කරන්නේ මාර්ග තීරු මාරු කරමින් මාර්ග අවහිර කිරීම්, නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීම් සහ අනවසර නැවතුම් ස්ථානවල නවතා තැබීම්, අනතුරුදායක ලෙස පසුකර යෑම ආදී කැමරාවකින් නිරීක්ෂණය කළ හැකි සිදුවීම්”. එසේ නම් මෙම ක්‍රමවේදයෙන් මාර්ග නීති කඩකරන රියැදුරාට දඩ පත්‍රිකාවක් ලබා දෙන්නේ කෙසේද? ඒ පිළිබඳ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත ඒකනායක මෙසේ පැහැදිලි කළේය.

“මෙම පද්ධතිය මඟින් එක් නිලධාරියෙක් නිරීක්ෂණය කළ මාර්ග නීති කඩකළ වාහනය අධීක්ෂණ නිලධාරියා විසින් නැවත වරක් පරීක්ෂා කර එම වරද සියයට සියයක් තහවුරු කර ගැනීමෙන් පසුව තවත් නිලධාරියකු විසින් එම වාහනයේ අංක තහඩුවට අදාළ සියලු තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නවා. ඉන්පසු ඒ තොරතුරු වාහනය අදාළ වරද සිදුකළ අධිකරණ බල ප්‍රදේශයට ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමු කරනවා. ඊට හේතුව වරදකරු දඩ පත්‍රිකාව භරා නොගත්තොත් අධිකරණ කටයුතු සඳහා පහසු වීමටයි. ඒ වගේම වරද කළ වාහනයේ හිමිකරුගේ ලිපිනය අයත් පොලිස් ස්ථානයට ද ඒ තොරතුරු සමඟ අදාළ වරද දැක්වෙන අපේ සී.සී.ටී.වී පද්ධතියේ සඳහන් වීඩියෝවේ ලින්ක් එක ද යවනු ලබනවා. පොලිසිය මඟින් වාහනයේ අයිතිකරුට ඔහු සිදුකළ වරද පිළිබඳ දැනුම්වත් කරනවා. එහිදී ඔහුට තමා සිදුකළ වරද ද අදාළ වීඩියෝවේ ලින්ක් එක මඟින් නැරඹිය හැකියි. නමුත් කිසිවකුට එය ඩවුන්ලෝඩ් කර ගැනීමට අවසර දී නැහැ. ඉන්පසු අදාළ වරද වෙනුවෙන් දඩ පත්‍රිකාවක් නිකුත් කරනු ලබනවා. යම් කිසි පුද්ගලයෙක් දඩ පත්‍රිකාව භාර ගැනීම වෙනුවට නඩු පවරන ලෙස ඉල්ලා සිටියහොත් ඒ සඳහා කටයුතු කරනු ලබනවා.

එහෙත් නඩු කටයුතු සඳහා ඔහුට වරද සිදුකළ ප්‍රදේශය අයත් අධිකරණයට පැමිණීම අනිවාර්ය වනවා.”

ඉකුත් 22 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ නියමු ව්‍යාපෘතියක් ලෙස බැවින් කිසිවකුට දඩ පත්‍රිකා නිකුත් නොකළ අතර අවවාද පත්‍රිකා නිකුත් කිරීම පමණක් සිදුවිය. පොලිස්පතිවරයාගේ උපදෙස් මත නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන මේ පිළිබඳ දැනුම්වත් කර ඇති අතර, කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරුන් මඟින් රථවාහන ස්ථානාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳ විශේෂාකාරයෙන් දැනුම්වත් කර ඇත.

“දඩ පත්‍රිකාව ලබා ගත් පුද්ගලයාට දඩය ගෙවීම සඳහා දින 14ක කාලයක් ලබා දෙනවා. එම දිනය ගණන් ගනු ලබන්නේ රිය වරද සිදු කළ දිනයේ සිට නොව දඩ පත්‍රිකාව භාර දුන් දිනයේ සිට වීම මෙම ක්‍රමවේදයේ තවත් විශේෂත්වයක්.

ඒ හැරුණු විට දඩ පත්‍රිකා ගෙවීම සම්බන්ධ සාමාන්‍ය ක්‍රමවේදය අනුවම මේ කටයුතු සිදු කෙරෙනවා. දින 28ක් ඉක්ම ගියොත් අධිකරණය මාර්ගයෙන් කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ සඳහා ඔහු ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුණත් කොළඹට පැමිණිය යුතුයි.”ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත ඒකනායක වැඩිදුරටත් එසේ පැහැදිලි කළේය.

මෙම ක්‍රමවේදය යටතේ මෝටර් රථ ප්‍රවාහන පනතේ 148 වගන්තියේ සඳහන් මාර්ග වැරදි සියල්ලම අදාළව දඩ පත්‍රිකා නිකුත් කළ හැකි බවත් සී.සී.ටී.වී පද්ධතිය මඟින් නිරීක්ෂණය කළ නොහැකි මාර්ග නීති කඩකිරීම් මෙම කොට්ඨාසයට අයත් ජංගම වෑන් රථ දෙක මඟින් නිරීක්ෂණය කෙරෙන බවත් පැවසීය.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය මඟින් වඩාත් කාර්යක්ෂමව පොලිස් රථ වාහන රාජකාරි සිදු කිරීම මෙන්ම රියැදුරන්ගේ විනය තවදුරටත් වර්ධනය කිරීමට ද හැකියාව ලැබේ.

මෙම ක්‍රමවේදය යටතේ රිය වරදක් සිදු කළ වාහනය එම අවස්ථාවේ පදවමින් සිටියේ එහි නීත්‍යනුකූල අයිතිකරු නොවූවද දඩ පත්‍රිකාව ලැබෙන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අයිතිකරුගේ නමටය. ඒ පිළිබඳ ද අප ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත ඒකනායකගෙන් විමසීමක් කළෙමු.

“තමන්ගේ වාහනය කාටද දෙන්නේ? කුමක් සඳහාද භාවිත කරන්නේ යන වගකීම වාහනයේ නීත්‍යනුකූල හිමිකරුවා සතුයි. ඒ වගකීම ඔහුට කිසිසේත් පැහැර හැරිය නොහැකියි. ඒ නිසා ඒ වාහනය මඟින් සිදු වූ වරදක් සම්බන්ධයෙන් ඔහු වගකීමට බැඳී සිටිනවා.

ඒ වගේම මෙම ක්‍රමවේදයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ රියැදුරාට පොලිස් නිලධාරියා සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවක් නොවීමයි. එම නිසා වරදක් සැඟවීම වෙනුවෙන් අල්ලස් ගත්තා යැයි පොලිස් නිලධාරින්ට චෝදනා කිරීමට ඇති අවස්ථාව වැළැක්වෙනවා.

වරද නිරීක්ෂණය වන අවස්ථාවේ සිට දඩ මාර්ගයෙන් හෝ අධිකරණය මාර්ගයෙන් ඒ කටයුතු සිදු වන්නේ ඉතා විනිවිදභාවයෙන්. දඩ පත්‍රිකාවේ අංකය පවා සීසීටීවී කොට්ඨාසයේ සටහන් වනවා. ඒ නිසා අක්‍රමිකතාවක් සිදු වීමට ඉඩක් නැහැ”

ඉදිරියේදී මේ ක්‍රමවේදය කොළඹින් තදාසන්න ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට නියමිත බව ද ඔහු පැවසුවේය. මාර්ග අනතුරු අවම කර ගැනීමට ඉවහල් වන මෙම ක්‍රමවේදයට සහාය දැක්වීම රිය පදවන සියලු දෙනාගේ වගකීමය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්, ඡායාරූප- රංජිත් අසංක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division