යුද්ධයේ ජයග්‍රහණයක් නැත! යුද්ධය සෑම දෙයක්ම රැගෙන කිසිවක් ලබා දෙන්නේ නැත! ”ලොව ප්‍රකට විද්‍යා ප්‍රබන්ධකරුවකු වන- ජෝසප් ආර්. ලාලෝ පැවැසුවේය. අතීතයේ වර්තමානයේ හා අනාගතයේ ද ලෝක සිතීයමේ බොහෝ තැන්වල ලෙයින්, කඳුළින් ඒ ගැන ලියැවෙන්නේ නම් ඒ යුද්ධය හේතු කොටගෙන බව අපි දනිමු. එහෙත් මිනිස්සු තවමත් බලය වෙනුවෙන් යුද වදිති. ශ්‍රී ලාංකේය ඉතිහාසයේත් එලෙසින් ලෙයින් ලියැවුණු යුගයක් විය. එය සුළුපටු කාලයක් නොවෙයි. තිස් වසරක් රට පුරා තැන් තැන්වලින් ඇවිළුණු ගිනි දැල්වලින් මෙරට වැසියෝ දැඩි පීඩාවට පත්වූහ.
රට පුරා වරින් වර යුද ගිනි ඇවිළෙමින් ම්ලේච්ඡ ත්‍රස්තවාදින් විසින් අහිංසක ජීවිත විනාශ කරමින් මේ රට ලේ විලක් බවට පත් කළහ. ඇතැම් අවස්ථාවල දී භෞතික සම්පත් ගිනිබත් කළහ. මේ ම්ලේච්ඡ ප්‍රහාරවලින් මේ රටේ ජනතාව වඩා සසල කරනු ලැබූ සිදු වීමක් මීට වසර 26කට පෙර සිදු විය. එනම් 1998 ජනවාරි 25 වෙනි දින ලෙස එම දිනය ඉතිහාසයේ සනිටුහන් වෙයි. ඒ අඳුරුතම දිනය මෙරට මිනිසුන්ගේ සිත්සතන් තුළින් කිසිදු දිනයක අමතක නොවේ. එයට හේතුව ලාංකේය ජනතාවගේ උත්තුංග වූ ආධ්‍යාත්මික සංකේතය වූත් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූත් ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමයි. මරණයේ බිහිසුණු බව මිනිසුන් දැන සිටි නමුත් ත්‍රස්තවාදීන්ගේ අශිෂ්ට බව නැවත වරක් මේ රටේ සිංහල දෙමළ සහ මුස්ලිම් යන සියලුදෙනාගේ හදවත් පසාරු කර කිදා බැස්සේ එදින බව සැබෑය.
මීට වසර විසි හයකට පෙර ජනවාරි 25වැනිදා දළදා හාමුරුවෝ වැඩ සිටින අපේ පින් බිමට යන්තම් ආලෝකය උදා වෙමින් තිබිණි. වේලාව උදෑසන 6 පසු වූවා පමණය. මාලිගාවේ තේවා හඬ අවට සිසිරා පැතිරෙමින් තිබිණි. බැතිමතුන් ගේ සාධුකාරයෙන් මැද තේවාව පැවැත්වීම ආරම්භ විය.
දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික දළදා මාලිගාව දෙසට වේගයෙන් පැමිණි ලොරි රථයක් රජ වීදියේ සිට පැමිණියේය. ඉදිරිපස සඳකඩපහණ සුනුවිසුනු කරමින් අවට සිටි හුදී ජනයා ද යට කරමින් එය ඉදිරියට හීයක වේගයෙන් ඇදුණේය. උවසු උවැසියෝ හිස් ලූ ලූ අත විලාප නඟමින් දුවන්නට වූහ. එක්වරම පැමිණි ලොරිය මිනිසුන් කිහිපදෙනක් යට කරමින් වාහල්කඩ අසල නතර කළේය. බිහිසුණු බෝම්බ ප්‍රහාරයක් දළදා වහන්සේට එල්ල කිරීම ඔවුන්ගේ ඉලක්කය විය යුතුය. ඒ ඉලක්කය ඔවුන්ට වැරදිණි. බෝම්බය පුපුරා ගියේ මාලිගාවට පිටින් වාහල්කඩ අබියසය. ඒ වෙලාවේ මාලිගාවේ තේවාව පැවැත්වෙමින් තිබුණු මොහොතකි.
මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයෝ ගිනිඅවි අමෝරා ගෙන ලොරි රථයෙන් බැස්සෝය. ඒ අවස්ථාවේදී දළදා මාලිගාවේ පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ පොලිස් කාන්තාවක් වාහල්කඩ ප්‍රවේශ දොරටුව වසා දැමුවාය. ඇය ක්ෂණිකව සිදු කළේ වීර ක්‍රියාවකි. ලොරිය පිපිරී ගියේ විශාල විනාශයක් සිදු කරමිනි. ත්‍රස්තවාදීන් ද එතැනම මියගියේය. ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය. මාලිගාවට ඇතුළු වී මාළිගාව පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීන්ට නොහැකි විය.
මේ ඛේදවාචකය සියැසින් දුටු සියල්ලෝ සාක්ෂිකරුවන් පමණක් විය. බෝම්බය අටවාගෙන පැමිණි බවට සැලකෙන ලොරිය සුන්බුන් ගොඩක් බවට පත් විය. මේ සිදු වීමෙන් බොහෝ දෙනෙක් සංවේගයටත් ප්‍රකම්පනයටත් පත් වූහ. “අපේ දළදා හාමුදුරුවන්ට කිසිම හිරිහැරයක් වුණේ නැහැයි කියමින් ඇය කඳුළු සලමින් වසර විසි හයක මතකය අවදි කළාය. අපේ කතානායිකාව එදා වාහල්කඩ ප්‍රවේශ දොරටුව වසා දළදා හාමුදුරුවෝ ආරක්ෂා කළ පොලිස් කාන්තාවයි. ඇය කා. පො. සැරයන්වරියක වන මොරගේ(1176) ගීතානි ජයසේකරය.
“දළදා හාමුදුරුවන්ට කිසිම කරදරයක් වුණේ නැහැ. අපිට ඒ ඇති. හාස්කම කියන්නේ මේ සියලු දේවල් වෙද්දිත් මාලිගාව ඇතුළේ තේවාව ඉවර වෙනකල් සිද්ධ වුණා. එළියේ වෙච්ච කිසිම දෙයක් ඇතුළට ඇහිලාවත් නැහැ. දළදා හාමුදුරුවෝ අපේ ජීවිතේ ආරක්ෂා කළා. අපි හැමදාම උන්වහන්සේ ආරක්ෂා කරන්න කැපවෙලා හිටියේ. අවංකව සේවය කරපු නිසා උන්වහන්සේ අපිව ආරක්ෂා කළා. මගේ ජීවිතේ බේරුණේ පුදුම විදිහට යැයි ඇය ඒ බිහිසුණු කතාව සිහිපත් කළාය.
“එදා දවස මට අද වගේ මතකයි. මමයි කොස්තාපල්වරයෙක් වන ජයසිංහ බණ්ඩාරයි (9671) ප්‍රධාන ගේටුව අසල බැතිමතුන් පරීක්ෂා කරමින් සිටියේ. විෂ්ණු දේවාලය පැත්තෙන් එක පාරට ලයිට් දාගෙන ලොරියක් ඇතුළු වුණා. මම කිවුවා බණ්ඩාර අයියේ ලොරියක් එනවා; ඒ මොකක්ද කියලා. ඒ දවස්වල නිදහස් උත්සවය නිසා මාලිගාව අලුත්වැඩියා කරන්න නිතර බඩු ගේනවා. විෂ්ණු දේවාලය පැත්තෙන් නිතර වාහන එනවා. ඒ වෙලාවේ අපි ඩියුටි මාරු වෙලා වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. අපිත් ගේට්ටුව ළඟට ඇවිත් ඩියුටි බාර ගෙන වැඩි වේලාවක් නෑ.
ඒ ලොරියේ හිටිය එල්ටිටීඊ සාමාජිකයෝ දෙන්නෙක්. එයාලා වෙපනුත් අරගෙන බැස්සා. ඉන්පස්සේ රියැදුරුත් පාත්වෙලා වෙපන් එකක් අරගෙන බැස්සා. එයාලා උත්සාහ කරන්න ඇත්තේ දළදා හාමුදුරුවෝ ඉන්න පැත්තට යන්න වෙන්න ඇති. ඒත් ඒගොල්ලන්ට ඒ දේ කරන්න බැරි වුණා. අපිට මුලින්ම සැකයක් ආවා මිනිස්සු යට කරගෙන ආව නිසා. ඒ වෙද්දිත් ප්‍රධාන ගේට්ටුව වහලා දාලා තිබුණේ. අපි මුලින් හිතුවට මාලිගාවේ වැඩවලට එන ලොරියක් වෙන්න ඇති කියලා, පස්සේ අපිට තේරුම් ගියා මේ වෙන දෙයක් කියලා.
දළදා මාලිගාව ඉදිරිපිට මිනිස්සුන්ව යට කරගෙන ඇවිත් සඳකඩපහන ඉස්සරහම ලොරිය හැප්පුවා. ඒ වෙද්දි ලොරියෙන් වෙපන් අරන් ඒ අය පැන්නා. ගේට්ටුව වහලා අපිට පොලිස් පෝස්ට් එක පැත්තට යන්න හම්බ වුණෙ නැහැ. මාව විසි වෙලා ගිහින් ඈතට වැටුණා. අලින්ට කරඬු තියෙන පැත්තේ මඩුවේ තියෙන තඹ තහඩුවක් ඇවිත් මගේ ඇඟට උඩින් වැටුණා. ඉන් පස්සේ මට කිසිම දෙයක් පෙනුණේ නැහැ.
මිනිසුන් යටිගිරියෙන් කෑගැහුවා ඇහුණා. මම ඒ තහඩු කෑල්ල ඇතුළට වෙලා හිටියා මැරෙනවා නම් මැරුණාවේ කියලා. වහින කොට වතුර වැටෙනවා වගේ ඒකට මාව යට වුණාම සද්දය යන්තම් ඇහුණේ. ඒත් ඒකේ උඩටත් තව දේවල් වැටෙනවා කියලා මට හිතුණා. කොයි වෙලාවේ හරි මාව යට වෙලාම මැරෙයි ද කියලත් හිතුණා. දුමාරයත් එක්ක ගිනිබෝල යනවා මම යන්තම් දැක්කා. මම එතන හුඟාක් වෙලා හිටියා.
ඉන් පස්සේ තඹ තහඩුව අස්සෙන් මම රූටලා එළියට ආවා. ඒත් මම දැක්කේ එකම සුන්බුන් ගොඩක් විතරයි. මිනිස්සු වැටිලා තැන් තැන්වල. මම හිටපු තඹ තහඩුව උඩට සුන්බුන් වැටිලා ගල් ඒවගේම තහඩු කෑලි පිරිලා තිබුණා. ඒ ඔක්කෝම මගේ ඇඟට වැටුණා නම් මාව මැරෙනවා. මම බඩගාලා බඩගාලා හුඟක් දුරක් ගියා. පස්සේ යන්න අතක් හොයා ගන්න බැරිව හිටියේ. බඩගගා හුඟාක් දුරක් ගිහින් උඩ බැම්මකට නැග්ගා. මම ඉන්පස්සේ පොලිස් පොයින්ට් එක පැත්තට කොහොම හරි ගියා. ඕඅයිසි මහත්තයා මාව දැකලා “අනේ ජයවර්ධන ඉන්නවා කියලා කිවුවා. එච්චරයි මට මතක. මාව කලන්තේ වෙලා වැටිලා. මාව රෝහලට අරන් ගිහිල්ලා. ආයේ සිහිය ආවාට පස්සේ මම හිටියේ රෝහලේ.
මම රෝහලෙන් ගෙදර ආවාට පස්සේ ආයේ එතැනට ගියා. ඒ වෙලාවේ මම දැන ගත්තේ එදා බෝම්බය පුපුරලා ගියත් තේවාව දිගටම කරලා. ඒ බෙර සද්දෙට ඇතුළට ශබ්දය ඇහිලාවත් නැහැ. ඒක පුදුම දෙයක්. එකම සුන්බුන් ගොඩක්. පොලිස් දෙපාර්තමේන්තුවෙන් මාව කොළඹට ගෙනල්ලා ඇගැයීමට ලක් කළා.
රෝහලින් සුවපත් වී පැමිණි සැරයන් ගීතානි යළිත් බෝම්බය පුපුරා ගිය දළදා මාලිගා භූමියට ගියාය. බෝම්බය පුපුරා යාම නිසා බිම ලොකු වලවල් හෑරී තිබුණ ආකාරය ඇය දුටුවාය. එය විශාල බෝම්බයක් විය හැකි යැයි ඇයගේ අනුමානය සාර්ථකය. බෝම්බය අටවා තිබුණ ලොරිය ඉසුසු එල්ෆ් වර්ගයේ ලොරි රථයක් බවත් තහවුරු වී තිබුණා. ඒ ලොරියේ රියැදුරුගේ හිස හුඟක් දුරට විසිවී ඇති බවත් ඇයට දැන ගැනීමට ලැබුණි. ඒ සිදුවීම වන විට කාන්තා පොලිස් කොස්තාපල්වරියක වූ ගීතානිගේ වයස අවුරුදු 24කි. එවකට ඇයට අත්දැකීම් බහුල නොවූවත් ඇය ප්‍රධාන ගේට්ටුව වසා දැමීම අප ඇගැයිය යුතු ය.
වාහල්කඩ සරසා තිබූ නුවර යුගයේ සඳකඩපහණ, ඇත් රූ, පංචනාරි රූ සහිත වාහල්කඩ අසල වූ කැටයම් සියල්ල බිඳී සුනු විය. බිත්ති ඉරි තැලී බදාම ඇද හැලිණි. බිතු සිතුවම් මැකී ගියේය. එහෙත් දළදා වහන්සේ වැඩ සිටින කිසිවකටත් හානි නොවීම විස්මයකි; හාස්කමකි.
ඒ අවස්ථාවේදී බෝම්බය පිපිරී මාලිගාව දෙදරා ගොස්ය. තේවාව කරමින් සිටියෝ අම්පිටියෝ චන්ද්‍රරත්න හිමියෝය. උන්වහන්සේ තේවාව අවසන් වනතුරුම පැවැත්වූහ. මාලිගාව පිටතින් එකම සුන්බුන් ගොඩකි. මිනිසුන්ගේ එකම විලාපයකි. මේ ව්‍යසනයෙන් කම්පනයට පත් බැතිමතුන් මාළිගාව වෙතට වැල නොකැඩී පැමිණියහ. මාලිගාවේ පැවතුණ වටිනා සියල්ල සුරක්ෂිත කිරීමට එහි වගකිව යුත්තෝ වග බලා ගත්හ. මාළිගාව වටේ දැඩි ආරක්ෂාවක් යෙදිණි. කිසිවකුට මාලිගාව වෙත ඇතුළුවීමට නොහැකි විය.
දළදා මාළිගාව පෙර පැවැතී ආකාරයටම නැවත ප්‍රතිසංස්කරණයක් කිරීමේ අසීරු කාර්යයද ඉක්මනින් සිදු විය. එදින ද රාත්‍රී තේවාව පැවැත්වූ බව සඳහන් වෙයි. එසේම වෙනත් කිසිදු බුද්ධ පූජාවක් තේවාව එක් වාරයක්වත් අතපසු නොවිණි.
සමූහ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස මහා ව්‍යසනයේ එකම සලකුණක්වත් නොතබා වසර දෙකක් තුළ ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය වීම විස්මිතය. ඒ සඳහා දායක වූ සියල්ලම මෙහිදී සිහිපත් කළ යුතුය.
“දළදා හාමුදුරුවන්ට කිසිම හානියක් වුණේ නැහැ කියන එක ගැන මට හරි සතුටුයි. මිනිස්සු හුඟක් කම්පාවට පත් වුණා දළදා හාමුදුරුවන්ට කරදරයක් වෙයි කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අපිට හොඳටම විශ්වාසයි‘
එදා ඒ සිදු වීමෙන් 17දෙන මියගිය අතර 25 දෙනකු පමණ තුවාල ලැබීය. දළදා මාලිගාවට එල්ල කිරීමට රැගෙන ආ බෝම්බ ලොරිය තුළ කිලෝ 300 -400 ත් අතර පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී තිබූ මේ ප්‍රහාරයෙන් පසුව සිදු වූ සුවිශේෂී සිදුවීම වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට මුල්වරට තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කිරීමයි. ත්‍රස්තවාදය යනු අන්තර්ජාතිකව පිළිගත් තනි අර්ථ දැක්වීමක් නොමැති වදනකි. කෙසේ නමුත් එක් නූතන ක්‍රමයකට අනුව එය අර්ථ ගන්වන්නේ බය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය ලෙසය. අප මුළු ලෝකයෙන්ම මේ ත්‍රස්තවාදය තුරන් කර දැමිය යුත්තේ ඒ නිසාය.
විශේෂ ස්තූතිය කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංස කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී (1) චන්දන කන්දවෙත්ත කෑගල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක ටී. එන්. බී. නාලක මාගෙදරගම
ඡායාරූප – කෑගල්ල විශේෂ චමින්ද ජයලත්
සුභද්‍රා දේශප්‍රිය