Home » මට විවාහය ගැන තියෙන්නෙ වෙනම අදහසක්

මට විවාහය ගැන තියෙන්නෙ වෙනම අදහසක්

by thanushika
January 20, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

පුංචි තිරයේ නිහඩ පෙම්වතෙක් විදියට දුටු සුරාජ් මාපා ප්‍රේක්ෂකයාට වෙනස්ම මුහුණු වරකින් මේ දිනවල දකින්න ලැබෙනවා. ඒ සුසුම් රස්තියාදුවේ නාලක ලෙසින්. නාලක කියන්නේ සංගීතයට පිස්සු වැටුණු මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වුණු චරිතයක්. ඒ නිසාම නාලක ගැන වගේම සුරාජ්ගේ ජීවිතේ ගැන රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ…

පුංචි තිරයේ නිර්මාණ කිහිපයක දකින්න ලැබෙනවා, සුසුම් රස්තියාදුවක් ගැන කතා කළොත්?

සුසුම් රස්තියාදුව නාට්‍යයේ මම ඉන්නේ දේශපාලනඥයකුගේ පුතෙක් විදිහට. සංගීතයට කැමති සහ ඔහු ඔහුගේ ආදරය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා ඉන්න කෙනෙක්. එතැනදී ඔහු ආදරේ පරිත්‍යාග කරනවද නැත්නම් ආදරේ වෙනුවෙන් පළිගන්නවා ද එහෙමත් නැත්නම් ඒ ආදරේ වෙනුවෙන් බලන් ඉන්නවද කියන එක තමයි සුසුම් රස්තියාදුවේ කතා වෙන්නේ.

ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් ඔබ සර්කස්කාරයෝ නාට්‍යයේ කරන්නේ?

සර්කස්කාරයෝ එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. එතැනදී අපි කතා වුණේ මේ දැන් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම නිරුපණය කරනවද? එහෙමත් නැත්නම් අලුත්ම චරිතයක් සමාජයට හඳුන්වා දෙනවා කියන එක. ඒක සමාජයට කොයි තරම් වැදගත් වෙයිද කියන එක මතයි ඒ චරිතයට ගොඩ නැඟිලා තියෙන්නේ. මේ වෙනස්කම් එහෙම මන්ත්‍රීවරු නැති වුණත් ඉදිරියට බිහි වෙන්න පුළුවන්. අපිට ඕනෙ වුණේ බුද්ධිමත් හොඳින් පොත පත කියවන වෙනම දේශපාලන ගමනක් යන මන්ත්‍රීවරයෙක්ගේ චරිතයක් කරන්න. දේශපාලනය මේ වෙද්දී මිනිසුන්ට තිත්ත වෙලා තියෙන්නේ. එහෙම නැතුව දේශපාලනය තුළත් හොඳ පැත්තක් තියෙනවා. හොඳින් කරගෙන යන්න පුළුවන් කියන එක මත ඉඳන් ඒ චරිතය නිරුපණය කරන්නේ. මේ චරිත දෙකම සමාජයට වැදගත් චරිත දෙකක්.

උන්මාදිනි නාට්‍යය තුළත්, ඉදිරියට මොකද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඔබේ චරිතය මත?

ඔව්. සමහර ටෙලි නාට්‍ය තියෙනවා අපි හැමදාම ඒ නාට්‍ය තුළ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි නැති වුණත් අපේ ඒ චරිතය තුළින් තමයි ගොඩක් සිද්ධි ඉදිරියට ගොඩනැඟෙන්නේ. එක කාලයක නිදිකුම්බා සහ සූරිය දරුවෝ වගේ නාට්‍යවලත් තිබ්බා. ඒ චරිතය නැතත් ඒ චරිතය වටා බිහි වුණු කතා. උන්මාදිනි අධ්‍යක්ෂණය කරන්නේ සමීර හසුන්. සමීර මට කතා කරලා ඇහුවා ඒ වගේ එකක් කරන්න කැමතිද කියලා. මම කැමති වුණා. ඒ නාට්‍යයේ පළමුවැනි ජවනිකාව හරි ලස්සනයි. අපි එක එක විදිහට රූගත කළා. මිනීමැරුමක් ගැන එහි කතා වෙන්නේ. ඒ තුළ මට එක එක චරිත නිරුපණය කරන්න වුණා. එක චරිතයක් ඇතුළේ චරිත ගොඩක් කරන්න ලැබීම මට සතුටක්. ඒ වගේම විවිධ කෝණ යටතේ එක සිද්ධිය අපි රූපගත කළා. අපේ රංගන ක්ෂේත්‍රයේ අලුත් අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරද්දී අලුත් අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕනේ, ඒකත් එක්ක අපි කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමක් වෙනවා. අපේ ප්‍රේක්ෂකයින්ටත් ඒක අලුත් අත්දැකීමක් වෙනවා. ඒ නිසයි මම ඒකට කැමති වුණේ.

මේ එකිනෙක නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර හොඳයි. පිටපත සහ අධ්‍යක්ෂවරයා එක්ක කතාබහ කරලා මහන්සි වෙලා වැඩක් කරනවා නම් එයට ලැබෙන ප්‍රතිචාර හොඳ වෙනවා.

මේ වෙද්දී චරිතයක් භාර ගනිද්දී සැලකිලිමත් වෙන්නේ මොනවද?

මේ කාලේ නම් අපි කරන චරිතය තුළින් සමාජයට කොච්චර වැදගත් ද කියන එක බලනවා. ඒ වගේම ඒ චරිතය ඒ නාට්‍යයට කොච්චර වැදගත් වෙනවද කියන එක. ඒ පිටපතට අධ්‍යක්ෂවරයාට සහ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන එක තමයි රංගන ශිල්පියකුගේ ප්‍රධාන ජවනිකාව. ඊට පස්සේ ඒ චරිත ප්‍රේක්ෂකයින්ට ආදරෙන් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂකයින් ඒ එකිනෙක චරිත වැලඳ ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුළ තමයි මම හිතන්නේ සාර්ථකත්වය තියෙන්නේ.

සුරාජ්ගේ අධ්‍යක්ෂණයක් මේ වසරේ ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙයිද?

ඔව්.මේ දවස්වල පිටපත් රචකයෙක් මගේ අලුත්ම පිටපත ලියාගෙන යනවා. මේක වෙනමම කතාවක්. ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඒක බලා ගන්න පුළුවන් ඉක්මනට. මම හිතනවා පිටපතට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වීම තුළ තමයි නිර්මාණයක් සාර්ථක වෙන්නේ සහ ඒ නිර්මාණය පහසුවෙන් කර ගන්න පුළුවන් වෙන්නේ. මේ දවස්වල ඒ පිටපත ලියාගෙන යනවා.

කලා ජීවිතේ ඔහොම ගලාගෙන යද්දී, මේ අවුරුද්දේ පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙයිද?

මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා එහෙම වෙනසක් ඇති කර ගන්න. හැමෝම අහන ප්‍රශ්නයක්. විවාහ වෙන්නේ නැද්ද කියන එක. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි විවාහය කියන දේ එහෙම සරලව ගන්න අමාරුයි කියන එක. ගොඩක් අය සරලව අරගෙන මම දකිනවා ගොඩක් අය පසුතැවෙනවා. ඒ අය විතරක් නම් කමක් නැහැ. දරුවන් අසරණ වෙනවා. විවාහය කියන දේ සිද්ධ වෙන දෙයක්. ඕනෙම කෙනෙක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා නම් ගොඩක් හොඳයි. අද කාලේ තියෙන සමාජ ප්‍රශ්න එක්ක බලද්දී සමහර වෙලාවට හරි කෙනා ලැබුණේ නැත්නම් මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. මම ආස නැහැ විවාහ වෙලා දෙන්නට දෙන්නා බැණගෙන උසාවි ගානේ ගිහින් දෙන්නට දෙන්නා වැරදි කියාගෙන වෙන් වෙන්න. ඒක හරි කැතයි කියලා මට හිතෙනවා. කාලයක් එක වහලක් යට එකට පවුල් ජීවිතයක් ගත කළා නම් කවදාවත් ඒ කෙනාට අගෞරව කරන්න හොඳ නැහැ. තමන්ට ගැළපෙන්නේම නැතිනම් වෙන් වෙලා නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම. ඒ නිසා මට විවාහය ගැන තියෙන්නේ වෙනම දැකීමක්. මම දන්නේ නැහැ මගේ විවාහය සාර්ථක වෙයිද නැද්ද කියන එක. ඔය හැමෝම කියන තරම් සරලව මම විවාහය ගැන හිතන කෙනෙක් නෙවෙයි. විවාහයක බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහයක් කර ගන්නේ නැහැ කියන තැන මම කවදාවත් නැහැ. හැබැයි ඒක හැමෝටම ඕනේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ.

සුරාජ් මාපාට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති

ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන එකම දේ. මම ආසයි බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට. එතකොට රංගන ශිල්පීන් හැටියට තියෙන වගකීම සහ යුතුකම තමයි මට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ගේ බුද්ධි මට්ටම වැඩි කරන එක. මම හැම වෙලාවේම හිතන්නේ සහ මම වැඩ කරන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් බුද්ධිමත් කියන තැන හිතාගෙන. එතකොට තමයි අපිට තව තව දේවල් හොයාගන්න ලැබෙන්නේ. මගේ නාට්‍යයක් බලන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම ගොඩක් කැමතියි ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ බුද්ධිමත් බවට. ඒ තුළ තමයි අපිට මේ අරගලය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම හිතීම තුළ තමයි මේ රට දාලා යන්නේ නැතුව මේ රට දියුණු කරන්න පුළුවන් කියන මිනිස්සු කොට්ඨාසයක් ලැබෙන්නේ. එතකොට අපි හදන්න ඕනේ ටෙලි නාට්‍ය කලාව තුළින් හෝ මේ මාධ්‍ය තුළින් මිනිසුන්ගේ බුද්ධි මට්ටම වැඩි කිරීම පමණයි. ඒ තුළ තමයි අපේ රටේ අනාගතය රඳා පවතින්නේ. අපේ රටේ ඉන්නේ බුද්ධිමත් මිනිසුන්. සමාජ මාධ්‍ය තුළ සක්‍රිය නොවුණට, කෑගලා කිවුවේ නැති වුණාට නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මේ රට දිහා. ඒ අයට තමයි අපි නිර්මාණ කරන්නේ. හැමදේම දිහා වෙනස් විදිහට බලන්න පුරුදු වෙන්න. හැම වෙලාවේම සමාජ කියවීම අත්දැකීම් එකතු කර ගන්න. ඒ කියවීම තුළ තමයි අපිට ඉදිරියක් තියෙන්නේ. අපි වැටිලා තියෙන්නේ බිංදුවටම. ආයේ වැටෙන්න තැනක් නැහැ. හැබැයි අපිට නැගිටිනවා නම් නැගිටින්න පුළුවන්. එකමුතුව නැගිටිමු. අපි උත්සහ කරමු රටක් හැටියට ඉස්සරහට යන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division