Home » ආදරයට ගෞරව කරන කෙනෙක් හමු වුණොත් මමත් ආදරවන්තියක් වෙයි

ආදරයට ගෞරව කරන කෙනෙක් හමු වුණොත් මමත් ආදරවන්තියක් වෙයි

by thanushika
January 20, 2024 12:30 am 0 comment

කියා දෙන්න ආදරේ තරම් හි යෙහෙනි විදියට ප්‍රේක්ෂකයින් අතරට ආ ඉසුරින්දි පියසේකර මේ දිනවල නම් වඩාත් කතාබහට ලක් වෙන්නේ “මන්දාරම් කතාවේ“ නාට්‍යයේ අප්සරා එහෙමත් නැත්නම් පොඩි අක්කගේ චරිතය තුළින්.

කොහොමද පොඩි අක්කාට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ඉතාම සුළු ටෙලි නාට්‍යය ප්‍රමාණයක රඟපාලා තියෙන්නේ. ඒ අතරින් මන්දාරම් කතාවේ පොඩි අක්කා කියන චරිතය හරිම වෙනස්. කලින් මම රඟපාලා තියෙන්නේ සීරියස් චරිත. මේ චරිතය බොහොම නිදහසේ ඉදිරියට යන සුවිශේෂී චරිතයක්. ඒ චරිතය නිසා මම වෙනදටත් වඩා ප්‍රේක්ෂකයින් අතරට ගිහින් තියෙනවා. මන්දාරම් කතාව කියන්නේ මට ලැබුණු වෙනස් අත්දැකීමක්.

අප්සරා (පොඩි අක්කා) චරිතය නම් කොහොම හරි නිළියක් වෙන්න උත්සාහ කරන චරිතයක්?

මම නිළියක් වුණේ නම් හරිම අහම්බෙන්. ධනුෂ්ක රත්නායක මහතාගේ වෑයමෙන් රංගන ක්ෂේත්‍රයට එන්නේ. පොඩි කාලේ ඉඳන් රංගනයට විශාල ප්‍රමාණයෙන් මට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මම ගොඩක් මුල්තැන දුන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මම රංගනයට එන්නේ ඒ ගැන හැදෑරීමෙන් පසුව. ලැබුණට දැනුත් තියෙන කාර්යබහුලකම එක්ක හරිම සීමිත නිර්මාණ කිහිපයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම බැලුවොත් ඉසුරින්දි පියසේකර වාසනාවන්තයි අප්සරාට වඩා.

මන්දාරම් කතාවේ කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඉස්සෙල්ලාම මතක් කරන්න ඕනේ මට මේ චරිතයට ආරාධනා කළේ ධනුෂ්ක රත්නායක අපේ අධ්‍යක්ෂතුමා. ඒ වගේම අපේ නිෂ්පාදකතුමිය අයේෂා අබේගුණවර්ධන. අපේ පිටපත රචනා කරන තිලංක බණ්ඩාර අයියා. ඒ අය තමයි මට මේ අවසථාව ලබා දුන්නේ. සෙට් එකේ අපි හැමෝටම ෂූටින් ඉවර වෙලා ගෙදර එන්න හරි දුකයි. ඒ තරම් අපි ඉන්නේ එකම පවුලක් වගේ. අපේ මුළු කෘෘ එකම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ අය පුදුම සහයෝගයක් ලබා දෙන්නේ. මම තවම මේ ක්ෂේත්‍රයට නවකයෙක්. ලොකු සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා මේ වගේ කෘෘ එකක් එක්ක රංගනය කිරීමට ලැබීම ගැන. මගේ අක්කාට ඉන්නෙ දර්ශි, අම්මට ඉන්න නයනා අක්කා. මල්ලි අරුන්. සේපාල සහ ජෙනට් අයියා මේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය තමයි අපේ නිර්මාණයේ සාර්ථකත්වය.

ඉසුරින්දි අද ඉන්න තැනට එන්න යෝධ සෙවණැල්ල සහ ශක්තිය වුණේ අම්මා නේද?

අම්මාට අද ගොඩක් සතුටුයි. මම රංගන ශිල්පිනියක් වෙන්න නෙවෙයි හිටියේ. අම්මි මාව ඕනේ තරම් පොඩි කාලේ ඉඳන් මාව ටීවී එකේ දැකලා තියෙනවා. ඒත් අදටත් මාව ටීවී එකෙන් දැක්කොත් අම්මි ඒවා සැරින් සැරේ බලනවා. මම සමහර වෙලාවට කියනවා අම්මි දැන් ඇති ඔව්වා බැලුව, මට දැන් එපා වෙලා තියෙන්නේ කියලා. මගේ අම්මගේ තියෙන එකම සතුට මාව ඒ විදියට දකින එක. මගේ මේ අවුරුදු 25 පුරා අම්මා නැත්නම් මම කියන චරිතය මෙතන ඉන්න විදියක් නැහැ. අම්මා වගේම මගේ ගමනට උදව් කළ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ හැමෝම නම්වළින් මතක් කරන්න බැරි තරම් පිරිසක්. ඒ වගේම අම්මිගේ හැම හීනයක්ම සැබෑ කරලා එයාගේ මුහුණට සතුටක් ගෙන දෙන එක තමයි මට කරන්න පුළුවන් ලොකුම කෘතගුණ සැලකීම.

ඉසුරින්දි කියන නම තිබ්බ තාත්තව කවදාවත් හැබැහින් දැකලා නැහැ. සංවේදී කරුණක් වුණත් තාත්තගේ ආශීර්වාදය දැනෙනවා ඇති

අනිවාර්යෙන්ම. මම අදටත් මගේ පවුලේ ඉන්නේ කවුද ඇහුවම මම මුලින්ම කියන්නේ අම්මා තාත්තා අක්කා සහ මම කියලා. ඊට පස්සේ මම කියනවා තාත්තා ජීවතුන් අතර නැහැ කියලා. තාත්තා නැහැ කියන එක සමහර තැන්වලදී දැනිලා තියෙනවා. හැබැයි බොහෝ තැන්වල දී ඒ අඩුව අම්මා දැනෙන්න දීලා නැහැ. ඒ එක්කම තාත්තා ජීවතුන් අතර හිටියා නම් එයාට කරන්න පුළුවන් හැම යුතුකමක්ම තාත්තා දීලා ගිහින් තිබුණේ. හරිම ආඩම්බරයි ඒ ගැන. තාත්තා නැති වෙලා අවුරුදු 25ක්. තාත්තා අදටත් අපේ යුතුකම් ඉෂ්ට කරනවා. තාත්තා අම්මා ඉඳලත් ඒ අයගෙන් යුතුකම් මඟහැරෙන දරුවන් පවා ඉන්නවා. ඒ අතින් මට තාත්තා නැතුවත් ඒ වාසනාව හිමිවෙලා තියෙනවා. දැන් මම ඒ ගැන දුක්වෙන්නේ අඬන්නේ නැහැ. ඉස්සර මම පොඩි කාලේ නොදැනුවත්කමට අඬලා තියෙනවා. දැන් මම දකින්නේ තාත්ති කොහේ හරි ඉඳන් අපි දිහා බලන් ඉන්නවා නම් අපි දුකෙන් හිටියොත් තාත්ති දුක් වෙයි කියලා. තාත්ති ජීවිතෙන් සමුගන්නේ අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් යුදහමුදාවේ රාජකාරියක් කරලා අපේ රට වෙනුවෙන් ජීවිතය දුන්නේ. ජීවිතය දුන්නේ රට වෙනුවෙන් වුණාට තමන්ගේ පවුලේ යුතුකම පැහැර හැරලා නැහැ. ඒ නිසා තමයි අදටත් මම සහ අක්කා ඉගෙන ගෙන තැනකට ඇවිත් ඉන්නේ. අපේ අම්මිට ඔළුව කෙලින් තියන් ගැහැනියක් විදියට ලෝකය ඉදිරියේ ශක්තිමත්ව ඉන්න පුළුවන් වුණේ තාත්ති එයාගේ යුතුකම් ඉෂ්ට කරලා ගිය නිසා. හරිම ආඩම්බරයක් තියෙන්නේ ඒ වගේ තාත්තා කෙනෙක්ගේ දුවෙක් වීම ගැන.

යෞවනයේ ඉන්න නිසා ආදරේ දකින්නේ කොහොමද? ආදරවන්තියක්ද?

ආදරවන්තියක් නම් නෙවෙයි. ආදරේ දකින විදිය කිව්වොත් මම දකින්නේ ඒක හරිම ගෞරවාන්විත දෙයක් විදියට. එකිනෙකාට ගෞරව කරනවා නම් අපි බලාපොරොත්තු වෙන අවංකකම තේරුම් ගැනීම කියන දේ තියෙනවා. ආදරේ නම් එකිනෙකාට ගෞරව කිරීම තුළ ඉතුරු ඔක්කොම සම්පූර්ණ වෙනවා කියලයි මම දකින්නේ. එහෙම ගෞරව කරන කෙනෙක් හමුවුණොත් මමත් ආදරවන්තියක් වෙයි.

ආයතනයක වෘත්තීය ජීවිතේ එක්ක කලාව කරගෙන යන්නේ, කොහොමද ලැබෙන සහයෝගය ?

මම වැඩ කරන්නේ මාස් හෝල්ඩිං ආයතනයේ. ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ සියලුම දෙනාව ආයතනය පැත්තෙන්. මගේ රංගන කටයුතු කරගෙන යන්න විශාල සහයෝගයක් ලබා දෙනවා. වෘත්තිමය ජිවිතේ පමණක් නෙවෙයි පුද්ගලික ජීවිතේ ගත්තත් ලොකු සහයෝගයක් ලබා දෙන ආයතනයක්. මට මේ ගමන එන්න මාව අතහරින්නේ නැතුව මගේ හයියට ඉන්නවට බොහොමත්ම ස්තුතියි.

කලාවෙන් කාර්යබහුල වෙද්දී වෘත්තීය ජිවිතේ මඟ හැරෙයිද?

මම හිතන්නේ නැහැ. කාර්යබහුල ජීවිතයක් මට තියෙන්නේ. කාලය කළමනාකරණය කර ගැනීම හරිම අමාරුයි. මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මාස්ටර් එක හදාරනවා. ෂූටින් සහ හඬකැවීම් කටයුතු මේ හැමදෙයක්ම කරගෙන ඔෆිස් එකටත් මම හරියටම සතියේ දවස් පහේ නිවාඩු ගන්නෙත් නැතුව කරගෙන යන්නේ. අමාරුයි. ඒකයි මම කිව්වේ ජිවිතේ සංකීර්ණයි කියලා. නින්ද අඩු දවස් තියෙනවා. හැබැයි කවදා හරි සතුටු වෙන්න පුළුවන් අඩු වයසකදී ලබා ගෙන තියෙන දේවල් එක්ක.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division