Home » අලුත් අවුරුද්දට පෙර බදු අඩු කරනවා

අලුත් අවුරුද්දට පෙර බදු අඩු කරනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

by gayan
January 20, 2024 12:30 am 0 comment

ආණ්ඩුව මේ අවුරුද්දේ ජනවාරි 01 වැනිදා සිට පනවපු වැට් බද්දත් අනෙක් බදුත් ජනතාවට විශාල බරක්. ඒ බදු බර ජනතාවට විශාල පීඩනයක් මේ පීඩනය ආණ්ඩුවට දැනෙන්නේ නැද්ද?

අපිට හොඳින් දැනෙනවා. අපි නිතරම මේ ගැන සාකච්ඡා කරනවා. මෙතන ගැටලුව තියෙන්නේ බදුවල නෙමෙයි. බදු ප්‍රතිපත්තියෙයි. බදු අය කිරීමේ ක්‍රමවේදයයි.

අප බදු ලෙසින් අය කරන්නේ වැට් ආදායමයි, ආදායම් බදු, මාසික වැටුප්වලින් උපයන විට ගෙවීම් සහ බැංකු තැන්පතුවලින් අය කර ගන්නා බදුයි.

නමුත් බදු ගෙවිය යුතු 105,000ක පිරිසකගෙන් බදු ගෙවන්නේ 31,000යි. අපි මේ ගැන අවධානය යොමු කර ආදායම් බදු නොගෙවන, එහෙත් බදු ගෙවිය යුතු අය ආදායම් බදු ගෙවන තත්ත්වයට පත් කළ යුතුයි.

ඒකේ වරද ආණ්ඩුවෙනේ. ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලත් බදු හොරු නිදැල්ලේ ඉන්නෙ?

අලුත් ක්‍රමවේදය අනුව ව්‍යාපාරිකයන්, බදු නොගෙවා මඟ හරින අය සොයා ගන්න පුළුවන්. එහිදී බදු නොගෙවා ඉන්න අය පහසුවෙන් හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් අපි ආදායම් බදු පනතත් සංශෝධනය කළා. අනෙක් රටවල වගේ ඉදිරියේදී බදු හොරුන් ඍජුවම සොයාගත හැකි ක්‍රමවේදයන් ගෙන එනවා.

ආණ්ඩුවම නේද බදු සංශෝධන නිසි කලට ගෙන ආ යුත්තේ. ආණ්ඩුව ව්‍යාපාරික බදු, ආදායම් බදු නිසි පරිදි අය නොකර සාමාන්‍ය ජනතාවට පහර වදින ලෙස වැට් බදු ඇතුළු ජනතාවට පීඩා කරන බදු වැඩි කිරීම ඔබ අනුමත කරනවාද?

අපි මේ ගැන ජනාධිපතිතුමා සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කළා. එතුමත් කිසිම කැමැත්තකින් නෙමෙයි බදු වැඩි කළේ. ජනාධිපතිතුමාටත් වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව අපට මුදල් අච්චු ගහන්නත් බෑ. ණය අරගෙන ඒ කටයුතු කරන්නත් බෑ.

බදු එකතු නොකර කොහොමද රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ. විශ්‍රාම වැටුප් ගෙවන්නෙ කොහොමද? ජනතාවට සහනාධාර දෙන්න ඕන. සමාජ සුබසාධන කටයුතු සියල්ල කරන්න ආණ්ඩුවට බදු මුදල් නැතුවම බැහැ. ඒකයි ඇත්ත තත්ත්වය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙනුත් ආණ්ඩුව මේ වන විට ණය අරගෙන තියෙනවා නේද?

ඔව්, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සියලු ආයතන හරහා අපේ ආර්ථික තත්ත්වය යථාවත් කරගෙන කටයුතු කරනවා. ඒක ආර්ථික අර්බුදය වෙනුවෙන් ගත් තීරණයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ණය ගැනීම් ගැන තෘප්තිමත් ද?

ඔවුන් පැහැදිලිවම කියලා තියෙනවා ශ්‍රී ලංකාව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ඉක්මනින්ම යථාවත් වූ රට කියලා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රසාදය ලංකාවට පළ කර තියෙනවා.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුකූලතාවක් දක්වනවද මේ විදියට ජනතාවගෙන් බදු අය කර ගැනීම ගැන.

නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කැමති නැහැ ජනතාවට අධික බර පටවනවාට.

 බොහෝ රාජ්‍ය ආයතන හරහා බදු හොරුන් ආරක්ෂා කරනවා කිව්වොත්…

ඔව්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වගේ ආයතනවල විශාල දූෂණ තියෙනවා. මේ ගැන වඩා අවධානය යොමු කළ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් නිරතුරුවම කරුණු දක්වා තියෙනවා. ඒ ආයතනවලින් සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණ කළ යුතුයි. හිඟ බදු අය කර ගැනීමට කටයුතු කළ යුතුයි.

රාජ්‍ය බැංකුවලට පොලු තැබූ ව්‍යාපාරිකයන් රැසක් ඉන්නවා. ඔවුන්ගෙන් ඒ මුදල් අය කරගන්න ක්‍රමයක් නැත්තේ ඇයි?

ඔව්. ඒ කතාව හරි, රාජ්‍ය බැංකුවලින් මිලියන ගණන් ණය අරගෙන නොගෙවා හරින ව්‍යාපාරිකයන් ඉන්නවා. ඔවුන් ණය අරගෙන ව්‍යාපාර බංකොලොත් බව පෙන්වනවා. ඒත් ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර තියෙනවා හොඳින් ලාබ උපයන. ඉදිරියේදී එවැනි ව්‍යාපාරිකයන්ට එරෙහිව පියවර ගනීවි. මේ සියලු දෙනා බදු ගෙවීම් මඟ හරින්න, බැංකු ණය නොගෙවා සිටින්න කටයුතු කරන අය.

 සාමාන්‍ය කෙනෙකුට ලක්ෂයක දෙකක ණයක් ගන්න බැහැ, උප්පැන්නේ සිට බැංකුවෙන් සියලු ලේඛන ඉල්ලනවා. ඇපයට මොනතරම් දේවල් ඉල්ලනවද? ඒත් මේ මිලියන ගණන් පොලු තබන අයගෙන් ඇප ලබාගෙන නැද්ද?

ඒක තමයි මම කලින් කිව්වෙ, රාජ්‍ය ආයතන විශාල ලෙසින් දූෂිත නිලධාරීන්ගෙන් පිරිලා, ඒ ණය ගෙවපු අනුමත කරපු නිලධාරීන් ඇතිනෙ. ඒ අය ඒ ගැන වග කියන්න ඕන. පෞද්ගලික බැංකුවල ඒ තත්ත්වය නැහැනෙ.

විදුලි බිලෙනුත් ජනතාව පීඩා විඳිනවා. ඒ සම්බන්ධව සුළු සහනයක් පමණක් ලබා දුන් බවයි ජනතාව කියන්නෙ.

විදුලිබල මණ්ඩලය විශාල පාඩුවක් ලැබුවා. දැන් ඒ පාඩුව ක්‍රමයෙන් අඩු කරගෙන තිබෙන්නේ. සහන දෙන්න පුළුවන් වුණ විගස තමයි විදුලි බිල අඩු කරන්න තීරණය කළේ. මේ වන විට වැස්ස ලැබීම නිසා විදුලි නිෂ්පාදන වියදම අඩු වෙලා තියෙනවා. ඒ නිෂ්පාදන වියදමේ අඩු වූ වාසිය ජනතාවට ලබා දුන්නා.

 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ 2කට වැඩිය වැහිලා, තවත් ව්‍යාපාර අඩපණ වෙලා ඇති බවට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කර තිබුණා. මොකද වෙන්නේ?

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලම වගේ රඳා පවතින්නේ, ඒවා ක්‍රියාත්මක වන්නේ බැංකු ණය හරහා. බැංකු පොලිය අධික වුණහම ඒ ව්‍යාපාර පවත්වා ගෙන යාම අසීරුයි. ඒක තමයි ඇත්ත. දැන් බැංකු පොලිය අඩු කරල තියෙන නිසා ඒ ව්‍යාපාරවලට තියෙන බාධා අඩු වෙයි.

නමුත් බැංකු ඒ සහන ජනතාවට දෙන බවක් පේන්න නැහැ.

ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට පැමිණිලි කරන්න පුළුවන්.

 මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඔබ පක්ෂයේ නියෝජනය ගැන තීරණයක් අරගෙනද තියෙන්නේ?

මේ වෙන කොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විදියට දැනුම් දීලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයායි, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර මහත්මයයි විතරයි. අපේ පක්ෂය එහෙම විශේෂ තීරණයක් අරගෙන නැහැ. පක්ෂයේ ප්‍රධානියා ලෙස මහින්ද මහත්තයා තමයි ඉදිරිපත් කරන්න ඕන. නමුත් එතුමා ඉදිරිපත් වෙන්නේ නැති නිසා එහෙම විශේෂ කෙනෙක් නැහැ. නමුත් පක්ෂයේ බහුතරයකගේ මතය වෙන්නේ වත්මන් ජනාධිපතිවරයාටම සහාය දීම සුදුසු බවයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන ඔබට මහජන නියෝජිතයෙක් ලෙස සතුටු වෙන්න පුළුවන්ද ?

70%ට තිබුණ උද්ධමනය අද වන විට 5%ට අඩු වෙලා. හාරසිය ගාණට ගිය ඩොලරය අද වන විට 320ට වගේ අඩු වෙලා. ඩොලර් සංචිත වැඩි වෙලා. ඉන්ධන තියෙනවා, ගෑස් තියෙනවා.

පසුගිය 2022 අවුරුද්ද එක්ක සංසන්දනය කරල බලද්දි සතුටු වෙන්න පුළුවන්.

 ඔබ ඇමැතිවරයෙක් වෙලා හිටියත් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ.

මම විතරයි ජනාධිපතිතුමාගෙන් ඇමැතිකම් ඉල්ලන්න ගියේ නැත්තේ. ඇමැතිකම් නෑ කියලා කිසිම ගැටලුවක් නෑ. ඒ වගේම මම තමයි පක්ෂය වෙනුවෙන් වැඩියෙන්ම කතා කරන්නේ. ජනතාවට සේවය කරන්න මට තනතුරු ඕන නැහැ. ඇමැතිකම් තිබුණත් නැතත් මම පුළුවන් උපරිමය කරනවා.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division