Home » නොබැඳි ජාතීන් තව­දු­ර­ටත් දුර්වල රාජ්‍ය­යන්ගේ එක­තු­වක් නොවේ

නොබැඳි ජාතීන් තව­දු­ර­ටත් දුර්වල රාජ්‍ය­යන්ගේ එක­තු­වක් නොවේ

ජනපති රනිල් නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේදී කියයි

by damith
January 20, 2024 12:39 am 0 comment

නොබැඳි ජාතීන් තව­දු­ර­ටත් දුර්වල රාජ්‍ය­යන්ගේ එක­තු­වක් නොවන බව පසුගිය සිකුරාදා(19) පැවැති නොබැඳි ජාතීන්ගේ සමු­ළුවේදී ජනපති රනිල් වික්‍රමසිංහයන් සැසිය අමතමින් පැවසීය. ඩිජි­ටල් සහ තාක්‍ෂ­ණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවි­තය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­න­යට අයත් සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල් සහ සංව­ර්ධිත ලෝකයේ රට­වල් අතර ගැඹුරු අස­මා­න­තා­වක් නිර්මා­ණය කර ඇති බවත්, යහ­පත් ලෝක­යක් නිර්මා­ණය කිරීම සඳහා ශක්ති­මත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­න­යක් තුළින් මෙම ගැටලු කඩි­න­මින් විස­ඳා­ගත යුතු බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ “හවුල් ගෝලීය සමෘ­ද්ධිය සඳහා සහ­යෝ­ගී­තාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උග­න්ඩාවේ කම්පාලා නුව­රදී සිකුරාදා (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමු­ළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අම­ත­මිනි. උගන්ඩා ජන­ර­ජයේ ජනා­ධි­පති යොවේරි මුසෙ­විනි (Yoweri Museveni) ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සාමා­ජික රට­වල් 120ක රාජ්‍ය නාය­ක­යන්ගේ සහ නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය 19 හා 20 දෙදින පැවැත්විණි. සමු­ළුව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ විකා­ශ­නය වන බහු­ධ්‍රැ­වීය ලෝක­යට ගැළ­පෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නයේ අර­මුණු නැවත නිර්ව­ච­නය කර­මින් ගෝලීය දකුණේ විශා­ල­තම සාමා­ජික සංඛ්‍යාව සිටින සංවි­ධා­නය බවට පත් විය යුතු බවයි. එම පරි­ව­ර්ත­න­යේදී, මහා බල එදි­රි­වා­දී­කම් මෙන්ම ඊට මැදි­හත් නොවන රාජ්‍ය­යන් ඈඳා ගැනී­මට සිදු­ ක­රන බල­පෑ­ම්ව­ලට විරුද්ධ විය යුතු බවත් අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා ගෝලීය දකුණේ රට­වල පව­තින දේශ­පා­ලන, ආර්ථික, සමා­ජීය සහ දේශ­ගු­ණික විප­ර්යාස අවම කිරීමේ අභි­ලා­ෂ­යන් සපු­රා­ලන, බහු ධ්‍රැවීය ලෝක­යක් ගොඩ­නැ­ඟී­මට නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නය දායක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නයේ 19 වන රාජ්‍ය නායක සැසිය අමතා සිදු කළ සම්පුර්ණ කතාව මෙසේය, නොබැඳි ජාතීන්ගේ 19 වන සමු­ළු­වේදී, එම සංවි­ධා­නයේ නාය­ක­ත්වය භාර ගැනීම පිළි­බ­ඳව උග­න්ඩාවේ ජනා­ධි­පති යොවේරි මුස­වේනිට සුබ පත­මින් මම මගේ කතාව ආරම්භ කිරී­මට කැම­තියි.

ගෝලීය දකුණේ රට­වල් අතර සාමූ­හික දැනුම්­ව­ත්භා­ව­යක් පැව­තිය යුතු මෙවැනි තීර­ණා­ත්මක අව­ස්ථා­වක උග­න්ඩාව මෙම භූමි­කාව භාර ගැනීම වඩා කාලෝ­චිත බව කිව යුතුයි.

වසං­ග­තයේ ආර­ම්භය, ණය අර්බු­දය, දේශ­ගු­ණික ව්‍යසන, නව ගෝලීය තර­ග­කා­රි­ත්වය සහ ලෝක­යට, විශේ­ෂ­යෙන් ගෝලීය දකු­ණට ඉන් අන­තු­රුව ඇති වූ විවි­ධා­කර බල­පෑ­ම්ව­ලින් පසුව පැවැ­ත්වෙන පළමු නොබැඳි ජාතීන්ගේ සමු­ළුව මෙයයි.

ජනා­ධි­ප­ති­තු­මනි, අද අප මෙහි හමු­වන අව­ස්ථාව වන විට ගාසා තීරයේ සහ ඉන් ඔබ්බෙහි මානු­ෂීය අර්බු­ද­යක් දිග හැරෙ­මින් තිබෙ­නවා.

මාස තුන­කට අධික කාල­යක් පුරා පල­ස්තී­නයේ සිවිල් වැසි­යන් දැඩි දුක් වේදනා හා අහි­මි­වී­ම්ව­ලට ලක්ව ඇති අතර එම­ඟින් කලා­පීය ආර­ක්ෂාව හා ස්ථාව­ර­ත්වය ද අන­තුරේ හෙළා තිබෙ­නවා.

මේ දක්වාම නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නය බොහෝ දුරට නිහ­ඬව සිටියා. ගාසා තීරය විනාශ වන විට අප මෙසේ නිහ­ඬව සිටින්නේ කෙසේද?

එම ජන­තා­වට මානු­ෂීය ආධාර ලබා නොදුන්නා වගේම මිය­ගිය අය අතර බහු­ත­ර­යක් අහිං­සක සිවිල් වැසි­යන් වෙනවා. නිෂ්ශ­බ්ද­තා­වෙන් එක­ඟ­තාව ප්‍රකාශ වෙනවා.

උග­න්ඩාවේ නාය­ක­ත්වය යටතේ පැවැ­ත්වෙන නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නයේ මෙම 19 වන සමු­ළුව මඟින් ගාසා තීරයේ මෙම අර්බු­දය පිළි­බඳ මෙන්ම පල­ස්තී­නයේ ජන­තා­වගේ ස්වයං නිර්ණ අයි­තිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍ය­යක් ස්ථාපිත කර ගැනී­මට ඇති අහිමි කළ නොහැකි අයි­ති­වා­සි­කම සඳහා ඉහ­ළම ප්‍රමු­ඛ­ත්වය ලබා දී තිබීම අගය කළ යුතුයි.

ගාසා තීරය සම්බ­න්ධ­යෙන් දකුණු අප්‍රි­කාව ගෙන ඇති නිර්භීත ස්ථාව­ර­යට අපි සුබ පැතිය යුතුයි. වහාම මානු­ෂීය සටන් විරා­ම­යක් ඇති කරන ලෙසත්, ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කරන ලෙසත් ජාත්‍ය­න්තර ප්‍රජාව දැන­ට­මත් ඉල්ලා තිබෙ­නවා.

ඊශ්‍රා­ය­ලය නැමති තනි රාජ්‍ය­යක් මත ද්විත්ව රාජ්‍ය විස­ඳු­මක් පැව­තිය නොහැ­කියි. පල­ස්තීන රාජ්‍ය­යක් නොමැ­තිව කිසිදු විස­ඳු­මක් ද ලබා­ගත නොහැ­කියි.

එබැ­වින්, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය තුළ පව­තින විවිධ යෝජනා මෙන්ම මෙම සමු­ළුවේ ප්‍රකා­ශ­න­යට අනුව, ජාත්‍ය­න්තර ප්‍රජාව විසින් බට­හිර ඉවුර, ගාසා තීරය සහ නැඟෙ­න­හිර ජෙරු­ස­ලම, පල­ස්තීන රාජ්‍ය­යට අයත් භූමි ප්‍රදේශ ලෙස පිළි­ගත යුතුයි. එමෙන්ම ගාසා හි ජන­වා­ර්ගික සංයු­තියේ කිසිදු වෙන­සක් ද සිදු නොවිය යුතුයි. ඒව­ගේම වසර 5ක් ඇතු­ළත පල­ස්තීන රාජ්‍යය පිහි­ටු­විය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටි­නවා.

ජනා­ධි­ප­ති­තු­මනි, අප දැන් සීතල යුද්ධ­යෙන් පසු පැවැති තත්ත්වයේ අව­සා­නය සහ විකා­ශ­නය වෙමින් පව­තින බහු ධ්‍රැවීය ලෝකයේ ආග­ම­නය ද අත්ද­කි­මින් සිටි­නවා.

භූ දේශ­පා­ල­නික පෙර­මුණ තුළ, පැරණි බල­ව­තුන් සහ බල­ව­තුන් බවට පත්වී­මට අපේ­ක්ෂිත පාර්ශ්ව අතර පැවති සැඟ­වුණු සහ විවෘත ගැටුම් නැවත මතු­වීම ද අප අත්ද­කි­මින් සිටි­නවා.

යුරෝ­පයේ අත්ලා­න්තික් සාග­රයේ හමුදා සන්ධා­නය ශක්ති­මත් වී තිබෙ­නවා. ආයුධ පාල­න­යට අදාළ අතීත ගිවි­සුම් බිඳ වැටී තිබෙ­නවා.

හමුදා සඳහා කෙරෙන විය­දම් ඉති­හා­සය පුරා පෙර නොවූ විරූ මට්ටම් කරා ළඟා වී ඇති අතර න්‍යෂ්ටික අවි සම්බ­න්ධව යළිත් වරක් ප්‍රබල වශ­යෙන් ප්‍රති­ප­ත්ති­මය සාක­ච්ඡා­ව­කට ලක් විය යුතුව තිබෙ­නවා.

ඉන්දි­යානු සහ පැසි­ෆික් සාග­ර­වල අපගේ අවට ප්‍රදේශ ඇතුළු කළා­පයේ භූ-උපා­ය­මා­ර්ගික තර­ග­යක් නිර්මා­ණය වෙමින් පව­තින අතර අභ්‍ය­ව­කා­ශය සහ සාගර, ගැටුම් ඇති විය හැකි වේදිකා බවට පත් වී තිබෙ­නවා.

ප්‍රධාන බල­ව­තුන් අතර පව­තින උපා­ය­මා­ර්ගික තර­ග­කා­රී­ත්වය හේතු­වෙන් ප්‍රති­පත්ති මත පද­නම් වූ වෙළඳ ආර­ක්ෂ­ණ­වා­දයේ නැඟීම නිසා නිද­හස් වෙළඳ හා ආර්ථික ඒකා­බ­ද්ධ­තාව පසු­ප­සට ගමන් කර­ව­මින් තිබෙ­නවා.

එමෙන්ම වියු­ග­ල­නය සහ අව­දා­නම අවම කිරීම යන සංක­ල්ප­යන් මගින් මෙම තත්ත්වය තව­දු­ර­ටත් ව්‍යාප්ත කර තිබෙ­නවා.

නව වෙළඳ ක්‍රම­යක් පිළි­බඳ ඒක­පා­ර්ශ්වික ප්‍රකා­ශ­යක් සහ බට­හිර ජාතීන් විසින් ලෝක වෙ‍ෙළඳ සංවි­ධා­නයේ බහු පාර්ශ්වි­ක­ත්වය පසෙක දමා තිබෙ­නවා.

ඩොල­රය ආයු­ධ­යක් බවට පත් කර තිබෙ­නවා. ආර්ථික හා ණය අර්බු­දය, දේශ­ගුණ යුක්තිය, ආහාර සහ බල­ශක්ති සුර­ක්ෂි­ත­තාව නව අභි­යෝග බවට පත්ව තිබෙ­නවා.

ඩිජි­ටල් සහ තාක්‍ෂ­ණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි ගබ­ඩා­වන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපා­රය තුළ සිටින සංව­ර්ධ­නය වෙමින් පව­තින රාජ්‍ය­යන් සහ සංව­ර්ධිත ලෝකය අතර පවත්නා අස­මා­නතා උග්‍ර කර තිබෙ­නවා.

මෙම සමු­ළුවේ තේමාව බවට පත්ව ඇති ” හවුල් ගෝලීය සමෘ­ද්ධිය සඳහා සහ­යෝ­ගී­තාව පුළුල් කර ගැනීම” අපගේ ලෝක දෙක අතර පව­තින අස­මා­න­තා­වන් විස­ඳීමේ අව­ශ්‍ය­තාව පිළි­බිඹු කර­නවා.

එය සාර්ථක කර ගැනී­මට නම්, සිය­ල්ල­න්ටම යහ­පත් ලෝක­යක් සඳහා දායක වන ශක්ති­මත් සහ එක්සත් නොබැඳි සංවි­ධා­න­යක් අවශ්‍ය බව අපට අත්දැ­කීම් මඟින් පෙන්වා දෙනවා.

එසේ කිරී­මට නම් අප අප­වම ප්‍රති­නි­ර්මා­ණය කර ගත යුතුයි. නොබැඳි ජාතින්ගේ සාමා­ජි­ක­ත්වය තව­දු­ර­ටත් දුර්වල රාජ්‍ය­යන්ගේ එක­තු­වක් නොවේ.එය එසේ සිදුව තිබෙන්නේ, ඇතැම් ආසි­යානු, අප්‍රි­කානු හා ලතින් ඇම­රි­කානු රට­වල අත්ක­ර­ගෙන සිටින වේග­වත් ප්‍රග­තිය හා ආර්ථික දියු­ණුව නිසා බව අප හඳුනා ගත යුතුයි.

2050 වසර වන විට ලෝකයේ ප්‍රමු­ඛ­තම ආර්ථික දහය අතු­රින් බහු­ත­ර­යක් මෙම සංවි­ධා­න­යට අයත් වනු ඇතියි.

ගෝලීය කට­යු­තු­ව­ලදී නාය­ක­ත්වය ගතහැකි රට­වල් අප අත­රෙන් මතු­වෙ­මින් පව­තින බව ද දක්නට ලැබෙ­නවා. ඔවුන් නාය­ක­ත්වය ලබා දීමට සූදා­නම් විය යුතුයි.

එමෙන්ම, මහා බල­වතා වීම සඳහා පැරණි සහ නව ප්‍රධාන බල­ව­තුන් අතර දේශ­පා­ල­නික, ආර්ථික, තාක්ෂ­ණික හා යුධ­මය වශ­යෙන් භූ-උපා­ය­මා­ර්ගික තර­ග­කාරී තත්ත්ව­යන් මතු වන විට අප විසින් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය කාර්ය­භා­ර­යක් තිබෙ­නවා.

ජනා­ධි­ප­ති­තු­මනි, එබැ­වින් නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නය ඔබගේ සභා­ප­ති­ත්වය යටතේ ප්‍රති­නි­ර්මා­ණය කළ යුතුයි.

එසේම, බහු ධ්‍රැවීය ලෝක­යක් තුළ ගෝලීය දකුණ නියෝ­ජ­නය කරන විශා­ල­තම රට­වල් සමූ­හය ලෙස පරි­ව­ර්ත­නය වීම සඳහා නව භූමි­කා­වක් ඔබ භාර­ගත යුතුයි.

ඒ සඳහා අප අපගේ අර­මුණු ද නැවත සකස් කළ යුතුයි. විකා­ශ­නය වන බහු ධ්‍රැව ලෝකය තුළ බැන්ඩුන්ග් මූල­ධර්ම ආරක්ෂා කරන අත­රම මහා බල එදි­රි­වා­දී­කම්වලට මෙන්ම ඊට මැදි­හත් නොවන රාජ්‍ය­යන් ඈඳා ගැනීම සඳහා සිදු කරන බල­පෑ­ම්ව­ලට විරුද්ධ වීම, ගෝලීය දකුණේ රට­වල දේශ­පා­ලන, ආර්ථික, සමා­ජීය සහ දේශ­ගු­ණික විප­ර්යාස අවම කිරීමේ අභි­ලා­ෂ­යන් ඇතු­ළත් බහු ධ්‍රැවීය ලෝක­යක් ගොඩ­නැ­ඟීම සහ නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නය ගෝලීය දකුණේ රට­වල සහ එහි මිත්‍ර රාජ්‍ය­යන්ගේ ක්‍රියා­ශීලී කඳ­වු­රක් බවට පත්කර ගැනී­මට අප අප­වම පරි­ව­ර්ත­නය කර ගනිමු.

එමෙන්ම ගෝලීය දකුණ මුහුණ දෙන සම­කා­ලීන අභි­යෝ­ග­ව­ලට මුහුණ දීම සඳහා සන්නද්ධ වූ ඵල­දායී ස්ථිර මෙහෙ­යුම් ව්‍යුහ­යක් ස්ථාපිත කර­ග­නී­මට අප කට­යුතු කරමු කියා මා යෝජනා කර­නවා.

එසේම අප මෙම නව පිළි­වෙළ හැඩ­ගස්වා ගැනීමේ හැකි­යා­වක් ඇති සංවි­ධා­න­යක් බවට පත් වෙමු.

ජනා­ධි­ප­ති­තු­මනි, අපගේ අනා­ග­තය රැඳී තිබෙන්නේ අපගේ දෑත් මතයි. අපට එය සිදු කිරී­මට හෝ, විනාශ කිරී­මට හැකි­යාව තිබෙ­නවා. අපි එය සිදු කරමු.

නොබැඳි ජාතීන්ගේ සංවි­ධා­නයේ 19 වන රාජ්‍ය නායක සැසිය සාර්ථ­කව පැවැ­ත්වී­මට ඉතා උසස් අයු­රින් එම කට­යුතු සංවි­ධා­නය කළ උග­න්ඩාවේ ජනා­ධි­ප­ති­තුමා ඇතුළු රජ­යට මාගේ ස්තුතිය පිරි­න­ම­මින් මගේ කතාව අව­සන් කර­නවා.

විදේශ කට­යුතු අමාත්‍ය, ජනා­ධි­පති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දස­නා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පිය­තිස්ස, කුමා­ර­සිරි රත්නා­යක, උද­ය­කාන්ත ගුණ­ති­ලක සහ ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක, දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක රුවන් විජයව­ර්ධන යන නිල­ධා­රීන් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division