Home » ඉස්කෝලෙ පියන් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්තර උස්සා සිසුන් 27,000කට වින කැටූ හැටි

ඉස්කෝලෙ පියන් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්තර උස්සා සිසුන් 27,000කට වින කැටූ හැටි

by damith
January 20, 2024 12:36 am 0 comment

කොවිඩ් වසං­ග­තය අපේ රටේ ආර්ථි­ක­යට පම­ණක් නොව දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට ද ලොකු බල­පෑ­මක් කළේය. නිසි පරිදි කලට වේලා­වට විභා­ග­ය­ක්වත් පවත්වා ගැනී­මට හැකි­යා­වක් නොලැ­බෙන්නේ එබැ­විනි. දරු­වන්ගේ තීර­ණා­ත්මක විභාග ලෙස සැල­කෙන අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභා­ග­ය ද පැවැ­ත්වීමේ දින වක­වානු පවා වෙනස් වී ඇත්තේ එබැ­විනි. 2023 වසරේ අගෝස්තු මාසයේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණු අපොස උසස් පෙළ විභා­ගය මේ දි­න­වල පැවැ­ත්වෙන්නේ ද ඒ හේතුව නිසාය.

විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් මුලින් සැල­සු­ම්කර තිබුණු ආකා­ර­යට අනුව ජන­වාරි 04 වෙනිදා ආරම්භ වන අධ්‍ය­පන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ අව­සන් වීමට නිය­මි­තව තිබුණේ ජන­වාරි 31 වෙනි­දාය. එහෙත් දැන් විභා­ගය අව­සන් වන්නේ පෙබ­ර­වාරි 01 වෙනි­දා­ටය. විෂය අංක 08 යටතේ පසු­ගිය 08 වෙනිදා පැවති කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පළමු කොටස සහ 10 වෙනිදා පැවැත්වූ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභා­ග­යට පෙර පිටවී ඇති බව තහ­වුරු වීම හේතු­වෙන් නැව­තත් එම විෂ­යට අදාළ විභා­ගය පෙබ­ර­වාරි 01 වෙනිදා පැවැ­ත්වෙන බැවිනි.

මෙවර අපොස උසස් පෙළ විභා­ග­යට පාසල් අය­දු­ම්ක­රු­වන් 281,445 සහ පුද්ග­ලික අය­දු­ම්ක­රු­වන් 65,531 දෙනෙක් පෙනී සිටි­යේය. ඒ අය අත­රින් කෘෂි විද්‍යා විෂ­යට මුහුණ දී ඇතැයි පැව­සෙන්නේ 17,000ක් හෝ ඒ ආසන්න සිසුන් පිරි­සකි. මෙම සිසුන් මුහුණ දුන් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය විභා­ග­යට කලින් පිටවී ඇතැයි කියැ­වෙ­න්නට ගන්නේ එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එහෙම් පිටින්ම කඩ­දා­සි­යක ලියා මුහුණු පොත තුළ විභාග පැවැ­ත්වී­මට පැය කිහි­ප­යක් තිස්සේ හුව­මා­රු­වෙ­මින් තිබීම හේතු­වෙනි. හැබැයි ඒ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය පමණි.

කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න එහෙම් පිටින්ම මුහුණු පොතේ හුව­මාරු වන බව දැන­ගත් වහාම ඒ ගැන මූලික විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට පවා විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පිය­වර ගත්තේය. එහිදී පෙනී යන්නේ කෘෂි විද්‍යා දෙවැනි කොටසේ සඳ­හන් ප්‍රශ්න එහෙම් පිටින්ම පිට­ප­ත් කර කිසි­යම් අයෙක් විසින් විභා­ගය පැවැ­ත්වී­මට පැය කිහි­ය­කට පෙර මුහුණු පොතට දමා ඇති බවය. ඒ අනුව විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට පෙනී යන්නේ එම ප්‍රශ්න පත්‍රය විභා­ගය පැවැ­ත්වී­මට බොහෝ වේලා­ව­කට පෙර පිටවී ඇති බවකි. ඒ වන විටත් මුහුණු පොතේ හුව­මාරු වෙමින් තිබුණු මෙම ප්‍රශ්න පත්‍රය විභා­ග­යට මුහුණ දෙන දරු­වන් අතට ද ගොස් ඇතැයි අනු­මාන කර­මින් විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර තීර­ණ­යක් ගනු ලබන්නේ එම ප්‍රශ්න පත්‍රය අව­ලංගු කර­න්න­ටය.

විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර එයින් සෑහී­ම­කට පත්වූයේ නැත. ප්‍රශ්න පත්‍රය පිට­වුණු තැන සහ ඊට සම්බන්ධ පිරිස් සොයා ගෙන නීතිය ක්‍රියා­ත්මක කිරීමේ වග­කීම පව­රනු ලබන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටය. ඒ පසු­ගිය 12 වෙනිදා ලිඛිත පැමි­ණි­ල්ලක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු කර­මිනි.

එම පැමි­ණිල්ල තමා අතට ලද වහාම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කාවින්ද පිය­සේ­කර විසින් පව­රනු ලබන්නේ විශේෂ විම­ර්ශන අංශ 03ටය. මෙම අංශයේ නිල­ධා­රීන් මුලින්ම සිය නිරී­ක්ෂ­ණ­යට ලක් ක­රනු ලබන්නේ මුහුණු පොතේ හුව­මා­රුවූ අදාළ ප්‍රශ්න පත්‍රයේ පිට­පත කෙරෙ­හිය. ඒ එම ප්‍රශ්න පත්‍රය හුව­මාරු වූ මුහුණු පොතේ ගිණුම් හඳුනා ගනි­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන කණ්ඩා­යම උත්සහ කර­න්නට වූයේ එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට යොමු කළ මුල් ගිණුම හඳුනා ගැනී­ම­ටය. ඒ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථාපිත කර ඇති ඩිජි­ටල් වෝහා­රික පරි­ග­ණක විද්‍යා­ගා­රයේ නිල­ධා­රීන්ගේ ද සහය ලබා ගත්තේය.

ඒ ඔස්සේ මෙම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට එක් කළ පුද්ග­ල­යාව පැමි­ණිල්ල ලැබී පැය කිහි­ප­යක් ඇතු­ළත හඳුනා ගන්නා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් 13 වෙනිදා එළි­වෙන කොට සිටින්නේ අම්පා­රේය. ඒ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සඳ­හන් ප්‍රශ්න කඩ­දා­සි­යක සට­හන් කර මුහුණු පොතට යොමු කර ඇත්තේ අම්පාරේ පදිං­චි­ක­රු­වෙක් බව අනා­ව­ර­ණය වන්නට වූ බැවිනි.

ඒ පුද්ග­ලයා අම්පාර පැත්තේ උප­කා­රක පන්ති පව­ත්වන ගුරු­ව­ර­යෙකි. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂ­යට අදා­ළව උප­කා­රක පන්ති පව­ත්වන ඔහු දමින්ද ලක්ෂාන් ධර්ම­දා­සය. වයස අවු­රුදු 52ක් වන ඔහු එම ප්‍රදේ­ශයේ උසස් පෙළ කෘෂි විද්‍යා සිසුන් අතර තර­මක් ප්‍රසි­ද්ධි­යක් උසු­ලන අයෙකි. එසේම මේ තැනැත්තා අම්පාර ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ලයේ සේවයේ නිරත ගුරු­ව­ර­යෙකි. ඒ බව අනා­ව­ර­ණය වන්නේ අම්පා­රේදී මෙම තැනැ­ත්තාව විම­ර්ශන නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සම­ඟිනි.

ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වන තොර­තුරු මත විම­ර්ශන නිල­ධා­රීන් මේ තැනැත්තා පදිං­චිව සිටින අම්පාර විජි­ත­පුර පිහිටි නිවෙස ද පරීක්ෂා කළේය. එහිදී ඔහු මුහුණු පොතට යොමු කළ අතින් ලියූ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතු­ළත් කඩ­දා­සිය ද විම­ර්ශන නිල­ධා­රීන් සොයා ගත්තේය.

10 වෙනිදා සවස පැවැත්වූ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තිබුණු ප්‍රශ්න එහෙම් පිටින්ම විභා­ගය පැවැ­ත්වී­මට පැය කිහි­ප­ය­කට පෙර තමන් ලැබුණු ආකා­රය ගැන එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් තමන් දන්නා හැම ශිල්ප­යක්ම දමා ප්‍රශ්න කරනු ලැබීය. එහිදී මෙම තැනැත්තා පව­ස­න්නට වූයේ 10 වෙනිදා පැවැත්වූ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභා­ගය පැවැ­ත්වී­මට පැය දෙක තුන­කට පෙර තමාට වට්ස් ඇප් ඔස්සේ ලැබුණු බවය. එසේ ඔහුට ලැබෙන්නේ විභාග දෙපා­ර්ත­මේ­න්තුව විසින් මුද්‍ර­ණය කළ ප්‍රශ්න පත්‍ර­යක් විනා අතින් ලියූ කඩ­දාසි කැබැ­ල්ලක් නම් නොවේ. එම ප්‍රශ්න පත්‍රය ඒ වන විටත් ඔහුගේ ජංගම දුර­ක­ත­නයේ තැන්පත්වී තිබී විම­ර්ශන නිල­ධා­රීන් සොයා ගත්තේය.

තමන්ට ලද මෙම ප්‍රශ්න පත්‍රය මෙම තැනැත්තා මෙසේ අතින් පිට­පත් කර මුහුණු පොතට දමා ඇත්තේ විභා­ග­යෙන් පසු තමන්ගේ උප­කා­රක පන්ති­යට සිසුන් අද්දවා ගැනීමේ අපේ­ක්ෂාව ඇති­වය. ඒ විභා­ග­යට කලින් විභා­ගයේ ප්‍රශ්න සිසුන්ට ලබා­දී­මට තරම් තමා දක්ෂ­යෙක් බව පෙන්වී­ම­ටය. විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අව­ලංගු කිරී­මට මෙන්ම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට පවා සිදු වන්නේ ඔහු එසේ මුහුණු පොත ඔස්සේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කඩ­දා­සි­යක පිට­පත් කර ප්‍රසිද්ධ කිරීම නිසාය. එසේ නොව­න්නට කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය විභා­ග­යට පෙර පිටවී ඇති බවත් බල­ධා­රීන්ට සොයා ගන්නට තියා සිතා ගන්න­ට­වත් බැරි­ව­න්නට තිබුණු ඉඩ­කඩ බොහෝය.

මෙරට ඉති­හා­සය පිරි­ස්සී­මේදී මෙයට පෙර විභාග ප්‍රශ්න පත්‍ර­යක් පිට­වීමේ ආස­න්න­තම සිදු­වීම වාර්තා වන්නේ 2012 වස­රේදී සාමාන්‍ය පෙළ විභා­ගයේ විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය පිට­වී­මය. එම ප්‍රශ්න පත්‍රය පිට­වීමේ සිදු­වී­මට එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලබන්නේ නිර­ත්න­ත­ර­යෙන් ආන්දෝ­ල­න­යට තුඩු දෙන චරි­ත­යක් වන සම්පත් අත්ත­ටගේ නැමැති උප­කා­රක පන්ති ගුරු­ව­රයා ඇතුළු පිරි­සකි. ඒ අතර විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ලිතෝ යන්ත්‍රයේ ක්‍රියා­ක­රු­ව­කු ද සිටි­යේය. විභාග දෙපා­ර්ත­මේ­න්තුව තුළ පිහිටි මුද්‍ර­ණා­ලයේ දී විභාග ප්‍රශ්න පත්‍ර මුදු­ණ­ය­ ක­ර­මින් තිබි­යදී එක් ප්‍රශ්න පත්‍ර­යක් යන්ත්‍රයේ සිරවී ඇති බවත් එම සිරවූ ප්‍රශ්න පත්‍රය යන්ත්‍ර ක්‍රියා­කාරු සඟ­වා­ගෙන විභාග දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පන්නා තිබුණු බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී තිබුණි. එම ප්‍රශ්න පත්‍රය යන්ත්‍ර­යෙන් පිට­තට ගැනී­මේදී ඉරී­යාම හේතු­වෙන් එහි ඉතිරි වන්නේ ප්‍රශ්න 19ක් පමණි. එම ප්‍රශ්න 19 ඇතු­ළත් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්ත­ටගේ අතට පත්වී තිබුණේ විශ්‍රා­මික ගුවන් හමුදා සෙබ­ළෙකු මඟිනි. එම සෙබළා විසින් එම ප්‍රශ්න පත්‍රය සම්පත් අත්ත­ට­ගේට ලබාදී තිබුණේ රුපි­යල් ලක්ෂ­යක මුද­ල­ක­ටය. ඒ මුද­ලින් 25,000ක් සහ චෙක්ප­ත­කින් 75,000ක් වශ­යෙනි. විම­ර්ශ­න­යේදී පෙනී ගිය කරු­ණක් වූයේ සම්පත් අත්ත­ටගේ මෙම ප්‍රශ්න පත්‍රය විභා­ග­යට එන සැබෑ ප්‍රශ්න පත්‍රය බව නොදැන එය මුද­ලට ලබා­ගෙන ඇති බවය. ප්‍රශ්න 19ට තවත් එක් ප්‍රශ්න­යක් එක්කර ප්‍රශ්න 20ක අනු­මාන බහු­ව­රණ ප්‍රශ්න පත්‍ර­යක් ලෙසය. මෙම ප්‍රශ්න පත්‍රය ඔහු සිය උප­කා­රක පන්ති­යට එන සිසුන්ට පවා ලබා­දෙ­මින් ප්‍රශ්නවලට පිළි­තුරු පවා ලිය­න්නට උග­න්වනු ලැබීය. එහෙත් ඒවා නිවැ­රැදි පිළි­තුරු නොවීය.

කෙසේ වෙතත් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය මෙන් එදා අපොස සාමාන්‍ය පොළ විද්‍යා ප්‍රශ්න පත්‍රය නම් නැවත පැවැ­ත්වී­මක් නම් සිදු­වූයේ නැත. ඒ බහු­ත­ර­යක් සිසුන්ට ඒ තුළින් බල­පෑ­මක් නොවූ බව පෙනී යන්නට වූ බැවිනි.

ඊට පෙර ප්‍රශ්න පත්‍ර පිට­වී­මක් ගැන සමා­ජයේ දැඩි කතා­බ­හක් ඇති වන්නේ 2003 වසරේ පැවැති අපොස උසස් පෙළ විභා­ගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහි­ප­යක් සම්බ­න්ධ­යෙනි. ඒ සම්බ­න්ධ­යෙන් චෝද­නා­වට ලක්වන්නේ එකල ජන­ප්‍රිය උප­කා­රක පන්ති ගුරු­ව­ර­යෙක් වූ උපුල් ශාන්ත සන්න­ස්ග­ලය. විභා­ග­යට පෙර ඔහු විසින් සිය උප­කා­රක පන්ති­ව­ලට පැමි­ණෙන දරු­වන්ට ලබාදී කියා දුන් රචනා ප්‍රශ්න කිහි­ප­යක් එහෙම් පිටින්ම විභා­ග­යට ලබා­දුන් ප්‍රශ්න පත්‍ර­යේ ද තිබීම ගැන එකල දැඩි ආන්දෝ­ල­න­යට තුඩු­දුන් කරු­ණක් බවට පත්ව තිබුණි. ඒ නිසාම එකල සිටි විභාග කොම­සා­රි­ස්ව­රයා මේ ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර­මින් විම­ර්ශ­න­යක් පව­ත්වන ලෙස ඉල්ලා සිටි­යේය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඒ ගැන දීර්ඝ විම­ර්ශ­න­යක නිරත වෙමින් අව­සා­න­යේදී එක­ව­රම විම­ර්ශන හමාර කරනු ලබන්නේ එම ප්‍රශ්න පත්‍රය සම්බ­න්ධ­යෙන් අව­සාන නිග­ම­න­ය­කට එළ­ඹී­ම­කින් තොර­වය. එදා එම විභා­ගයේ ප්‍රති­ඵල නිකු­ත්වන විටත් එය පව­තින්නේ අව­සා­න­යක් නොමැති විම­ර්ශ­න­යකි. එබැ­වින් එම විභාග ප්‍රශ්න පත්‍රය සම්බ­න්ධ­යෙන් නැවත විභා­ග­යක් පැවැ­ත්වී­මට පවා බල­ධා­රීන්ගේ කිසිදු උන­න්දු­වක් නොවීය.

ඊට එහා ඉති­හා­සය පිරි­ස්සී­මේදී 83 වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභා­ගයේ ගණි­තය ප්‍රශ්න පත්‍රය පිට­වී­මක් ගැන තොර­තුරු දැන­ග­න්නට ඇත. එකල ජනප්‍රිය ගණිත උප­කා­රක පන්ති ගුරු­ව­ර­යෙක් වූ සනත් ලෙනොරා ඒ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණි. එදා එම ගණිත ප්‍රශ්න පත්‍රය පිට­වීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පවත්වා තිබුණේ සිසිර මෙන්ඩිස් නැමැති නිල­ධා­රි­යාය. අද ඔහු විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙකි. වත්මන් විභාග කොම­සා­රිස් අමිත් ජය­සු­න්දර අපොස උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන්නේ 80 දශ­ක­යේය. විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිට­වීමේ සිදු­වී­මක් එක­ලත් සිදුවී තිබුණි. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර­යට අවස්ථා දෙක­කදී මුහුණ දීමට පවා අමිත් ජය­සු­න්ද­රට පවා සිදුවී ඇත්තේ එබැ­විනි.

ඒ අනුව පෙනී යන්නේ විභාග ප්‍රශ්න පත්‍ර හෝ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න විභා­ග­යට කලින් පිට­වීම අරුම පුදුම දේවල් නොවන බවය. විභා­ග­යක් අව­සා­න­යේදී නිතර ඇසෙන කතා­වක් බවට පත්වන්නේ ද විභා­ගයේ ප්‍රශ්න පත්‍ර හෝ ප්‍රශ්න කලින් පිටවී ඇති බවය. කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පවා පිටවී තිබු­ණත් එය පිටවී ඇති බව තහ­වු­රුවී ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කිරී­මට මඟ පෑදෙන්නේ එම ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න එහෙම් පිටින්ම මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතු­වෙනි. එසේ නොව­න්නට මෙම ප්‍රශ්න පත්‍රය පිට­වීම බොහෝවිට හුදු කතා­බ­හ­කට පම­ණක් සීමා වීමට තිබුණු ඉඩ­කඩ බොහෝය.

මෙම විම­ර්ශ­න­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවූ ස්ථානය ද සොයා ගත්තේය. ඒ අම්පා­රෙන් අත්අ­ඩං­ගු­ව­ට­ ගත් ගුරු­ව­ර­යාට වට්ස් ඇප් ඔස්සේ එම ප්‍රශ්න පත්‍රය යොමු­කර තිබුණු වට්ස් ඇප් අංක එකින් එක පිරි­ස්ස­මින් කළ ජාල විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙසිනි. එහිදී පෙනී යන්නේ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇත්තේ එම ප්‍රශ්න පත්‍රය සිසුන්ගේ අතට පත්කි­රී­මට පැය කිහි­ප­ය­කට පෙර බවය. මෙහි ඇති භයා­න­කම හෙළි­ද­රව්ව වන්නේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇත්තේ විභාග මධ්‍ය­ස්ථා­න­ය­කින් වීමය.

විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ රහස්‍ය අංශය විසින් විභාග දෙපා­ර්ත­මේන්තු පරී­ශ්‍රයේ ඇති මුද්‍ර­ණා­ල­යෙන් මුද්‍ර­ණය කරන සෑම ප්‍රශ්න පත්‍ර­යක්ම මුද්‍රා තබා දැඩි ආර­ක්ෂා­වක් සහි­තව ගබඩා කර තබා බෙදා හරිනු ලබන්නේ මුද්‍රා තබා පොලිස් ආර­ක්ෂා­වක් ද සහි­ත­වය. එම ප්‍රශ්න පත්‍ර කට්ටල දිව­යින පුරා පිහිටි විභාග සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­න­ව­ලට රැගෙන ගොස් තැන්පත් කෙරන්නේ විභා­ග­යට පෙර දින­යේ­දීය. ඒ දැඩි පොලිස් ආර­ක්ෂක රැක­වල් මධ්‍ය­යේය. විභාග මධ්‍ය­ස්ථාන වෙත එම ප්‍රශ්න පත්‍ර කට්ටල් යොමු කරනු ලබන්නේ විභා­ගය පැවැ­ත්වෙන දින උදෑ­සන කාල­යේ­දීය. සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට පැමිණ එම ප්‍රශ්න පත්‍ර කට්ටල අත්සන් තබා රැගෙන යා යුත්තේ ශාලා­ධි­ප­ති­ව­රුන් විසිනි. මෙවර අපොස උසස් පෙළ විභා­ගයේ විභාග මධ්‍ය­ස්ථාන 2298ක් දිව­යින පුරා ස්ථාපිත කර ඇත්තේය. විභාග සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථාන ස්ථාපිත කරනු ලබන්නේ විභාග මධ්‍ය­ස්ථාන කිහි­ප­යක් ඒකා­බද්ධ කර­මිනි.

ශාලා­ධි­ප­ති­වරු විසින් සම්බ­න්ධි­ක­රණ මධ්‍ය­ස්ථා­න­යෙන් එදි­නට නිය­මිත ප්‍රශ්න පත්‍ර රැගෙන යන්නේ ද විභා­ගය පැවැ­ත්වී­මට පැය භාග­ය­කට හෝ පැය­කට ආසන්න කාල­යක් තුළ­දීය. ඊට පෙර නම් මෙම මධ්‍ය­ස්ථා­න­ව­ලින් ප්‍රශ්න පත්‍ර කට්ටල නිකුත් කරනු ලබන්නේ නැත. එම ප්‍රශ්න පත්‍ර කට්ටල ද ඇත්තේ මුද්‍රා තබාය. ඒ විභාග මධ්‍ය­ස්ථා­නයේ ශාලා­වෙන් ශාලා­වට වෙන වෙනම බණ්ඩල් කර­මිනි.

ශාලා­ධි­ප­ති­ව­රුන් රැගෙන යන එම ප්‍රශ්න පත්‍ර කට්ට­ල­වල මුද්‍රා ඉවත් කර විභා­ග­යට මුහුණ දෙන සිසුන්ට බෙදා දෙන්නේ විභා­ගය පැවැ­ත්වී­මට නිය­මිත වේලා­වට විනාඩි 10කට පෙරය. එහිදී ශාලා­ධි­පති විසින් ප්‍රශ්න පත්‍ර කට්ට­ලය ඇති කව­රය විභාග අපේ­ක්ෂ­ක­යන්ට පෙන්වා මුද්‍රා කඩා නොමැති බව පවසා සිසුන් කිහිප දෙනෙ­කු­ගෙන් ඊට අත්සන් ද ලබා ගනී. ඒ හැරුණු කොට එම විභාග මධ්‍ය­ස්ථා­නයේ සේවයේ නිරත නිරී­ක්ෂ­ක­යන් වන ගුරු­ව­රු­න්ගෙන් ද ඊට අත්සන් තබා ගනියි. ඒ හැම දෙයක් ගැනම විභාග කොම­සා­රිස් ජන­රාල් විසින් ලබාදී ඇති උප­දෙස් පත්‍රි­කාවේ ද සඳ­හන්ය.

මේ හැම දෙයක්ම සිදු වන්නේ විභා­ගයේ විශ්වා­ස­නී­ය­ත්වය රැක ගැනීම උදෙ­සාය. එහෙත් මොර­ටුව මහා විද්‍යා­ලයේ විභාග මධ්‍ය­ස්ථා­නයේ ශාලා­ධි­පති මේ විශ්වා­සය කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බ­න්ධ­යෙන් නම් බිඳ දමා තිබුණේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අව­ලංගු කර­මින් දරු­වන්ට දෙවැනි වර­ටත් කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ලිය­න්නට පවා සිදු කර­මිනි. ඒ මෙවර කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී තිබුණේ එම විද්‍යා­ලයේ විභාග මධ්‍ය­ස්ථා­න­යෙන් වූ බැවිනි.

මොර­ටුව මහා විද්‍යා­ලයේ විභාග ශාලා­ධි­ප­ති­ව­රයා මොර­ටුවේ වෙනත් පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යෙකි. මොර­ටුව මහා විද්‍යා­ලය මෙයට ගෑවෙන්නේ එම ශාලා­ධි­ප­ති­ව­රයා යටතේ සේවයේ නිර­තව සිටි කාර්යාල සහ­ය­ක­යකු විසින් ප්‍රශ්න පත්‍රය පිට­කර තිබීම හේතු­වෙනි. එසේ නොමැ­තිව මොර­ටුව මහා විද්‍යා­ලය මෙම විභාග වංචා­වට කිසි­සේත්ම සම්බ­න්ධ­ක­මක් නොමැත. එම කාර්යාල සහ­ය­ක­යා ද සේවයේ නිර­තව සිටින්නේ අදාළ ශාලා­ධි­ප­ති­ව­ර­යාගේ පාස­ලේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් සිය විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණ­ය­ ක­ර­ගෙන ඇති තොර­තු­රු­ව­ලින් පෙනී ගොස් ඇත්තේ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය පම­ණක් නොව, පළමු ප්‍රශ්න පත්‍ර­යත් මෙම විභාග ශාලාවේ සේවයේ නිර­තව සිටි ශාලා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්යාල සහ­යක විසින් පන්නා ඇති බවය. එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතට දමා හුව­මාරු නොවූ නිසා එම ප්‍රශ්න පත්‍රය කලින් පිටවූ බවක් බල­ධා­රීන් දැන සිටියේ නැත. එසේ වී නම් එම ප්‍රශ්න පත්‍ර­යත් මුලින්ම අව­ලංගු කර හමා­රය.

කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සිසුන්ට බෙදා දී ඇත්තේ පසු­ගිය 08 වෙනි­දාය. දෙවැනි ප්‍රශ්න පත්‍රය බෙදා දී ඇත්තේ 10 වෙනි­දාය. මෙම ප්‍රශ්න පත්‍ර දෙක­ටම අදාළ විභා­ගය පැවැත්වී ඇත්තේ සවස් කාල­යේ­දීය. පළමු ප්‍රශ්න පත්‍රය සවස 1.00 සිට 3.00 දක්වාත් දෙවැනි ප්‍රශ්න පත්‍රය සවස 1.00 සිට 4.10 දක්වාත් පවත්වා තිබේ.

මෙම ප්‍රශ්න පත්‍ර දෙකම විභා­ගය පැවැ­ත්වෙන අදාළ දින­වල සම්බ­න්ධි­ක­රණ මධ්‍ය­ස්ථා­න­යෙන් රැගෙනවිත් විභාග මධ්‍ය­ස්ථා­නය තුළය. කළු­තර මහා විද්‍යාල විභාග මධ්‍ය­ස්ථා­නයේ ශාලා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්යාල සහ­යක කර ඇත්තේ 08 වෙනිදා උදෑ­සන ප්‍රශ්න පත්‍ර කට්ටල රැගෙන විත් එදින උදෑ­සන සෙසු විෂ­යන්ට අදාළ විභා­ගය පැවැ­ත්වෙන අත­ර­තුර සවස නිකුත් කිරී­මට නිය­මිත කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර කට්ට­ලයේ මුද්‍රා කඩා එක් ප්‍රශ්න පත්‍ර­යක ඡායා­රූ­ප­යක් ගෙන එය ඔහු දන්නා කියන සිසු­ව­කුට වට්ස් ඇප් කිරී­මය. ඒ ආකා­ර­ය­ටම ඔහු 10 වෙනි­දාත් උදෑ­සන කෘෂි විද්‍යා ප්‍රහ්න පත්‍ර දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍ර කට්ට­ලයේ මුද්‍ර කඩා පුශ්න පත්‍ර­යක් ඉව­තට ගෙන එම සිසු­වාට වට්ස් ඇප කළේය. ප්‍රශ්න පත්‍ර දෙකම විභා­ග­යට කලින් පිට­වන්නේ එසේය. මේ කට­යුත්ත කාර්යාල සහ­ය­කයා කර ඇතැයි පැව­සෙන්නේ එදා උදෑ­සන විභා­ගය පැවැ­ත්වෙන විට ශාලා­ධි­පති ඇතුළු පිරිස විභාග ශාලාව තුළ රැදි සිටි­ය­දීය. ප්‍රශ්න පත්‍ර කට්ට­ලයේ මුද්‍රා කඩා ප්‍රශ්න පත්‍ර පිට­තට ගෙන ඒවා තමන් දන්නා කියන සිසු­ව­කුට වට්ස් ඇප් කර ඇති එස්.ටී.එස්. චන්දන නැමැති කාර්යාල සහ­ය­ක­යාව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ ඔහු විසින් එම ප්‍රශ්න පත්‍ර දෙක වට්ස් ඇප් කර යොමු කළ සිසු­වා­ගෙන් ලද තොර­තුරු ඔස්සේය. කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය සොයා ගන්නේ එම සිසු­වාගේ ජංගම දුර­ක­ත­නයේ තිබි­ය­දීය. එතෙක් පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කිසි­වෙක් දැන සිටියේ නැත. එම ප්‍රශ්න පත්‍ර­යත් අම්පාරේ ගුරු­ව­රයා අතට පත්වූයේ නම් එයත් ඔහු මුහුණු පොතේ දමනු ඇත. පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බවත් හෙළි නොවන්නේ එම ප්‍රශ්න පත්‍රය මුහුණු පොතේ දමා ප්‍රසිද්ධ නොකළ බැවිනි.

ප්‍රශ්න පත්‍රය මෙසේ මොර­ටුව මහා විද්‍යාල විභාග මධ්‍ය­ස්ථා­න­යෙන් පිට­කළ කාර්යාල සහ­ය­කයා වයස අවු­රුදු 38ක් වය­සැති මොර­ටුව ඉහළ ඉදි­බැද්දේ පදිං­චි­ක­රු­වෙකි. මෙතෙක් එම ප්‍රශ්න පත්‍රය හැරුණු කොට වෙනත් විෂ­ය­න්ව­ලට අදාළ ප්‍රශ්න මේ ආකා­ර­යට පිට­කර ඇති බවක් අනා­ව­ර­ණය වන්නේ නැත. මෙම ප්‍රශ්න පත්‍ර දෙක පවා පිට කරනු ලැබුවේ මුදල් ගනු­දෙ­නු­වක් මත ද එසේත් නොමැති නම් හිත­ව­ත්ක­මක් මත­දැයි පවා ඇත්තේ තව­මත් ප්‍රශ්නා­ර්ථ­ය­ක්වය. ඒ මෙම ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් ඔස්සේ හුව­මාරු කළ සිසු­න්ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කිරී­මට මෙතෙක් පිය­වර ගෙන නොමැති බැවිනි. ඒ එම සිසුන් තව­මත් විභා­ග­යට මුහුණ දෙමින් සිටින බැවිනි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන් සූදා­න­මින් සිටින්නේ පෙබ­ර­වාරි 01 වෙනිදා විභා­ගය අව­සන් වීමෙන් අන­තු­රුව සිසු­න්ගෙන් මේ ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කර­න්න­ටය. එහිදී මෙතෙක් හෙළි නොවූ තවත් බොහෝ තොර­තුරු හෙළි­වනු ඇතැයි විම­ර්ශන නිල­ධා­රීන්ගේ විශ්වා­ස­යයි.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division