Home » දුරු රටක නාඳුනන මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීමට කැපවෙන ජපන් මිතුරෝ

දුරු රටක නාඳුනන මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීමට කැපවෙන ජපන් මිතුරෝ

by gayan
January 20, 2024 12:31 am 0 comment

ජාති කුල මල ආගම් භේදවලින් වියුක්තවී මිනිස්සු මිනිස්සු වෙනුවෙන් කැපවන මොහොතක ලෝකයේ ලස්සනම තැන් නිර්මාණය වන්නේය. එවන් සොඳුරු මිනිසුන් පිරිසක් හමු වීමේ භාග්‍ය ලදිමු. හුරුබුහුටි ලෙස සිංහල වහරමින් ප්‍රියමනාප ලෙස හැසිරෙන ජපන් යුවතියන් හා තරුණයන් ඔවුන්ගේ ජීවිතයේ වටිනාම කාලයක් දුරු රටක නාඳුනන මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීම සඳහා ස්වෙච්ඡාවෙන් කැප වී සිටිති. එය ජීවත් වීමට කෙරෙන රැකියාවකට එපිටින් වන සද් කාර්යයකි.

මේ උතුම් මිනිසුන් අපට හමුවන්නේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා/JICA) ලංකාව තුළ සිදු කරමින් සිටින සමාජ සහ මානව සංවර්ධන ව්‍යාපෘති තුළය. ජයිකා යනු ජපානයේ නිල සංවර්ධන ආධාර (ODA) පරිපාලනය භාරව සිටින සංස්ථාපිත ආයතනයකි.

එය ලෝකයේ විවිධ කලාපවල සංවර්ධනය වෙමින් පවතින රටවල සමාජ ආර්ථික සංවර්ධනයට සහායවන ලොව විශාලතම ද්විපාර්ශ්වික ආධාර නියෝජිතායතනය ය. වර්ෂ 2017 ජූලි මස ආරම්භ කරන ලද “විශ්වාසයෙන් ලෝකය මෙහෙයවීම” යන නව දැක්ම යටතේ, ජයිකා විවිධ ආකාරයේ ආධාර ක්‍රමවල නම්‍යශීලී සංයෝජනයක් හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල ගැටලු විසඳීමට සහාය දක්වමින් ඇත. ජපානය, ශ්‍රී ලංකාව තුළ මූල්‍ය හා තාක්ෂණික ආධාර සපයමින් සිටින්නේ වර්ෂ 1954 සිට ය. එනම් දළ වශයෙන් අවුරුදු 70කට එපිට අතීතයක සිටය.

සමාජ සංවර්ධනය අරඹයා ජපානය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හරහා ස්වේච්ඡා වැඩසටහන් ආරම්භ කරන්නේ 1980 මැයි 15 වන දින රාජ්‍යයන් දෙක අතර සිදුවන රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකින් අනතුරුවය. වර්ෂ 1981 සිට ජයිකා ස්වේච්ඡා සේවකයෝ 1,173 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සේවය කළහ. එකිනෙකට වෙනස් විවිධ සේවා ක්ෂේත්‍ර 100ක පමණ ඔවුහු සේවය කර තිබුණහ. මේ ජපන් ස්වේච්ඡා සේවකයන්ගේ විපුල විශිෂ්ටත්වයක් තිබේ. ඔවුන් ලංකාව තුළ සේවය කරන කලාපය අනුව සිය රාජකාරි සිංහල හෝ දෙමළ භාෂාවෙන් සිදු කරන්නේය.

පාරිසරික අධ්‍යාපනයේ සිට රැකවරණය දක්වා විවිධ ක්ෂේත්‍ර ගණනාවකට සහාය වන ස්වේච්ඡා සේවකයන් 21 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව තුළ සේවය කරති. ආබාධ සහිත පුද්ගලයන්ට ශාරීරික අධ්‍යාපනයත්, වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා වූ සමාජ පරිසර අධ්‍යයනයත් රේඛීය අමාත්‍යාංශ කිහිපයකට අනුබද්ධ විවිධ ප්‍රදේශයන්හි සත්කාරක ආයතනවල ජයිකා ස්වේච්ඡා සේවකයෝ වැඩ කරමින් සිටිති. ඔවුහු බිම් මට්ටමේ ප්‍රාදේශීය ප්‍රජාවට සහාය වෙමින් සිය ජීවිත කැප කරති.

දුරු රටකට පැමිණ නම් නොදන්නා මිනිසුන්ගේ ජීවිත සුබ සාධනය වෙනුවෙන් කැපවුණු එවැනි පිරුණු මිනිසුන් කිහිප දෙනකු සමඟ ආදරණීය සංවාදයක් ගොඩනඟා ගනිමු. ඔවුන් ආයාසයෙන් වචන ගළපමින් ස්වකීය ස්වරයෙන් සිංහල හසුරුවන මේ ආදරණීය සංවාදය මටත් නැවුම් අත්දැකීමකි. ඒ අත්දැකීම විඳිමින් මුලින්ම ඇය හා සංවාදයට මුල පුරමි. ඇය තෝකෝ කුරත ය. ජාතික තරුණ සේවා සභාවේ මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් සේවය කරන්නීය. ඇය මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ අයුරු පවසමින් සිය කතාව ආරම්භ කළාය. “මම 2023 අවුරුද්දේ ජූනි මාසේ ඉඳලා මීරිගම දී වැඩ පටන් ගත්තා. මම කළ දේ තමයි තොරතුරු තාක්ෂණ දැනුම ඔවුන්ට ලබා දීම. ඒ වගේම ජපන් සංස්කෘතියෙ එන ඔරිගාමී වැනි අත්කම් කලාවන් අපිට මේ තරුණයින්ට දෙන්න හැකිවීම ගැනත් සතුටුයි.

මට මීරිගම පෙර පාසලට ගිහින් සිංහල සින්දු කියලා පුංචි දරුවො එක්ක සරල ක්‍රියාකාරම් කරන්න ලැබුණු අවස්ථාව නම් හරිම ආශ්වාදනීයයි. එය මට වගේම ඒ පුංචි දරුවන්ටත් අලුත් අත්දැකීමක් වුණා. සාමාන්‍යයෙන් මීරිගම දී වෙන රටවල අය හමුවෙන්නේ කලාතුරකින්. මේ රටේ තරුණයො එක්ක කළ Regional youth camp එකේදී මා ජපානයේ හොඳ දේවල් ඔවුන්ට කිව්වා. ඔවුන් ලංකාවේ හොඳ පුරුදු ගැන මට කියලා දුන්නා. ඒ සාකච්ඡාව ඇත්තටම මගේ ජීවිතේටත් වැදගත් වුණා.”

ඔබට ඉලක්ක වෙච්චි අරමුණ ජයගන්න පුළුවන් වුණා ද?. මම ඇයව විමසුවෙමි.

“ඔව්… සාක්ෂාත් කර ගත් සමහර අරමුණු තිබෙනවා. ඒ වගේම තවත් සමහරක් ඉටු කරගන්න තිබෙනවා.

මම දැන් ලංකාවට ඇවිත් අවුරුදු එක හමාරක්. මේ වනවිට අප එක්ක එකතු වෙලා ක්‍රියාකාරකම් කළ තරුණ ප්‍රජාව තවදුරටත් දැනුමින් තියුණු කිරීම සිදු කරනවා. තවත් නවකයන් හමුවෙලා මගේ කාර්යයේ විෂය පථය පුළුල් කිරීමට මම කැමතියි. මගේ ප්‍රධානම ඉලක්කයක් තමයි ලංකාවෙ තරුණ තරුණියන් තුළ යපහත් උද්‍යෝගය ඇති කර ඔවුන්ගේ සමාජ කුසලතා සහ කාර්ය දැක්ම වර්ධනය කිරීම.” ඇය කියන්නී ඇය තුළ මානව සමාජය වෙනුවෙන් ඇති ප්‍රබුද්ධ දැක්මය.

නොබුයුකි ඔකුදෙර කඩවසම් තරුණයෙකි. ඔහු පරිසර අධ්‍යාපනය සම්බන්ධව කුලියාපිටිය නගර සභාවේ ස්වේච්ඡා සේවයක නිරත වෙයි.

“මම ලංකාවට ආවේ 2022 පෙබරවාරියේදී. මේ රට යහපත් රටක්. අපි සම්බන්ධ නොවුණු වකවානුවෙත් රට තුළ හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ලංකාවේ පාසල් තුළ ක්‍රියාත්මක වන පරිසර නියමු ව්‍යාපෘතිය ඒ වගේ හොඳ වැඩසටහනක්. ඒ වගේම දරුවන්ට විතරක් නෙමෙයි. මට වැටහිලා තියන විදිහට මවුපියන්ගෙත් ඔලුව හදන්න අවශ්‍යයි. ඒ කියන්නේ දරුවෝ හොඳටම මවුපියන්ව අනුකරණය කරනවා. අම්මා පාරට කුණු දානවා නම් ළමයිනුත් පාරට කුණු දාන්න පුරුදු වෙනවා. ළමයි නිවෙසේ ගත කරන කාලයේදී මවුපියන්ට ලොකු වගකීමක් තියෙන්න ඕනෑ.

මම තමයි කුලියාපිටිය නගර සභාවේ කසළ කළමනාකරණය ගැන වැඩ කරන්නේ. හැම කඩයකම සහ හැම ගෙදරම කසළ වෙන් කරලා අපිට දෙන්න කියලා දැනුම්වත් කළා. නමුත් හිතන තරම් තත්ත්වය යහපත් වුණේ නැහැ. මිනිස්සුගේ ආකල්ප වෙනස් කර ගන්න අමාරු වුණා.

මා මෙතනදි යමක් කිව යුතුයි. කසල ගැටලුවක් වෙන්නෙම මිනිසුන්ගේ ආකල්ප මත. ලංකාවේ කසළ ප්‍රශ්නයක් නොවන්න නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. ඔවුන්ගේ සහාය අපට අවශ්‍යයි. ”

ජපානයේ සිට ලංකාවට පැමිණ රට විධිමත් කිරීමට ස්වේච්ඡාවෙන් කැපවී සිටින ඔහු අත් විඳින්නේ අපේ නොදියුණු ග්‍රාමීය ජන සමාජයේ වෙනස්විය යුතු තැන්ය. ඔහු ඒ වෙනුවෙන් අඛණ්ඩව සිය කැපවීම කරන්නේය.

රටේ ප්‍රජාව විෂයෙහි අතිශය මානුෂීය කැපවීමක් කරමින් සිටිය දී මට හමුවන ජපන් කාන්තාව සයාකා නුමානො ය. ඇය රටේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය සහ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින්නීය. එය බෙහෙවින්ම සංවේදී සමාජ ක්ෂේත්‍රයක් බව ඔබට තේරුම් ගත හැකිය.

ඇය මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන්නේ වර්ෂ 2022 ඔක්තෝබර් මාසයේ දී ය. ස්වේච්ඡා සේවිකාවක ලෙස සේවය කරන්නේ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේය. “විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධව අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප ඔබට දැනෙන්නේ කොහොම ද?” මම ඇයව සංවාදයට පොලඹවමින් ඇසුවෙමි.

“මම දකින්නේ ඔවුන්ගේ පවුලේ අය සහ වෙනත් අය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඉතා ආදරයෙන් සලකන බවයි. කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සමාජයට සාමාන්‍ය ලෙස මුහුවෙන්න අපහසු නිසා පොදුවේ බොහෝ අය ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නේ නෑ. මේ රටේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සමාජයට වඩාත් පූර්ණ ලෙස සහභාගී විය හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කළ යුතු යැයි මා සිතනවා.” අනතුරුව ඇය කියන්නේ අප යළිත් කල්පනා කළ යුතු යථාර්ථයකි.

“මට අවශ්‍ය වන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට යමක් උදවු කරන තෙක් බලා සිටීමම නොවෙයි, ඔවුන්ගේ කැමති දේ තෝරාගෙන තනිවම වැඩ කිරීමේ හැකියාව වර්ධනය කිරීමයි. මා කැප වෙන්නේ ඒ වෙනුවෙන්. මට අවශ්‍ය වන්නේ මේ ළමයින්ට ඔවුන්ගේ ගුරුවරුන්ට සහ මවුපියන්ටත් දරුවන්ගේ හැකියා කෙරෙහි විශ්වාසය තබන්න උගන්වන්න, ඉක්මන් නොවී සෙමෙන් ඒවා වර්ධනය කිරීමේ වැදගත්කම සහ අවකාශය තේරුම් කර දීමයි. ආදරයෙන් උපරිමයෙන් කරන ගුරුවරුන්ට මේකෙන් කරදර අඩුවක් දැනෙනවා නම් මම ඒකට සතුටුයි.” ඇය සිනාසෙමින් කියන්නේ මනුෂ්‍යත්වයේ කතාවක් නොවේදැයි සිතමි.

මිගුමි තන්ජින් ලංකාවට එන්නේ අපේ රටේ පූර්ව ළමා විය සංවර්ධන කාර්යය සඵල කිරීමටය. ඇය සේවය කරන්නී කුලියාපිටිය Seiki ආදර්ශ පෙර පාසල් මාධ්‍යස්ථානයේ ය. ඇය අපට ලංකාවේ දරුවන් ගැන ඇගේ දැක්ම කියන්නීය.

“මම ලංකාවට ආවේ 2022 ඔක්තෝබර් මාසේ. මේ රටේ දරුවන්ගෙන් මම දකිනවා දෙයක්. ඔවුන් හරි ආසයි කුතුහලයෙන් අලුත් දෙවල් සොයමින් සෙල්ලම් කරන්න. ඒ වුණාට පෙර පාසල් අධ්‍යාපනය තුළ මෙරට දරුවන්ට එවැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් අඩුයි. ළමා මනස පොත පතට වුණත් යොමු වෙන්නේ විනොදයක් තිබෙනවා නම් තමයි. ඉතින් පොත් පත්වල පාඩම් වුණත් ඔවුන්ට සතුටෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට විවිධත්වයකින් යුතුව නිර්මාණය වෙනවා නම් හොඳයි.

ළමා කාලෙම උගන්වන්න ඕන අකුරු සහ ඉලක්කම් විතරක්ම නෙමෙයි. ඔවුන්ගේ මනස හදන්නත් ඕනේ. පොත පතටම දරුවන් යෙමු නොකර දරුවා පරිසරයත් එක්ක, යහළුවන් එක්ක මුහු කරමින් කණ්ඩායම්ගත කර බාහිර ක්‍රියාකාරකම්වල, ක්‍රීඩාවල යොදවන්න ඕන. දරුවකුට වඩාත් වැදගත් වෙන්නේ ජීවිත් වෙන විදිහ සහ ජීවිතය මොකද්ද යන්න කුඩා කල සිටම කියා දීමයි. එයට හොඳම තෝතැන්න වෙන්නේ ඔවුන්ව පරිසරය සොබාදහම සමඟ නිදහසේ සැරිසරන්න ඉඩ දීමයි. එතකොට මේ ළමයින්ගේ ජීවිත හරිම ලස්සන වේවි.” මිගුමි තන්ජින් රටේ පෙර පාසල් ගුරුවරියන්ටත් නොදරුවෙක් නිදහස් මනසකින් යුතුව ශික්ෂණය කළ යුතු අයුරු කියා දෙන්නීය. ඇය නොකියා අපට පෙන්වා දෙන්නේ දරු පරපුර කූඩු කර දමා නිදහස් අනාගතයක් නිර්මාණය කිරීමට රටකට ඇති නොහැකියාවය.

යමමොතො තොරතුරු තාක්ෂණික ගුරුවරියක ලෙස සේවයට පැමිණ තවම මාස කීපයකි. ඇය සේවයට පැමිණෙන්නේ පසුගිය සැප්තැම්බරයේය. මිකා සිය ස්වේච්ඡා සේවය කැප කරන්නේ රත්නපුර තාක්ෂණ විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙනි.

“තරුණ දරුවකුට ඕලෙවල් ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ එන්න තියෙන තැනක් තමයි මෙතන. මම දකිනවා මෙතෙන්ට එන ගොඩාක් තරුණ දරුවන් ඉතාම හොඳ අය. කෙනෙක් මේ විෂය සම්බන්ධව දුර්වල වෙනවා නම් ඒකත් අපි පිළිගන්න ඕන. ප්‍රායෝගික ගැටලු කීපයක් මම මේ සේවය කරද්දි හඳුනා ගත්තා. පරිගණක තාක්ෂණය සහිත තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථාන ලංකාවෙ අඩුයි. මේ අංශයෙන් ඇති අධ්‍යාපන මධ්‍යස්ථානවල පරිගණක, යූපීඑස්, වැනි උපකරණවල හිඟය දරුවන්ගේ අධ්‍යාපනයට බලපනවා. ඒ වගේම විෂය ගැන උගන්වන ගුරුවරු හිඟයි. ඒ හිඟය මගහරවා ගැනීම වැදගත්. මම ඉන්නේ ස්වේච්ඡා සේවයක් වෙනුවෙන්. යළිත් මම මගේ රටට යා යුතුයි.” ඇය අවසානයේ දී මෙසේ කියන්නීය.

“ලංකාවෙ තරුණ අය ගොඩක් කැමතියි රට අත්හැරලා පිටරට යන්න. ඒ තරුණ කණ්ඩායම් කල්පනා කරනවා නම් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කුසලතා වැඩි කරගෙන මේ රටේ තොරතුරු තාක්ෂණය වැනි විෂයක ගුරුවරයෙක් වෙන්න. එහෙමනම් මොනතරම් හොඳයි ද?” කිව යුතු දෙයක් නැති නිසා නිහඬව අසා සිටියෙමි.

කසුයා එන්දො පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ස්වේච්ඡා සේවකයෙක් ලෙස ජපානයේ සිට පැමිණ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්වේච්ඡා සේවයේ යෙදෙන්නේය. “ මම ලංකාවට ආවේ 2023 අගෝස්තු මාසයේදී. සැප්තැම්බර් මාසයේදී වැඩ ආරම්භ කළා. ඒ අතරෙ මා දකින්නේ අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරුවරු ලෙස පුහුණුව ලබන ඉතාම උද්‍යෝගීමත් තරුණ විද්‍යාර්ථීන් පිරිසක්. ඒ වගේම ඔවුන් දරුවන් ගැන හරිම සැලකිලිමත්. ඒ අතින් ලංකාව ජපානයට වඩා හොඳ විය හැකියි.

නමුත් ලංකාවේ අධ්‍යාපනයේ ගැටලු තුනක් තියෙනවා. එකක් අධ්‍යාපනය හැදෑරීමේ දී අත්දැකීම් අඩුයි. උදාහරණයක් ලෙස, ක්‍රීඩා පන්තියේදී, මම හිතන්නේ ඔබ ක්‍රීඩා ඇඳුම්වලට මාරු විය යුතුයි. ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරය බොහෝ නම්‍යශීලී විය යුතුයි. දෙවනුව, පන්ති කාමර පරිසරයේ විෂමතා තිබෙනවා. මේසය පැරණි විය හැකියි. ප්‍රමාණවත් මෙවලම් නොමැති විය හැකියි. තෙවනුව, ගුරුවරුන් ඉතා කාර්යබහුලයි. ළමයි 45කට එකපාර උගන්වන එක හරිම අමාරුයි.

මා මෙහි පැමිණ මෙතරම් කාලයක් ගත වී නැති නිසා මට බොහෝ දේ කියන්න ඇත්දැකීමක් නෑ. නමුත් මම ජපන් භාෂාව, ගණිතය සහ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සහිත අධ්‍යාපනයක් සිසුන්ට හඳුන්වා දුන්නා. සංස්කෘතියක් ඉගෙන ගැනීම කියන්නේම චින්තනය පුළුල් වීමක්.” ඔහු කියන්නේ කුසලතා පූර්ණ මිනිසුන් සිටියත් සම්පත් හිඟකම මත සංකීර්ණ වන රටේ අධ්‍යාපනය ගැනය.

මේ මිනිස්සු සිය ජීවිතයේ වටිනා කාලයක් අප වෙනුවෙන් දිය කිරීමට පැමිණ අපට කියා දී යන කතාවට හතළිස් තුන් වසක් තිස්සේ සංවේදී වුණා නම් බොහෝ විට යම් තරමක් හෝ වෙනස් තැනක් වීමට ඉඩ තිබිණි.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division