Home » “….ලේළිට දොළ දුකක් සර්..”

“….ලේළිට දොළ දුකක් සර්..”

by gayan
January 20, 2024 12:29 am 0 comment

වේලාව දිවා මධ්‍යහනයට ආසන්න නිසාදෝ තානායම් පරිශ්‍රය පාළු ස්වභාවයක් ඉසිලුවා. නැවතිල්ලේ තානායම් ගේට්ටුවෙන් ඇතුළු වූ පරණ පහේ ත්‍රීරෝද රථයක් තානායම් මිදුලේ කෙළවර දක්වා ඉබි ගමනින් ඇදී ගොස් කොට්ටම්බා ගස් සෙවණේ නතර වූවා.

“..සබ්බං පහාය ගමනීයං..” යනුවෙන් පසුපස බඳෙහි සඳහන් එම ත්‍රීරෝද රථයෙන් බිමට බැසගත් එය පදවාගෙන ආ කෙසඟ වියපත් තැනැත්තා තානායම් පිවිසුම් දොරටුව අසලදී මට හමුවුණා.

“..තානායමේ කෑම පාර්සල් ගන්න තියෙනව නේද? සර්..” ඔහු යටහත් ස්වරයෙන් විමසුවා.

“..සමාවෙන්න සර්.. මේ බඩදරු අම්මා කෙනෙකුට.. දොළ දුකකට සර්..”

ඔහු ඒ වගන්තියේ අවසන් කොටස පැවසුවේ හරිම බයාදු ඉරියව්වකින්. තමුන්ට සිදුවෙච්ච ඇබැද්දියක් ගාණටයි.

“.. කොච්චර සුබ කාරණාවක්ද?.. අපි දන්න තරමින් දරු සම්පත තරම් උතුම් සම්පතක් මේ ලෝකෙ නෑ.”

මගේ පිළිතුරෙන් ලද සිහිලසක් නිසාදෝ වියපත් අමුත්තා සැනසුම් සුසුමක් උඩට ඇද ගත්තා.

“.. කීයක් ගියත් කමක් නෑ සර්… කිරට උයපු එළවළුවක් එක්ක… මිරිසට උයපු සුදුපාට මාළු එක්ක කෑම පාර්සලයක් තමයි බැලුවේ.. පුළුවන්ද දන්නෑ.. ගෙදර හදන කෑම කටේ තියන්නෙ නෑ සර්… ටවුමේ හැම කඩේකින්ම කෑම ගෙනිහින් දුන්නා. අද කන කඩෙන් හෙට කන්නෙ නෑ.. අප්පිරියයිලු සර් “

වියපත් තැනැත්තා ඔහුට ආවේණික යටහත් ස්වරයෙන් කියාගෙන ගියා.

“..මොනවද කියන්නේ.. ඉතාම සුළු දෙයක්.”

මා අමුත්තාගේ ආතතිය බින්දුවටම ශූන්‍ය කරනා අදහසින් කීවා. ඒත් තානායමේ දිවා ආහාරයට කිරට උයපු එළවළුවක් තිබුණත් අද අපි උයලා තියෙන්නේ සුදුපාට මාළු වර්ගයක් නොව කෙළවල්ලා මාළු බව මට එසැනින් මතකයට ආවා.

බඩදරු අම්මා කෙනෙකුගේ දොළ දුකක් වෙනුවෙන් පිළියෙළ කරනා ආහාර වේලක් නිසා අමුත්තා ඉල්ලන අපි සතුව තිබෙනා ඕනෑම ආහාර වර්ගයක් එවෙලේම පිළියෙල කරදීම හෝටල් ව්‍යාපාරයේ සදාචාරයකට වඩා අපගේ සංස්කෘතියෙහි අඩංගු ආගන්තුක සත්කාරයේ උතුම් අවස්ථාවක් නොවේදැයි මට සිහිවුණා.

“.. අද බදාදා මෙහේ සතිපොළ.. අපි උදේම ගෙනාවා කොස් මදුළු ටිකක්.. ඒ නිසා ඔබතුමාගේ වැඩේටම ඉව්වා වගේ තියෙනවා, හොඳ කිරි කොස් වෑංජනයක්. මාළු නම් උයලා ඇත්තේ කෙළවල්ලා.

ඒක අපේ වැඩේට හරියන්නේ නෑ.. ඒකට අපි ගාණෙ හදලා දෙන්නම් තෝර මාළුවලින් පොඩියට කරියක්.. කැමතිනම් ඒකත් සුදට කිරටම හදලා දෙන්නම්. ඒ පාර්සලේ වෙනුවෙන්ම හදන නිසා..“

රිසෙප්ෂන් කවුන්ටරේ ළඟට රැස්වෙලා ඉන්න මගේ තානායම් කාර්ය මණ්ඩලය මගේ කතාව දිහාව වපර ඇහෙන් බලා ඉන්නා අපූරුව මට පේනවා.

“.. ලොක්කාගෙ පණ්ඩිත වැඩ.. ඔය වැඩි වැඩ පුරුදු කර ගත්තාම ඉස්සරහට අපිටමයි කරදරේ..” ඒ ඇස්වල එහෙම ලියවිලා තිබුණා.

එක අතකින් බැලුවාම ඒකත් හරි.

මේ යන විදියට, රාජකාරියයි.. හෘද සාක්ෂියයි.. මිනිස්කමයි.. වෘත්තීයභාවයයි සියල්ල බැලන්ස් කරන්න උත්සාහ කරන අය අද කාලෙ මේ වගේ පුටුවලට සුදුසු නෑ.

“..ලේළියට කීවා නේද? කෑම පාර්සලේ..”

“..අනේ ඔව් සර්.. මගේ එකම කොල්ලා..”වියපත් තාත්තා පිළිතුරු දෙනවා.

ලේළිගෙ කෑම එක ගැන ඇහුවාම ඔහුට තමාගේ පුතා සිහි වෙන්නේ කුමක් හෝ අවුලක් නිසා වත්ද?..”

“..පුතාට පළවෙනි දරුවා වෙන්න ඇති නේද?..”

මා හෙමින් සීරුවේ ඔහුගේ හෘද සාක්ෂියට කිට්ටු කළා.

“.. නෑ සර් මේ ලැබෙන්න ඉන්නේ දෙවෙනි දරුවා..”

එසේ පැවසූ ඔහු වේගයෙන් හිස කසන්නේ තවත් යමක් එසැනින් සිහිවූ පරිද්දෙනි.

“..කේන්දරේ තුන්වැනි කොටුවේ ශනියා ඉන්නවා නම් ඒ කේන්දර හිමියට බාල සහෝදර පල නැහැයි කියන කතාව ඇත්තක්ද සර්… මට වීල් පාක් එකේ මල්ලි කෙනෙක් කීවේ, මොකක්ද පත්තරේක තිබුණාය කියලා..”

එකත් එකටම මේ තාත්තාගේ පුත්‍රයාට දැනට සිටිනා දරුවාගේ කේන්දරේ තුන්වෙනි කොටුවේ සෙනසුරු පිහිටා ඇති.

මොකක්ද මම දැන් දෙන උත්තරේ. නොදන්නා දෙයක් ගැන කතාවට ගොස් විමසන්නා තවත් අමාරුවේ දැමිය හැකිද?

“..ඒ ගැන නම් මට හරියටම කියන්න කිසිම දැනුමක් නෑ.. ලේළියි පුතයි යාලුවෙලාද බැන්දේ..?..”

මා පිළිතුරු දිය යුතු පැනය මඟහැර වෙනතකට යොමු වුණා.

“..කියලා වැඩක් නෑ සර්.. පුතා මගේ වීල් එක ගාමන්ට් හයර් එක දුවද්දි ඇති කර ගත්තු හාදකමක්…”

අමුත්තා ඔහු විමසූ පළමු පැනය අමතක කර මගේ පැනයට යොමු වනවා.

“ලේළිගේ අය්යලා මුලදි සම්බන්දෙට කැමති වුණේ නෑ. එයාලා අපේ කොල්ලව මරන්න හොයද්දි අපේ එකා බය නැතිව ලේළිව පන්නගෙන ආවේ සර්..”

වියපත් තාත්තා තම හෘදය සාක්ෂිය පියවරෙන් පියවර මා හමුවේ නිරාවරණය කරනවා.

“.. එදා ලේලිගෙ අය්යලා අපේ කොල්ලට ගේම දෙන්න වගේ බොරුවට ඒ සද්දෙ දැම්මට දැන් බලද්දි හැබෑ පාඩුව අපිටයි සර්..”

අමුත්තා තානායම හරහා හමා යන වියළි සුළඟ දිහාව ඔහේ බලාගෙන කියනවා. “..ඇයි ඒ..?.”

“.. අපේ කුලගොත් සෙට් වෙන්නෙත් නෑ සර්.. ලේළිලා…”

වියපත් තාත්තා එක්තරා කුලයක නමක් කියනවා. මගේ පපුව ලොකු සුසුමක් ඉල්ලා සිටිනවා.

“..සර් මේ කෑම පාර්සලේ රස්නෙ පිටම දීලා පිටත් කරමු නේද?.. දැන් දාලත් ටිකක් වෙලයි..”

වේටර්වරයෙක් මගේ කනට කොඳුරා කියනවා.

විවාහ වෙලා දෙවෙනි දරුවා ලැබෙන තරමට කාලය ගෙවී ගියත් මේ තාත්තා තවමත් කුලගොත් ගැලපෙන ලේළියක් නොලැබීම ගැන සිතින් කම්පා වෙනවා. ඒ නිසා වෙන්න ඇති මම පුතා ගැන අහපු පළමුවෙනි වතාවෙදිම මේ තාත්තාට “..අනේ මගේ කොල්ලා..” කියලා කියැවුණේ.

බොහෝ පියවරුන්ගේ හැටි එහෙමයි.

“..ඒ වුණාට බුදු දහමේ කියන්නේ ග්‍රහ තාරුකාවලට කළහැකි දෙයක් නැහැ කියලා.. බමුණෙක් වෙන්නෙත් වසලයෙක් වෙන්නෙත් ක්‍රියාවෙන් මිස කුලයෙන් නෙමෙයි කියලා නේ..”

මම කෑම පාර්සලය අතට දෙන ගමන් ඒ වියපත් තාත්තාට කීවා.

“..ගමේ පන්සලේ හාමුදුරුවෝ කීවෙත් ඔය ටිකමයි.. තානායම්වල සර්ලාත් ඒවා දන්නව නේ..?”

තාත්තා කෘතවේදී ස්වරයෙන් කීවා.

පැමිණි බය පක්ෂ ලීලාවෙන්ම ඒ තාත්තා පදවන ත්‍රීරෝද රිය තම ලේළිය වෙනුවෙන් මිලට ගත් කෑම පාර්සලයද සමඟ හෙමින් සීරුවේ තානායම් මිදුල දිගේ පිටවී යනවා.

“..සබ්බං පහාය ගමනීයං..”

ඇත්තෙන්ම අප යන මේ ගමනේ නිමාවක් තිබේද?

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division