වර්ෂ 1966දී ගංගොඩවිල ඒ. පී. ජී. බුද්ධදාස නමන් ලියූ කවියක් දිනමිණ පුවත්පතේ පළ වෙයි. ඒ. පී. ජී. අකුරුවලින් කියැවෙන්නේ අහංගම පොල්වත්තේ ගලප්පත්තිගේ කියාය. පසුකාලීනව බුද්ධදාස ගලප්පත්ති ලෙසින් ප්‍රකට වෙන මේ කවියා දිනමිණට කවි ලියන කාලයේ විද්‍යෝදය සරසවියේ විද්‍යාර්ථියෙකි.එයින් පටන් ගත් නිර්මාණකරණය බුද්ධදාස ගලප්පත්ති මේ වනතුරුත් අඛණ්ඩව නිරතව සිටියි. හේ ප්‍රතිභාපූර්ණ කවියෙකි; නවකතාකරුවෙකි;
කෙටිකතාකරුවෙකි; ගේය පද රචකයෙකි; තීරු ලිපි රචකයෙකි; නව පරපුරේ තරුණ කවීන්ගේ කාව්‍ය රචනාවල රස විමර්ශනය කරමින් ඒවා විචාරයට ලක් කරන්නෙකි. ඒවාට මතවාද මණ්ඩප නිර්මාණය කරන්නෙකි. විවිධ සාහිත්‍යයික
ප්‍රභේදවල මැනවින් සරමින් නිර්මාණකරණයේ යෙදෙමින් සිටිය ද බුද්ධදාස ගලප්පත්ති වැඩියෙන් ආසක්ත නිර්මාණ කාර්යය වෙන්නේ කවියයි.
ගිරි හිස සිට බලද්දි ඔබට බොහෝ දේ පේනවා ඇති?
ඇත්තටම 70 දශකයේ කවි ධාරාව ගත්තම ඒක එතෙක් පැවැති සෞන්දර්යවාදී, රොමාන්තික කවියෙන් වෙනස් වෙලා මහ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කළ කවි කිවිඳියන්ගේ ආගමනයක් විදියටයි විචාරකයන්ගේ හැඳින්වීම. සිරි ගුණසිංහට තියෙන චෝදනාවක් තමයි බුද්ධිමය සංකල්පනා තමයි කවිවලින් කියන්නේ කියන එක. අමරසේකරටත් මුලින් එහෙම තිබුණට ඔහු ඉක්මනින් තමන්ගෙ කවි මඟ වෙනස් කර ගත්තා. 70 දශකය ආරම්භ වෙද්දි මේ තත්ත්වය වෙනස් වුණා. මගේ කවි මඟ 70 දශකයේ ආරම්භක අවධියේ විදියටම තමයි දිගටම විකාශනය වුණේ. ඒකෙ වර්ධනාත්මක අවස්ථා තමයි 80 සහ 90 දශකවලින් පටන්ගෙන 2000 වෙනකොට මස්ඉඹුලලා අද වෙනකම් අරන් එන්නෙ. මම දකින විදියට අද තියෙන්නෙ 70 දශකයේ දිගුවක්. විෂයය වශයෙන් හා කවියේ බස, ඉදිරිපත් කරන විදියේ වෙනස තමයි මේ තියෙන්නෙ. ගිරි හිස සිට බලද්දි මට අතීතය, වර්තමානය වගේම අනාගතයත් පේනවා. මේ සියල්ල සමඟ මට යම්කිසි කියැවීමක් තියෙනවා. මේ එළියට ආවේ ඒ දැනීමේ කියැවීමේ ප්‍රතිඵලයක්.
ඒ වගේම මෙහි යම්කිසි දාර්ශනික තලයක් ස්පර්ශ කරන ආකාරයක් අපට පෙනෙනවා. තත්‍ය ලෝකයෙන් එහාට ගිය දාර්ශනික චින්තාවක් ස්පර්ශ කරන්න දරන ඔබේ උත්සාහය ගැන කතා කළොත්?
චින්තනමය වෙනසක් තියෙනවා ඇත්තටම. අනෙක ගිරි හිසක ඉඳන් බලද්දි පේන චිත්‍රය ඉතා විශාලයි. ඒ වගේම කුදු මහත් සියලු දේ පේන්න ගන්නවා. අනික් කාරණේ මම ගිරි හිසට ගියාට මම එතැන ඉඳන් බලන්නෙ අාකාසෙ දිහා නොවෙයි. පහළ ඉන්න මිනිස්සු දිහා.
ඒ අයගෙ සංවේදනා දිහා. ඒවා මට වෙනස් චින්තාවලි ඇති කරනවා. ඒ සිතිවිලි තමයි කාව්‍ය සංකල්පනා වෙන්නෙ. ජීවිතේ පහළ ඉඳන් දැකපු කෙනෙක් විදියට ගිරි හිසට ගිහින් උඩ ඉඳන් බලද්දි පහළ දර්ශනය ඉතා විශාලව පෙනෙනවා.
ගිරි හිස සිට කවි විඳිද්දි රසික අපිටත් යම් හුදෙකලා බවක්, කාංසාවක් වගේ හැඟීමක් ඇති වෙනවා. ඔබේ ඒ සුසුම් බර ගැන කතා කළොත්?
හුදෙකලාව, තනිකම, කාන්සිය වගේ හැඟීම් මගේ ජීවිතේට බද්ධ වෙලා දැන් දශක දෙකකටත් වැඩියි. මේ කවි කියවපු බොහෝ අයට ඒ කවි අතරේ මගේ හැඟීම් දැනිලා තිබුණා. මගේ පුද්ගලික සංවේදනා, මගේ ජීවිතේට මොනයම් අයුරකින් හෝ සම්බන්ධ කෙනකුගේ සංවේදනා හෝ තනිකමක් මට අනික් අයටත් වඩා හොඳින් දැනෙනවා කියලා මම විශ්වාස කරනවා. නිර්මාණකරුවෙක් තමන්ගෙ නිර්මාණ ඔස්සේ දකින්නෙ ජීවිතය නම් එය මට වගේම ඔබටත් පොදු විය හැකියි. එය පොදු සාමාජයීය ජීවිතේ වෙන්න පුළුවන්, පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. මගේ ජීවිතේ මම තනිකම බොහෝ කාලයක් විඳපු කෙනෙක්. මට නිර්මාණකරණයේදී මාව පෙළන, විඳින ඒ හැඟීම්වලින් මුළුමනින්ම වියුක්ත වෙන්න බැහැ. ඒවා තමයි වචන බවට පෙරළිලා කවි බවට පත් වෙන්නෙ.
ඔබට ඉන්නවානේ මහා මිතුරු කැලක්. ඒත් ඒ මහ සෙනඟ මැද පවා කවි ලියැවෙන තරම් ආත්මීය හුදෙකලාවක් ඔබට දැනෙනවා?
ඇත්තටම මට එහෙම දැනිලා තියෙනවා, දැනෙනවා. මම ඒක කවියක් විදියටත් ලියලා තියෙනවා. මට කැමැති, මං කැමැති, නිර්මාණ රස විඳින විශාල මිතුරු පිරිසක් ඉන්නවා. ඒ ගැන ඔබ දන්නවා. ඒ පුද්ගලික හැඟීම මට දැනෙන්නේ මහා සෙනඟක් මැද ඉන්න කුරා කුහුඹු මිනිසා වගේ දැනීමකින්.
ඒ කියන්නේ ඔබේ කවි අතරෙ ඔබේ සෙවණැල්ල තියෙනවා. මිදෙන්න අමාරුයි කියන එකද?
ඇත්තටම මිදෙන්න හරිම අමාරුයි නේද? හුඟක් වෙලාවට මගේ ඡායාවෙන් මිදෙන්න මට බෑ. මම ගොඩක් උත්සාහ කරනවා, ඒක පුද්ගලික දෙයක් නොකර ගන්න. හුඟක් වෙලාවට අපේ හැඟීම් නිර්මාණයට එකතු වෙනවා. මට නම් එහෙම මුළුමනින් වියුක්ත වෙලා නිර්මාණ කරන්න අමාරුයි.
නව ප්‍රවේශයේදී ඔබ වඩාත් නැඹුරු වෙන්නේ තමන්ගේ පැත්තට. ඔබ දකින ජීවිත ප්‍රශ්නවලට වඩා එහායින් ඇති සංකල්පීය හා හැඟීම් ගනුදෙනුවක් මේ කවි ඇතුළෙන් පේනවා.
ඔව්, එහෙම හිතෙන්න පුළුවන්. මගේ ඒ පුද්ගලික හැඟීම්වලින් මම කියවා ගන්නට උත්සාහ කළේ, පොදු ජීවිතයේ හැඟීම්ම තමයි.
ජීවිතයේ අස්ථීරයි. බුදු දහමේ කියන දේම තමයි මෙහි තියෙන්නෙත්. ගිරි හිස මුදුනට නැග්ගට පස්සේ ඒ සන්තෝෂය දරා ගන්න බැරිව ගිරි හිසෙන් බිමට වැටෙන කවිය ගැන හිතන්න.
මගේ පැරණි කවිවල තිබෙන සමාජානුභූතීන් මෙහි මුළුමනින්ම දකින්න නැහැ. ඒක මම පිළිගන්නවා. නමුත් මේවාත් ඒ වැනිම සංවේදනා තමයි.
ඔබ විවිධ නිර්මාණ ඉසව්හි නිරත වෙනවානෙ. නිරත වෙන්න වඩාත් ම කැමති සහ පහසු නිර්මාණ ඉසව්ව මොකක්ද?
මම විශ්වාස කරන්නෙ සහ මට හැඟෙන්නෙ මගේ ප්‍රකාශනය කවිය කියලයි.
මම කෙටිකතා සංග්‍රහයක් විදියට අන්තිමටම කළේ ජීවන සුසුම. ඒ්කෙදි වුණත් මම උත්සාහ කළේ, මගේ පුද්ගලික චින්තාවන්ට වඩා පොදු ගැටලු ගැන කතා කරන්නයි. ඒ වුණත් මගේ ප්‍රධාන ප්‍රකාශන විධික්‍රමය කවිය කියලයි මම විශ්වාස කරන්නෙ.
ඔබට වඩාත් අසීරු නිර්මාණ කාර්යය මොකද්ද?
කවිය තමයි අමාරුම. කවියක් ලියන්න විශාල කාලයක් යනවා, අත්දැකීම මෝරන්න ගත වෙන කාලයක් තියෙනවා. කවියෙන් කියන්න හිතෙන දේ එකපාරම ලියන්න බෑ. ඒ වගේම සීමිත වචන ප්‍රමාණයක් පමණයි භාවිත කරන්නෙ. මේ සියල්ල ම බැලුවම කවි ලියන එක තමයි අමාරුම වැඩේ.
ඔබේ අත්දැකීම් පරාසය කොහොමද නිර්මාණකරණයට යොදා ගන්නෙ?
මට විශාල පරාසයක මිනිස්සු හමු වෙනවා. මම ඒ අය ඇසුරු කරනවා. ඒ වගේම මම විවිධ මිතුරන් එක්ක රට වටා සංචාරය කරනවා.
ඒ සියල්ලෙන් මට අත්දැකීම් එකතු වෙනවා. ඔවුන්ගේ ජීවන චර්යා මම අධ්‍යයනය කරනවා. සමාජයේ විවිධ කොටස් ඇසුරු කිරීම නිසා මට ඒ අයගේ ජීවන චර්යාවල තියෙන වෙනස්කම් හොඳට හසු වෙනවා.
විවිධ වයස් මට්ටම්වල අය මට හමු වෙනවා. ඒ වගේම සමාජ කණ්ඩායම්. මේවා සියල්ල අත්දැකීම්. වරින්වර මේ අත්දැකීම් මට නිර්මාණකරණයට බලපෑම් කරනවා. ඒක හරියට මනසේ තියෙන පුස්තකාලයක් වගේ. මේවා සියල්ල කවි ලියද්දි, කෙටිකතා ලියද්දි, නවකතා ලියද්දි මම යොදා ගන්නවා.
සුමුදු චතුරාණී ජයවර්ධන