Home » එප්ස්ටීන්ගේ රහස් දූපතේ ලෝක බලවතුන්ට සුරසැප දුන් හැටි

එප්ස්ටීන්ගේ රහස් දූපතේ ලෝක බලවතුන්ට සුරසැප දුන් හැටි

ලොව කැලඹූ ලිංගික ජාවාරමේ සුලමුල 02

by gayan
January 20, 2024 12:30 am 0 comment

හිරු සඳු යට කිසිවක් සදාකාලික රහසක් නොවන බව යළි යළිත් සනාථ කරමින් අමෙරිකාවේ හිටපු ධන කුවේරයකු වන ජෙෆ්රි එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමේ තොරතුරු එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. එප්ස්ටීන්ගේ ලැයිස්තුව ලෙස ලොව පුරා මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති පිටු 300කට අධික ප්‍රමාණයකින් යුතු ලිපි ලේඛනවලින් ලෝක ප්‍රකට රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සුප්‍රකට පුද්ගලයන් දෙසීයකකට අධික සංඛ්‍යාවක් මේ මහ පරිමාණ ලිංගික ජාවාරමේ කොටස්කරුවන් බව අනාවරණය වී ඇත.

2014 වසරේ දෙසැම්බරයේදී වර්ජිනියා ගිෆ්රි නමැති කාන්තාවක දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තමා අවුරුදු 17දී එප්ස්ටීන්ගේ ලිංගික ගොදුරක් වූ බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෑත ඉතිහාසයේ විශාලතම ලිංගික ජාවාරමේ සුලමුල නිව්යෝක් නුවර අධිකරණයකදී ලොවට හෙළිදරව් වූයේ දශක දෙකකට වැඩි කාලයක් ඉමහත් කීර්තියක් දිනා සිටි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පැටිකිරිය එහෙම පිටින්ම කුඩුපට්ටම් කර දමමිනි. අවුරුදු 14ක් වැනි සුරතල් වියෙහි පසුවන දැරියන් ලවා තම නිරුවත් සිරුර සම්බාහනය කිරීමට ඒ දැරියන් ද නිරුවත් විය යුතු බවත් කියමින් ඒ සඳහා බලහත්කාරයෙන් දැරියන් නිරුවත් කර ඇත්තේ එප්ස්ටීන්ගේ දිගුකාලීන පෙම්වතිය සහ ලිංගික ජාවාරමේ කොටස්කාරිනිය වූ ගිස්ලේන් මැක්ස්වෙල් නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බවද හෙළි වූ අතර, ඇය මේ වන විට පසුවන්නේ බන්ධනාගාරගතවය.

මේ කාන්තාව එවකට නොම්මර එකේ නීතිඥවරුන්ගේ සහාය ලබමින් තර්ක විතර්ක ගෙන හැර දක්වමින් වර්ජිනියාගේ චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සමාජයේ දැඩි අපහසුතාවට පත්වූ අතර, දිරියසම්පන්න මේ තරුණිය තමාට සිදු වූ අපහාසයට ඇයට එරෙහිව නඩු පැවරුවාය. එහෙත් මුද්‍ර තබනු ලැබූ ලිපි ගොනුව වසා දමමින් එම අපහාස නඩු විභාගය 2017 වසරේදී සමථයකට පත් කිරීමට අධිකරණය තීන්දු කර ඇත්තේ ඉන් ලෝක ප්‍රකට පුද්ගලයන් රැසකගේ කීර්තිය කුඩුපට්ටම් වීම දැන දැනම බව ඊයේ පෙරේදා නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ කාටත් අවබෝධ විය. තරුණියගේ වාසනාවකට මියාමි හැරල්ඩ් ඇතුළු පුවත්පත් රැසක් ද එම ලිපිගොනුව විවෘත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, පසුව සියලු පාර්ශ්ව එම ලිපිගොනුව විවෘත කරන ලෙස ඉල්ලා අමෙරිකාවේ අභියාචනා අධිකරණයේදී අභියාචනා ගොනු කළේය. අවසානයේදී අභියාචනාධිකරණයේ තීන්දුව මත එම රහසිගත ලිපිගොනුව විවෘත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ අතර, ලොවට රහසක් ලෙස අතීතයට එක්වීමට ගිය ලිංගික ජාවාරමක සුලමුල අනාවරණය වූයේ එලෙසිනි.

මේ වන විට ජෙෆ්රි එප්ස්ටීන් ජීවතුන් අතර නැත. බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ අපරාධ චෝදනා යටතේ බන්ධනාගාරගත වී සිටි ඔහු ලිපිගොනුව විවෘත කිරීමේ උසාවි නියෝගය ලැබීමත් සමඟ සිරමැදිරිය තුළදී ගෙල වැලලාගෙන දිවිනසාගත් බව වාර්තා විය.

මේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තමා විශ්වාස නොකරන බව අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය මයිකල් බාඩෙන් නිවේදනය කිරීමත් සමඟ එම මරණය එප්ස්ටීන්ගේ ලිපිගොනුව ප්‍රසිද්ධියට පත් කිරීමට දුන් අධිකරණය තීන්දුවේ ප්‍රතිඵලයක් බවටත් සැකයක් මතු විය. එප්ස්ටීන්ගේ සිරුරේ තුවාල ගණනාවක් තිබු බවත්, ඒවා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගැනීමකදී සිදු නොවන අතිශය අසාමාන්‍ය තුවාල බවත්, එවැනි තුවාල බහුලව දැකිය හැකිවන්නේ හුස්ම හිරකර සිදු කරනු ලබන ඝාතනයකදී බවත් වෛද්‍ය බාඩෙන් ප්‍රකාශ කිරීමත් සමඟ එප්ස්ටීන්ගේ මරණය අභිරහස් මරණයක් බවට පත් විය.

ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් බවට පළමුව තීන්දු කළ නගරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වෛද්‍ය බාබරා සැම්සන් එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුව වාර්තා කළේය. කෙසේ වුවද අභියාචනාධිකරණය විසින් ප්‍රසිද්ධ කිරීමට නියෝග කළ එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමෙන් ‘සැප ලැබූ‘ නම් ලැයිස්තුව ඔහුගේ මරණයත් සමඟ නැවත වසා දැමීමේ අරමුණ ඇතිව කිසිවකුට හෝ කිසියම් කණ්ඩායමකට එප්ස්ටීන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේදැයි යන සැකය ද මරණයේ අභිරහසත් සමඟ කරළියට එක් විය.

එහෙත් එප්ස්ටීන්ගේ ලිංගික අපයෝජන සිදුවීම වසා දැමීමට කිසිවකුට නොහැකි විය. ඔහුගේ ලිංගික ජාවාරමේ මහ මොළකාරිනිය වූ ගිස්ලේන් මැක්ස්වෙල් අත්අඩංගුවට පත් වීමත් සමඟ නම් ලැයිස්තුවට අදාළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට අමතරව ලිපිගොනුවේ නොතිබූ තවත් රහස් රැසක්ම හෙළි විය.

ඒ සමඟම 70 දශකයේ මුල් භාගයේදී නිවයෝක් සිටි නගරයේ ගණිත ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කළ එප්ස්ටීන් වැඩිකල් යෑමට පෙර කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වීමේ රහස ද ලොවට හෙළි විය. අමෙරිකාවේ නොම්මර එකේ ධන කුවේරයකු බවට පත් වූවද, ඔහු කෝටිපතියෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් ආදායම් මාර්ග වාර්තා තහවුරු නොවීම නිසා එවකට ලෝක ප්‍රකට ‘ෆෝබ්ස්‘ සඟරාව සිය කෝටිපතියන්ගේ ලැයිස්තුවට එප්ස්ටීන්ගේ නම ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඉන් කියැවෙන්නේ මේ පුද්ගලයා සතු අතිවිශාල ධනය නීත්‍යනුකූලව උපයා ගත් ධනයක් නොවන බවය. 2019 වසරේ දී ජීවිතය නැති කරගැනීමට දින දෙකකට පෙර එප්ස්ටීන් විසින් අත්සන් තැබූ අන්තිම කැමති පත්‍රයට අනුව ඔහුගේ වත්කම අමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 577කි.

ඔහු සතුව මෑන්හැට්න්, නිව්යෝක්, පාම් බීච්, ෆ්ලොරිඩා සහ තවත් නගර රැසක සුඛෝපභෝගී මන්දිර තිබුණු අතර, ඊට අමතරව වර්ජින් දූපත් සමූහයේ ඔහු විසින් මිලදී ගත් කුඩා දූපතක් විය. ලිංගික ජාවාරම මහ පරිමාණයෙන් සිදු වී ඇත්තේ අක්කර 75කින් සමන්විත සාන්ත ජේම්ස් නමැති එම දූපතේදීය ‘එප්ස්ටීන්ගේ දූපත‘ නමින් ඔහුගේ සමීපතමයෝ සහ ගනුදෙනුකරුවන් අතර පමණක් ප්‍රකට වූ එම අතිසුඛෝපභෝගී දූපත සැබැවින්ම ලිංගික ජාවාරමේ පාරාදීසයක් බව එෆ්බීඅයි විමර්ශකයන් විසින් පසුව සොයා ගනු ලැබීය. එප්ස්ටීන්ගේ ළාබාල තරුණියන්ගේ ලිංගික පහස විඳීමට එම දූපතට පා තැබූ ලෝක ප්‍රකට ධන කුවේරයන්, දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම හොලිවුඩ් සිනමාවේ දැවැන්තයද එමට සිටි බවට කරුණු හෙළි විය. එප්ස්ටීන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ එම පුද්ගලයන්ගේ නම් බව ද කියැවේ. ඔහු විසින් 2008 වසරේදී ඩොලර් මිලියන 8කට ආසන්න මුදලකට මිල දී ගත් බව කියන එම දූපත පසුව ඇටෝනි බලපත්‍රයකින් බලය පැවරුණු ඔහුගේ නීතිඥවරයා පසුගිය වසරේ මැයි මාසයේදි ධනවත් අයෝජකයකුට අලෙවි කර ඇත්තේ නියම මිලට අඩකට වඩා අඩුවෙන් බව ද වාර්තා වේ. එය දැන් නිවාඩුව ගත කිරීමේ ඉස්තරම් ගමනාන්තයක් බවට පත් වී ඇතැයි ද වාර්තා වේ. මේ ධන සම්පත්වලට අමතරව එප්ස්ටීන් සතුව පෞද්ගලික ජෙට් යානයක් ද විය. ඔහුගේ ගමන් බිමන්වලට සහ දූපතේ නිවාඩුව ගත කරන ගනුදෙනුකරුවන් සඳහා භාවිත කර ඇත්තේ එම ජෙට් යානය බවත් වාර්තා විය. එප්ස්ටීන් සහ ගනුදෙනුකරුවන් අතර සම්බන්ධිකරණය සිදුකර ඇත්තේ ඔහුගේ පෙම්වතිය ගිස්ලේන් මැක්ස්වෙල් බවත් අනාවරණය වූයේ පසුවය.

එප්ස්ටීන්ගේ ලිංගික අපරාධ පැමිණිල්ල මෙහෙය වූ වර්ජින් දූපත් සමූහයේ නීතිපතිවරයා මේ දූපත විස්තර කර ඇත්තේ එය බාලවයස්කාර දැරියන් සහ තරුණ කාන්තාවන් ලිංගික ජාවාරම සඳහා යොදා ගැනීමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තෝතැන්නක් බවය. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ එප්ස්ටීන්ට සහ ඔහුගේ සහචරයන්ට ෆෙඩරල් නීතියෙන් වැළැකී නීති විරෝධී ක්‍රියාකාරකම් හිතේ හැටියට සිදු කිරීමට මේ දූපත ඉවහල් වී ඇති බවය.

එම දූපතට අමතරව ඔහු 2016 වසරේදී ඒ අවටින් අක්කර 165කින් සමන්විත තවත් දූපතක් මිල දී ගෙන ඇති අතර, එය මිලදී ගෙන ඇත්තේ සැබෑ ගැනුම්කරු තමා නොව ඩුබායි නුවර අහමඩ් බින් සුලේම් නමැති ධනවත් ව්‍යාපාරිකයකුගේ බවට කූට ලිපිලේඛන ඉදිරිපත් කරමිනි.

ලිංගික අපයෝජන චෝදනාවට හසුවීමට පෙර එප්ස්ටීන් මසකට දෙතුන් වතාවක් නොවරදවාම දූපතට පැමිණෙන බවත්, වරකට දින කිහිපයක් බැගින් විවේක සුවය විඳිමින් පසුවන බවත් එහි සේවකයකු පසුව ප්‍රකාශ කර තිබිණි. එවැනි කාලවලදී අතිශය ශෘංගාරාත්මක සංගීත නාදයෙන් මන්දිරය පිරී යෑම සහ සුරූපි තරුණියන් අඩ නිරුවතින් හිරු රැස් විඳිම සුලබව සිදු වන බව ද ඔහු සඳහන් කර ඇත.

‘ගැහැනු නිතරම දූපතේ සිටියා. ඔවුන් ඉතා ආකර්ෂණීය හා රූමත් තරුණියන්. සමහරු ඉතා ළාබාල වයසේ පසුවූ අය. මේ ළාබාල තරුණියන් සමහර විට එප්ස්ටීන්ට තුරුලු වී හෝ සමහර විට ඔහුගේ අමුත්තන්ට තුරුලු වී හෝ සිටියා. අඩි 38ක් දිග බෝට්ටුවෙන් ඔවුන් අමුත්තන් සමඟ සවාරියේ ගියා.‘ සේවකයා එසේ ප්‍රකාශ කර තිබේ.

‘ගිල්සේන් ආර්යාව‘ ලෙස ගිල්සේන් මැක්ස්වෙල්ගේ නමින් නම් කර තිබූ එම බෝට්ටුවේ සැබෑ හිමිකරු වූයේ ඇගේ පියා වන රොබර්ට් මැක්ස්වෙල් ය. ඔහු එය මිල දී ගනු ලැබුවේ සවුදි අරාබියේ ධනවත් ව්‍යාපාරිකයකු වන ඉමාඩ් කෂෝගිගෙනි. එමාඩ් කෂෝගි යනු 2018 වසරේදී තුර්කියේ සවුදි කොන්සියුලර් කාර්යාලය තුළ දී අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ බාල සොහොයුරාය. රොබර්ට් මැක්ස්වෙල් එම බෝට්ටුව මිල දී ගෙන එය නම් කළේ සිය බාල දියණිය ගිල්සේන්ගේ නමිනි. චෙක් රාජ්‍යයේ සම්භවයක් සහිත මේ බ්‍රිතාන්‍ය කෝටිපතියාගේ දරුවන් 9 දෙනකුගෙන් යුතු පවුලේ බඩපිස්සිය වූවාය. බ්‍රිතාන්‍යයේ මාධ්‍ය ආයතන හිමිකරුවකු ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කළ රොබර්ට් මැක්ස්වෙල් එවකට ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවයේ බ්‍රිතාන්‍යයේ ඔත්තු බැලූ බවට ද චෝදනා එල්ල වී තිබිණි. ඔහු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූයේ අනූව දශකයේ මුල් භාගයේදී ‘ගිල්සේන් ආර්යාව‘ බෝට්ටුවෙන්ම කැනරි දූපත් බලා යාත්‍රා කරමින් සිටියදී මුහුදට වැටීමෙනි. ඔහුගේ නිරුවත් මළ සිරුර පසුව අත්ලාන්තික් සාගරයේ පාවෙමින් තිබියදී සොයා ගනු ලැබීය. ඔහු මුහුදට වැටුණේද නොඑසේ නම් කිසිවකු විසින් මුහුදට තල්ලු කළේදැයි යන්න අදටත් අභිරහසකි.

එප්ස්ටීන්ගේ දූපතේ කාර්ය මණ්ඩලය 70කට අධිකය. එය ගෙවතු පාලන නිලධාරින්ගේ සිට ලොන්ඩ්‍රි වැඩ කළ කාන්තාවන් දක්වා සහ බෝට්ටු පදවන්නන් දක්වා විහිදී තිබිණි. ඔවුන්ට වෙනම නිල ඇඳුම් තිබිණි. රැකියාවේ නිරතව සිටියදි එප්ස්ටීන්ට නොපෙනී සිටීමට ඔවුන්ට උපදෙස් සපයා තිබිණි. රැකියාවට එක්වීමට පෙර සියලු දෙනාටම එප්ස්ටීන්ගේ සහ දූපතේ රහස්‍යභාවය රැකගැනීමට දිවුරුම් දීමට සිදුවිය. එමෙන්ම දූපත් මන්දිරයේ පිහිටි එප්ස්ටීන්ගේ කාර්යාල දෙකකට ඇතුළුවීම ඔවුන්ට සපුරා තහනම් විය. එප්ස්ටීන්ගේ මුදල් සහිත ආරක්ෂිත වානේ සේප්පුව තිබුණේ ඉන් එක් කාමරයකය.

1999 සිට 2007 අතර කාලයේදි දූපතේ පාලනය බාරව කටයුතු කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු යුවළකි. රැකියාවට බඳවා ගැනීමේදී ගිල්සේන් මැක්ස්වෙල් ඔවුන්ට කියා තිබුණේ ‘ජෙෆ්රිට අවශ්‍ය මොකක්ද එයා ඒක කොහොම හරි ලබාගන්නවා‘ කියාය.

එප්ස්ටීන්ගේ සුඛෝපභෝගී දූපතේ නිරතුරුවම අමුත්තන් සිටි බව එහි සේවකයකු පසුව ප්‍රකාශ කර තිබිණි. ඒ අතර 2018 වසරේදී මෙලොවින් සමුගත් බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට භෞතික විද්‍යාඥ සහ ගණිතඥ ස්ටීවන් හෝකින් ද විය. ‍තරුණ වියේදී දුර්ලභ ස්නායූ ආබාධයකට ලක් වීමෙන් පසු ජීවිතයේ ඉතිරි භාගය ගෙවා දැමුවේ රෝද පුටුවේය. නොබෙල් සාහිත්‍ය සම්මානලාභියකු වූ ලෝරන්ස් කෘවුස්, ප්‍රහසන නළු ක්‍රිස් ටකර්, සුප්‍රකට වික්ටෝරියා සීක්‍රට් කාන්තා යට ඇඳුම් සමාගමේ හිමිකරු ලෙස් වෙක්ස්නර්, මොස්තර නිරූපණ ශිල්පිනියක වූ නයෝමි කැම්බල්, බ්‍රිතානයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ගේ මිතුරකු වන පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා සහ එලිසබෙත් රැජනගේ බාල පුතු ඇන්ඩෘ කුමරු එප්ස්ටින්ගේ මුල්කාලීන ගනුදෙනුකරුවෝ වෙති.

අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද ඔහුගේ ගනුදෙනුකරුවකු බව ලැයිස්තුවේ සඳහන් වුවද, ඔහු දූපතේ නිවාඩුව ගත කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නැති බව කියැවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් එවකට එප්ස්ටින්ගේ ජෙට් යානයෙන් ගමන් කළ බව තහවුරු වී ඇති අතර, ඔහුගේ සමීපතමයකු බවත් තහවුරු වී තිබිණි. මීට අමතරව ජනප්‍රිය විජ්ජාකරුවකු වන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ද ඒ අතර විය.

එප්ස්ටින්ගේ සියලු අමුත්තෝ පළමුව සාන්ත තෝමස් දූපතේ සිරිල් ඊ කිංග් ගුවන්තොටුපොළ දක්වා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් පැමිණෙන අතර, පසුව එහි සිට ඔහුගේ කළු පැහැති හෙලිකොප්ටරය මඟින් දූපත බලා පියාසර කළහ. දූපතේදී අමුත්තන්ට ලැබුණේ සුරසැපය. නවීකරණය කරනු ලැබූ සබ්මැරීනයක් ද ඔහු සතු විය. එය ඔහු අමුත්තන් වෙනුවෙන් ‘මුහුදු සයනය‘ බවට පත් කර තිබිණි.

එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමට එරෙහිව උසාවි ගිය වර්ජිනියා ගිෆ්රි මුලින්ම එම දූපතට ගොස් ඇත්තේ 17 හැවිරිදි වියේදිය. එවකට ඇය එප්ස්ටීන්ගේ ලිංගික ගොදුරක් බවට පත් වූ මුල් කාලය විය. ඇන්ඩෘ කුමරු සමඟ යහන්ගත වීමට එප්ස්ටීන් තමාට වරෙකට ඩොලර් 15,000 බැගින් ගෙවූ බව ඇය ප්‍රකාශ කර තිබිණි. ඇන්ඩෘ කුමරු සමඟ අවස්ථා තුනකදී යහන්ගත වූ බවත් ඇය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. පසුව ඇගේ ප්‍රකාශ ඇන්ඩෘ කුමරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. දූපතට පැමිණෙන අමුත්තන් ලිංගිකව සන්තර්පණය කිරීම සඳහා එප්ස්ටීන් අමෙරිකාවෙන් ළාබාල තරුණියන් රැගෙන ගියේ ‘තොග පිටින්‘ බවද වර්ජිනියා හෙළි කර තිබේ. ඒ තරුණියන් අතර සිටි ඇතැමුන් අවුරුදු 12ක වැනි ඉතා කුඩා වියේ පසුවූවන් බවත් ඇය සඳහන් කර ඇත.

එප්ස්ටීන්ගේ ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ඇතැම් පුද්ගලයන් පිළිබඳ සාක්ෂි සහිතව කරුණු තහවුරු වී නැති අතර, එම ලැයිස්තුවට ඇතුළත් නොවූ පුද්ගලයන් රැසක් ද ඔහුගේ දූපතේ රැය පහන් කර ඇතැයි පසුව අනාවරණය වී තිබේ. පාකිස්තානයේ හිටපු අගමැති සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නමත් ඒ අතර කියැවේ. සිය තරුණ විය එංගලන්තයේ ගෙවා දැමූ ඉම්රාන් එවකට ලන්ඩන් නුවර රාත්‍රී සමාජ ශාලාවල රස්තියාදු වූ සෙල්ලක්කාරයකු බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පසුගිය කාලයේදී ඡායාරූප සහිතව හෙළි කර තිබිණි. ලන්ඩන් නුවර සමාජශාලාවල කාලය ගත කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනෙන පුද්ගලයකු වූ බවත්, ඔහුගේ උසැති කඩවසම් පැහැපත් සිරුරට සුදු කාන්තාවන් ආසක්තවී සිටි බවත් වැඩිදුරටත් වාර්තා වී තිබිණි. ජෙෆ්රි එප්ස්ටීන්ගේ පලහිලව්වට ඉම්රාන්ගේ නම ගෑවීමට ලොකුම හේතුව ගිල්සේන් මැක්ස්වෙල් ය. එවකට ලන්ඩන් නුවරදී ඉම්රාන් සහ ගිල්සේන් අතර සමීප සම්බන්ධතාවක් තිබූ බවත්, දෙදෙනා එක්ව සමාජශාලාවල නිතර නිතර හමුවූ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පැහැදිලි වන්නේ මේ ලිංගික ජාවාරම්කාරයා මියගියද ඔහුගේ ගනුදෙනුකරුවන්ට ගැලවීමක් නැති බවය. මේ වන විට සිරගතව සිටින ගිල්සේන් මැක්ස්වෙල්ගෙන් විමර්ශකයන් විසින් හෙළිදරව් කරගනු ලබන තවත් රස රහස් බොහෝ තිබෙන්නට හැකි බවද කියැවේ. එවකට විදේශ ගුවන්ගමන් බලපත්‍ර රැසක්ම අතැතිව සිටි බව කියන එප්ස්ටීන් දකුණු ආසියාතික රටවල ද අවස්ථා ගණනාවකදී සංචාරය කර ඇතැයි හෙළි වී තිබේ. ඒ රටවල් අතර ඇෆ්ගනිස්තානය වැනි රටවල් ද වේ. ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව ඔහුගේ ගමනාන්ත බවට පත්වී තිබුණේ දැයි අනුමාන කිරීමට තවමත් වේලාසන වැඩිය. එහෙත් එප්ස්ටීන්ගේ දූපතේ ‘සුරසැප‘ ලැබුවන් අතර ඉන්දීය හෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු, දේශපාලනඥයකු හෝ ව්‍යාපාරිකයකු සිටින්නට ද බැරි නැත. ඉදිරියේදී එවැන්නක් හෙළිදරව් වීමට ද බැරි නැත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division