Home » බිත්තර, මස් ඉල්ලුමට කොළ එළි දල්වන ප්‍රෝටීන් කැරැල්ලක්

බිත්තර, මස් ඉල්ලුමට කොළ එළි දල්වන ප්‍රෝටීන් කැරැල්ලක්

by gayan
January 20, 2024 12:30 am 0 comment

නීරෝගී බව තරම් උතුම් ලාභයක් නැති බව කාට කාටත් වැටහෙන්නේ රෝගී වූ දාටය. එහෙත් ඒ ලාභය හිමිකර ගැනීම එතරම්ම පහසු වූවක් නොවේ. නීරෝගී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වාගෙන යෑම සඳහා මිනිස් සිරුරට අත්‍යවශ්‍ය වන සංඝටක අතර ප්‍රෝටීන්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. මිනිස් සිරුරේ සියලුම සජීවී සෛලවල පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ශක්ති සංඝටකයක් ලෙස ක්‍රියා කරන ප්‍රෝටීන් මිනිසාගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වන එන්සයිම සහ හෝර්මෝන නිපදවීමටත් අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව මිනිසා රෝගවලින් ආරක්ෂා කරන ප්‍රතිදේහ නිපදවීමට අත්‍යවශ්‍ය සංඝටකය වන්නේ ද ප්‍රෝටීන්ය.

සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයකුගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව ඔහුගේ සිරුරේ බර කිලෝ ග්‍රෑම් 1කට ප්‍රෝටීන් ග්‍රෑම් 8ක් පමණ වේ. වැඩෙන වයසේ දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට සහ විශේෂ පෝෂණ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මීට වඩා ඉහළ අගයක් ගනී. ප්‍රෝටීන් ලබාගත හැකි පහසුම මාධ්‍ය වන්නේ කිරි, බිත්තර සහ මස් වැනි සත්ත්ව ආහාර බව බොහෝ දෙනා දන්නා කරුණකි. එහෙත් පසුගිය දිනවල බිත්තර සහ කුකුළු මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ වැඩිහිටියන්ට කෙසේවෙතත් කුඩා දරුවකුගේ ආහාරවේලට පවා දිනපතා බිත්තරයක් ලබා දිය නොහැකි තත්ත්වයක් ඇති කරමිනි. විශේෂයෙන් බෝ වන රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන කාලයක දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගත නොහැකි වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ කුකුළන්ගේ ආහාර නිෂ්පාදන මිල ඉහළ යෑමය. එසේ නම් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට එම නිෂ්පාදන මිල පහළ යන තුරු බලා සිටිය හැකිද? නැත; ඒ ගැටලුව විසඳීමට මැස්සෙක් අපේ පිහිටට පැමිණ ඇත. ඒ, ඉවතලන ආහාර අපද්‍රව්‍ය ආශ්‍රිතව වාසය කරන කළු සොල්දාදුවා (Hermetia illucens ) නමැති මැස්සන් විශේෂයකි. එම මැස්සාගේ කීටයන් යොදාගෙන සකස් කරනු ලබන පෝෂණ අතිරේකය කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාරවල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා යොදාගනු ලබයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ. ඩබ්. විජේරත්න ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් මෙම නව සොයාගැනීම කර ඇති අතර, ඒ පිළිබඳ අප මහාචාර්ය නිලන්ත ලියනගේ ගෙන් වැඩිදුර තොරතුරු විමසුවෙමු.

“මිනිසාගේ පාරිභෝජනයට ගන්නා ආහාරවලින් සියයට 40ක පමණ ප්‍රතිශතයක් අපද්‍රව්‍ය ලෙස නිවෙස් සහ හෝටල්වලින් බැහැර කරන බව වාර්තා වෙනවා. කැළිකසළ බැහැර කිරීම සහ කසළ කළමනාකරණය රජයට අනවශ්‍ය බරක් ගෙන දෙන කරුණක්. ඒ වගේම කැළිකසළ නිසා සිදුවන පරිසර දූෂණය නිසා විවිධ ලෙඩ රෝග පැතිරීමත් සිදු වෙනවා. ඒ වගේම මේ දිනවල පවතින බිත්තර, මස් ආදී සත්ත්ව ආහාරවල මිල ඉහළ යෑම නිසා වැඩෙන වයසේ පසුවන දරුවන් ඇතුළු ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමත් විශාල ගැටලුවක් වී තිබෙනවා. සත්ත්ව ආහාරවල මිල ඉහළ යෑම නිසා සත්ත්ව ආහාර නිෂ්පාදකයන් එම කර්මාන්තයෙන් ඉවත් වීමේ සහ ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වීමේ අවදානමකුත් තිබෙනවා. එය රටේ ආර්ථිකයටත් තර්ජනයක්. මේ ප්‍රශ්න කිහිපයටම විසඳුම් ලැබෙන ව්‍යාපෘතියක් අප විසින් යෝජනා කර මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. අපි මෙය හඳුන්වන්නේ ජෛව අතිරික්ත කළමනාකරණය තුළින් අපද්‍රව්‍ය ශුන්‍ය කිරීමේ ව්‍යාපෘතිය ලෙසටයි. සරලව කියනවා නම් Zero waste සංකල්පය තුළින් රට පුරා ප්‍රෝටීන් කැරැල්ලක් ඇති කිරීම අපේ අරමුණයි.”

ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් සිදු වන්නේ නිවෙස්වලින්, හෝටල්වලින් ඉවතලන ඉඳුල් ආහාර සහ වෙළෙඳ පොළෙන් බැහැර කරන එළවළු සහ පලතුරුවලින් පල්පයක් සකස් කර ඒවා මත කළු සොල්දාදුවා (Hermetia illucens )) නමැති මැස්සන් විශේෂයට වර්ධනය වීමට සලස්වා එම මැස්සාගේ කීටයන්ගෙන් පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කිරීමයි. මෙම පෝෂණ අතිරේකය සතුන්ට ආහාර ලෙස ලබාදීමෙන් එම මාංශවල මෙන්ම කිරිවල ප්‍රෝටීන් වර්ධනය වන බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත. ඒ අනුව අඩු වියදමකින් සත්ත්ව ආහාර නිපදවීමට මේ තුළින් හැකියාව ලැබෙන බැවින් දැනට වෙළෙඳ පොළේ බිත්තර සහ කුකුළු මස් අලෙවි කරන මිලට වඩා සියයට 50ට අඩුවෙන් එම නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාව තිබෙන බවත් මහාචාර්ය නිලන්ත ලියනගේ පැවසුවේය.

කසළ මත ජීවත් වන මැසි කීටයකුට එවැනි විස්කමක් කළ හැකිද? මේ පිළිබඳ මහාචාර්යවරයා වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

“කෙනෙකුට ඒ ගැන පුදුමයක් ඇතිවීම පුදුමයක් නොවෙයි. කළු සොල්දාදුවා (Hermetia illucens ) කියන්නේ ශාක අපද්‍රව්‍ය, සත්ත්ව පොහොර, ආහාර අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අතුරු නිෂ්පාදන ආදී කාබනික අපද්‍රව්‍ය මත පෝෂණය වන කෘමියෙක්. මෙහි විශේෂත්වය කාබනික ද්‍රව්‍ය ඉතා ඉක්මනින් ජෛව ස්කන්ධය බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් ඒ කෘමියාට තිබීමයි. ඔවුන් කාබනික අපද්‍රව්‍ය ප්‍රෝටීන, පෙප්ටයිඩ, ඇමයිනෝ අම්ල, මේද සහ විටමින් බවට පරිවර්තනය කරනවා. ඒ නිසාම මේ මැස්සාගේ කීට අවධියේදී ප්‍රෝටීන 32%, ලිපිඩ 37%, ඛනිජ ලවණ 19%, විටමින් 9% අඩංගු වන බව මේ පිළිබඳ කළ අධ්‍යයන කිහිපයක්ම හෙළි වී තිබෙනවා. ඒ නිසාම ජෛව රසායනිකයක් ලෙස ප්‍රකට මෙම කීටයා කුකුළු සහ ගව ආහාර සඳහා හොඳ මූලාශ්‍රයක් ලෙස භාවිත කළ හැකියි. සාමාන්‍යයෙන් එක් වැඩිහිටි ගැහැනු මැස්සෙක් බිත්තර 500 -900ක් දමන අතර, එම බිත්තර ග්‍රෑම් එකක බිත්තර 35,000 – 37,000ක් අඩංගු වනවා. දින හතරකින් බිත්තර පිටවෙනවා වගේම දින 15ක තනි කීටකයකුගෙ බර මිලි ග්‍රෑම් 242.5ක්. බිත්තර ග්‍රෑම් එකකින් කීටයන් කිලෝ ග්‍රෑම් 8.4ක් පමණ නිපදවිය හැකියි. අනෙකුත් ජෛව පශු සම්පත් විශේෂවලට වඩා මෙම කීටයන්ගේ විශේෂත්වය වන්නේ ඒවායේ වර්ධන වේගය ඉතා ඉහළ වීම සහ අඩු කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණයකින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සහ මේද බහුල සංඝටක බවට පත්වීමේ හැකියාවයි. මේ සඳහා අවශ්‍ය වන්නේ කාබනික අපද්‍රව්‍ය 50%ක් සහ ජලය සියයට 50ක් පමණයි. දින 20කින් එයින් සියයට 35ක් කළු සොල්දාදු කීටයන් බවටත් සියයට 15ක් කොම්පෝස්ට් බවටත් පත්කළ හැකියි. මේ තුළින් සත්ත්ව ආහාර නිෂ්පාදනය තුළ තිබෙන ඒකාධිකාරය බිඳ දැමීමටත් හැකියාව ලැබෙනවා. ඒ තුළින් ජනතාවට බිත්තරයක් රුපියල් 30කටත් කුකුළු මස් කිලෝවක් රුපියල් 600ටත් මිලදී ගැනීමට අවස්ථාව සලසා දිය හැකියි. මම හිතන්නේ ලංකාවේ පළමුවැනි ප්‍රෝටීන් කැරැල්ල මෙයයි”

එය මෙරට පාරිභෝගික ජනතාවගේ පසුම්බියට මෙන්ම සෞඛ්‍යයට ද හිතකර සුබ පුවතක්ම වනු ඇත. මෙම අපූරු ප්‍රයත්නය තමාගේ පෞද්ගලික වෑයමක් නොව විද්වතුන් කිහිපදෙනෙකුගේ සාමුහික ප්‍රයත්නයක් බව ද මහාචාර්ය නිලන්ත ලියනගේ පැවසීය.

“මෙම ව්‍යාපෘතියට යොදාගත් තාක්ෂණයේ නියමුවා සහ පර්යේෂණයේ ආයෝජකයා චමීර සම්පත් රත්නවීර නමැති තරුණ විද්‍යාඥයෙක්. ඔහු කොරියාවේදී මේ පිළිබඳ පර්යේෂණ සහ හැදෑරීම් කර තිබෙනවා. ලංකාවට ආ පසු මට ඔහු සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. අපේ රටට ගැළපෙන පරිදි මෙම ක්‍රමවේදය භාවිත කිරීම පිළිබඳ මමත් පර්යේෂණ කරමින් එය ප්‍රශස්තකරණය කළා. ඒ තුළින් අපේ රටේ නිවෙස්වල, හෝටල්වල සහ වෙළෙඳ පොළේ ඉවත දමන සහ බැහැර කරන ආහාර අපද්‍රව්‍ය යොදාගනිමින් මෙම ප්‍රෝටීන් අතිරේකය නිපදවනු ලබනවා. මෙම ව්‍යාපෘතිය සඳහා විද්වත් කණ්ඩායමකගේ දායකත්වය අපට ලැබුණා. ව්‍යාපෘතියේ තාක්ෂණික ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සංදීප මධුෂාන් රොද්‍රිගෝ තරුණයා. මාතර මහ රෝහලේ වෛද්‍ය රංජිත් මෙන්ඩිස්, සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒ.ඩබ්ලිව්. විජේරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග, කළුතර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ආචාර්ය බී. එම්. එච්. හේරත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රොෂාන්ත, පෞද්ගලික ව්‍යවසායකයකු වන රිෂාන් සහ හේමජීව ගෝඨාභය අපේ කණ්ඩායමට ඇතුළත්.” මහාචාර්ය නිලන්ත ලියනගේ ඇතුළු කණ්ඩායම මෙම කීට ගොවිතැන මෙරටදී ප්‍රායෝගිකව ප්‍රගුණ කළ එකම කණ්ඩායම වේ. ඒ අනුව මාතලේ නාඋල, වත්තේගම, කඩුගන්නාව, හලාවත යන ප්‍රදේශවල දැනටමත් මෙම කීට ගොවිපොළවල් පවත්වා ගෙන යනු ලබයි.

“ඒ සඳහා අපි එම ප්‍රදේශවල සියලුම නිවෙස්වලට ඔවුන්ගේ නිවෙසේ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ ඒවා එකතු කිරීමට විශේෂ බඳුන් ලබා දී තිබෙනවා. ඒවා දිනපතා එකතු කර යන්ත්‍ර මඟින් අඹරා ලබා ගන්නා පල්ප් ගොවිපළ වෙත ගෙන එනු ලබනවා. එම පල්ප නියමිත ප්‍රමාණයෙන් ගොවිපොළේ ඇති නවීන තාක්ෂණය යොදා කීට බිත්තර නිෂ්පාදන කරනු ලබන මැසි කූඩුවලට දමනවා. නිසි දින ගණන සම්පූර්ණ වීමෙන් පසු කීටයන් විජලනය කර පසුව අඹරා මේදය ඉවත් කළ ප්‍රෝටීන් කුඩු වශයෙන් ලබාගන්නවා. සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ලබාගන්නේ එම ප්‍රෝටීන් අතිරේකයයි” මහාචාර්ය නිලන්ත ලියනගේ එම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් එසේ පැහැදිලි කළේය.

ආහාර නිෂ්පාදන කටයුත්තකට මැස්සන් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් තුළ යම් කුකුසක් ඇති විය හැකිය. ඒ පිළිබඳව ද අප මහාචාර්යවරයාගෙන් අදහස් විමසුවෙමු.

“ අපේ පර්යේෂණ අනුව මෙම කළු සොල්දාදුවා නමැති මැස්සා කිසිවිටෙක කිසිවකට හානියක් නොකරන, ලෙඩ රෝග බෝ නොකරන, බිත්තර දැමීමෙන් පසුව දින කීපයකින් මියයන සතෙක්. ඔහු නිර්මාණ වී තිබෙන්නේම ජෛව අපද්‍රව්‍ය වියෝජනය සඳහායි. මේ ව්‍යාපෘතිය කුකුළු, ගව, මත්ස්‍ය සහ ඉස්සන් වගාව වැනි සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන්නන්ට මෙන්ම සත්ව ආහාර මිල ඉහළ යෑම නිසා නිෂ්පාදනය අත් හැර දමන ලද ගොවිපළ හිමියන්ටත් බෙහෙවින් ප්‍රයෝජනවත්. නමුත් මෙය කුඩා පරිමාණ ගොවිපළවලට හෝ නිවාසවල නිදැල්ලේ ඇතිකරන ආකාරයේ ගොවිපළවලට ඵලදායී නොවන අතර, ගොවිපොළ සමූහයකට එකක් බැගින් ස්ථාපිත කිරීමෙන් සාර්ථකව පවත්වාගෙන යා හැකිය. ඒ වගේම ඇතැම් රාජ්‍ය නොවන ආයතන විසින් ගෘහස්ත ඒකක තැනීම නිර්දේශ කළ ද ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගත නොහැකි බව අපේ වැටහීමයි.”

එසේ නම් මෙම ක්‍රමවේදය භාවිත කළ හැකි සාර්ථක ක්‍රමය කුමක්ද යන පැනයට මහාචාර්යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“මෙම පර්යේෂණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අපේ කණ්ඩායමේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගිය දිනෙක පැවැත්වුණා. එහිදී මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු සහයෝගය දීමට සූදානම් බවත් ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යෑමේ වගකීම පශු සම්පත් අංශයට පවරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා. එය අපට විශාල ධෛර්යයක්. විද්වතුන් ලෙස අපේ දැනුමින් ජනතාවට සේවය කරන අතර, අපගේ දැක්ම වන්නේ නීරෝගී පරපුරක් බිහි කිරීමයි. මේ තුළින් ජනතාවට හොඳ තත්ත්වයේ ප්‍රෝටීන් දැරිය හැකි මිලකට ලබාගත හැකියි. ඒ වගේම මස්, කිරි සහ බිත්තර නිෂ්පාදනය සඳහා නිසි ප්‍රමිතියක් ඇති කරන්නටත් මේ ක්‍රමවේදය ඉවහල් වනවා. මේ වන විට අප මේ ව්‍යාපෘතියට සම්බන්ධ ආහාර අපද්‍රව්‍ය සපයන්නන් සඳහා සාමාජික කාඩ්පතක් නිකුත් කරනවා. ඉදිරියේදී මෙය රැකියා අවස්ථා උත්පාදනය කරන ව්‍යාපෘතියක් බවට පත්කර ගත හැකියි. ඒ වගේම කසළ බැහැර කිරීමේ ප්‍රශ්නය තවදුරටත් රජයට සහ ප්‍රජාවට ගැටලුවක් නොවන තත්ත්වයක් මේ තුළින් ඇති කර ගත හැකියි. පරිසරය පිරිසුදු නම් ප්‍රජාව නීරෝගී වනවා. එය රටට ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ ගෙන දෙන තත්ත්වයක් . ”

මෙම කීට ගොවිපළ ව්‍යාපෘතිය සමඟ එක්වී සිටින කණ්ඩායම Wealthy Farmers ලෙස හඳුන්වන අතර එහි නිෂ්පාදන සන්නාමය Nature’s Food නමින් වෙළෙඳපොළට නිකුත් වේ. පශු වෛද්‍ය වෘත්තිකයන්, කෘෂිකාර්මික වෘත්තිකයන්, වෙනත් වෘත්තිකයන්, විශ්වවිද්‍යාල බුද්ධිමතුන් සහ විදේශීය විශේෂඥයන් මෙම ව්‍යාපෘතියේ උපදේශකත්වය දරනු ලබයි. මෙම ව්‍යාපෘතිය රට පුරා ප්‍රචලිත කිරීම සිය කණ්ඩායමේ අරමුණ බව මහාචාර්ය නිලන්ත ලියනගේ පැවසුවේය.

“නමුත් මෙය කරන්නාන් වාලේ කළ හැකි ව්‍යාපෘතියක් නොවෙයි. ඒ නිසා කණ්ඩායමක් ලෙස අපි එක්ව කටයුතු කරමින් ක්‍රමානුකූලව මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. නිවෙස්වල මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය, හෝටල් අපද්‍රව්‍ය, මහජන පොළෙන් එළවළු අපද්‍රව්‍ය, ධීවර වරායෙන් සහ පාර අයිනේ මාළු වෙළෙන්දන්ගෙන් ලැබෙන අපද්‍රව්‍ය සහ සත්ව ඝාතකාගාර අපද්‍රව්‍ය එකතු කිරීමට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා සහ නගර සභා සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මාතර පෞද්ගලික ගොවිපළක් සකසා එහි වර්ග අඩි 25,000ක ප්‍රමාණයේ ආරක්ෂණ වගා නිවෙසක්, පලතුරු සහ එළවළු වගා කිරීමේ ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව ඒකාබද්ධ සත්ත්ව ගොවිපොළක් පිහිටුවීම සඳහා මාතර, කැකණදුර ගොවිපළ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.”

මෙම නව පශු සම්පත් ගොවිතැනට වැඩි වශයෙන් භාවිත කරන්නේ දේශීය අමුද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය බැවින් ඒ සඳහා වැය වන්නේ අඩු පිරිවැයකි. මේ තුළින් අපද්‍රව්‍ය ශුන්‍ය වන බැවින් එය පරිසර හිතකාමී ව්‍යාපෘතියකි. දේශීය ජනතාවට රැකියා අවස්ථා සැලසෙන අතර ප්‍රෝටීන් පෝෂණ අතිරේකය සඳහා විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගතහොත් ඒ තුළින් දෙස් විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි අතර රටට ඩොලර් ඉපැයීමට ද හැකියාව සැලසේ.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division