Home » ඔබේ කේන්දරේ ප්‍රබල යෝග බලගන්වන මැණික්

ඔබේ කේන්දරේ ප්‍රබල යෝග බලගන්වන මැණික්

by thanushika
January 20, 2024 12:30 am 0 comment

කේන්දරයක කුජ, බුධ, ගුරු, ශනි සහ සිකුරු ග්‍රහයන් මුල ත්‍රිකෝණ උච්ච, ස්වක්ෂේත්‍ර ලෙසින් හතර කේන්දර තුළ සුබ දිෂ්ටි ලබා තිබුණහොත් ජන්මියා පංච මහා පුරුෂ යෝග සහිතව මෙලොව එළිය දුටු අයෙකු වේ. විශ්වය අපට සිතන්නට විනිවිද පෙනෙන මනසක් නිර්මාණයකොට දී ඇත. පෙර භවය තුළ කළ කුසල අකුසල කර්මයෝ මීට ඉවහල්ව ඇත. ජන්මියා මේ යෝගවලින් එකක් සහිතව හෝ වෙනත් ධන යෝග සහිත නම් කුණු ගොඩක ඉපදුණ ද උසස්ම තැනකට හිඳුවා බලවන්තයෙකු කරනු ඇත.

කුජ සුබ දිෂ්ටි ඇතිව හතර කේන්දරයේ යම් ස්ථානයක බලවත් නම් ඒ රුචක යෝගයයි. බලවත් දශාවේදී එම ජන්මියා දියුණුවේ. ජයග්‍රහණයේ කීර්තිමත් ජීවිතයකට යාම වැළැක්විය නොහැකි වේ. මනා පෞරුෂය, නායකත්වයෙන් එඩිතර ප්‍රධානීන් බිහි වන මොවුන් දීර්ඝායුෂ බුක්ති විඳී.

බුධ ග්‍රහයා කේන්ද්‍රස්ථානයක බලවත්ව සුබ දිෂ්ටි ඇතිව ඇත්නම් ඒ භද්‍රා යෝගයයි. බුද්ධිය සම්බන්ධ ඥාන කාරකත්වය දරන මෙම ග්‍රහ යෝගයෙන් සංගීතය, නැටුම් ආදී කලා කුසලතා ජයගත හැකි ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන්නන් බිහිවේ. පඨවි රාශියක් වන කන්‍යාව තුළ භද්‍ර යෝගය යෙදෙන්නන් සංස්කෘතිය, පෞරාණික, ජාතිකානුරාගය උසස් කර ක්‍රියා කිරීමට පෙළඹෙන දීර්ඝායුෂ භුක්ති විඳින අය වීම ද විශේෂත්වයකි.

ග්‍රහ යෝග තුළ වටිනාම ග්‍රහ යෝගයක් ලෙස ගුරු ග්‍රහයා බලවත් වීමෙන් යෙදෙන ‘ගුරු හංස’ යෝගයද මහජනයාගෙන් පැසසුම් ලබන ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වන බව සත්‍යයකි. සේනා සම්පත් ඇතිව කාටත් ගුරුහරුකම් දෙමින් සමාජයේ සුවිශේෂී තැනක් හිමි කර ගන්නා ධාර්මිකයන් බිහිවන ප්‍රබල යෝගයකි.

සිකුරු ග්‍රහයා සුබ දිෂ්ටි ඇතිව කේන්ද්‍රස්ථානයක බලවත් නම් ඒ වාසනාවන්තම යෝගයක් වන මාලවී යෝගයයි. යාන වාහන, ගේ දොර සම්පත්, දැසි දස්සන් හිමිව, මනා රූ සපුවකින් යුතුව නිර්මාණශීලී ප්‍රබලයන් බිහි වේ. සෙනසුරු ග්‍රහයා යහපත්ව කේන්ද්‍රස්ථානයක සුබ දිෂ්ටි සහගත නම් ඒ දීර්ඝායුෂ හිමි වන ශස නම් යෝගයයි. උගත් බුද්ධිමත් කීර්තිය පතුරුවන ස්වභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා මොවුන් දන් දෙන්න ඉතා රුචිකත්වයක් දක්වති.

මෙම පංච මහා යෝග මෙන්ම ලග්නාධිපති 11 වන රාශිය තුළ 2 වන රාශිය තුළ තැන්පත් වීම, චන්ද්‍ර මංගල යෝගය, 2 හෝ 11 රාශි තුළ ගුරු බලවත් වීම, ගුරු, සඳු කටක රාශී ගත වීම සුතපා, අතපා, ධුරධර, චාමර ආදී යෝගද බලවතුන් බිහි කරනු ලබයි. මේ ජන්ම පත්‍රයක ගුරු හෝ සිකුරු බලවත්ව සුබ දිෂ්ටි සහිත වීමෙන් චිත්තාමනී යෝගය ඇති වේ. මිනිසුන් වශී කරන බලවන්ත යෝගයකි.

මෙම යෝගයන් අතර ප්‍රබල ඵල ගෙන දෙන විපරීත රාජ යෝග, නීච භංග රාජ යෝග, ධර්ම කර්මාධිපති විපරීත රාජ යෝග, පරිවර්තන විපරීත රාජ යෝග, කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝග ආදී තවද විශාල ලෙස විග්‍රහ කර හැකි යෝගයෝ ඇත. දක්ෂ ජ්‍යොතිර්වේදියා සියුම් පරීක්ෂණයෙන් ජන්මියා නිවැරැදිව හඳුනා ගනී.

එලෙසම මෙවන් යෝග සහ අපේ සැඟවුණ දක්ෂතා ඉදිරියට ගෙන ඒමට මැණික්වලට ද ඉතා සුවිශේෂී බලයක් ඇත. ශාරීරික, අාධ්‍යාත්මික හා මානසික සහනයක් ළඟා කර ගැනීමට මේ කිරණ බෙහෙවින් උපයෝගී කර ගත හැකිය. විශාල අත්දැකීම් තුළින් මා මෙය අත්හදා බැලුවකි. සිතේ සතුට, ප්‍රීතිය, විජයග්‍රහණ, සමෘද්ධිය, මෙන්ම රූමත් බව නිරෝගී භාවය ද මැණික් පැලඳීම තුළින් ඔබට ලැබෙන ගුණයන්ය. නමුත් ඉතා අවධානයෙන් මා මෙහි සඳහන් කරනුයේ ජීවය ගෙන දෙන මැණික අපලයක් කර නොගෙන ඔබේ ජ්‍යොතිර්වේදියාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු බවයි.

පොදුවේ මැණික් පැලඳීම තුළ ක්‍රමවේද රාශියක් ඇත. රෝග ඇති කරන ග්‍රහයන් ද පිළිවෙළින් බලවත් කළ යුතු මැණික් ඇත. එය අගනා ප්‍රතිකාර ක්‍රමයකි. මැණිකක් මිලදී ගැන්මේ සිටම දෝෂ රහිතව එය මිලදී ගන්නටත් මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ තත්ත්ව සහතිකය යටතේ නිවැරැදි හඳුනා ගැනීමකින් කළ යුත්තකි. එක් එක් ග්‍රහයාට අයත් දියමන්ති, වෛරෝඩි, ගෝමේද, එමරල්ඩ්, මුතු, රතු කොරල්, පුෂ්පරාග, පත්ම රාග, නිල් මැණික් ආදී වශයෙන් ඇති බැවින් ජ්‍යොතිෂවේදියා නියම කරන පරිදිම කළ යුතුව ඇත.

කේන්දරයක බාධක ග්‍රහයා, පාප ග්‍රහයෝ, 22 දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති වැනි අසුබ ග්‍රහයන් බලවත් කරන මැණික් භාවිතය නොසුදුසුය. මෙය පැලඳිය යුතු දිනය, වේලාව හුදෙක්ම හෝරාවද ඔබ අසා දැනගත යුතුවම ඇත. සූර්ය මාස ක්‍රම අනුව උපන් මාසයට අදාළ ගල් පැලඳීම, ජන්ම ලග්නාධිපතිට, දිනාධිපතිට හිමි මැණික් ගල් පැලඳීම, උපන් නැකත, දෛව අංකයට, තමාට ගත වන දශාවට, රැකියාවට සුදුසු මැණික් ගල් පැලඳිය හැකිය. අපල කරන ග්‍රහයා වෙනුවට ඊට ප්‍රබල ග්‍රහයෙකු බලවත් කර පැලඳිය හැකිය. ඉෂ්ට දේවතාවුන්ට යෝග කාරක ග්‍රහයාට නිරෝගී බව ලැබීමට ද සැප සම්පත්, යාන වාහන ධනයෙන් කීර්තියෙන් බැබලීමට ද මේ මහඟු ගල් පලඳිනු ලැබේ. රනින් හෝ රිදියෙන් පැලඳීම ද නියම කරනු ලබන්නේද ජ්‍යොතිර්වේදියාය. මේ තුළින්ද වැදගත් කරුණු කාරණා අත්හදා බැලීමෙන් 2024 වසරේ උපරිම දියුණුව කරා ඔබට පා නැගිය හැක.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division