Home » ජන්මියාට සුවිශේෂි පල ලබා දෙන පංචමහා පුරුෂ යෝග

ජන්මියාට සුවිශේෂි පල ලබා දෙන පංචමහා පුරුෂ යෝග

by thanushika
January 20, 2024 12:30 am 0 comment

යම් ජන්මියකුගේ උප්පත්ති ලග්නයට අදාළව පලාපල කථනයේ දී එකී ජන්මියාගේ උපන් වේලාවට අනුව සකසන ලද ජන්ම පත්‍රයක් උපයෝගී කර ගනු ලබයි. ඒ අනුව එම දළ කේන්දර සටහනේ ග්‍රහයන් විවිධ භාවවල පිහිටීමේදී ඒ ඔස්සේ ජන්මියාට විශේෂ පල ලබා දෙනු ලබයි. මේ අනුව පඤ්ච තාරා ග්‍රහයන් ලෙස ජ්‍යොතිෂයේ හඳුනාගෙන ඇති කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් පස්දෙනා එම ජන්මියාගේ කේන්දරයේ උච්චච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානවල පිහිටා ඇත්නම් එම ජන්මියාට විශේෂ පල ලබා දෙන බවත් ඒවා පංචමහා පුරුෂ යෝග ලෙස ජ්‍යොතිෂයේ සරලව හඳුන්වා දී ඇත. ඒ අනුව එම ජන්මියාගේ අනාගතය කෙබඳුද යන්න හඳුනා ගැනීමට මෙම යෝග ඔස්සේ පහසු වෙයි. පංචමහා පුරුෂ යෝග යෙදී ඇත්තන් වාසනාවන්තයන් ලෙසින්ද හඳුන්වයි. එමඟින් ඔවුනගේ ආයුෂ ශක්තිය ද පෙන්වයි. මෙම යෝගපල සඳහා කේන්දර‍යේ ඇති ග්‍රහ පිහිටීම්වල සාධනීය බව ඉතා අත්‍යවශ්‍යය.

ඒ අනුව කුජගෙන් රුචක යෝගය ද බුධගෙන් භද්‍ර යෝගය ද ගුරුගෙන් ගුරු හංස යෝගය ද සිකුරුගෙන් මාලවී යෝගය ද ශනිගෙන් සස යෝගය ද දැක්විය හැකිය. මේ පිළිබඳ තවදුරටත් වෙන් වෙන් වශයෙන් විමසා බලමු.

රුචක යෝගය

ජන්මියකුට රුචක යෝගය යෙදෙන්නේ ග්‍රහ ලොව සෙන්පති වන කුජ හෙවත් අඟහරු ග්‍රහයාගෙනි. යම් ජන්මියකුගේ 1, 4, 7, 10 කේන්ද්‍රස්ථානයක කුජ ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව යෙදීමෙන් මෙම යෝගය උදා වෙයි. මෙම යෝගය මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලින් උපන් ජන්මීන්ට යෙදෙන අතර මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපන් ජන්මීන්ට නොයෙදේ. ඒ අනුව මේෂ ලග්න හිමියන්ගේ 1 සහ 10 යන කේන්ද්‍රස්ථානවලත් වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නේත්, කටක ලග්න හිමියන්ගේ 7 සහ 10යේත් සිංහ ලග්න හිමියන්ගේ 4 වැන්නේත් තුලා ලග්න හිමියන්ගේ 4 සහ 7 වැන්නේත් වෘශ්චික ලග්න හිමියන්ගේ 1 වැන්නේත් මකර ලග්න හිමියන්ගේ 1 සහ 4 වැන්නේත් කුම්භ ලග්න හිමියන්ගේ 10 වැන්නේත් කුජ ග්‍රහයා යෙදුණහොත් මෙම යෝගය උදා වෙයි. කුජගෙන් යෙදෙන රුචක යෝගය යමෙකුට පිහිටයි නම් ඔහුට බොහෝ පිරිසක් තම වචනයට අවනත කර ගැනීමේ හැකියාව ඇත. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ඇත. මෙම යෝගය ලැබූ අය නිර්භීතය. එඩිතරය. සතුරන් ජයගත හැකිය. කුජගෙන් යෙදෙන රුචක යෝගය හමුදා නිලධාරියකුට පිහිටයි නම් ඔහුට බොහෝ පිරිසක් තම වචනයට අවනත කරගැනීමේ හැකියාව ඇත. ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව ඇත.

භද්‍ර යෝගය

බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව 1,4,7,10 යන ස්ථානයක පිහිටි විටදී භද්‍ර යෝගය යෙදෙයි. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට මෙම භද්‍ර යෝගය යෙදෙන අතර මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ යන ලග්න හිමියන්ට නොයෙදෙයි. ඒ අනුව බුධ ග්‍රහයා මිථුන ලග්න හිමියන්ගේ 1,4 වැනි කේන්ද්‍රස්ථානයක, කන්‍යා ලග්න හිමියන්ගේ 1 වැන්නේ හෝ ධනු ලග්න හිමියන්ගේ 7 හෝ 10 වැන්නේ ද මීන ලග්න හිමියන්ගේ 4 හෝ 7 වැන්නේ ද යන ස්ථානයක සිටීමෙන් භද්‍ර යෝගය යෙදෙනු ඇත. මෙම යෝගය යෙදීමෙන් ජන්මියාට දැනුම, බුද්ධිය හොඳින් පිහිටයි. ශාස්ත්‍රීය කටයුතුවලට, ලේඛන කටයුතුවලට, කථිකත්වයට දක්‍ෂ වේ. යහපත් ගතිගුණවලින් යුක්ත ක්‍රියාශීලි ඇත්තෙක් කරයි. බොහෝ ශිල්පයන්හි හසළ දැනුමක් සහ බුද්ධියක් ඇති නිපුණයකු වෙයි. යම් දෙයක් ඉතා පහසුවෙන් වටහා ගැනීමේ හැකියාව නිසා අධ්‍යාපනයේ පරතෙරට යෑමට වාසනාව ඇත.

හංස යෝගය

කේන්දරයක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක යෙදීමෙන් ගුරු හංස යෝගය යෙදේ. ජන්මියකුට හංස යෝගය යෙදීමද ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙම යෝගය මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, ධනු මකර, මීන ලග්න හිමියන්ට යෙදෙන අතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට නොයෙදේ. ඒ අනුව, මේෂ ලග්න හිමියන්ගේ 4 වැන්නේත් මිථුන ලග්න හිමියන්ගේ 7 හෝ 10 වැන්නේත් කටක ලග්න හිමියන්ගේ 1 වැන්නේත් කන්‍යා ලග්න හිමියන්ගේ 4 හෝ7 වැන්නේත් තුලා ලග්න හිමියන්ගේ 10 වැන්නේත් ධනු ලග්න හිමියන්ගේ 1 හෝ 4 වැන්නේත් මකර ලග්න හිමියන්ගේ 7 වැන්නේත් මීන ලග්න හිමියන්ගේ 1 හෝ 10 වැන්නේත් ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍ර වීමෙන් මෙම යෝගය යෙදේ.

මෙම යෝගයෙන් හොඳ ප්‍රඥා ශක්තියක් ඇත්තන් බිහිවේ. ඉතා සූක්ෂ්මව බැලිය හැකි තීක්ෂණ නුවණක් මේ අය තුළින් දැකිය හැකිය. දුටුවන්ගේ සිත් ආකර්ෂණය කරගැනීමට හැකි ප්‍රියමනාප පෙනුමක්ද මොවුන් සතු වෙයි. සිරුර කඩවසම්ය. නිතර විවිධ පින්කම් කිරීමට පෙලඹෙන අතර ධාර්මික කටයුතු කෙරෙහි විශේෂ පැහැදීමකින් කටයුතු කරයි.

මාලවී යෝගය

සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව 1, 4, 7, 10 හි යෙදීමෙන් උදා වන මාලවී යෝගය සෑම ලග්නයකටම යෙදේ. ඒ අනුව මේෂ ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයා 7 වැන්නේ යෙදීමෙන්ද වෘෂභ ලග්න හිමියන්ගේ 1 වැන්නේද මිථුන ලග්න හිමියන්ගේ 10 වැන්නේ ද කටක ලග්න හිමියන්ගේ 4 වැන්නේ ද සිංහ ලග්න හිමියන්ගේ 10 වැන්නේ ද කන්‍යා ලග්න හිමියන්ගේ 7 වැන්නේ ද තුලා ලග්න හිමියන්ගේ 1 වැන්නේ ද වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වනැනේද ධනු ලග්න හිමියන්ගේ 4 වැන්නේද මකර ලග්න හිමියන්ගේ 10 වන්නේද කුම්භ ලග්න හිමියන්ගේ 4 වැන්නේ ද මීන ලග්න හිමියන්ගේ 1 වැන්නේ ද යෙදීමෙන් මාලවී යෝගය අදාළ ජන්මීන්ට උදා වෙයි. උදාහරණයක් ලෙස කලාකරුවකුට හෝ කලාකාරිනියකට සිකුරුගෙන් උදා වන මාලවී යෝගය පිහිටා ඇත්නම් අදාළ ජන්මියාට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපේක්ෂා කළ හැකිය. දක්ෂ ලෙස කලාවේ නිරත වනු දැකිය හැකිය. සතුට, විනෝදය, කලාකාමී බව මොවුන් තුළ පිහිටයි. මේ අය අලංකාරයට මෙන්ම ප්‍රියමනාපව සුන්දරව ජීවත්වීමට කටයුතු කරන්නෝ වෙති. අන් අය අබිබවා ලස්සනට සිටීමට පිය කරති. වයසට ගිය විට පවා රූපයට මුල් තැන දී කටයුතු කරති. බොහෝ විට අප්‍රිය දේ දැඩි පිළිකුල් කරයි.

සස යෝගය

ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්ථානයක පිහිටීමෙන් සස යෝගය යෙදේ. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හැර අනෙක් ලග්න හිමියන්ට මෙම යෝගය යෙදේ. ඒ අනුව මේෂ ලග්න හිමියන්ට 7 හෝ 10 වැන්නේ ද වෘෂභ ලග්න හිමියන්ගේ 10 වැන්නේද කටක ලග්න හිමියන්ගේ 4 හෝ 7 වැන්නේ ද සිංහ ලග්න හිමියන්ගේ 7 වැන්නේ ද තුලා ලග්න හිමියන්ගේ 7 හෝ 4 වැන්නේ ද වෘශ්චික ලග්න හිමියන්ගේ 4 වැන්නේ ද මකර ලග්න හිමියන්ගේ 1 හෝ 10 වැන්නේ ද කුම්භ ලග්න හිමියන්ගේ 1 වැන්නේ ද ශනි ග්‍රහයා යෙදීමෙන් මෙම යෝගය උදා වෙයි. මෙවැන්නෝ තමන් සතු දේ පවා අන් අයට දීමට තරම් ත්‍යාගශීලිය. ගේදොර, ඉඩකඩම්, යාන වාහන හිමිවේ. දුක සැප සමසේ විඳ දරා ගැනීමේ ශක්තිය ඇත. ආගම දහමට ළැදිය. මහණදම් පිරීමට වඩාත් සුදුසු අය ලෙස සැලකේ. ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ පූජ්‍ය පක්ෂයේ අය මෙම යෝගයෙන් උපත ලද්දෝ බව හඳුනාගෙන ඇත. එසේම මේ අයට රජකු, අමාත්‍යවරයකු වීමේ වාසනාව සහ භාග්‍යය ඇති අතර, මවට තදින් හිතවත් වේ. ගමට, නගරයට ප්‍රධානියකු වන්නේය. යහපත් දැසි දසුන් ලබා ඉසුරින් පිරි ජීවිතයක් ගත කරන්නට වාසනාව ඇත. ශනි ග්‍රහයාගේ බලවත්කම තුළින් බාධක දුක්කම්කටොලු විඳ දරා ගනිමින් ඉදිරියට යෑමේ ශක්තිය ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සම්පත් සී. බුමුණුආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division