Home » විදෙස් ගමන් ගැන කියන දේශාටන රේඛා

විදෙස් ගමන් ගැන කියන දේශාටන රේඛා

by thanushika
January 20, 2024 12:30 am 0 comment

අප සමාජයේ වැඩි දෙනෙකු විදේශගත වීමට සිහින මැව්වද එම සිහින සැබෑ වන්නේ කීයෙන් කී දෙනාටද? සමහරු රැකියා සඳහා විදේශ ගතවෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු සඳහා විදේශගත වෙති. කෙසේ වෙතත් කෙනෙකුට එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට දෛවය අනුවද එයට ඉඩ සැලසී තිබිය යුතුය. ඒ අනුව විදේශගත වීමේ වාසනාවක් ඇත්නම් ඒ බව අල්ලේද සටහන් වෙයි. මෙවර ලිපියෙන් අපි විස්තර කරන්නේ විදේශ ගතවීමට බලපාන එම රේඛා සලකුණු පිළිබඳවය. දැන් අපි බලමු අල්ලේ පිහිටි රේඛා අනුව කෙනෙකුට විදේශ ගමනකට වාසනාව හිමිද එම ගමන කොයිතරම් දුරට සාර්ථක වේද කියායි.

අල්ලේ මැණික් කටුව සන්ධියේ සිට චන්ද්‍ර මණ්ඩලය හරහා ඇදී යන රේඛා දේශාටන රේඛා හෙවත් විදේශ ගමන් පිළිබඳ රේඛා ලෙස හඳුන්වයි. මෙම රේඛා ඉතා පැහැදිලිව ගැඹුරුව රෝස පැහැයෙන් යුතුව පිහිටා ඇත්නම් ස්ථිරවම විදේශ ගමනකට වාසනාව ලැබෙන අතර එම ගමනද වඩාත් සාර්ථක වනු ඇත. එම රේඛාව අඳුරුව කැඩීබිඳී පළුදු වී ඇත්නම් වෙනත් රේඛාවලින් කැපී ඇත්නම් එම ගමනින් කෙනෙකුට බාධා, කරදරවලට මුහුණපෑමට සිදුවන අතර තමන්ගේ අරමුණද ඉටු නොවනු ඇත. මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වන රේඛා හැරෙන්නට විදේශගත වීමට බලපාන තවත් රේඛා කීපයක් පිළිබඳව දැන් සලකා බලමු.

මේ සමඟ පළවන රූප සටහනේ සලකුණු දෙස දැන් බලන්න. මේ අයුරින් ජීවන රේඛාවේ පහළ කොටසින් එක් රේඛාවක් සිකුරු මණ්ඩලයටත් තව රේඛාවක් චන්ද්‍ර මණ්ඩලයටත් විහිදී දෛව රේඛාවට සම්බන්ධ වීමද විදේශ ගමන් පෙන්නුම් කිරීමකි. එම රේඛාවල විශේෂත්වය නම් එය විදේශයේ සංචාරය කිරීම සඳහා බලපෑම් කරන රේඛාවක් වීමයි. මෙය බොහෝ ක්‍රියාශීලී අයගේ අත්වල දක්නට ඇත. මෙම හේතුව නිසා තමන්ගේ ගම, රට, මවුපියන්, සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව පිටරටවල ජීවත්වන මෙවැනි අයට වෙන්වීමේදී කාන්සියක් නොදැනේ. තම මව්බිම පිළිබඳව හැඟීම්ද අඩුවේ. එක තැනක වාඩිවී රැකියාවක් කිරීමට වඩා ඔවුහු නිතර එහා මෙහා ඇවිදීමට ක්‍රියා කිරීමට ප්‍රිය කරති. ඉහත රේඛා සියල්ල හොඳින් ගනව වැඩී ඇත්නම් ඔවුන් කරන ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක වෙයි. වැඩි ප්‍රතිලාභ පෙන්නුම් කරයි. එම රේඛා කැඩී බිඳී දුර්වලවී දූපත් සලකුණුවලින් යුක්ත නම් අධික ලෙස අලාභ පෙන්නුම් කරන අතර තම ධනයද විනාශ විය හැකිය.

චන්ද්‍ර මණ්ඩලයේ තිරස් අතට හෝ සිරස් අතට හෝ විහිදෙන රේඛා බොහෝ විට මුහුදු ගමන් පිළිබඳව පෙන්නුම් කරන රේඛාය. එම රේඛා දීර්ඝ නම් විදේශ ගමන් හෙළි කරයි. එම රේඛාව සමඟ දූපත් සලකුණු තිබුණහොත් ගමනින් සිදුවන මාරක අනතුරක් හෝ කිසියම් බාධාවක් පෙන්නුම් කරයි. කතිරයක සලකුණක් ඇත්නම් ගමන නිෂ්ප්‍රයෝජන එකක් වනු ඇත. චතුරස්‍රයක (කොටුවක) සලකුණක් නම් ගමනින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා කරයි. තාරකා සලකුණක් සමඟ චතුරස්‍රයක් නම් අනතුරක් සිදු නොවේ. චන්ද්‍ර මණ්ඩලයෙන් ඉහළට ගමන්ගත් රේඛාවක් තරුවකින් හෝ කතිරයකින් අවසන් වී නම් ගමනේ බලාපොරොත්තු ඉටු නොවේ. චතුරස්‍රයකින් අවසන් වූ විට ගමනින් සිදුවන අනතුරු වළකන බව ප්‍රකට කරයි.

ඉහළට විහිදෙන රේඛා බොහෝ සේ ඉහළට ගමන්කර ගුරු මණ්ඩලය (1) දක්වාද යා හැකිය. එය විදේශ ගමන වඩාත් සාර්ථක වීම පෙන්වන සලකුණක් වෙයි. එම රේඛා ශනි මණ්ඩලය (2) දෙසට විහිද යෑම නම් සුබ නොවේ. එයද ගමනේදී සිදු විය හැකි අවාසනාවන්ත තත්ත්වයක් පෙන්නුම් කිරීමකි. එම රේඛා රවි මණ්ඩලය (3) හෝ බුධ මණ්ඩලය (4) හෝ දෙසට යෑමද මිල මුදල් මෙන්ම උසස් තනතුරු ලැබීමටද හේතු වෙයි. තිරස් අතට පිහිටි රේඛාවන් චන්ද්‍ර මණ්ඩලය හරහා විහිදී ගොස් දෛව රේඛාවට සම්බන්ධ වන අවස්ථා ද ඇත. එය දීර්ඝ ගමනක් මෙන්ම වැදගත් ගමනක් බව ද කියැවේ.

සලකුණු මඟින් පෙන්නුම් කරන චන්ද්‍ර මණ්ඩලයෙන් ඉහළට විහිද යන ඉතා කුඩා රේඛාවලින් පෙන්නුම් කරන්නේ තම මව්බිම වෙනුවෙන් රටේ යහපතට අදාළව රාජකාරි කටයුතු සඳහා විදේශගත වන බවයි. විදේශ ප්‍රභූන් තානාපති වැනි අය සම්බන්ධ වන විදේශ සම්මේලනවලට සහභාගීවීම සඳහා විදේශගත වන අයගේ අත්වල මෙම පිහිටීම් තිබිය හැකිය. එම රේඛා හොඳින් මනාව පිහිටීම අරමුණු සර්ථක වන බව ප්‍රකට කිරීමකි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division