Home » ඔබේ ජීවිත කතාව කියන කේන්දරේ ග්‍රහ පිහිටීම්

ඔබේ ජීවිත කතාව කියන කේන්දරේ ග්‍රහ පිහිටීම්

by thanushika
January 20, 2024 12:30 am 0 comment

ජන්මියකුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිතයේ වැදගත්ම දෙයකි. සෞඛ්‍ය අතින් පිරිහීමක් ඇත්නම් වෙනත් සම්පත් තිබීමෙන් පලක් නොවේ. ජීවිතය බැබළීමට චරිතය යහපත් විය යුතුය. ජීවිතයේ සැබෑ දියුණුව ලැබීම සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා තිබිය යුතුය. මේ සියල්ලෙන් පරිපූර්ණ වුවද මවුපියන් සමඟ මෙන්ම ඥාතීන් සමඟ ද යහපත් සම්බන්ධතාවක් නොමැති නම් ජීවිතයේ හිස් බවක් ඇත. මෙවැනි කරුණු කෙනෙකු කෙරෙහි කෙසේ බලපාවිද යන්න අපට දැනගත හැකි වන්නේ කේන්දරයේ පලාපල බැලීමෙනි.

සෞඛ්‍ය

ක්ෂේත්‍රයක ලග්නාධිපති උච්ච වී නැතිනම් මිතුරු රාශියක සඳු, බුධ, ගුරු, ශුක්‍ර වැනි සුබ ග්‍රහයන් සමඟ පිහිටීමෙන් ලෙඩ රෝගවලින් මිදි ජීවත්වීමට හැකි තත්ත්වයක් උදා කරයි. පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියක් නොමැතිව ලග්නාධිපති සුබ දෘෂ්ටි සහිත වීම හෝ ලග්නාධිපති වර්ගෝත්තම වීමෙන් ද කෙනෙකුගේ ශරීර සෞඛ්‍ය යහපත් කරයි. එමෙන් ම ලග්නය 11, 12 යන භාවයන්හි සුබ ග්‍රහයන් පිහිටීමෙන් ලග්නාධිපති බලවත් ස්ථානයක සිටීමෙන් හොඳ සෞඛ්‍ය ගති ඇති කරයි. තවද ලග්නය 2, 3 භාවයන්හි සුබ ග්‍රහයෙක් වීමත් ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයෙන් පැවැත්වීමට බලපායි. ලග්නාධිපති රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයන් සමඟ පිහිටීම හෝ ලග්නාධිපති 8 වැන්නාධිපති සමඟ එකට සිටීම හෝ රෝග ඇති කිරීමට බලපානු ඇත. ලග්නාධිපති 6, 8, 12 අධිපතීන් සමඟ සිටීම පාප ග්‍රහයන් ලග්නයේ සිටීම සහ ලග්නාධිපති දුර්වල වීමද සෞඛ්‍ය පිරිහීමට ලක් කරයි. ලග්නාධිපති දුර්වලව සිටීම සමඟ ලග්නය පාප ග්‍රහයන්ට පෙනීම මඟින් ද සෞඛ්‍ය දුර්වල කරයි. පාප ග්‍රහයන් ලග්නයේ හෝ සඳු ලග්නයේ සිටි විට සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමට බලපායි.

චරිතය

දෙවැන්නාධිපති සුබ ග්‍රහයන් සමඟ හෝ සුබ ග්‍රහයන්ට පෙනී සිටියේ නම් ඔහු හෝ ඇගේ චරිතයේ යහපත් බව ඇති වේ. සඳු, ගුරු ග්‍රහයන් 8 වැන්නේ පිහිටි අය ඉතා චරිතවත් ජීවිත ගත කරයි. ගුරු ලග්නයේ සිටින අයගේ චරිතය ද යහපත් වේ. සිකුරු දෙවැන්නේ පිහිටි තැනැත්තා විනීතව දිවි ගෙවනු ලබයි. කුජ 11 වැන්නේ පිහිටි අයගේ ද චරිතය යහපත් වනු ඇත. දෙවැන්නාධිපති පාප ග්‍රහයෙක් වී හෝ පාප සංයෝග වී හෝ පාප දෘෂ්ටි ලැබීමෙන් චරිතය අයහපත් වේ. කුජ ග්‍රහයා 5 වැන්නේ සිටීමෙන් නරක චරිත ඇති කරයි. 12 වැන්නේ රවි පිහිටීමෙන් ඒ අය බොහෝ විට තම චරිතය නරක් කර ගනී.

අධ්‍යාපනය

අධ්‍යාපනය ගැන කරුණු විමසීමේදී 4 වැන්න 5 වැන්න සහ එහි අධිපතීන් සහ බුධ ගුරු ග්‍රහයන් වැදගත් වේ. මේවා බලවත් වීමෙන් හොඳ අධ්‍යාපනයක් ලැබෙනු ඇත. බුධ බලවත්ව පිහිටීම ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබීමට හේතු වේ. ගුරු, සිකුරු හෝ බුධ 6 හෝ 8 වැන්නේ පිහිටි අයට හොඳ අධ්‍යාපනයක් ලැබිය නොහැකිය. 2, 4, 5 අධිපතීන් සහ බුධ ගුරු යන ග්‍රහයන් පාප ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් හෝ 6, 8, 12 වැන්නේ පිහිටීමෙන් යහපත් ඉගෙනුමක් ඇති කර ගැනීමට ඉඩක් නොලැබේ.

මවුපියන්

සුබ ග්‍රහයන් 4 වැන්නේ සිට 4 වැන්නාධිපති බලවත්ව සිටියේ නම් මවට යහපත් වේ. මව සමඟ මනා සබැඳියාවකින් මෙවන් අය කටයුතු කරයි. සුබ ග්‍රහයන් 5, 8 යන ස්ථානයේ බලවත්ව සුබව දැකීමෙන් පියා සමඟ යහපත් සබඳතාවකින් ක්‍රියා කරනු ලබයි.

ඥාතීන්

හතර වැන්නාධිපති සුබ ග්‍රහයෙක් වී සුබයෙක්ට පෙනීමෙන් හෝ සුබ ග්‍රහයන් සමඟ සිටීමෙන් නෑදෑයන් සමඟ සමගිව කටයුතු කරන අයෙකු වේ. හතරවැන්නාධිපති පාප ග්‍රහයකු වී පාප ග්‍රහයන්ගේ දැකීමෙන් හෝ පාපයන් සමඟ සංයෝග වීමෙන් නෑදෑයන් සමඟ විරුද්ධතා ඇති කර ගනියි.

 

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී උපුල් ජයශ්‍රි ද සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division