Home » ජනවාරි 22 අති ප්‍රබල නිවාස නැකතක්

ජනවාරි 22 අති ප්‍රබල නිවාස නැකතක්

by thanushika
January 20, 2024 12:30 am 0 comment

පසුගිය ජනවාරි 15 දා කෝණ මාසය අවසන් වී නිවාස හා විවාහ කටයුතු ඇරඹීමට පැවැති බාධා ඉවත් වීමත් සමඟ නව වසරේ යෙදෙන මුල්ම නිවාස නැකත ජනවාරි 22 වන සඳුදා උදා වන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. ඒ අනුව ජනවාරි 22 වැනිදා පෙරවරු 11.29ට දකුණු දිශාව බලා මුල්ගල තැබීමට ඉතා සුදුසුය.

මේ අවස්ථාවේ තත්කාල ලග්නය මීන වේ. මීන ලග්නයෙන් නිවාස කටයුතු ආරම්භ කිරීමෙන් ධන ලාභ හිමි වේ. 10 වැන්නාධිපති ගුරු ධනස්ථානයේ සිටීම ඉතා සුබදායකය. බුධ සහ සිකුරු 10 වැන්නේ සිටී. රවි සියලු දෝෂ භංග කරමින් 11 වැන්නේ සිටී.

නිවාස කටයුතු සඳහා නිර්දේශිත මුවසිරස නැකත මෙදින දවස පුරා පවතී. සඳුදා දින මුවසිරස නැකත යෙදීමෙන් උදා වන ආනන්ද නම් අටවිසි මහා යෝගය ද මෙදිනට යෙදී ඇත. පුර පක්ෂයේ දොළොස්වක තිථියද මෙදින පවතින නිසා එයද නිවාස කටයුතු සඳහා ඉතා ප්‍රශස්තය. සඳුදා දිනක දොළොස්වක තිථිය යෙදීම අමෘත යෝගයක්ද වේ. මුවසිරස නැකත අයත් වන්නේ මෙදින රවි සිටින නැකතෙන් 12 වැන්නටයි. එය ද නිවාස ඉදි කිරීමට ඉතා සුබදායකය. පුර පක්ෂයේ චන්ද්‍රයා වෘෂභ රාශියේ බලවත්ව සිටීම මෙම නැකතේ බලය වඩාත් තීව්‍ර කරයි.

රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, බෙරණ, පුවපල්, පුවසල, අස්ලිස, දෙට, රේවතී නැකැත් හිමියන්ට මේ දිනය ඉතා සුබදායකය. නිවසේ මුල්ගල තැබීමේදී එය සිදු කරන තැනැත්තා (ගෘහ මූලිකයා) සුදු හැඳ, බුදුන් වැඳ ‘මෙම නිවස සෑදේවා‘ යන ප්‍රාර්ථනයෙන් මුල්ගල තැබිය යුතුය. මෙදිනට පෙර දිනයේද ගෙපල හොඳින් පිරිසිදු කර, කහ දියර ඉස, රත්‍රි 10.00න් පසු පහන් දැල්වීම සුදුසුය. පහන් පැල දේව පාදයේ ඉදි කළ යුතුය. ඒ සඳහා ඊසාන දිශාව වඩාත් සුදුසු වේ.

රවි මකර රාශියේ සිටින බැවින් මෙදින මුල්ගල තැබිය යුත්තේ ඊසාන දිශාවේය. මුල් ගල පසු කාලයේදී නොපෑගෙන තැනක තැබීමට ද වග බලා ගත යුතුය. මුල් ගල තැබීමේදී ආරක්ෂා බන්ධන සහිතව නිදන් වස්තු තැන්පත් කළ යුතුය. ඒ සඳහා සුදුසු ප්‍රශස්ත නිදන් වස්තු ලේඛනයක් මෙලෙසිනි.

නවරත්න, පස්ලෝ, හිරියල්, හෙළ අබ, කැකුළු හාල්, ඊතණ, රත්මල් කැකුළු, සමන්පිච්ච කැකුළු, මානෙල්, නෙළුම්, ඕලු, නාමල්, රුක්අත්තන මල් රේණු, උඳු, මුං, තල, මෑ, වී, අගිල්, ගුගුල්, තුවරලා, සැවැන්න මුල්, සුදු හඳුන්, රත් හඳුන්, කස්තුරි, ගෝරෝචන, කපු ඇට, කුඹුරු ඇට, වැල්මී, වෙනිවැල් ගැට, කොහොඹ අරටු, මී ඇට, මුහුදු වැලි, ගඟේ වැලි, ඇළේ වැලි, දොළේ වැලි, පර්වත පස්, ඇතා බිඳි පස්, සමුද්‍ර පර්වත මැටි, මුහුදු වතුර, ගඟේ වතුර, වෙලේ වතුර, ඇළේ වතුර, දොළේ වතුර, ඔයේ වතුර, පොකුණු වතුර, වැහි වතුර, ළිඳේ වතුර, කොහොඹ තෙල්, මී තෙල්, ගිතෙල්, අබ තෙල් සහ තැඹිලි තෙල්ය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division