Home » හැමදේම මික්ස් වෙලා එද්දි වැඩේ හරියටම කෙරුණා

හැමදේම මික්ස් වෙලා එද්දි වැඩේ හරියටම කෙරුණා

by thanushika
January 13, 2024 2:38 pm 0 comment
 නාමලී ගමගේ

ශලනි තාරකාගේ විවාහ උත්සවයත් සමඟින් කියවුණු නම් අතර විශේෂිතම නම වුණේ අනුරාධා එදිරිසිංහ. ඒ ඇය ශලනිගේ හොඳම යෙහෙළිය වගේම ඇය ශලනි වෙනුවෙන් ගැයූ විශේෂ ගීතය සමාජ මාධ්‍යවල ජනප්‍රිය වීමත් සමඟිනි. පහුගිය දා පැවැති සිග්නීස් සම්මාන උලෙළේ දී ඇය 2021 වසරේ හොඳම නිළියට සම්මානිත වීම ද විශේෂත්වයකි. ඒ ප්‍රියාල් වීරසිංහගේ ගරුඬ මුහුර්තය ටෙලි නිර්මාණයේ පුසුඹිගේ චරිතය උදෙසායි. ඒ සියල්ල අතීතයට මුසු කරමින් මේ දිනවල ඇය ප්‍රේක්ෂක හදවත් දිනා සිටින්නේ සුසුම් රස්තියාදුව ටෙලි නිර්මාණයේ එරන්දතීගේ භූමිකාවෙනි. ඇය අපේ කතාබහට එක්වූවේ ද කාර්‍යබහුලත්වයෙන් මිදුණු එක් විරාමයකදීය.

එරන්දතී මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?ඔව්. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුවේ එරන්දතීට මේ දවස්වල පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය දවස්වල මං අසනීප වෙලා මාස්ක් එක දාගෙන ගියත් වචනෙ දෙක කතාකරද්දි මිනිස්සු මාව අඳුනගෙන මේ එරන්දතී නේද කියලා අහනවා.

සිග්නීස් සම්මාන උලෙළේ 2021 වසරේ හොඳම නිළියට සම්මානිත වුණේ ඔබ. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒක නම් හිතුවෙවත් නැති දෙයක්. සිග්නීස් කියන්නෙ කිසිම නොමිනේෂන් ඊවිනින් එකක් නොතියා පෙර දැනුම්වත් කිරීමකින් තොරව කරන එකම සම්මාන උලෙළ. ඒක තමයි මං හිතන්නෙ සම්මානයක් ලැබීමේ නියම හැඟීම සජීවීව අත්විඳින අවස්ථාව.

ප්‍රියාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ ගරුඬ මුහුර්තය ටෙලි නිර්මාණයේ පුසුඹි කියන චරිතයට 2021 වසරේ හොඳම නිළියට හිමි සම්මානය මට ලැබුණා. ඒක තරුණ වයසෙ ඉඳන් මැදි වයස ඉක්මවා යන තෙක් ලොකු රංගන පරාසයක දිවෙන චරිතයක්. පුසුඹි කියන්නෙ තමන්ගෙ සැමියා තමන්ගෙම නංගිව සහේට ගැනීම ඉවසගෙන ඔවුන්ගෙ දරුවනුත් තමන්ගෙම වගේ හදාවඩා ගන්න තරම් ඉවසීමක් දරාගැනීමක් තියෙන කාන්තාවකගේ චරිතයක්. ස්වර්ණ පුස්තක සම්මාන දෙවැනි ස්ථානය දිනූ කීර්ති වැලිසරගේ පොත ඇසුරින් කළ හොඳ නිර්මාණයක්.

ඔබේ කුලුඳුල් ගීතය ගැනත් කතා කරමු?

ඒක හිතකවත් තිබුණෙ නැති දෙයක්. සම්පූර්ණ ක්‍රෙඩිට් එක හිමි වෙන්න ඕන මනුජ මහවත්තට. ඔහු මගේ හොඳම යාළුවෙක්. ඔහු තමයි මියුසික් කළේ. මියුසික් කොම්පෝස් කළේ කල්ප ගුණසේකර. ගීතය රචනා කළේ සෙව්වන්දි වික්‍රමසිංහ. ශලනි අක්කයි මායි අතර තිබුණු බැඳීම ගැන මං සෙව්වන්දිට කිවුවා. ඇය හරිම ලස්සනට ඒ හැඟීම් පදවලට පෙරළල තිබුණා. මට ඕන වුණේ මගේ හිතේ තියෙන හැඟීම් වෙඩින් එක දවසට අක්කට තෑගි කරන්න විතරයි. මං ගයනවා කියන අදහස තිබුණෙ නෑ. මං මනුජට කිවුවෙ මට මේක ගායනා කරන්න කෙනෙක් හොයල දෙන්න කියලා. ඔහු තමයි කිවුවෙ ඕක ඔයාගෙ අක්ක වගේ ඉන්න කෙනාට ඔයාගෙ හදවතින්ම එන හැඟීමක්නෙ. ඒ නිසා ඔයාට පුළුවන් විදිහට ඔයා කියන්න අපි සපෝට් කරන්නම් කියලා. ඊට පස්සෙ මටත් හිතුණා ඒක ඇත්තනෙ කියලා. අන්තිමට හැමදේම මික්ස් වෙලා එද්දි අක්ක ඇත්තටම සප්‍රයිස් වුණා. ඒකම තමයි මටත් ඕන වුණේ. හරි අමාරුවෙන් එයාට හොරෙන් ඒක කරගත්තෙ. වීඩියෝ එක එඩිට් කළෙත් මම. චර්ච් සෙරමනි එකේදි එයාගෙ හොඳම යාළුව විදිහට මට කතාවක් කරන්න අවස්ථාව ලැබුණා. මට ඕන වුණේ කතාව ඉවර වෙනවත් එක්කම ඒක පෙන්නන්න. මං දුන්න තෑග්ගෙන් අක්කා ගොඩක්ම සතුටු වුණා.

අලුත් අවුරුද්දකුත් ලැබුවා. මොනවද අලුත් බලාපොරොත්තු?

ශාන් ජයරත්නගේ මේන් කැරැක්ටර් ටෙලි නිර්මාණයේ මේන් කැරැක්ටර් එක ලැබුණා. ඒක එනකල් බලාගෙන ඉන්න එක තමයි මේ අවුරුද්දෙ ලොකුම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් බාහිර පෙනුම පවා වෙනස් කරගෙන විශේෂ සූදානමක් වුණා. ඇඳුම් වගේම හෙයාර් කලර් එකත් වෙනසක් කළා. ඩාන්සින් කොරියොග්‍රැපි වෙන වෙනම ප්‍රැක්ටිස් කරලා සින්දු වෙනම ෂූට් කරලා කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. මං ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න පළමු අවස්ථාව. ඒ චරිතයට බාහිරව දෙන්න පුළුවන් උපරිම සත්කාරය දුන්නා. අන්තිමට අධ්‍යක්ෂවරයාගේ හිතේ තියෙන චරිතය ගන්න පුළුවන් වුණා. එක්සර්සයිස් පැත්තෙන්, බියුටි පැත්තෙන් අපිව ෆලෝ කරමින් චරිතයක් ගොඩනඟන්න මේ තරම් වෙහෙසෙන ප්‍රොඩක්ෂන් එකකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව.

අධ්‍යක්ෂවරයා නිතරම කිවුවෙ මට ඕන මෙන්න මේ වගේ චරිතයක් කියලා. මං ජීවත් වුණු විදිහයි මං කරපු චරිතයි එක්ක මමවත් විශ්වාස නොකරපු, මට මේකට යන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් හිටපු තැන්වල පවා ඔහු විශ්වාසයෙන් හිටියා. නැහැ මේකයි ලුක් එක කියන එක ඔහු කලින්ම දැකලා තිබුණා. වැඩේ ඉවර වෙලා අවුට් පුට් එක පෙන්නද්දි මම ඔහුට කිවුවා ඔයා මේක විශ්වාස කළ විදිහට මම නම් විශ්වාස කළේ නෑ කියලා. ප්‍රියනාත් විදානපතිරණ තිරපිටපතේ ලියපු ඒ චරිතයම ගන්න අධ්‍යක්ෂවරයාට වුවමනාව තිබුණා. ලොකු කැපකිරීමක් කළ නිර්මාණයක්.

අනුරාධා දැන්වත් ආදරවන්තියක් ද ?

අදත් කියන්න තියෙන්නෙ නැහැ කියලා. ආදරය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් මට තියෙන්නේ. ආදරේක පැටලුණොත් මගේ මේ කාර්යබහුලත්ව නිසා ඔහුට දුක් විඳින්න වෙයි. ඒක ඔහුට කරන අසාධාරණයක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division