Home » ආමීර්ගේ දියණිය යෝග්‍යතා උපදේශක නූපූර් සමඟ යුගදිවියට

ආමීර්ගේ දියණිය යෝග්‍යතා උපදේශක නූපූර් සමඟ යුගදිවියට

by thanushika
January 13, 2024 12:30 am 0 comment

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන්ගේ එකම දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට එළැඹුණා. 27 හැවිරිදි අයිරාගේ මනාලයා වූයේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකු වන නූපූර් ශිකාරේ යි. 37 වැනි වියෙහි පසුවන නූපූර් ආමීර්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

අයිරා සහ නූපූර් යුග දිවියට එළැඹුණේ වසර තුනක පමණ ආදර සම්බන්ධයකින් පසුව යි. ඔවුන්ගේ ඇසුර ආරම්භ වී තිබුණේ 2020 වසරේ කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ අගුළුලෑම් ක්‍රියාත්මක වූ කාලයේ යි. මේ කාලයේ අයිරා වැඩි කාලයක් ගත කර තිබුණේ සිය පියාගේ නිවසේ බවයි සඳහන් වන්නේ. අයිරාගේ මව්පියන් වන රීනා සහ ආමීර් එකිනෙකාගෙන් දික්කසාද වී සිටින බව රහසක් නොවෙයි. කෙසේ හෝ වේවා, අගුළුලෑම් පැවැති සමයේ අයිරා ආමීර්ගේ නිවසේ කාලය ගත කරද්දී ඇයත් ශාරීරික යෝග්‍යතාව ගැන ලොකු උනන්දුවක් දක්වා තිබුණා. මෙහි දී නූපූර් ඇයට ඒ සම්බන්ධයෙන් උදවු කර තිබූ බව පැවසෙනවා. දෙදෙනා අතර මේ ආකාරයෙන් ඇරඹුණු ආශ්‍රය තමයි පසුව ආදර සම්බන්ධයක් දක්වා දුර දිග ගොස් තිබුණේ.

ඔවුන් දෙදෙනා දැඩි ආදරයකින් සහ එකිනෙකා පිළිබඳ විශාල අවබෝධයකින් පසුවන දෙදෙනකු බවත් සඳහන්. කලකට පෙර අයිරා විශාදය (Depression) නමැති මානසික ගැටලුවෙන් ද පීඩා විඳිමින් සිටියා. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඇයට සිදු වුණා. අයිරා මෙය කිසිවිටෙක රහසක් හැටියට තබා ගැනීමට උත්සාහ කළේ නැහැ. ඇය මේ ගැන ඉතා විවෘතව සිය සමාජ මාධ්‍ය පිටු තුළින් පවා කතා කළා. ඇය වරක් පවසා තිබුණේ මෙම තත්ත්වය ජානවලින් එන්නක් යයි සිතන බවයි. ඇයගේ මවගේ මෙන්ම පියාගේ ද පවුල්වල මානසික සෞඛ්‍ය ගැටලු දක්නට ලැබුණු බව අයිරා සඳහන් කර තිබුණා. ඇයගේ මවුපියන් එකිනෙකාගෙන් දික්කසාද වීමත් සමහර විට අයිරාගේ මානසික සෞඛ්‍යයට බලපාන්න ඇති.

අයිරා විශාදයෙන් පීඩා විඳිද්දී එයින් ගොඩ ඒමට නූපූර්ගෙන් ඇයට විශාල සහයෝගයක් ලැබුණු බව ආමීර් ද පවසා තිබුණා. මෙවැනි ගැටලුවලින් පීඩා විඳින අයට උදවු කිරීම සඳහා මේ වන විට අයිරා මානසික සෞඛ්‍යය පිළිබඳ ආයතනයක් ද පිහිටුවා තිබෙනවා. එය හැඳින්වෙන්නේ අගත්සු පදනම යන නමින්.

අයිරාගේ සහ නූපූර්ගේ විවාහය ලියාපදිංචි කෙරුණේ පසුගිය 3 වැනි දින යි. ඒ මුම්බායි හි Taj Lands End හෝටලයේ පැවැති උත්සවයකදී යි. එදින අපූරු සිද්ධියකුත් සිදු වී තිබුණා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ විවාහයක් ලියාපදිංචි කිරීමේ දී සම්ප්‍රදායානුකූලව මනාලයා පැමිණෙන්නේ අශ්වයකු පිටේ යි. නමුත් ශාරීරික යෝග්‍යතා පිළිබඳ උපදේශකවරයකු වන නූපූර් පැමිණ තිබුණේ දුවගෙන යි. ව්‍යායාම කරන විට සාමාන්‍යයෙන් අඳින කොට කලිසමකින් සහ බැනියමකින් සැරසී ඔහු තව මිතුරන් දෙදෙනකු ද සමඟ පාර දිගේ හෝටලය දක්වා දිවගෙන එන ආකාරය දැක්වෙන් ඡායාරූප සහ වීඩියෝ මාධ්‍ය තුළ පළ වී තිබුණා. නූපූර් විවාහයට අත්සන් කර තිබුණේත් මෙම ඇඳුම් පිටින්ම යි. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක් වූ සමහරුන් මේ ගැන අප්‍රසාදය පළ කර තිබෙනුත් දැකිය හැකි වුණා.

අයිරාගේ සහ නූපුර්ගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවයට ආරාධනා කර තිබුණේ පවුලේ සාමාජිකයන්ට සහ සමීප හිතමිතුරන්ට පමණයි. ආමීර්ගේ පළමු බිරිය, එනම් අයිරාගේ මව වන රීනා දත්තා මෙන්ම දෙවැනි බිරිය වූ කිරන් රාඕ ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. ආමීර් සහ රීනා විවාහ වූයේ 1986 වසරේ යි. 2002 වසරේ ඔවුන් දික්කසාද වූ අතර 2005 වසරේ ආමීර් කිරන් රාඕ සමඟ විවාහ වුණා. ඔවුන් දෙදෙනාත් 2021 වසරේ එකිනෙකාගෙන් වෙන් වුණා. ආමීර් සහ රීනා අතර විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ අයිරා සහ ජුනයිඩ්. ආමීර් සහ කිරන් අතර විවාහයෙනුත් දරුවකු සිටින අතර ඔහුගේ නම අසාද් රාඕ ඛාන්. ජුනයිඩ් මේ වන විට 30 වැනි වියේ ද, අසාද් 12 වැනි වියේ ද පසුවෙනවා.

අයිරා, නූපූර් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවයෙන් පසු රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපූර් නගරය වෙත පිටත්ව ගොස් තිබුණා. ඒ එහි ද විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ නිසයි. පසුගිය 8 වැනි දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු මෙම උත්සවයට විශාල පිරිසක් සහභාගි වී තිබුණා. තවත් විශාල මංගල සාදයක් 13 වැනි දිනත් මුම්බායි නුවර දී පැවැත්වීමට නියමිතව තිබුණා. සිනමා ක්‍ෂේත්‍රයේ කලාකරුවන්ට ඇරියුම් කර තිබුණේ මෙම සාදයට යි. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආක්ෂේ කුමාර්, කරීනා කපූර්, අමිතාබ් බච්චන්, අජේ දේව්ගන්, ජුහි චව්ලා ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් ඊට සහභාගි වනු ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division