Home » මගේ ගීත ජනප්‍රිය වෙන්න ඒක තමයි ලොකුම හේතුව

මගේ ගීත ජනප්‍රිය වෙන්න ඒක තමයි ලොකුම හේතුව

by thanushika
January 13, 2024 12:30 am 0 comment

ගායක ගායිකාවන් ගී ගයන්නේ ඔවුන්ටම ආවේණික වූ ශෛලියකින්. ක්ෂේත්‍රය තුළ ආපසු නොහැරී සාර්ථකත්වය කරා යෑමට එවැනි අනන්‍යතාවක් ගොඩ නඟා ගැනීම වැදගත්. දේශීය පමණක් නොව ජාත්‍යන්තර ගීත ක්ෂේත්‍රය තුළත් එය පොදු ධර්මතාවක්. බටහිර ගීත ලෝකයේ දැවැන්ත චරිත බවට පත් වූ එල්විස් ප්‍රෙස්ලිලා, මයිකල් ජැක්සන්ලා, මැඩෝනාලා පමණක් නොව මෑත ඉතිහාසයේ බටහිර ගීත ක්ෂේත්‍රය තුළ නව මානයන් සොයා ගිය එන්රික්ලා, ජස්ටින් බීබර්ලා, එඩ් ෂීරන්ලා ද සාර්ථකත්වය කරා ගියේ ඒ ආකාරයෙන්මයි. එකම රාමුවකට කොටු නොවී විවිධ ශෛලීන් අත්හදා බැලීමට ගිය ගායක ගායිකාවනුත් නැතිවා නොවේ. එහෙත් එසේ අත්හදා බැලීම් සිදු කළ අයගෙන් සාර්ථක වුණේ අතළොස්සක් පමණයි. බයිලා ගායකයෙක් ලෙස ක්ෂේත්‍රය තුළ වැජඹුණු නිහාල් නෙල්සන්ගේ ‘කරුණා සුවඳ තවරාලු හද පියුමේ‘ මව්ගුණ ගීතය එවැනි සාර්ථක අත්හදා බැලීමක්.

‘හැමෝටම හැම ගීතයක්ම ගායනා කරන්න බෑ. පදමාලාවක ගායන ශිල්පීන්ගේ හැඩතල මතුවෙන සියුම් තැන් තියෙනවා. අපි ගීතයක් නිර්මාණය කරද්දී මේ පදමාලාව සුදුසු කාටද කියලා නිරායාසයෙන්ම හිතට දැනෙනවා. මගෙත් අසාර්ථක වුණු ගීත තියෙනවා නොගැළෙපෙන හඬකින් ගැයීමෙන්.‘ එසේ කියන්නේ දශක තුනක කාල පරාසයක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ රසික රසිකාවියන්ගේ මුවඟ රැව්දෙන ගීත රැසක් බිහි කළ ප්‍රවීණ ගීත රචකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වන අශෝක කෝවිලගේ.

ඔහු මේ අදහස් පළ කළේ මේ මස 14 වැනිදා පස්වරුවේ මීගමුවේ ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ඔහුගේ නිර්මාණ දිවියේ ගී පද රචනයෙන් හා සංගීත අධ්‍යක්ෂණයෙන් දායාද වූ ජනප්‍රියතම ගීත 22ක එකතුව ‘තුන්සිත දැහැන් ගතවෙනා‘ ගී නිර්මාණ ප්‍රසංගය නිමිත්තෙන් ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වෙමින්.

‘ගායක ගායිකාවන්ගේ ගායනයේ රාමුවක් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. පරණ ගායක ගායිකාවන්ගේ ගීත අදටත් ජනප්‍රියත්වයේ රැඳිලා තියෙන්නේ අන්න ඒ නිසයි. ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගෙන මේක මට ගැළපෙන ගීතයක් නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන ගායක ගායිකාවන්ගේ අනන්‍යතාව ශ්‍රී ලංකාවේ ගීත ක්ෂේත්‍රය තුළ සදාකාලිකයි. ගී පද රචකයන් හෝ සංගීත අධ්‍යක්ෂවරුන් හැටියට අපිත් ඒකට අනුගත වෙලා තමයි නිර්මාණය කරන්න ඕනා. දක්ෂතාව කියන්නේ ගායන හැකියාව විතරක් නෙවෙයි, කටහඬට ගැළපෙන ගීතයක් තෝරාගැනීමේ හැකියාවත් තියෙන්න ඕනා. නවක ගායක ගායිකාවන්ට මම නිතරම දෙන උපදේශයත් ඒකයි. නව පරපුරේ අය ගීතයක් නිර්මාණය කරගන්න ආවම මම මුලින්ම කරන්නෙත් එයාලාගේ කලින් ගීත නිර්මාණ අහලා හඬ ගැන අවබෝධයක් ලබා ගැනීමයි. ඊට පස්සේ තමයි එයාලාගේ ශෛලියට අනුගත වෙලා නිර්මාණය බිහි කරන්නේ. මගේ ගීත ජනප්‍රිය වෙන්න ඒක තමයි ලොකුම හේතුව‘ අශෝක කෝවිලගේ එසේ කීවේ ඔහුගේ ජනප්‍රියතම ගීත සමුදාය සිහිපත් කරමින්.

අනූව දශකයේ මුල් භාගයේදී ගීපද රචනා කරමින් ගීත ලොවට පිවිසි මේ අපූරු නිර්මාණ ශිල්පියාගේ කුළුඳුල් ගීපද රචනය මාලනී බුලත්සිංහලගේ හඬින් සත්සර හා මුසු වුණු ‘සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියැසි කැලක්‘ එක් රැයකින් ජනප්‍රියත්වයට පත් වුණා. ඇගේ ආදරණීය සැමියා එච්.එම්. ජයවර්ධනගේ සංගීත නිර්මාණය ගීතය තවත් වර්ණවත් කළා. ‘ඒ ගීතය ලියලා මම අවුරුදු 4ක්ම තියාගෙන හිටියා කාටවත්ම නොදී. මේ ගීතය ගැළපෙන්නේ ඇයගේම හඬට කියලයි මට නිතරම හිතුණේ.‘ ඔහු එසේ කියනවා.

මීට කලෙකට පෙර අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගත් ප්‍රියානි ජයසිංහ ගායිකාවක් විදිහට ජනප්‍රියත්වයට පත්වුණේ අශෝකගේ ගීපද රචනයෙන් හා ඔහුගේ මුල්ම සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු ‘කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්‘ ගීතයෙන්. අනතුරුව අශෝකගේ සුන්දර හදකට දී පෙම් වරම්, අලුත් සඳ ඇවිත් අහසට‘ වගේ ගී නිර්මාණ තුළින් ප්‍රියානි ජනප්‍රියත්වයේ ඉහළටම ගියා. අශෝක කෝවිලගේ ගීපදමාලා අතර විශිෂ්ටතම නිර්මාණය විදිහට ක්ෂේත්‍රය තුළ කාගෙත් කතාබහට ලක්වුණේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ ගැයූ ‘පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා‘ ගීතයයි. ඊළඟට කමල් අද්දරආරච්චි හා නීලා වික්‍රමසිංහ ගැයූ ‘තුන්සිත දැහැන් ගතවෙනා‘ ගීපද රචනයෙන් අශෝක පද රචනා කලාවේ නව මානයන් සොයා ගියා. ගී පද මාලාවෙන් හා සංගීතයෙන් ඔහු කුමා අත්තනායකට නිර්මාණය කළ ‘එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වාගේ‘ ගීතය වෙනම හැඩතලයක් ගෙන දුන්නා. නව පරපුරේ ගායිකා අයෝමි පෙරේරාගේ ජනප්‍රියතම ගීතය වන ‘මුහුදු රැල්ල දඟ කරද්දී‘ අශෝකගේ සංගීත නිර්මාණයක්. රන්දි නදීෂා, ජූඩ් රෝගන්ස්, දර්ශන ප්‍රමෝද්, රවී ප්‍රනාන්දු හා නිපුණි නිර්මාණි වැනි නව පරපුරේ ගායක ගායිකාවන්ට ගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට අශෝකගේ දායකත්වය කැපී පෙනෙනවා.

පද රචනයෙන් හා සංගීතයෙන් ඔහු ටී. එම්. ජයරත්නට නිර්මාණය කළ කාලයේ වැලිතලා උඩින්, පද රචනාවෙන් නන්දා මාලනීගේ මේ ලස්සන ඇස්, මරියසෙල් ගුණතිලකගේ කුරුල්ලන් ගී ගයද්දී වගේම සංගීත නිර්මාණයෙන් නිරෝෂා විරාජිනිගේ බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ, ශෂිකා නිසංසලාගේ මල් පබලු වැස්සක්, භාවනාවකි හා දරු දුක, නිහාල් නෙල්සන්ගේ ගැටිස්සියෝ හා රෙස්ටෝරන්ට් සුප් කැටේ, දීපිකා ප්‍රියදර්ශනීගේ අවුකන බුදු සිවුරේ රැලි, උරේෂා රවිහාරිගේ ආලවන්ත, හද මැදුරේ හා හැඟෙන්න දැනෙන්න, රොඩ්නි වර්ණකුලගේ මෙන්න සාමට මාලයක් වැනි ජනප්‍රිය ගීත එකතුවකින් අශෝකගේ ‘තුන්සිත දැහැන් ගතවෙනා‘ ගී නිර්මාණ ප්‍රසංගය වර්ණවත් වෙනවා.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division