Home » අයිතිවාසිකම් කියන්න කෙනෙක් නෑ මුළු හිතම තාම මගේ

අයිතිවාසිකම් කියන්න කෙනෙක් නෑ මුළු හිතම තාම මගේ

by thanushika
January 13, 2024 12:30 am 0 comment

ඉසුරු වික්‍රමනායක ගයන “තහනම් කළුවර යාමේ” ගීතයේ රූප රචනයට දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උලෙළේදී හොඳම සිනමාකරණයට හිමි ජූරි සම්මානය හිමි විය. රූප රචනය අධීක්ෂණය කළ සිනමාකරණය කළ DG තිසර නිර්මාණ ක්ෂේත්‍රයට ආධුනිකයෙකි. තම පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍ර වූ ඔහු ලැබූ සම්මානය ගැන මෙලෙස පවසන්නේය.

DG කියන්නෙ සන්නාමය නැත්නම් නමද?

DG කියන්නෙ මගේ නමේ මුලකුරු. දෙයියන්දර ගමගේ තිසර තමයි මගේ නම. ක්ෂේත්‍රයට එන්න මම මාව බ්‍රෑන්ඩ් කර ගත්තෙ DG කියලා. දැන් කවුරුත් මාව දන්නේ ඒ නමින්.

පළවෙනි නිර්මාණයටම සම්මානයක් ලැබෙනවා කියන්නේ තිසර වැඩ්ඩෙක්ද?

මම නොහිතපු වෙලාවක නොහිපු විදියට ලැබුණු සම්මානයක් මේ. සම්මානය ලැබුණ පමණින් වැඩ්ඩෙක් වෙන්නෙ නෑ. නමුත් මම මට ලැබුණු අවස්ථාවෙන් උපරිම වැඩක් කරන්න උත්සාහ ගත්තා. මේ ඒ උත්සාහයට ලැබුණ ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නේ.

නොහිතපු සම්මානයක් කියන්න බෑනේ. සම්මානයක් අවශ්‍ය නිසානේ තරගයට අයදුම් කරන්න ඇත්තේ?

අයදුම් කිරීමත් අහම්බයක් තමයි. මේ සම්මාන උලෙළ ගැන දැනගෙන හිටියට අයදුම් කිරීම ගැන ඇත්තටම අවබෝධයක් නෑ. ඉසුරුටත් එයාගෙ යාළුවෙක් තමයි අයදුම් කරන්න කියලා දැනුවත් කරලා තිබුණේ. සම්මානයකට වඩා අත්දැකීමක් ගන්න තමයි මම අයදුම්පත් ඉදිරිපත් කළේ.

අන්තිමට වාසනාව තිසර පැත්තට කැරකුනා?

ඔව්. විනිශ්චය මණ්ඩලයට ස්තුතියි. ආධුනිකයෙක් මේ විදියට සම්මානයකින් ඇගැයීම ගැන. ඒ වගේම ඉසුරුට ස්තුතියි මාව විශ්වාස කරලා ආධුනිකයෙක්ට මේ වගේ අවස්ථාවක් ලබාදීම ගැන. මේ නිර්මාණයට සම්බන්ධ වුණේ මගේම යාළු මිත්‍රයො ටිකක්. ලොකු පිරිසක් හිටියෙ නෑ. ඒ හැමෝටම ස්තුතියි කියන්න ඕනෑ.

ඉසුරු තිසරව විශ්වාස කළේ එක පාසලේ හිටපු මිතුරුකමටද?

නෑ. ඉසුරු අපේ පාසලේ (මාතර රාහුල විවිද්‍යාලය) අයියා කෙනෙක් කියලා මම දැන ගත්තෙත් පස්සේ. මම කරපු ෆ්‍රී ෂූට් එකක් දැකලා තමයි මනමාලයාගේ මාර්ගයෙන් ඉසුරු මට කතා කළේ. ෂෝට් ෆිල්ම් කීපයකුත් කරලා තිබුණා. මම කරපු වෙඩින් සහ ෆ්‍රී ෂූට් වයිරල් වෙලා තිබුණා. ඒත් ප්‍රසිද්ධ මාධ්‍යට වැඩක් කියලා කළේ මේ මියුසික් වීඩියෝව විතරයි.

තහනම් කළුවර යාමේ මියුසික් වීඩියෝවෙ රංගනයෙන් දායක වෙන්නෙ විදේශීය කාන්තාවක්. ඒ ඉසුරුගෙ තෝරා ගැනීමක්ද?

ඉසුරුගෙ ට්‍රැක් එකට මම ආසයි. ගීතය ඇහුවම මගේ හිතේ මැවුණු දර්ශන තමයි මම කැමරාවට ගත්තේ. මගෙ ඔළුවට ආවෙම විදේශීය කාන්තාවක්. ඒ නිසයි මම රුසියන් නිරූපිකාවක් තෝරා ගත්තෙ. නිර්මාණයේදී සන්නිවේදනය තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. ඇයට ඉංග්‍රීසි භාෂාවත් ටිකක් අමාරුයි. මට සමහර අංගචලන, හැඟීම් ඇයට කරලම පෙන්නන්න වුණා. භාෂාව ප්‍රශ්නයක් වුණත් ඇයගෙන් නිර්මාණයට ලැබුණු ආලෝකය හුඟක් වටිනවා.

ලැබුණු සම්මානය නිසා නොදන්න අය තිසරව හඳුනා ගත්තා. දැන් අලුත් නිර්මාණවලට ආරාධනා එහෙම ලැබෙන්න ඇතිනේ?

ඔව්. නිර්මාණ කීපයකටම කතා කළා. මගෙ ලොකුම හීනය තමයි කවදාහරි දවසක චිත්‍රපටයක අධ්‍යක්ෂණයට දායක වීම. මියුසික් වීඩියෝ කරන අතරේ ඒ හීනයත් හැබෑ කර ගන්න ඕනෑ.

තිසරගෙ හිතට අයිතිවාසිකම් කියන කෙනෙක් ඉන්නවද?

අයිතිවාසිකම් කියන්න කෙනෙක් නෑ. මුළු හිතම තාම මගේ.

 හිමේෂා සවන්තී රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division