Home » මට ඕන වුණේ අහනවට වඩා ඇහෙන වැඩක් කරන්න

මට ඕන වුණේ අහනවට වඩා ඇහෙන වැඩක් කරන්න

by thanushika
January 13, 2024 12:30 am 0 comment

මතක ලන්තෑරුම මේ දිනවල සිත එෆ්. එම්. ගුවන්විදුලි නාළිකාවේ ප්‍රචාරය වන ඉතාම ජනප්‍රිය වැඩසටහනකි. යෞවනයේ ජනප්‍රිය නිවේදක නුවන් රණසිංහගේ සංකල්පයකට අනුව සැකසුණු මතක ලන්තෑරුම ආරම්භය සනිටුහන් වන්නේ හරියටම මීට වසරකට පෙර ජනවාරි 16 වැනිදායි. විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන ප්‍රවීණයන්ගේ ජීවිත අත්දැකීම් ඔස්සේ ඔවුන්ගේ අතීත මතකයන් අවුස්සමින් එහි රසමුසු තැන් ගී පදවලට මුසුකර ගුවනට මුදාහරින්නට වෙහෙසෙන්නේ ඔහුයි. දවසේ මෙහෙවර නිමා වී විඩාබරව නිවසට පැමිණෙන සුවහසක් ශ්‍රාවකයන්ගේ මලානික සිතට පැන් පොදක් ඉසින්නට වෙර දරන ඔහුට ආදරණීය ශ්‍රාවක ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැති තරම්ය. ගුවන්විදුලි මහගෙදරින් ලැබුණු මනා පුහුණුව හා අත්දැකීම තම සාර්ථකත්වයට නිරතුරුවම සවියක් වූ බව පැවසූ නුවන් මතක ලන්තෑරුමට වසරක් සපිරෙන මොහොතේ අප හා එක්වූයේ ද ඒ සතුට අප හා බෙදා ගැනීමේ අරමුණෙනි.

“මට ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ පාසල් අධ්‍යාපනය නිමා කළ අලුතමයි. ගුවන්විදුලියේ පැවැත්වුණු කටහඬට අරුතක් තරගය සඳහා ඉල්ලුම් කරන්න කියන පණිවුඩය මට ලැබෙන්නෙ අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක්ගෙන්. මාත් ඇප්ලයි කරලා තේරුණා. ඊට මාසෙකට විතර පස්සෙ අපි තිස් දෙනෙක් පුහුණුවකට තෝරගෙන තිබුණා. මාස ගාණක පුහුණුවකින් පස්සෙ තමයි කටහඬ අනුව අපි චැනල්වලට කැටගරි කළේ. මට ලැබුණෙ වෙළෙඳ සේවය. වෙළෙඳ සේවය කියන්නෙ වෙනමම තැනක්. ඒකෙම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පටන් ගත්ත විෂන් එෆ්එම් සේවයෙත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. හඩ්සන් සමරසිංහ සර් ගුවන්විදුලියේ සභාපති වෙලා ආවේ ඔය අවස්ථාවෙ. ඒ දවස්වල බොහෝ පිරිසක් රූපවාහිනියට ඇබ්බැහි වෙලා හිටිය මිසක් රේඩියෝවට අවධානයක් තිබුණේ නෑ. අපිට පැවරුණ පළවෙනි වගකීම වුණේ මිනිස්සු ඒකෙන් ගලවගෙන රේඩියෝව පැත්තට යොමු කරගැනීම. මට පැවරුණේ රාත්‍රි 8 – 9 පැයට සුදුසු වැඩසටහනක් කරන්න. ඒ අනුව මගේ කන්සෙෆ්ට් එකට සුජීව හරිස්චන්ද්‍ර සර්ගේ සහායෙන් තමයි ‘රහයි ජීවිතේ‘ කියන වැඩසටහන පටන් ගත්තෙ. ඒක ශ්‍රාවකයන් අතරට ගියා. අදටත් ඒ වැඩසටහන යනවා. ඊට පස්සෙ සුජීව සර් එක්කම විදෙස් විත්ති විචාරය කියලා විනාඩි පහක වාර්තාංගයක් කළා. විෂන් එෆ්එම් හරහා දසුනි ධර්මවර්ධනත් එක්ක කතන්දර සීයා වැඩසටහන වගේම ලක්ෂිකා කාවින්දි එක්ක මාධ්‍යවේදී ධම්මික සෙනෙවිරත්න සම්බන්ධ කරගෙන වර්ල්ඩ් විෂන් කියන වැඩසටහන කළා. ඒ අතරේ හඩ්සන් සර් අපිට තවත් අභියෝගයක් බාර දුන්නා දස දෙසින් හත කියලා. ඒක ඔහුත් එක්කම කළ වැඩසටහනක්. ඒ අතරෙ තමයි මට සිත එෆ්.එම්. නාළිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ”

මෙතෙක් ආ ගමනේ මතකයන් අවදි කළ නුවන් මතක ලන්තෑරුම වැඩසටහන ඇරැඹුණු අයුරුත් සිහිපත් කළා.

“ඉන්ටර්වීව් එකෙන් තේරිලා මං සිත එෆ්එම් නාළිකාවට සම්බන්ධ වෙන්නේ 2023 දෙසැම්බර් මාසේ. ඒ වෙද්දි නාළිකා ප්‍රධානියා වුණේ ශානක මාලියද්ද. වැඩසටහන් කළමනාකරු විදිහට හිටියේ ක්‍රිෂාන් ජීව රණසිංහ. මුලින්ම මට ලැබුණේ රාත්‍රී 7 – 9 දක්වා පැය දෙකට වැඩසටහනක් කරන්න. ඒ වෙලාව කියන්නෙ මිනිස්සු අහනවට වඩා ඇහෙන වෙලාවක්. හැමෝම රස්සාවලට ගිහින් ගෙදර එන්නෙ විඩාබරව. ඒ වගේ වෙලාවට ඕන විඩාබර මනස සැහැල්ලු කරන රසය දැනෙන දෙයක්. වැඩසටහන් කළමනාකරු ක්‍රිෂාන් ජීව රණසිංහයි මමයි කතා කරලා තීරණය කළා සමාජයේ පිළිගැනීමක් තියෙන පුද්ගලයන් ගෙන්වලා ඔවුන් සමඟ ගීතමය වැඩසටහනක් කරන්න. ඒකෙ විශේෂත්වය වුණේ ඔවුන් ගීත 12ක් තෝරගන්න ඕන ඒ හා බැඳුණු ඔවුන්ගේ ජීවිත අත්දැකීමත් එක්ක. තමන්ගෙ හෝ තමන් හා බැඳුණු කෙනකුගෙ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒ අත්දැකීම් තමයි අපි ශ්‍රාවකයන් එක්ක බෙදා ගන්නෙ. කවුරුත් කැමතියි දන්න කෙනෙක් ගැන නොදන්නා දෙයක් දැන ගන්න. දැන් මේකට ආකර්ෂණීය නමකුත් ඕන. මම නම් 50ක් විතර ලිවුවා. මුලින්ම මගෙ හිතට ආවෙ මතක ලන්තෑරුම කියන නම. කෝකටත් කියල මං ඒක උඩින්ම ලියල කොටු කරල තිබ්බා. ඒ වචනය මං ගීතයක අහල තිබුණා. ඒ නිසාද මන්ද මට එකපාරටම ආවෙ ඒ නම. අන්තිමට ඒ නමට හැමෝම කැමැති වුණා.

මුලින්ම සජීවී වැඩසටහනක් විදිහට කරන්න හිතුවත් යම් යම් අපහසුතා නිසා රෙකෝඩින් එකක් විදිහට වැඩසටහන පටන් ගන්න සිදු වුණා. මුල්ම වැඩසටහන කළේ දිනේෂ් පෙරමුණ සර් එක්ක. ඔහු සිංහල ගුරුවරයෙක්. ඒ 2023 ජනවාරි 16 වැනිදා. ගුරුවරයෙක් කියන්නෙ සමාජය පිළිගත් සමාජයට යම් පණිවුඩයක් දෙන්න පුළුවන් කෙනෙක්. සිංහල භාෂාවේ රාසාලිප්ත තැන් එක්ක ඔහුගේ ජීවිත මතකයන් හරි ලස්සනට ගීතවල දවටලා ඔහු අසන්නන්ට තිළිණ කළා. ඊට පස්සෙ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. කලාකරුවෙක් විදිහට මුලින්ම සම්බන්ධ වුණේ ඉෂාග් බෙග්. ඊළඟට ඉන්ද්‍රාණි පෙරේරා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක වැඩසටහන ශ්‍රාවකයන් අතරේ කතාබහට ලක් වෙන බව තේරුණා. ක්‍රමයෙන් හැම ක්ෂේත්‍රයකම වගේ පිළිගත් පුද්ගලයන් ගෙන්නුවා. ආපු බොහෝ දෙනා තමන්ගෙ ජීවිතේ කවදාවත් හෙළි නොකරපු දේවල් පවා මෙතනදි කියන්න පෙලඹුණා. මේ වැඩසටහන ගොඩක්ම ජනප්‍රිය වෙන්න හේතුව වුණෙත් ඒක කියල මට හිතෙනවා.

මේ අවුරුද්දෙ ජනවාරි 16ට මතක ලන්තෑරුමට අවුරුද්දයි. මේ වෙද්දි 150කට අධික වැඩසටහන් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ අතරේ ස්වාමීන් වහන්සේලා, දේශපාලනඥයො, වෛද්‍යවරු, ගුරුවරු, මාධ්‍යවේදීන්, ගත් කතුවරුන්, රංගන ශිල්පීන්, ගායකයන්, ගී පද රචකයන්, සංගීතඥයන්, අමාත්‍යාංශවල සභාපතිවරු, ලේකම්වරු, ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් ආදී හැම ක්ෂේත්‍රයකම වගේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ අතර අමතක නොවන සිදුවීම වුණේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සම්බන්ධ කරගෙන කළ වැඩසටහන. ඒක නොදැනුවත්ව හරි ප්‍රචාරය වුණේ හරියටම ඔහුගේ උපන්දිනය දවසේ.”

නිවේදකයෙක්, වැඩසටහන් සම්පාදකයෙක්, ප්‍රවෘත්ති නිවේදක‍ෙයක් වන නුවන් රණසිංහ මේ වන විට ගී පද රචනයට ද යොමු වී ඇත. නලීන් නාගොඩවිතානගේ සංගීත මුසුවෙන් ලසන්ත ප්‍රේමකීර්තිගේ ලයාන්විත හඬින් ගැයෙන ඔහුගේ ‘ආගන්තුක ලෙස’ ගීතය මේ දිනවල සමාජ මාධ්‍යවල උණුසුම් ප්‍රතිචාර ලබමින් ප්‍රචාරය වීම ද ඔහුගේ ගමනට ආශීර්වාදයකි.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division