Home » ආදරෙයි කිවුවටත් පස්සෙ තමයි මම නිළියක් කියලා කිවුවෙ

ආදරෙයි කිවුවටත් පස්සෙ තමයි මම නිළියක් කියලා කිවුවෙ

by thanushika
January 13, 2024 12:30 am 0 comment

පුංචි තිරයේ මුලින්ම විකාශය වූ මෙගා ටෙලි නාට්‍යයට තමයි නේත්‍රාංජලී කියන්නේ ඒ නාට්‍යයට නිර්මලි වූ ඈ අනූව දශකයේ අගභාගයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න තරම් වාසනාවන්ත වුණා. ඒත් එක්කම වෙළෙද දැන්වීම් බොහෝමයකින් ජනප්‍රිය වූ ඈ ජනප්‍රියත්වය පසෙකලා විදෙස්ගත වෙනවා. තවමත් බොහෝ දෙනකුට මතක ඈ තනුජා දිල්හානි. මේ කතාබහ ඇය හා ඇගේ පුංචි කැදැල්ල ගැනයි.

*කොහොමද තනුජා..?

ජීවිතේ හොඳයි. දවසින් දවස ගෙවිලා යනවා. ඒත් සතුටින් ජීවත් වෙනවා

*ලංකාවට ආවේ නවතින්න හිතාගෙන ද..?

නැහැ. මගේ අම්මා නැති වුණා ගිය අවුරුද්දේ. අම්මගේ දානෙට සම්බන්ධ වෙන්න මම ලංකාවට ආවේ. අපි නවසීලන්තයට ගිහිං දැන් අවුරුදු 15ක් විතර වෙනවා. ළඟදිම ඔස්ට්‍රේලියාවේ පදිංචියට යනවා. ඔස්ට්‍රේලියා යන්න හිතුවේ කලා කටයුතුවලට ඉඩක් හදාගන්න බලාපොරොත්තුවෙන් තමයි

*ඒ කියන්නේ අවුරුදු 15 පසුව ආයෙත් රඟපාන්න ලෑස්ති වෙනව කියන එකද…?

හොඳ අවස්ථාවක් ලැබුණොත් ලංකාවට ඇවිත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් මම වියදම් දරාගෙන ඇවිත් ඒ මුදල මම සම්බන්ධ වෙන නිර්මාණයෙන් හොයන්න බැහැ. ඒ වගේ ප්‍රශ්න එක්ක බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. බලමු.

*ප්‍රවීණයින් කුහකයි කියලා ඇතැම් නවකයින් චෝදනා කරන කාලවකවානුවක ඔබට අවස්ථා දුන්නේ ප්‍රවීණයින් ..?

ඒක ඇත්ත. මම පාසල් යන කාලේ තමයි මුලින්ම රඟපාන්න එන්නෙ. ඒ මිලින්ද පෙරේරා මහතාගේ පාර දිගේ වේදිකා නාට්‍යයෙන්. එතැනදි මට මානෙල් වානගුරු මහත්මිය ළඟින් ඇසුරු කරන්න ලැබෙනවා. මානෙල් අක්කා මට ලෝගුව ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව අරන් දුන්නා. ඒක විකාශය වෙන්න කලින් මම නුගසෙවණ වැඩසටහනට සම්බන්ධ වුණා මෝස්තර නිරූපිකාවක් විදිහට එකේ නිවේදිකාව නිල්මිණි තෙන්නකෝන්. අක්කා මගෙන් ඇහුවා නංගි රඟපාන්න ආස නැද්ද කියලා. මම කිවුවා කැමතියි කියලා. එයා කිව්වා හෙට අලුත් ඩ්‍රාමා එකක මුහුරත් උලෙළ ඔයා එන්න කියලා . මම තැන හොයාගෙන බස් එකේ ගියා. යද්දී පරක්කු වුණා. හැමෝම ඇවිත් හිටියේ. මම රෝස පාට මල් ගවුමක් ඇඳලා ගියේ, මගේ කොණ්ඩේ දිගයි. කර්ලි හෙයාර් එකක් තිබ්බේ. හැමෝම බිම වාඩි වෙලා හිටියේ මම ශාලාවට ඇතුළු වෙද්දී හැමෝම මගේ දිහා බලලා ‘ෂා’ කිවුවා. මට තවම ඒක මැවිලා පේනවා. ඒ විදිහට තමයි මම නේත්‍රාංජලි නාට්‍යයේ නිර්මලි වෙන්නේ. නිල්මිණි තෙන්නකෝන් අක්කා තමයි මට ලෝභ නැතුව ඒ අවස්ථාව අරන් දුන්නේ. ඒ විදිහට මට ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පීන් උදවු කළා. මට ඔවුන් හරි ආදරෙන් හැමදේම කියලා දුන්නා. මම රඟපෑම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඔවුන්ගේ ගුරුහරුකම්වලින් තමයි මම පළපුරුද්ද ගත්තේ. ඒ කාලේ අද වගේ නෙමෙයි ලේසියෙන් අවස්ථා හම්බෙන්නෙ නැහැ. ලැබුණු දේ දක්ෂතා මතින් පවත්වාගෙන යන්න ඕන. අද වගේ සම්මාන ලේසියෙන් ලැබුණු කාලයක් නෙමෙයි. දක්ෂ චරිතාංග නළු නිළියෝ එක්ක රඟපෑවේ. හරි වාසනාවන්තයි. කොහොම හරි මම ඊට පස්සේ නාට්‍ය 15ක විතර රඟපෑවා. ගොඩක් දැන්වීම්වලට කතා කළා. මම ඒවාට පුළුපුළුවන් විදිහට සම්බන්ධ වුණා

*ගෙදරට හොරෙන් නිළියක් වුණු තනුජා අන්තිමට ජනප්‍රිය වෙලා නතර වුණේ. ඒ සුන්දර අතීතය ගැනත් කියමු..?

ගෙදරට හොරෙන් රඟපාපු කතාව ඇත්ත. මට ඉන්නේ අයියා, නංගි , අක්කා. ඒ හැමෝටම වඩා මම දඟයි. තාත්තා ඒකාලේ හිටියේ පිටරට. අම්මා තනියම අපිව බලාගත්තේ. පුංචි අම්මා තමයි මාව අම්මට හොරෙන් ෂූටිං එක්කගෙන ගියේ. ක්ලාස් එක්කගෙන යනවා කියලා. ඒක ආරංචි වෙලා ලොකු මාමා පුංචි අම්මට දවසක් ගහලත් තිබ්බා. ඒත් පුංචි අම්මා මගේ තනි නොතනියට ආවා. මම එතකොට ටීවී එකට අලුත් මුහුණක් නිසා බොහෝ ආරාධනා ලැබුණා නිර්මාණවලට සම්බන්ධ වෙන්න. නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා අහලා ගෙදරට තමයි කෝල් කරන්නේ. අම්මා ආන්ස්වර් කරලා එහෙම කෙනෙක් නැහැ කියලා ෆෝන් එක කට් කරනවා. පුංචි ආන්ස්වර් කරොත් එයා කතා කරලා ඒ වැඩකටයුතු හොඳයි නම් මාව සම්බන්ධ කළා. ගෙදරින් සෑහෙන්න විරුද්ධ වුණා. ඒත් මම පුළුවන් විදිහට සම්බන්ධ වුණා. පස්සේ මම ජනප්‍රිය වෙද්දී කතාබහට ලක් වෙද්දී අම්මා දුක් වුණා මට ලැබුණු ඉඩ ඇහිරුවේ එයා කියලා. ගෙදර අකමැත්ත නිසා රංගන ජීවිතේ ගොඩක් දුර යන්න බැරි වුණා. පසුකාලෙක අම්මා මම ගැන ආඩම්බරයෙන් කතා කරපු අවස්ථා තිබ්බා. එයාගේ ෆෝන් එකට මගේ ෆොටෝස් දාගෙන මේ ඉන්නෙ මගේ දුව කියලා ආඩම්බරයෙන් කතා කරලා තිබ්බා.

*අද කාලේ වගේ දරුවන් ජනප්‍රිය කරවන මානසික මට්ටමක මවුපියන් නොහිටිය නිසා සමාජයෙන් එල්ලවන චෝදනා ඔවුන් දරාගත්තේ කොහොමද ..?

ඒ බය තමයි අම්මට තාත්තාට තිබ්බේ. නළු නිළියෝ කිවුවම වෙනම ජාතියක් කියලා සමාජයේ මතය වුණේ. ඇතැම් අයගේ අයුතු යෝජනා ආපු කාල තිබ්බා. කතා ගොතපු අවස්ථා තිබ්බා. ඒ වගේ අවස්ථා නිසා මම රංගනය ගැන හරියට කලකිරුණා. කලාවට සම්බන්ධ අය පවුලේ හිටියා නම් වාසියි. ඒත් මම තනියම ආ ගමනක්. ඒ නිසා ඒ ගමන යන්න අසීරු වුණා. ඇත්තටම කිවුවොත් රංගනයට සමු දෙන්න ඔය හේතුත් බලපෑවා. සමහර දේවල් අම්මට වගේම මට දරා ගන්න බැරි වුණා. අදටත් සමාජ මාධ්‍යයේ ෆොටෝස් දාන්න බැහැ සමහරු කැත විදිහට කමෙන්ට් කරනවා. දැන් නම් ඒවා ගැන හිතන්නේ නැහැ .

*අවුරුදු 15ක් රඟ නොපෑවාට තවම ජනප්‍රියත්වය අඩු වෙලා නැහැ නේද ..?

මගේ නමට වඩා මාව මතක රූපයෙන්. බොහෝ දෙනෙක් මාව දැකලා නැවත හැරිලා බලන අවස්ථා තියෙනවා. සමහරු ඔයා නිළියක් නේද කියලා අහනවා. ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම්වලින් මැසෙජ් කරලා රඟපාන්නෙ නැද්ද අහන අයත් ඉන්නවා. නවසීලන්තයට ගිය මුල් කාලේ ලංකාවේ අය බොහෝ දෙනෙක් අඳුරගෙන කතා කරා. අදටත් ලංකාවට ආවම ප්‍රතිචාර තියෙනවා. අපි ආවේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස්. අපිට කෑම සේව් කරපු තරුණිය මගේ දිහා බලලා ආ ඔයානේ කියලා කතා කළා. දැන් පරම්පරාවේ අයටත් මාව මතකයි කියන්නේ හරි සතුටක්. මම හස්බන්ඩ්ට කිවුවා පේනවා නේද තවම මට ලැබෙන ප්‍රතිචාර කියලා. එහෙම වෙලාවට හරි සතුටක් දැනෙන්නෙ.

*විවාහ වෙලා කියලා දැනගෙනත් විවාහ යෝජනා කරන අය ඉන්නවා කියන්නේ ඇත්තද..?

මට එන මැසේජ්වලට මම පුළුවන් විදිහට උත්තර දෙනවා. සමහර අය ඒක වැරදියට හිතනවා. එහෙම කෙනෙක් මෑතක් වෙනකල් මට විවාහ යෝජනාවක් ගේනවා. ඔයා බැඳලා හිටියට කමක් නැහැ මම ඔයාව භාර ගන්නම් කියලා. ඔය වගේ ගැටලු නිසා මම දැන් සීමාසහිතව උත්තර දෙන්නෙ.

*එහෙම ආ යෝජනාවකින්ද විවාහ වෙන්නේ…?

නැහැ. එයා ප්‍රවීණ කැමරා ශිල්පී කේ. ඩී දයානන්ද මහත්මයාගේ පුතා. ඒ බව මම දන්නෙ නැහැ. එයා දන්නෙත් නැහැ මම නිළියක් කියලා. ඒ කාලේ වැඩිය ටීවි බලන කාලයක් නෙමෙයි, මම අක්කා එක්ක ලයන් ක්ලබ් එකේ ගෙට්ටුගෙදර් එකට ගියා. ඒකට එයා ඇවිත් හිටියා. එතකොට තමයි එයාව අඳුරගන්නේ. අපි කතා බහ කළා. දුරකතන අංක හුවමාරු කරගත්තා. ඊට පස්සේ ආදරේ කරලා විවාහ ගිවිසගෙන අවුරුදු පහකට පස්සේ විවාහ වුණා. විවාහ වෙලා මාස තුන හතරකින් දෙන්නම විදෙස් ගත වුණා. ආදරේ ප්‍රකාශ කළාට පස්සේ මම බලෙන්ම කිවුවා මම නිළියක් කියලා. ඊට පස්සේ එයා කිවුවා මගේ තාත්තා කැමරා ශිල්පියෙක් කියලා. එයා තාත්තාට මා ගැන කියලා අහලා තිබ්බා. එතකොට තාත්තා කියලා තිබුණා මාව ෂූටිං එක්කගෙන යන්න වාහනෙන් දවසක් ආවා කියලා . ඔහොම තමයි අපි එකතු වුණේ.

*කලාව දැකලා අහලා තිබුණ ඔහු ඔබට රඟපාන්න එපා කියලා වාරණ දාන්න ඇති..?

ඉස්සර නම් මම රඟපෑවට කැමති වුණේ නැහැ. දැන් නම් කමක් නැහැ වගේ අදහසක ඉන්නවා.

*එදා වගේම අදත් තනුජාව දකිද්දී මුලින්ම මතක් වෙන්නේ ඔබ විලාසිතාවලට වැඩිපුර නැඹුරු කෙනෙක් කියලා ..?

ඉස්සර ඉඳලම මම ආස ආස විලාසිතා කළා. අද යුරෝපා රටක ජීවත් වන නිසා කැමති විදිහට විලාසිතා කරන්න නිදහස තියෙනවා. ඇත්තම කිවුවොත් මගේ හස්බන්ඩ් තමයි මාව ඉස්සර ඉඳලම විලාසිතාවලට යොමු කළේ. එයාට හොඳ ඇහැක් තියෙනවා විලාසිතා තෝරන්න. මම කැමති එයා අකැමති ඇඳුමක් මම ඇන්දොත් එයා කියනවා ඕක ඇඳගෙන මාත් එක්ක එන්න එපා, ඔයා තනියම යද්දී ඇඳගෙන යන්න කියලා. එයා අකමැති නම් කෙළින්ම කියනවා. කොහොමත් මම විලාසිතාවලට ආදරෙයි. සමහරු මගේ විලාසිතා ගැන කතා කරනවා.

*ඔබේ සැමියා චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන නිසා ගෙදර උයන්නෙත් ඔහු වෙන්න ඇති ..?

හස්බන්ඩ් පණ්ඩුක ශ්‍රී දයාන්. එයාට රසට උයන්න පුළුවන්. ඒ පැත්තෙන් එයාට ඉගෙන ගන්න තමයි අපි මුලින්ම නිව්සීලන්ඩ් යන්නෙත්. ගෙදර උයන්නෙත් එයා තමයි. මම රඟපාන්න ගිය නිසා ලංකාවේදී ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා නිව්සීලන්ඩ් ගිහිං මට එහේ මුණගැහුණු නංගි කෙනෙක් මාර්ගයෙන් පෙර පාසල් පැත්තෙන් ඉගෙන ගෙන පෙර පාසල් ගුරුවරියක් විදිහට වැඩ කරන්න ගත්තා. ගෙදර වැඩවලට ඔහු ගොඩක් උදවු කරනවා. හරිම රසට එක එක ක්‍රමයට කන්න එයා මට කෑම හදලා දෙනවා.

*ලංකාවේ නිර්මාණ බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා ද, ඒ වගේ මොහොතක හිතිලා නැද්ද රඟපෑමෙන් ඉවත් වුණේ අපරාදේ කියලා?

එහෙම බැලෙන්නෙ නැහැ. කවුරු හරි කිවුවොත් ලස්සන නාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවා කියලා මම යූ-ටියුබ් ඔස්සෙ නරඹලා තියෙනවා. වීරයා ගෙදර ඇවිත්, කොඩි ගහ යට වගේ නාට්‍ය මම ආසවෙන් බැලුවා. ඇත්තටම මටත් දිගටම රඟපාන්න තිබුණා නම් කියලා හිතිලා තියෙනවා. ඒත් කලකිරීම් ඇති වෙලා රංගනයට සමු දුන් නිසා ලොකුවට ආසාව ආවේ නැහැ. දැන් ආයෙමත් රඟපාන්න ආසයි. නිර්මාණයක් නිෂ්පාදනය කරන්නත් ආසාවක් තියෙනවා බලමු.

 හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division