Home » හොඳ මතක එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් මට ඒ ඇති

හොඳ මතක එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් මට ඒ ඇති

by thanushika
January 13, 2024 12:30 am 0 comment

අමා විජේසේකර කියන්නේ ජනප්‍රිය ගායකයකු, සංගීතඥයකු හා රංගන ශිල්පියකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත් ලක්ෂ්මන් විජේසේකර සහ ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චිගේ ආදරණිය දියණිය බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මවුපිය උරුමයෙන් කලාවට ආ අමා “මනෝ පුබ්බංගමා ධම්මා” ටෙලිනාට්‍ය හරහායි රංගන ලොවට පිවිසෙන්නේ. එතැන් සිට සීමිත නිර්මාණ කිහිපයකින් පමණක් ප්‍රේක්ෂකයින් අතරට ආවත් ඒ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් තුළ මතකයේ රැඳෙන චරිතයක් බවට පත්වෙන්න ඇය වාසනාවන්ත වුවා. මේ දිනවලත් ටෙලි නිර්මාණ තුළින් ඇයගේ රංගනය දැක ගන්න ලැබෙනවා. 2024 නව වසරේ අලුත් නිර්මාණ ගැන වගේම නැවුම් බලාපොරොත්තු ගැන රසඳුන සමඟ කළ කතා බහයි මේ….

2024 අවුරුද්ද අමා පටන් ගන්නේ කොහොමද?

මම රංගන ශිල්පිනියක් වගේම කලා නිර්මාණ වලට සහ වෙළඳ දැන්වීම්වල ඇඳුම් නිර්මාණ කටයුතු කරනවා. මේ අවුරුද්දත් පටන් ගනිද්දිම මට චිත්‍රපටයක වැඩක් ඇවිත් තියෙනවා. ඒ ප්‍රසන්න ජයකොඩි මහතාගේ අලුත්ම චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ කටයුත්ත. ඒ වගේම පෙබරවාරි මාසේ ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය වේදිකා නාට්‍යය එක්ක ඔස්ට්‍රේලියාවේ සංචාරයක් තියෙනවා. තව ටෙලි නිර්මාණයකට ඇරයුම් ලැබිලා තියෙනවා රඟපාන්න. ඔය දේවල් නිසා අප්‍රේල් මාසේ වෙනකම් පොඩි කාර්යබහුල තත්ත්වයක් තියෙන්නේ.

පහුගිය කාලේ අපි දැක්කේ රංගනය තුළින් හරිම අඩුවෙන්. ඇයි මේ තරම්ම චරිත තෝරන්නේ?

පොඩි තෝරා බේරා ගැනීම් එක්ක මම වැඩ කරන්නේ. මට පිටපත හරි වැදගත්. අධ්‍යක්ෂවරයා සහ වැඩ කරන්න ඉන්න පිරිස මට වැදගත් නිසා මම ටිකක් තෝරා ගැනීමක් කරනවා. මම රංගනය කරන්නේ ඇඳුම් නිර්මාණ කටයුතුත් කරන අතරේ නිසා මට පුළුවන් වෙලා තියෙනවා ලැබෙන හැම චරිතයම භාරගන්නේ නැතුව තෝරා බේරා ගැනීම් එක්ක රංගනය තුළ නියැළෙන්න. චරිතයේ ප්‍රමාණය නෙවෙයි මම බලන්නේ පිටපතේ මට දෙයක් කරන්න තියෙනවද කියන එක තමයි බලන්නේ. විශේෂයෙන්ම ඒ චරිතය කිරීම තුළ මට මාව තෘප්තිමත් කරන්න පුළුවන්ද කියන එක තමයි මම බලන්නේ. මම තෘප්තිමත් නොවී ප්‍රේක්ෂකයා තෘප්තිමත් කරන්න බැහැ. ඒ නිසා මට විඳින්න දෙයක් තියෙනවද කියන එක මම ඉස්සෙල්ලම බලනවා.

ඇඳුම් නිර්මාණ කටයුත‍ෙවලට පලඹෙන්නේ කොයි කාලෙද?

2012 ඉඳන් ඇඳුම් නිර්මාණ වැඩ කරන්නේ. මුල් කාලේ මම සුවිනිතා සුබසිංහ මහත්මිය එක්ක වැඩ කළා. ඒ එක්කම අපේ තාත්තගේ කලා භූමියේ වැඩවලදීත් ඒ පැත්තට නැඹුරු වුණා. මම ඉතාම ආසයි මේ ඇඳුම් නිර්මාණ වැඩවලට. 2012 ඉඳන් මේ වෙනකම් අඛණ්ඩව මම වැඩ කරනවා වෙළඳ දැන්වීම් සහ වේදිකා නාට්‍යය එක්ක.

මේ අවුරුද්දේ “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” කණ්ඩායම පළමු වතාවට විදෙස්ගත වෙනවානේ?

ඔව්. ඔස්ට්‍රේලියාවේ නගර 5ක මේ වෙද්දී දර්ශන වාර 5ක් තියන්න සියල්ල සැලසුම් වෙලා තියෙනවා. පෙබරවාරි මාසේ අපේ කණ්ඩායම එක්ක ඔස්ට්‍රේලියාවට ගිහින් මාස එකහමාරක් වගේ කාලයක් එහෙ ඉන්න බලාපොරොත්තු වෙනවා.

මීයා නාට්‍යය එක්කයි කාලෙකින් පුංචි තිරයට ආවේ?

ඇත්තෙන්ම ඔව්. මම හිටියට සෑහෙන කාලෙකින් චින්තන ධර්මදාසගේ මීයා ටෙලි නාට්‍යය එක්ක ඉන්නේ. ගොඩක් අයට මාව දැන් මතක් වෙන්නෙත් ඒකත් එක්ක. ඊට කලින් සිරසේ විකාශය වුණු සූර්යවංශය නාට්‍යයේ රඟපෑවා. මෑතක දායක වුණේ ඔය නිර්මාණ දෙකට විතරයි. නිතරම මාව පේන චරිතයක් නෙවෙයි. නමුත් මට හොඳින් කරන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් මම කරනවා.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද අමා, එයාගේ තියෙන දක්ෂතා හැකියාවන්ගෙන් තාම හරිහැටි ප්‍රයෝජනයක් අරන් නැහැ කියලා?

මම දැක්කා ගොඩක් අය කමෙන්ට්ස්වලත් ඔය වගේ දේවල් දාලා තියෙනවා. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් මේ මම. මට යන්න පුළුවන් ජීවිතේ අපි ගන්න සමහර තීරණ එක්ක සමහර තැන් මඟ හැරෙනවා. මම කාලයක් හිටියා රඟපාන්නේ නැතුව. ඒ කාලය තුළ මට මඟ හැරුණු කොටසක් තියෙනවා. හැබැයි ඒ වගේම ඒ කාලය තුළ මට ලැබුණු දේවල් ටිකකුත් තියෙනවා. ජීවන අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ නිසා මම එහෙම හිතන්නේ නැහැ. දැන් මට චරිතයක් ලැබුණොත් කරන්න ඒ චරිතය හොඳින් කරන්නත් ජීවිතේ ලබපු අත්දැකීම් බලපානවා. අපිට ආවේණික වූ රටාවකට අපි යන්නේ. රඟපාන්න මම හරි පෙරේතයි. මට ඒක හඳුනා ගන්න සහ මට ඇත්තටම මොනවද ඕනේ කියන එක මටම හඳුනා ගන්න සෑහෙන කාලයක් ගියා. මම ආස දේවල් ගත්තම මම ආසම රඟපාන්න සහ ඇඳුම් නිර්මාණය කරන්න. ඒ නිසා ඒ අංශ දෙකේම මම නියැළෙයි.

උපන්දා සිට කලාව එක්ක හැඳුනු කෙනෙක් විදියට අද තියෙන කලාව දකින්නේ කොහොමද?

කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. සමහර මුලික දේවල් තියෙනවා ඒ දේවල් වෙනස් වෙන්නේ එකිනෙකා හිතන විදිය එක්ක. මගේ පසුබිම එක්ක අම්මා තාත්තා කරපු දේවල් එක්ක මට දැනුණු දෙයක් සහ මම කලාව ග්‍රහණය කර ගත්ත තැනක් තියෙනවා. ඒ තුළ තමයි අපි නියැළෙන්නේ. ඊට වැඩිය වෙන විදියකට ග්‍රහණය කර ගත්ත අය ඒ තුළ නියැළෙනවා. මම කියන්නේ ඒ විවිධත්වය තමයි කලාව කියන්නේ. එක එක විදියේ නිර්මාණ හැදෙන්න ඕනේ. එකම දේ හැදෙන දේවල් වල ප්‍රමිතිය කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. මට හැමදේටම යන්න උවමනාවක් නැත්තේ මගේ ජීවිතේ තියෙන කොලිටි ලයිෆ් එකත් එක්ක. අපි ජීවත් වුණු විදිහත් එක්ක ඒවායින් පිට පැනලා මම කලාව කරන්නේ නැහැ. අපි විශ්වාස කරන ආර්ට් එකක් තියෙනවා. අපි කරමින් ඉන්නේ ඒකම තමයි. ප්‍රධානම දේ අපි සතුටුවීම. කලාව කියන්නේ ඒකම තමයි.

අමා ජීවිතේ දකින්නේ කොහොමද?

ජීවිතේ කියන්නේ මොහොතවල් ගොඩක එකතුවක්. අපිට අන්තිමට ඉතුරු වෙන්නෙත් මතක විතරයි. අපි කොච්චර දේවල් හම්බකරත් අවසානයේ ඉතුරු වෙන්නේ මතක. ඒ නිසා හොඳ මතක එක්ක ජීවත් වීමයි මගේ අරමුණ. මම ඒ තුළ කියන්නේ හැම මොහොතක්ම සතුටින් ඉඳීම නෙවෙයි. අදාළ මොහොත නිශ්චිතගත කිරීම. දුක හිතෙන මොහොත වුණත් හරියට ගත කරන්න ඕනේ. ඒකත් මතකයේ හිටින මොහොතක් කරගන්න ඕනේ. ඒ නිසා හැම මොහොතක්ම ලස්සනට ගත කිරීම තමා ජීවිතේ.

නිතරම පුංචි තිරයේ නොපෙනුණාට මතකයේ රැඳුණු චරිතයක් ඔබ, ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒකට නම් වාසනා ගුණයත් තියෙන්න ඕනේ. මගේ ළමා කාලය ඉතාම සුන්දරයි. මට හොඳ මිතුරු ඇසුරක් ලැබුණා. ඒ වගේම අපිට ලැබුණු අවස්ථා වාසනාව එක්ක ලැබුණු දේවල්. ඒවා හරි විදියට හරියට බුද්ධිය පාවිච්චි කරලා භාවිත කළාම කලාවේ රැඳෙන්න පුළුවන්. උදාහරණයට මට මාවම තමයි ගන්න වෙන්නේ. මම මේ වෙනකම් අතළොස්සක් නිර්මාණ පමණයි කරලා තියෙන්නේ. හැබැයි මම කරන දේ හරිම අවංකව කරනවා සහ ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒක මම මුදලට කළත් හිතේ සතුටට කළත් අවංකවම කළාම එහි ප්‍රතිඵලත් හොඳින් ලැබෙනවා. මම හිතන්නේ මම මතකයේ රැඳුණු චරිතයක් වෙලා තියෙන්නේ ඒ නිසා.

2024 අවුරුද්දේ වැඩි ඉඩක් රංගනයට දෙයිද?

මමත් හිතනවා බොහෝදුරට රංගනයට වැඩි ඉඩක් දෙන්න. මම මේ වෙනකම් වේදිකාව එක්කම හිටියා. පසුගිය අවුරුද්දේ සෑහෙන්න මම වැඩ කළා. ඒ නිසා මේ අවුරුද්දේ මම ආසයි ස්ක්‍රීන් එකේ වැඩ ටිකක් කරන්න. පොඩි පොඩි අලුත් අදහස් කිහිපයකුත් තියෙනවා කරන්න. බලමු ඒ දේවල් කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම මම ටිකක් නිදහසේ ඉන්නත් කැමති කෙනෙක්. මුදල්ම නෙවෙයි ජීවිතේ කියන තැන මම ඉන්නවා. මම ජීවත් වෙන සරල විදියක් තියෙනවා. ඒ නිසා මට ගොඩාක් මුදල් ඕනේ නැහැ. සරලව සැප පහසුව ඉන්න මුදල් ලැබුණාම ඇති.

සංගීතයට කොහොමද තියෙන නැඹුරුව?

මම සංගීතයට ආසයි. මම සංගීතය හදාරලා නැහැ. ඒ හින්දා සාමාන්‍යයෙන් සින්දුවක් කියන්න පුළුවන්. සංගීතයත් රංගනය වගේම සතත අභ්‍යාසය එක්ක යෙදෙන්න ඕනේ දෙයක්. ඉඳලා හිටලා සින්දුවක් කරන්න ආසාවක් තියෙනවා. සමහරවිට මේ අවුරුද්දේ අලුත් සින්දුවක් කරන්නත් ඉඩ තියෙනවා. ඒක මේ ගායිකාවක් වීමේ බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. මගේ ආසාවට මගේ සතුටට සින්දුවක් දෙකක් කරයි.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division