Home » මේතරම් ඉක්මනට මෙහෙම වෙයි කියලා හිතුවෙ නැහැ

මේතරම් ඉක්මනට මෙහෙම වෙයි කියලා හිතුවෙ නැහැ

by thanushika
January 13, 2024 12:30 am 0 comment

සඳසි මෙත්මන්ති කියන්නේ පුංචි තිරයට ආ අලුත්ම රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයින් අතරට එන්නේ රියැලටි වේදිකාවක් තුළින්. සිය ගායන හැකියාවෙන් ඉදිරියට යන්න ආ සඳසි මේ වෙද්දී ගායනයෙන් වගේම රංගනයෙන් ප්‍රේක්ෂකයින්ගේ හිත් දිනාගෙන තිබෙනවා.

කොහොමද සංගීතයට නැඹුරු වුණේ?

තාත්තා නිසා තමයි මම සංගීත ආභාසය ලැබුවේ. තාත්තා සංගීතය කරන කෙනෙක්. මායි මල්ලියි ඉපදෙන්නත් කලින් ඉඳන් මියුසික් කරලා තියෙන්නේ. අපි ඉපදෙන වෙලාවෙත් තාත්තා ප්‍රසංගවල. ඒ තරම් මියුසික් කරපු කෙනෙක්. දැන් නම් මගෙයි මල්ලිගෙයි වැඩවලට තාත්තා කැපවෙලා ඉන්නෙ.

සඳසි කොහොම චරිතයක්ද?

මම දඟකාර චරිතයක්. මාව දන්නා අය කියන්නේ වයසේ හැටියට නෙවෙයි හැසිරෙන්නේ, තාම පොඩි එකෙක් වගේ කියලා. මම හැමෝම එක්ක සුහද වෙන කෙනෙක්. කොහේ ගියත් එක යාළුවෙක් හරි හොයාගන්නවා. ඒ හින්දා වයස් භේදයකින් තොරව ලංකාව පුරා යාළුවො ඉන්නවා. හැම තිස්සෙම සතුටින් හිනා වෙලා ඉන්න ආස චරිතයක්. අනිත් අයව හිනස්සන්න දක්ෂයි. මට චිත්‍ර අඳින්න, නටන්න පුළුවන්. පද්‍ය ගායනා තරගවලින් ජය අරන් තියෙනවා. මට ඕනෙම දෙයක් දිහා බලන් ඉඳලා ඒ දේ හදන්න පුළුවන්. මම හොල්මන්වලට ආසයි. ඒක මට විශේෂ දෙයක්. මම ආසයි ෆැෂන්වලට. ඒ පැත්තෙන් ඉදිරියට යන්නත් ආසයි.

ආස කළේ කවදා හරි කලාවෙන්ම ඉදිරියට යන්න ද?

පොඩි කාලේ ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න. ඒ නිසා උසස් පෙළ කළෙත් විද්‍යා විෂයන්ගෙන්. ඒ වුණාට කාලය යද්දී ඩ්‍රීම් ස්ටාර් ආවට පස්සේ මට තේරුණා කලාවට තියෙන දක්ෂතාව එක්ක කලාව පැත්තෙන් ඉදිරියට යන්න ලොකු ආසාවක් ඇති වුණා. ඒත් මේ තරම් ඉක්මනට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ.

රියැලිටි තරගයකින් ඔබ එන්නෙ, කොහොමද ඒ අත්දැකීම?

දැන් මම තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිසා. ඒ නිසා හැමදාමත් ස්තුතිවන්ත වෙනවා. ඩ්‍රීම් ස්ටාර් එකේ තියෙන්නේ ඔක්කොම අමතක නොවන අත්දැකීම්. තාත්තා තමයි මුලින්ම අයැදුම් කරලා තිබ්බේ. පස්සේ තමයි මට කිව්වේ ඔඩිෂන් යන්න කියලා. වැඩේ කියන්නේ මම 53වෙනියට කැපෙනවා. හැබැයි මම දිගටම තරගය බලන්න ආවා. මට අවුට් වුණු වෙලාවේ කිසි දුකක් හිතුණේ නැහැ. මට තිබ්බේ ඒ යාළුවො ටික මඟහැරෙයි කියලා. මම ආසයි මගේ යාළුවො ඉස්සරහට එනවට. විජේ කුලසූරිය අයියාගේ සින්දුවට හාමනි කියන්න එන්න කිව්වා. මම හිතන්නේ මේ 11 වෙනි සීසන් එකේ වෙනස් දෙයක් වුණා. ඒ නිසා මම අවසන් තරගය වෙනකම් ස්ටේජ් එකේ හිටියා. මම හාමනි කියන්න ආව නිසා හාමනිකා කියලා නමකුත් වැටුණා. මට හැමෝම කියන්නේ ට්‍රැක් කියලා. ඒ නිසා ඩ්‍රීම් ස්ටාර් ආවට පස්සේ ට්‍රැක්මන්ති කියලා කියන්න ගත්තා ගොඩක් අය.

ප්‍රේක්ෂකයන් අතර මේ වෙද්දි ජනප්‍රිය සිකුරු ඇවිත් නිසානේ, කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

සිකුරු ඇවිත් හි dj තුෂිගේ චරිතය නිසා බොහෝ දෙනෙක් මාව දන්නවා. මට ලොකුම සතුට තියෙන්නේ තුෂි තුළ ඉන්නේ මමමයි. අඳින පලඳින විදිය කතා කරන විදිය ඔක්කොම මමම තමයි. මට රඟපාන්න අවස්ථාව ලැබුණේ රාජිකා මිස් නිසා. මම ඇතුළු ගොඩක් අයව යැව්වා ඔඩිෂන් එකට. එතැනදී මටයි ඇන්ජලෝ අයියටයි චාන්ස් එක හම්බුණේ. ඇන්ජලෝ අයියා මේ නාට්‍යයේ සචින්ගේ චරිතය කරන්නේ. අපේ ෆැමිලි එක ආතල් එකේ ෆන් එකේ ඉන්න ෆැමිලි එකක්. ඒ වගේම එහි තේමා ගීතය ගයන්නෙත් මමයි ඇන්ජලෝ අයියයි. නාට්‍යය නිෂ්පාදනය කරන ජානක සිරිවර්ධන සර්ට සහ අධ්‍යක්ෂණය කරන තිලිණ බොරලැස්ස අයියාටත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මාව සම්බන්ධ කර ගත්තට.‍

කොහොමද මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ගොඩක් තියෙනවා. ගොඩක් සතුටුයි. ආ මේ හාමනි කිව්ව කෙල්ල නේද කියන තැන ඉඳන් මාව අඳුනගෙන තියෙනවා. මට කැමති වෙනම ෆෑන් බේස් එකක් හැදිලා තිබ්බා. ඒ ලැබුණු ප්‍රතිචාර දැන් තවත් වැඩි වෙලා තියෙනවා. මා වටා ඉන්න ප්‍රේක්ෂකයින්ට හැමදාමත් ආදරෙයි.

සිකුරු ඇවිත් ටීම් එකෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තම කියනවා නම් මගේ පළමු රංගන අත්දැකීම නිසා මම ගියපු පළමු දවසෙම මගේ ට්‍රැක් ගතිය පෙන්නුවා. ඒ නිසා ඒ අයත් මා එක්ක ඉක්මනින් සුහද වුණා. විශේෂයෙන්ම අපේ තිලිණ අයියා හරිම හොඳ අධ්‍යක්ෂවරයෙක්. පුදුම සතුටින් හැමෝම එක්ක වැඩ කරනවා.

සංගීතය පැත්තෙන් තියෙන ඉලක්ක මොනවද?

මම කැමතියි හැමෝගෙම ආදරේ ලබන ගායිකාවක් වෙන්න. මේ වෙද්දී ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ පසිඳු අයියා, සෙව්මිණි අක්කා, දිනෙත් අයියා සහ මම එකතු වෙලා වෝකල් බෑන්ඩ් එකක් කරන් යනවා මන්ත්‍රා කියලා. දැනටමත් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා.

පෞද්ගලික ජීවිතේ ගැන කතා කරොත්, ආදරවන්තියක් ද?

නැහැ. ඇත්තම කිව්වොත් කවදාවත් තාම කාගේවත් ආදරවන්තියක් වෙලා ඉඳලත් නැහැ. මට ඒ ගැන ලොකු ආසාවක් නැහැ. ගොඩක් අය මගෙන් අහලා තියෙනවා. ඒත් මට කා එක්කවත් සම්බන්ධයක් පවත්වන්න හිතිලා නැහැ.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඉහළම සහයෝගයක් ලැබෙනවා. මම අද මේ තැන ඉන්නේ අම්මා තාත්තා නිසා. තාත්තා ඩබ්ලිව්. සී. ජගත් කුමාර. තාත්තා වැඩ කරන්නෙ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ. අම්මා නිලන්ති ධර්මවර්ධන. මගෙ මල්ලි සසුන් නෙත්සිළු. මල්ලි මෙවර ගණිත අංශයෙන් උසස් පෙළට මුහුණ දෙනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?

ලංකාවම ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක් නිළියක් වෙන්නයි මට ඕන. ඒ වගේම මම ආසයි කොරියාවට යන්න.

 අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division