Home » ලෝක බලවතුන්ගේ රෙදි ගැලවූ ධන කුවේරයාගේ ලිංගික ජාවාරම

ලෝක බලවතුන්ගේ රෙදි ගැලවූ ධන කුවේරයාගේ ලිංගික ජාවාරම

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

සර 2005 එක්තරා දිනයක අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් පළාතේ පොලිස් ස්ථානයට කාන්තාවක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. කාන්තාව සිය පැමිණිල්ලෙන් කියා සිටියේ නිව්යෝක් නුවර ජෙෆරි එප්ස්ටීන් නමැති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු සිය 14 හැවිරිදි දියණිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවය. පැමිණිල්ල ලද විගස පොලිසිය ක්‍රියාත්මක විය. එප්ස්ටීන් පිළිබඳ විමර්ශන ආරම්භ වූයේ ඉදිරි වසර 18ක කාලයකට ඇදී ගිය ලෝක ප්‍රකට රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සුප්‍රකට පුද්ගලයන් දෙසීයකට අධික සංඛ්‍යාවක් මේ මහා පරිමාණ ලිංගික ජාවාරමේ කොටස්කරුවන් බව අනාවරණය කරමිනි. ඊයේ පෙරේදා නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණයේදී මෑත ඉතිහාසයේ බරපතළම ලිංගික ජාවාරම නම් ගම් ඇතිව හෙළිදරව් වූයේ ඇමෙරිකාව ඇතුළු ලොව පුරා ප්‍රකට පුද්ගලයන් රැසකගේ කීර්තිය බිංදුවට ඇද දමමිනි.

ඇමෙරිකාවේ ආන්දෝලනයට තුඩු දුන් ජෙෆ්රි එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමේ සුලමුල පළමුවරට අනාවරණය වූ 2005 පැමිණිල්ලට අනුව 14 හැවිරිදි දැරිය නිව්යෝක් නුවර පිහිටි එප්ස්ටීන්ගේ සුපිරි මන්දිරය වෙත රැගෙන ගොස් ඇත්තේ කාන්තාවක විසිනි. එහිදී මේ ධන කුවේරයාගේ නිරුවත් සිරුර සම්භාහනය කරන ලෙසත්, ඒ සඳහා ඩොලර් 300ක මුදලක් ගෙවන බවත් කියමින් අදාළ කාන්තාව දැරියට බලපෑම් කර ඇති අතර, ඇයට ද නිරුවත් වන ලෙස උපදෙස් දී ඇත.

බරපතළ චෝදනාවක මූලික විමර්ශන කටයුතු ආරම්භ කළ පාම් බීච් පොලිසිය ඊළඟ මාස 13ක කාලයක් පුරා එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමේ සුලමුල සොයා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර, එහි බරපතළකම අවබෝධ කරගනිමින් ඒ සඳහා අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) නිලධාරීන්ගේ ද සහාය ලබා ගත්තේය.

තොරතුරු එකින් එක හෙළිදරව් වූයේ විමර්ශන නිලධාරීන්ගේ නළල්තල රැලි ගන්වමිනි. මේ මහා ලිංගික ජාවාරම්කරුගේ ගොදුරු බවට පත් වූ බාල වයස්කාර දැරියන්ගේ සංඛ්‍යාව 36ක් බව අනාවරණය විය. ඉන් වැඩි පිරිසක් අවුරුදු 14 වයසේ පසු වූ දැරියෝ වූහ. එප්ස්ටීන්ගේ ලිංගික අපයෝජනයට ගොදුරු වූයේ අමෙරිකාවේ දැරියන් පමණක් නොව විදෙස් රටවල දැරියන් ද ඔහුගේ ලිංගික ගොදුරු බවට පත් වී ඇතැයි විමර්ශකයෝ අනාවරණය කරගත් අතර, දිනෙන් දින අනාවරණය වූ තොරතුරුවලින් එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරම අතිශයින්ම බරපතළ බව මධ්‍යම විමර්ශන කාර්යාංශයට අවබෝධ විය.

විමර්ශකයන් සොයා ගත් පරිදි වරක් එප්ස්ටීන්ගේ උපන් දිනයක් සැමරීම සඳහා ප්‍රංශයෙන් බාලවයස්කාර තුන් නිවුන් සොහොයුරියන් ගෙන්වා ඇති අතර, උපන්දින සාදයෙන් පසු දින ඔවුන් නැවත ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්තේ ඔහුගේ ලිංගික අපයෝජනයට ගොදුරු වීමෙන් පසුවය. බ්‍රසීලය, සෙසු දකුණු අමෙරිකානු රටවල් සහ යුරෝපා රටවල් ද එප්ස්ටීන්ට බාලවයස්කාර දැරියන් සපයනු ලැබූ රටවල් අතර ඇතැයි හෙළි වී තිබිණි. එප්ස්ටීන්ට ගොදුරු වූ දැරියන් පස්දෙනකුගෙන් සහ අධිකරණයේ දිව්රුම් දුන් සාක්ෂිකරුවන් 17 දෙනකුගෙන් තොරතුරු ලබා ගැනීමට සමත් වීමෙන් පසු එප්ස්ටීන්ගේ නිවෙස වැටලූ විමර්ශන නිලධාරීන් උසස් පාසල්වල සිසුවියන්ගේ නම් ලැයිස්තුවක් ඇතුළු ඡායාරූප රැසක්ම සොයා ගත්තේය. එපමණක් නොව නිවෙසේ කාමර තුළ සඟවා තිබූ කැමරා දෙකක් ද සොයා ගනු ලැබීය.

එප්ස්ටීන්ගේ හිටපු සේවකයකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර තිබූ අතර, ඔහු සඳහන් කර ඇත්තේ දිනකට තුන්වතාවක් එප්ස්ටීන් සිරුර සම්බාහනය කරගන්නා බවය. විමර්ශන නිලධාරීන් දෙවරක් නොසිතාම මේ ලිංගික අපරාධකරු අත්අඩංගුවට ගත්තේ කලක් ඔහුගේ සහායිකාවක ලෙස කටයුතු කළ පෝලන්තයේ හිටපු මොස්තර නිරූපන ශිල්පිනියක වූ ඇඩ්රියානා රෝස් නිවෙසේ පරිගණක තුළ ගබඩා කර තිබූ සියලු දත්ත මකා දමා ඇති බව අනාවරණය කරගැනීමෙන් පසුවය.

එසේ අත්අඩංගුවට ගත් ජෙෆ්රි එප්ස්ටීන්ට එරෙහිව පාම් බීච් පොලිසිය පසුව චෝදනා ගොනු කළ අතර, ඔහු චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නොම්මර එකේ නීතිඥවරු පිරිසකගේ තර්ක විතර්ක මැද නඩු විභාගය ඇදී ගිය අතර, අවසානයේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ සහ ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා එල්ල වූ එප්ස්ටීන්ට මාස 13ක සිර දඬුවමක් නියම කිරීමට ෆ්ලොරිඩා අධිකරණය පියවර ගත්තේය.

අනතුරුව 2009 වසරේ ජූලි මාසයේදී නිදහස ලැබුව ද, ඔහුට වසරක පරිවාස කාලසීමාවකට යටත්ව නිවාස අඩස්සියේ තැබීමට අධිකරණය නියෝග කර තිබූ අතර, පරිවාස කාලය ඇතුළත ඔහුට ඔහුගේම පෞද්ගලික ජෙට්යානා මගින් මෑන්හට්න් සහ වර්ජිනියා දූපත්වල පිහිටි මන්දිර වෙත යෑම සඳහා අවසර ලැබීම විමතිය දනවන සුලුය. මීට අමතරව සාප්පු සවාරියේ යෑමට සහ ව්‍යායාම කිරීමට පාම් බීච් වෙරළ තීරයට යෑමට ද අවසර ලැබී තිබිණි. නැවත වාරයක් වරදක් කිරීමේ අවදානම ඉහළ මට්ටමක ඇති බැවින් ඔහු ලිංගික අපරාධකරුවකු ලෙස නිව්යෝක් නුවර ලියාපදිංචි කිරීමට පොලිසියට අවසර ලැබී ඇත්තේ 2011 දී අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනාවකට අනුවය. මීට අමතරව සෑම දින අනූවකටම වතාවක් නිව්යෝක් නුවර පොලිසියේ පෙනී සිටීමට ද ඔහුට නියෝග කෙරිණි. සැබැවින්ම ඔහු ලිංගික අපරාධකරුවකු ලෙස ලියාපදිංචි කළ ද, දින අනූවකට වතාවක් පොලිසියේ පෙනී සිටීමේ නියෝගය නම් කිසිවිටෙක බලාත්මක කර නොතිබීම ද විශේෂත්වයකි.

ඒ අතීත කතාවය. එහි දෙවැනි අදියර වඩාත් බරපතළ සහ දරුණුතම ලිංගික ජාවාරමේ සුලමුල හෙළි කළා පමණක් නොව බාලවයස්කාර දැරියන් ලෝක ප්‍රකට පුද්ගලයන්ට අලෙවි කිරීමේ සහ ඔවුන්ගේ ලිංගික හැසිරීම වීඩියෝ පටිගත කිරීමේ ජාවාරමක සුලමුල ද අනාවරණය කළේය.

එය අනාවරණය වූයේ 2014 වසරේ දෙසැම්බරයේදී වර්ජිනියා ගිෆ්රි නමැති කාන්තාවක දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තමා අවුරුදු 17දී එප්ස්ටීන්ගේ ලිංගික ගොදුරක් වූ බවට ප්‍රකාශ කිරීමත් සමඟය. එප්ස්ටීන්ගේ සහායට ගිස්ලේන් මැක්ස්වෙල් නමැති කාන්තාවක සිටින බවත්, දෙදෙනා එක්ව බාලවයස්කාර දැරියන් ලොව පුරා ප්‍රකට පුද්ගලයන්ට අලෙවි කරන බවත් ප්‍රකාශ කරමින් ඇය මෑත ඉතිහාසයේ විශාලතම ලිංගික ජාවාරමක පළමු වෙඩිල්ල එසේ තැබුවාය.

එප්ස්ටීන් සහ සහායිකාව තමා ශාරීරිකව සහ ලිංගිකව අපයෝජනය කළ ආකාරය ගැනත්, 1999 සිට 2002 දක්වා කාලයක් තමා එප්ස්ටීන්ගේ ලිංගික වහලියක් වූ බවත් වර්ජිනියා කළ ප්‍රකාශය එෆ්බීඅයි විමර්ශකයන්ගේ ඇස් විවර කරවීමට සමත් වූ එකකි. එය වඩාත් බරපතළ වූයේ එප්ස්ටීන් විසින් තමා බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු වූ ඇන්ඩෘ කුමරුට අවස්ථා ගණනාවකදී අලෙවි කළ බවට අනාවරණය කළ තොරතුරු සමඟිනි. එහෙත් නීතිඥ කණ්ඩායමක් යටතේ අධිකරණයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් වර්ජිනියාගේ චෝදනාව ප්‍රතික්ෂේප කළ ගිස්ලේන් වර්ජිනියාගේ නිර්දෝෂීභාවය තහවුරු කරන ලෙස අභියෝගයක් ද ඉදිරිපත් කළාය.

ඊයේ පෙරේදා ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව හෙළිදරවු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ සියලු කරුණු හෙළි වූයේ සිය චෝදනා ප්‍රතික්ෂේප කළ ගිස්ලේන්ට එරෙහිව 2015 වසරේදී වර්ජිනියා අපහාස නඩුවක් ගොනු කිරීම තුළිනි.

වර්ජිනියාගේ චෝදනා සහ ඒ පිළිබඳ ගිස්ලේන්ගේ අදහස් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ගොනු වූ එම අපහාස නඩු විභාගය 2017 වසරේදී සමථයකට පත් වූයේ මුද්‍ර තබනු ලැබූ ලිපි ගොනුව වසා දමමිනි. එහෙත් මියාමි හැරල්ඩ් ඇතුළු පුවත්පත් රැසක් එම ලිපි ගොනුව විවෘත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබූ අතර, එය ප්‍රතික්ෂේප කෙරිණි. අවසානයේදී සියලු පාර්ශ්ව එම ලිපි ගොනුව විවෘත කරන ලෙස අමෙරිකාවේ අභියාචනා අධිකරණයේදී අභියාචනා ගොනු කළේය.

මේ වන විට වර්ජිනියාගේ චෝදනාව සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටි මධ්‍යම විමර්ශන කාර්යාංශය අනාවරණය වූ තොරතුරු මත නැවත වාරයක් ජෙෆ්රි එප්ස්ටීන් අත්අඩංගුවට ගත් අතර, ඒ සමඟම ඔහුගේ සහායිකාව ලෙස කටයුතු කළ ගිස්ලේන් මැක්ස්වෙල් ද අත්අඩංගුවට පත්වූවාය. එෆ්බීඅයි විමර්ශන එසේ සිදුවෙද්දී එම රහසිගත ලිපිගොනුව විවෘත කරමින් ප්‍රසිද්ධියට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ අතර, ලොවට රහසක් ලෙස අතීතයට එක්වීමට ගිය ලිංගික ජාවාරමක සුලමුල එසේ අනාවරණය විය.

ලිපි ගොනුව නිරාවරණය කිරීමේ නියෝගය නිකුත් වීමෙන් පසු එම වසරේදීම 2019 අගෝස්තු 9දා එවකට 66 හැවිරිදි වියෙහි පසු වූ එප්ස්ටීන් සිරමැදිරිය තුළ සිය දිවි නසාගත් අතර, පිටු දෙදහසකින් සමන්විත මේ රහසිගත ලිපිගොනුව නිරාවරණය වීම ආරම්භ වූයේ ඒ උණුසුම මැදය. එම ලිපි ලේඛනවලින් තහවුරු වන එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමේ ඇතැම් ගනුදෙනුකරුවන්ගේ නම් සටහන් වී තිබුණේ සංකේත හැටියටය. ඒ අනුව එම පුද්ගලයන් සමාජයේ ඉතා වැදගත් සහ කීර්තිමත් පුද්ගලයන් විය හැකි බව විමර්ශකයන්ගේ අනුමානය වී තිබිණි.

අදියර පහක් යටතේ වසර පහක කාලයක් පුරා වරින්වර නිරාවරණය කළ ලිපි ගොනුවට අනුව ලොව ප්‍රකට ධනකුවේරයන්, හිටපු ජනාධිපතිවරු, රජ පවුල්වල කුමාරවරු ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් දෙසියයකට ආසන්න පිරිසකගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ඒ අතර අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු වන බිල් ක්ලින්ටන්ගේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම් ද ඇතුළත් බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෘ කුමරු මෙන්ම හිටපු බටහිර ගී තරුව මයිකල් ජැක්සන්ගේ නම ද ඒ අතර තිබේ.

වර්ජිනියාගේ හෙළිදරවුවත් සමඟ එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරමේ ගොදුරු බවට පත් වූ තවත් කාන්තාවන් රැසක්ම ඉදිරියට පැමිණ සිය කටුක අත්දැකීම් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, මේ වන විට 66 හැවිරිදි ගිස්ලේන් මැක්ස්වෙල් සිරගතව සිටින අතර, සියලු චෝදනාවලට තනිව මුහුණදීමට ඇයට සිදුවනු ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division