Home » කහතුඩුවේ ගුවන් සේවා නිලධාරිනියගේ පාසල් ප්‍රේමයේ සැඟව ආ මාරයාගේ මෙහෙයුම

කහතුඩුවේ ගුවන් සේවා නිලධාරිනියගේ පාසල් ප්‍රේමයේ සැඟව ආ මාරයාගේ මෙහෙයුම

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

– ඝාතකයා මීට පෙරත් කාන්තාවකට හිරිහැර කළ පෙර වාර්තා එළියට
– සැකකරු ගැන ඔත්තුව ලැබුණේ දොස්තර සැමියාගෙන්
– කහතුඩුව ඝාතනයේ සැකකරු ඇල්ටෝ ධර්මෙගේ සොහොයුරෙක්
– ඔහු ගෑනු සොඬෙක් බැව් ඝාතකයාගේ නීත්‍යනුකූල බිරිය පොලිසියට කියයි

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි, බිඳුණු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි” මේ විශ්වයේ ‘ආදරයට’ ලබාදිය හැකි නිශ්චිත නිර්වචනයක් හෝ පරිමාවක් මෙතුවක් හමුවී නැත. මේ ගීතය ආදරයේ සීමාව පෙන්වා දෙන කදිම අරුත් සැපයූවකි. ආදරය වනාහී ‘වෛරය’ යන්නට විරුද්ධ වූ හැඟීමක් බව පමණක් පැහැදිලි වන්නේ, ආදරය අවසන් වූ තැන ක්ෂණයෙන් ආරම්භ වන්නේ වෛරය නිසාවෙනි.

යමකු, තමන් ආදරය කළ දෙයක් සියතින්ම විනාශ කර දමන්නට තරම් සැහැසි වුවහොත්, එය වෛරයම නොවන්නේද? සම්මත වේවා අසම්මත වේවා ආදරයට සීමාමායිම් නැත. කතාවට කියන්නේ එසේය. ආදරය අහිමි වූ කල ඇතිවන වේදනාව දරාගත නොහැකි වූ තැනින් පටන් ගන්නා මේ වෛරය, මිනිස් ජීවිතයක් කීතු කීතු කර මහපාරේ සාහසික ලෙස මරා දමන්නට තරම් පහත් තත්වයකට පත් වෙයි නම්? එබඳු සහාසික අපරාධයක් ගැන අපට අසන්නට ලැබුණේ ඉකුත් 09 වැනිදා කහතුඩුව ප්‍රධාන මාර්ගයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ පුවතයි.

ඇය නමින් දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ ය. හතළිස් එක් හැවිරිදි වියේ පසු වූ දුලාංජලී, එකොළොස් හැවිරිදි පුංචි දියණියකගේ මවකි. ඇගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. පිළියන්දල, මඩපාත ජඹුරලිය අංක 15/බී හි පදිංචි දුලාංජලී, සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් කටුනායක කාර්යාලයේ සිවිල් ගුවන් සේවා නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි අතර, ඇය දිනපතාම සේවා ස්ථානයට ගියේ සිය සැමියා සමඟ මෝටර් රථයෙනි. ඒ අධිවේගී මාර්ගය ඔස්සේය. සුපුරුදු පරිදි සිය ඇය සේවා ස්ථානයේ සේවය කරන මිතුරකු ද කැටුව සැමියා සමඟ මෝටර් රථයෙන් රාජකාරියට ගියාය. එදින වැසිබර දිනයක් වූ නිසාවෙන් ඉක්මනින් නිවෙසට යෑමේ අරමුණු ඇතිව රාජකාරි නිම කළ ඕ ආයතනයේ බස් රථයට ගොඩවූවාය. එහෙත් ඒ ඇගේ අන්තිම ගමන වනු ඇතැයි ඈ සිහිනයකින් හෝ නොසිතන්නට ඇත.

ඇගේ දෛවයේ ලියැවී තිබුණේ එසේය. ඉතාමත් සුරූපී රූපකායකින් යුත් දුලාංජලී, සහාසික ලෙසින් බරපතළ ලෙස කැපීම් තුවාල ලැබ දෙනෝදාහක් ඉදිරියේ අවසන් සුසුම් හෙළන්නට තරම් අවාසනාවන්ත වූවාය. ඒ, ඉකුත් 09 වැනිදාය. ඒ වන විට වේලාව සවස 5.00 පමණ විය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයකින් කහතුඩුව අධිවේගී මාර්ගයේ පිවිසුම අසලින් බැස ගත් දුලාංජලී සිය ජංගම දුරකතනය දෙස බලමින් පාර පනින්නට සැරසුණේ අසල නවතා තිබූ ත්‍රිරෝද රථයකට ගොඩවීමේ අරමුණිනි. අධිවේගී මාර්ගයේ බස් රථයෙන් එන අතරමග තමන් පසුපස එන කළු පැහැති මෝටර් රථය හඳුනා ගන්නට ඇයට හැකි විය. ඇය තම ජංගම දුරකතනය ගෙන ක්ෂණිකව අන්තර්ජාලය ඔස්සේ ත්‍රිරෝද රථයක් ඇණවුම් කර ඇත්තේ නිවෙසට යෑම සදහාය.

“ඉක්මනට එන්න. පොඩ්ඩක් පාර ළඟම ඇවිල්ලා ඉන්න. ඈතට යන්න එපා. මට ඉක්මනින් ගෙදරට යන්න ඕන” ඇය එම ත්‍රිරෝද රථ රියැදුරාට දෙවතාවක්ම ඇමතුම් ලබාගනිමින් එසේ පවසා තිබිණි. එහෙත්, ඇයට කලින් ඇගේ මාරයා ඉස්සර වුණ හැඩකි. මහ පාරේ අයිනට වෙන්නට නවතා තිබූ කළු පැහැති මෝටර් රථය දුලාංජලීගේ නෙතට හසුවන්නට ද ඇත. ඒ හේතුවෙන්ම හනි හනිකට ත්‍රිරෝද රථයකට ගොඩ වෙන්නට ඈ උත්සාහ දරන්නට ද ඇත. පාරේ අයිනේ කොණකට වෙන්නට මුවා වී සිටි මේ මරුවා එකවරම ඉදිරියට පැන ඇගේ උදරයට පිහි පහර කිහිපයක් එල්ල කළේ මේ සිදුවූයේ කුමක්දැයි සිතන්නටත් කලිනි. සිය අත්බෑගය උදරයට තද කරගත් ඕ, සැණින් පහත් වන්නේ වේදනාව දරාගත නොහැකි වූ නිසා වන්නට ඇත. ඒ සමඟම අගේ ගෙල පසාරු කරගෙන යමින් තවත් පිහි පහරවල් තුන හතරක් වැදී ගියේ ඇය කපා හෙළු කදක් ලෙසින් බිම පතිත කරමිනි. දෙනෝ දහක් දෙනා බලාගෙන සිටියදී නිමේෂයකින් සිදුවූ මේ සියල්ල චිත්‍රපටියක රූපරාමු මෙන් විය.

අවාසනාව කෙතෙක් දැයි කිවහොත් ලේ විලක් මැද වැටී සිටි ඇයගේ ඡායාරූප ගනිමින් සිටි ඇතැම් පිරිස් ඇයව රෝහලකට හෝ රැගෙන යන්නට තරම්වත් උත්සාහ දරා තිබුණේවත් නැත. මේ කුරිරු ඝාතනය කළ පුද්ගලයා සැණින් අසල නවතා තිබූ සිය කළු පැහැති මෝටර් රථයට නැඟීමට උත්සාහ ගත්තේ, “ඕකව අල්ලපන් ඕකව අල්ලපන්” යැයි කවුදෝ මහ හඬින් කෑ ගසමින් සිටියදීය. “කවුරුත් අල්ලන්න එන්න එපා. එකෙක් එන්න එපා” යැයි ලේ තැවරුණු පිහිය ඉහළට ඔසවා ගනිමින් කෑ ගැසූ මේ ඝාතකයා මෝටර් රථයට නැඟී කහතුඩුව යකඩ වැඩපල මාර්ගය ඔස්සේ හෝමාගම දෙසට පලා ගියේ කිසිදු තැකීමකින් තොරවය.

මේ සිදුවීම වන අවස්ථාවේ මාර්ගයෙන් අනික් පස බස් නැවතුමේ සිටි කාන්තාවක වහාම සිය ජංගම දුරකතනයෙන් පොලිසියේ උසස් නිලදරුවකු අමතා මෙම ඝාතනය ගැන දැනුම් දී තිබිණ. ඇය, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාසිංහගේ ඥාති සහෝදරියක වූවාය. සැණින් ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාසිංහ ඒ මොහොතේම මේ පුවත සැලකර සිටියේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය වෙතය. ඒ ඇමතුම එසේ යද්දී, යතුරුපැදිකරුවකු වේගයෙන් පොලිසියට ගොස් කෑගසමින් කියා ඇත්තේ ‘සර් අන්න කහතුඩුවේ එන්ට්‍රන්ස් එක ළඟ කෙල්ලෙක්ව කැපුවා” යැයි කියමිනි. සැණින් ක්‍රියාත්මක වූ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර සිය ජීප් රථයෙන් එතැනට ගියේ සිදුවීමෙන් හරියටම විනාඩි පහක්වත් ගත වන්නට පෙරය. ඒ වන විටත් ලේ ගලමින් වැටී සිටි දුලාංජලීව වෑතර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළේය. එහෙත් ඇය අවසන් සුසුම් හෙළා අවසන් බවට එහිදී වෛද්‍යවරු සඳහන් කර ඇත. කවුද මේ ඝාතකයා?

දුලාංජලීගේ දේහය වෑතර රෝහලට රැගෙන විත් මඳ වේලාවකින් ඇගේ සැමියා එම රෝහලට ආවේ පොලිසියේ දැනුම්දීමට අනුවය.

“ඩොක්ටර්, මේකට සැක කවුරු හරි ඉන්නවාද?” කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ඇගේ සැමියාට සමීපව ඇසුවේය.

“අනේ මන් දන්නේ නෑ ඕඅයිසී මහත්තයා. මෙයාගේ එෆෙයාර් එකක් තිබුණා කෙනෙක් එක්ක. ‘ප්‍රසාද් කියලා කෙනෙක්”. ඒ කවුද කියලා මම දන්නේ නැහැ. කොහේද ඉන්නේ කියලවත් මම දන්නේ නැහැ. නමුත් එයාගේ මොබයිල් නම්බර්ස් දෙකක් නම් මා ළඟ තියෙනවා.” වෛද්‍යවරයාගේ පිළිතුරෙන් පොටක් පාදා ගත් පොලිසිය වහාම එම ජංගම දුරකතන දෙකට ඇමතුම් ලබා ගත්තේය.

ඒ ජංගම දුරකතන දෙකම ඒ මොහොතේත් ක්‍රියාත්මක වෙමින් තිබුණත් ඒවාට පිළිතුරු නම් නොලැබිණි. ඉන් එක් අංකයක ආයතනික නමක් ටෲකෝලර් මඟින් පෙන්වන්නට විය. වහාම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එම ආයතනයේ නම අන්තර්ජාලය ඔස්සේ සොයා බලන්නට වූ අතර එමඟින් බම්බලපිටියේ පිහිටි විදෙස්ගතවීමේ ශිෂ්‍ය වීසා සඳහා උපදෙස් ලබාදෙන ආයතනක තොරතුරු සහිත වෙබ් අඩවියක් පිළිබඳව හෙළි වන්නට විය. එහි තිබූ ආයතනයේ හිමිකරුගේ සහ ඝාතකයාගේ රුව එකම එකක් බවට හඳුනා ගන්නට පොලිසිය වැඩි වේලාවක් ගියේ නැත. එම වෙබ් අඩවියේ තිබූ ආයතන හිමිකරුගේ හැඳුනුම්පත් අංකය සොයා ගැනීමට ද පොලිසියට වැඩි වේලාවක් ගියේ නැත. ඒ අනුව, හතළිස් නව හැවිරිදි වියේ පසුවන දම්පේ, මඩපාත පිළියන්දල පදිංචි එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා වන මේ මිනීමරු ඝාතතකයා බවට හඳුනා ගන්නට පොලිසියට හැකි විය.

“කවුද මේ ප්‍රසාද්?”

ගොනාකෝවිලේ අංජුගේ මත්ද්‍රව්‍ය ඡාවාරමේ කළමනාකරු වශයෙන් මෙරටේ සියල්ලෝම හොඳින් දැන සිටි එසේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ලෙස සිටි රන්ජන් ද සිල්වාට වෙඩි තබා ඝාතනය කළ එල්ලාවලගේ ධර්මසිරි නොහොත් ‘ඇල්ටෝ ධර්මේ” නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වූයේ මේ කියනා එල්ලාවලගේ ප්‍රසාද් ඩන්කන් පෙරේරාය. ඉකුත් 2020 ජුනි මස 19 වැනිදා රත්මලානේ “ලක්මැදුර හෝටලයට” කඩු කිනිසි ගත් පිරිසක් විත් පහර දීමේ සිද්ධිය ද මුළු මහත් රටක්ම කැලඹූ සිද්ධියක් විය. එය ද ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ මේ කියනා ඇල්ටෝ ධර්මේ බව පොලිසිය සොයා ගත්තේය. මේ ඇල්ටෝ ධර්මේගේ වැඩිමහලු සහෝදරයකු මෙරට සිටින බවක් පොලිසිය මේ සිද්ධිය වන අවස්ථාව වන විටත් දැන නොසිටියේ ප්‍රසාද් මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වී නොමැති නිසාය. එහෙත්, මිනිස් ජීවිත නින්දිත ලෙසින් කපා කොටා මරා දමන්නට තරම් වූ මේ සාහසික චේතනාවන් මොවුන්ගේ ඡන්මයෙන් ලද ත්‍යාගයන් දැයි සිතෙන්නේ ප්‍රසාද් යනු කවුරුන්දැයි සොයා බැලීමේදීය. වෛරයෙන් කෙළවර වූ තහනම් ආදරයේ නාමයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට මේ කාන්තාවට සිදු වූ බව එපරිද්දෙන් පොලිසිය සොයා ගත්තේ අසුරු සැණෙකිනි. පොලිසියේ ඊළඟ කාර්ය වූයේ මේ ඝාතකයා ඉක්මණින් අත්අඩංගුවට ගැනීමය.

දුලාංජලීට ප්‍රසාද් හමුවන්නේ පාසල් යන සමයේදී ය. ඒ 1996 වසරේය. දෙන්නාම ගියේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටා තිබූ මිශ්‍ර පාසලකටය. ඔවුන් දෙදෙනාගේ පාසල් ප්‍රේමය සුන්දර වන්නට ඇත. එම පාසලේ උසස් පෙළ කලා අංශයේ ඉගෙන ගත් මේ දෙදෙනාගේ මේ ප්‍රේමය ගැන නොදැන සිටි කිසිවකු හෝ ඒ පාසල තුළ සිට නැත. වෙනකක් තබා මේ ප්‍රේම කතාන්දරය දෙදෙනාගේම ගෙවල්වල උදවිය පවා දැනගෙන සිට තිබිණි. එහෙත් වසර ගණනාවක් පුරා විහිදී ගිය මේ පාසල් ප්‍රේමයෙන් මොවුන් දෙදෙනා වෙන් වන්නේ ප්‍රසාද් වෙනත් විවාහ ජීවිතයකට ඇතුළු වූ දාය. ඒ වන විටත් දුලාංජලී පාසල් ශිෂ්‍යාවකි.

“මම වෙන කෙනෙක් විවාහ කර ගත්තා. ඒ දවස්වල දුලාගෙයි මගෙයි සම්බන්දෙට එයාගේ පවුලෙන් වගේම අපේ පවුලේ අයගෙනුත් බලපෑම් ආවා. ඒ නිසයි මම වෙන කෙනෙක් බැන්දේ. මම කසාද බඳිනකොට එයා ඉස්කෝලේ යනවා.”

විවාහයේ පසු විදෙස් ගතවන ප්‍රසාද් වරින් වර ලංකාවට පැමිණ නැවත විදෙස් ගත වී තිබිණි. එපරිද්දෙන් වසර 18ක් පමණ විදෙස් රැකියාවල නිරතව සිටි ඔහුට දාව පිරිමි පුත්‍රයෙක් සහ ගැහැනු දරුවන් සිවු දෙනකු සිටියේය. ප්‍රසාද් විදෙස්ගතව සිටියදීත් දුලාංජලී සමඟ සබඳතාව පැවැත්වුව ද ඈ වෛද්‍යවරයකු සමඟ විවාහ වූයේ ඔහු විදෙස්ගතව සිටියදීමය. සිංගප්පූරුව, මාලදිවයින, ජෝර්දානය, ඩුබායි ඇතුළු රටවල් 10කට වැඩි ප්‍රමාණයක සේවය කර සිටි ප්‍රසාද් ජීවිතයේ වැඩි කාලයක් ගත කර තිබුණේ විදෙස්ගතවය.

“එයත් ඩොක්ටර් කෙනෙක් බැන්දා. අපේ සම්බන්දේ නතර වුණේ නැහැ. පොඩ්ඩක් බ්‍රේක් වෙලා තිබුණා මම නැති නිසා. ඊට පස්සේ මම ආයේ ලංකාවට ආවා 2019දී. එතකොට කොරෝනා කාලේ. එයාට දරුවෙක් හිටියා. මම ආයේ යන්න හිතාගෙන හිටියත් අපේ ආදරේ ආපසු පටන් ගත්තා. මට එයා දාලා යන්න බැරි වුණා. මං එයාට ඒ තරමටම ආදරේ කළා.” මේ කියන්නේ ඔය කියන ප්‍රසාද්ය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියනා කතාන්දරය එයයි.

“අපි දෙන්නා එක එක තැන්වල ගියා. මම එයාට ගොඩක් සල්ලි වියදම් කළා. සතියකට දෙපාරක් අපි කොහේ හරි නිදහස් තැනකදී හමුවෙනවා. ඒක එයාගේ ගෙදර අය වගේම මගේ වයිෆ් පවා දැනගෙන හිටියා.”

මේ අනියම් ප්‍රේමය හේතුවෙන් ප්‍රසාද් ගේ බිරිය මීට වසර දෙකකට පෙර නිවෙසින් නික්ම යන්නේ ඈට දාව උපන් දරුවන් පස් දෙනා ද සිය සැමියාටම බාරදීමෙන් පසු වෙනත් පුරුෂයකු සමඟය.

“මගේ මේ සම්බන්දේ නිසා තමයි මගේ වයිෆ් මාව දාලා ගියේ. ඒක දුලා දන්නවා හොඳින්ම. එක දවසක් දුලා එකපාරටම කිව්වා අපි මේක නවත්තමු කියලා. මම ගණන් ගත්තේ නැහැ. පොඩ්ඩක් බැරි වෙන්න බෑ එයා එහෙම කියනවා. එක දවසක් අපි මොරටුවේ තැනකට ගියා. එදා එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. එයාට මම කිව්වා මටත් ඇහෙන්න ඕක ස්පීකර් ෆෝන් දාන්න කියලා.”

මේ නාඳුනන ඇමතුම ප්‍රසාද් ඉදිරියේ අසන්නට දෙන්නට ඇය අකමැති වන්නට ඇත. එහෙත් ඔහුගේ දැඩි පෙරැත්තය නිසා ඇය සිය ජංගම දුරකතනය ඔහුට ඇසෙන්නට සක්‍රිය කර තිබිණී.

“කොහොමද අනූ, මම ඔයාට කෝල් එකක් ගන්න හිටියේ ටිකක් බීසී වුණා. ඒක නෙමෙයි ඔයාගේ හස්බන්ඩ් තාමත් ඔයාට කේස් දානවද? තාමත් ගහනවද? අනේ ඔයා කොහොමද ඒවා දරාගෙන ඉන්නේ?” නාඳුනන්නාගේ ප්‍රශ්න කිරීම්වලින් කිපුණේ ප්‍රසාද්ය. වහාම එම දුරකතනය විසන්ධි කර දැමූ ඔහු ඇය හා බහිබන්බස් වන්නට වූයේය.

“මේ තරම් පවුලේ දේවල් කියන්න ඌ කවුද? කියපං. මේ තරම් ළඟින් කතා කරන්නේ ඔය එකා මොකාද?” ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ දුරදිග ගිය ප්‍රශ්නයක් පටලවා ගත් ඈ දිගින් දිගටම ඔහු හා රණ්ඩු සරුවල් වූවාය. “මට මාගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ මගේ යාළුවෙක්. ඔයාට අනවශ්‍ය දේවල්නේ මේ. මට යාළුවෙක් ඉන්න බැරිද?” අවසානයේ එය දෙදෙනාගේම හිත් පාරවන්නක් බවට පත් විය.

“දුලා, කියන්නේ මගේ ගෑණි, මට හැමදේම නැති වුණේ එයා නිසා. මගේ නිත්‍යානුකූල ගෑනිත් මාව දාලා ගියා. ඒ මේකි නිසා. ටික දවසක ඉඳලා මට තේරුණා මෙයා වෙනස් වෙලා කියලා. උන්නු ගමන් අපේ සම්බන්දේ නවත්වමු කිව්වා. එහෙම වෙන්න හේතුව හෙව්වාම තමයි දැන ගත්තේ එයා වෙන කෙනෙක් එක්ක පැටලිලා කියලා. මට නැති මගේ දේවල් වෙන කාටවත් අයිති වෙන්න ඕන්නෑ.” ප්‍රසාද්ගේ ආදරයේ අවසන් හෝරාව වෛරයට එළැඹියේ එදාය.

“මම එදා එයාට කෝල් කළා. ගොඩාක් සැරයක් කෝල් කළා. එයා ඒවා දැක්කේ නැහැ වගේ ඉන්න ඇති. මට කේන්ති වැඩියි. බැරිම තැන මම මැසේජ් එකක් දැම්මා. “මම තෝව මරනවා” කියලා. මට ගෙදරට වෙලා ඉන්න හිතුණේ නැහැ. සාමාන්‍යයෙන් මම එයා වැඩ ඇරිලා එන වෙලාවට කහතුඩුවට ගිහිල්ලා එයාවත් අරගෙන කොහේ හරි ගිහිල්ලා මොනවා හරි කාලා බීලා ගෙදරට ගිහින් ඇරලනවා. ඒ වගේම මම එදත් එයා වැඩ ඇරිලා බස් එකෙන් බහින තැනට ගියා. මම ඉන්නවා දැක දැකත් එයා මාව නොදැක්කා වගේ බස් එකෙන් බැහැලා පාර පැන්නා. මට මොනවා වුණා ද කියලා හිතාගන්න බැරි වුණා. ඉවසන්න බැරිම තැන තමයි මම පිහිය අරගෙන ඇන්නේ.” මේ ප්‍රසාද්ගේ පාපොච්චාරණයයි. ඔහු ඒ ආදරය කෙළවර කළේ එසේය.

සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් සහ කැස්බෑව මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට භාර දෙන ලෙසට නියම කර තිබිණි.

විදෙස් සම්බන්ධතා ඇති මොහු හැකි ඉක්මනින් රටින් පිටව යා හැකි බවට සිතූ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වහාම සැකකරුගේ ජාතික හැඳුනුම්පත සහ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ඉකුත් 10 වැනිදා අලුයම කිසිත් නොදන්නා සේ මෙරටින් සිංගප්පූරුව බලා ඉගිල ගොස් දින දෙක තුනක් නැවතී සිට නැවත පැමිණීමට සිතා සිටි ඝාතකයාව පොලිස් දැලට අසුවන්නේය. ඝාතනයක් සිදු කර ඉතාමක් කෙටි කාලයක් තුළ ඝාතකයා කොටු කර ගැනීමට අපේ පොලිසිය ඉතාමත් දක්ෂ බවට නැවතත් පෙන්වා දුන්නේ මේ ක්‍රියාව හේතුවෙනි.

“මම හිතුවේ මෙහේ හිටියොත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. අජන්ත කියලා මගේ යාළුවෙක් ඉන්නවා. මම කාර් එකෙන් ගෙදර එන ගමන් එයාට කතා කරලා කිව්වා මට ඩුබායිවලට ටිකට් එකක් දාලා දෙන්න ඉක්මනින් කියලා. එයා මට පාන්දර දාලා දුන්නා. මම ත්‍රිවීල් එකකින් තමයි එයාර්පෝට් ගියේ.

සැකකරු ඝාතනයෙන් පසු කුලී පදනම මත ලබාගෙන තිබූ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ තෙමහල් නිවෙසට ගොස් එහි මෝටර් රථය සඟවා පසුව එහි යතුර පිළියන්දල මඩපාත රුචිරපුර ප්‍රදේශයේ නිවෙසක තබා කුලි රථයකින් කටුනායක ගුවන් තොටුපලට ගොස් තිබිණි. ඒ අනුව සැකකරු සමඟ එම නිවෙසට ගිය පොලිසිය සඟවා තිබූ මෝටර් රථය පොලිස් අත්අඩංගුවට ගත්තේය.

“මම පිළියන්දල ටවුමෙන් ලී දඩු කපන්න ටිකක් දිග පිහියක් සල්ලිවලට ගත්තා. ඒක රුපියල් 3650යි. මම ඒක කාරෙකේ දාගෙන හිටියේ. එයාට කෙටුවට පස්සේ මම ඒක පානදුර බොක්කේගම ගෙදරට හැරෙන තැන පාරේ කෙළවරේ තිබුණ කැළෑවට විසි කළා.” මේ තොරතුරු අනුව අදාළ ස්ථානයේ තිබී මිල සඳහන් එම මන්නා පිහිය ද එය මිලදී ගත් වෙළෙඳ සැල ද පිළිබඳ තොරතුරු එසැණින් සොයා ගත්තේය.

මේ සාහසික ඝාතනය සිදුවී පැය පහක් ගත වන්නටත් පෙර පොලිසිය සැකකරු හඳුනා ගත්තේ ය. පැසසුමට ලක් කළ යුතුම වූ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතාව එයයි.

පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි පිළිබඳව සොයා බැලීමේදී තවත් කරුණක් හෙළිවී තිබිණ. එනම්, මොහු ඉකුත් 2018 වසරේදී මොරටුව ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණියක් නිරුවත් කර අත්පා බැඳ කටට එම තරුණියගේම යට ඇඳුම් ඔබා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයකු බවය. එසේම මෙම සැකකරු මේ වන විට කුලී පදනම මත ජීවත් වන නිවෙසේ හිමිකරුට නියමිත කුලි මුදල ද නොදී එනම් රුපියල් 55,000ක පමණ මුදලක් ගෙවීම් පැහැර හරිමින් සිට ඇත්තේ ‘තර්ජනයෙන්’ බව ද වාර්තා වෙයි.

මේ සියල්ල සිදු වෙද්දි ඉකුත් 10 වැනිදා පෙරවරුවේම ප්‍රසාද්ගේ බිරිය කහතුඩුව පොලිසියට එන්නීය. ඒ ඇගේ වයස අවුරුදු නවයක පුත්‍රයා ද සමඟය. “සර්, මේ මිනිහා ගෑනු පෙරේතයෙක්. මම මෙයාව දාලා ගියේ හදාගන්න බැරි හින්දමයි. මම මෙයාගෙන් වෙන් වුණේ මීට අවුරුදු දෙකකට කලින්. මම පුංචි පුතා එක්ක ගෙන ගියා. මම දැන් විවාහකයි. මෙයා ඔය ගෑනී එක්ක තියෙන සම්බන්දේ නවත්තන්නේම නැහැ. ඒ ගැන එයාගේ මහත්තයාත් දන්නවා. මෙයාට එක ගෑනියෙක් නෙමෙයි ගෑනු ගොඩක් ඉන්නවා. අපේ ලොකු ළමයි දෙන්නා ඉන්නේ පිටරට. අනිත් දෙන්නා මෙයා ගාව ඉන්නවා. දැන් ඒ දරුවෝ දෙන්නා ඉන්නේ මෙයාගේ නංගි ගාව. මට ඒ ළමයි දෙන්නා බාර දෙන්න. එයාලා ගෑනු ළමයි. මෙයා මටයි මගේ පුතාටයි නිතරම කරදර කළා. මම ගෙදර ඉන්න කාලේ මට හරියට වද දුන්නා. ගැහුවා. එකට ජීවත් වෙන්න බැරිම තැන මම ගියේ.” ඇය හැඬූ කඳුළෙන් එසේ පවසා තිබුණි.

පොලිස් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අසංග බෝදරගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණේය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එම්. ඩී. ඩී. නිලංගගේ මෙහෙයවීමෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.කේ. ප්‍රියංකර, පොලිස් සැරයන් 41445 එම්. ප්‍රියංකර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළහ.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division