Home » නව පාසල් වාරයට අලුත් සපත්තු, බෑග් මිල සොයන්න පිටකොටුවේ සවාරියක්

නව පාසල් වාරයට අලුත් සපත්තු, බෑග් මිල සොයන්න පිටකොටුවේ සවාරියක්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ව පාසල් වාරයේ ආරම්භයට පෙර තම දූ පුතුන්ගේ පොත්පත්, පැන්සල්, කවකටු පෙට්ටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉහළ මිලකට ගැනීමට දැන් මවුපියන්ට සිදුවී හමාරය. තම දූ පුතුන් නව වසරේ පාසලට යන විට අලුත් සපත්තු කුට්ටමක් සහ පාසල් බෑග් එකක් තිළිණ කිරීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි. පසුගියදා කොලොම්පුරේ පාසල් සපත්තු – බෑග් තොග සහ සිල්ලර වෙළෙඳපළේ කරක් ගැසූ අපට ඒවා මිල ඉහළ ගොස් ඇති අන්දම සිතාගත නොහැකි තත්ත්වයක් විය.

වෙනදාට ජනප්‍රිය සන්නාම ඇති සපත්තු ප්‍රදර්ශනාගාරවල සපත්තු මිල ගණන් සඳහන් ලොකු පුවරු දැකගත හැකි වූවත් බොහෝ විට දැන් එවැනි පුවරු දැකගත හැකි නොවේ. සපත්තු මිල කිරීම පොදුජන වහරේ වර නැගෙන්නේ ‘බාටා ප්‍රයිස්’ ලෙසය. රුපියල් 999යි, රුපියල් 1499යි, රුපියල් 1999 වැනි මිල ගණන් ඊට උදාහරණ වේ. වෙළෙඳපළේ සැරිසැරූ අපට පෙනී ගියේ හොඳ ප්‍රමිතියේ පළමු ශ්‍රේණියේ දරුවකුගේ පාසල් සපත්තු කුට්ටමක්වත් දැන් රුපියල් 1999ට අඩුවෙන් මිලදී ගත නොහැකි බවය.

කොළඹ සපත්තු සහ පාසල් බෑග් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තොග කඩ ඇත්තේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකේය. එමෙන්ම පාසල් බෑග්, පාසල් සපත්තු කඩ ඇත්තේ මල්වත්ත පාර, ප්‍රින්ස් ස්ට්‍රීට්, දෙවැනි හරස් වීදිය ආදී මාර්ග දෙපසය. පාසල් වාරය ළංවන විට වෙනත් මාර්ගවලත් පාසල් සපත්තු සහ බෑග් කඩ පේමන්ටුවේ වැටෙන්නේ හතු පිපෙන්නාක් මෙනි.

අප මුලින්ම ගියේ කොටුව ඉස්ටේසම දෙසින් මල්වත්ත පාරටය. අප මුලින්ම හමුවූයේ තුෂාර බෑග් සෙන්ටර් එකේ අකලංක පුබුදු ලක්මාල්ය.

“අපි ගොඩක් වේලාවට ස්කූල් බෑග් අඩු ගණන්වල ඒවා තමයි ගේන්නේ. මොකද ලොකු ගණන්වල ඒවා විකුණගන්න ටිකක් අමාරුයි. අනික ලොකු ගණන්වල බෑග්වල ගණන් කියලම කට රිදෙනවා. කලාතුරකින් ගන්නේ.”

අකලංක කියන්නේ තමන් අමුද්‍රව්‍ය ලබාදී අඩු මිලට බෑග් මස්සවන බවය. එම බෑග් කඩයේ තිබුණ සියලු බෑග් රුපියල් 1200/=ත් රුපියල් 3500/=ත් අතර ඒවා විය.

මේ අතරම මල්වත්ත පාර අසලින් පටන් ගන්නා මැලිබන් වීදියේ ඇති පරණ සපත්තු විකුණන මඩුවකින් ඇසෙන සද්දයක් නිසා එතැනට ගමන් කළෙමු.

“කඩෙන් එකයි අපෙන් තුනයි
අපෙන් තුනයි ඒත් කඩෙන් එකයි”

එහි ගොඩගසා තිබුණේ මඳක් භාවිත කරන ලද පාසල් සිසු සිසුවියන්ගේ සපත්තුය. සාමාන්‍ය කඩේක එම සපත්තු ජෝඩුවක් රුපියල් 3000/=ක් පමණ මිල වේ. එතැන ඒවා අලෙවි කළේ රුපියල් 1000/=ක මිලකටය. කඩෙන් එකයි අපෙන් තුනයි කිව්වේ ඒ නිසාය. සපත්තු අලෙවියේ නියුතුව සිටියේ ‘චාමර’ ය. අප ලේක්හවුස් එකෙන් කියූ විට චාමර අපට වඩාත් ලෙන්ගතු විය.

මේ සෙකන්ඩ් හෑන්ඩ් සපත්තු ජෝඩු කීපයක් අලෙවි වූයේ අප බලා සිටියදීමය. ඒ අතර භාවිත නොකළ ටිකක් අඳුරු පැහැති සපත්තු ද විය.

“දැන් ඩීඅයි කොම්පැනිය, බෙටන්ස් කොම්පැනි වහලා. සමහර ෂෝරූම් තොග පිටින් බඩු විකුණන්න දානවා. එහෙම ගත්ත තොගයක් ඕක.”

එතැනට පාසල් සපත්තු ගන්නට පැමිණ සිටි පියකු අප දැක තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ අනාරාධිතවය.

“මාර ගසා කෑමක් මේ ලංකාවේ සපත්තු කොම්පැනිකාරයෝ කරන්නේ. ළමයෙක්ට ඉස්කෝලෙ දාන්න සපත්තු දෙකක් ගන්න දෙමව්පියන්ට වෙනම ජොබ් එකක් කරන්න වෙනවා. මට ඉස්කෝලේ යන ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඉස්කෝලෙ සපත්තුවලට පාලන මිලක් දාන්න ඕන. නැත්නම් බිත්තර පිටරටින් ගේනවා වගේ චීනෙන් සපත්තු ගේන්න දෙන්න ඕන ඩියුටි නැතුව. රු. 1000/=ට අඩුවෙන් චීනෙන් හොඳ සපත්තු ගේන්න පුළුවන්.”

හාත්පස බැලූ අපට පෙනී ගියේ ගියවර එතරම් දක්නට නොලැබුණු චීන සපත්තු සහ ස්කූල් බෑග් ද මෙවර කලඑළි බසිමින් ඇති බවය.

අප නැවතත් මල්වත්ත පාරේ පාසල් බෑග්, සපත්තු ඇති කඩයකට පිවිසියේ අලුත් ඩිසයින් ඇති තැනක් බලාය. කඩේ හිමිකරු වූයේ ‘සුල්ෆි’ ය.

හයසීයට තිබ්බ ස්කූල් බෑග් එක එක්දහස් පන්සියයි, රු. 1200 තිබ්බ එක රුපියල් 3000 යි. අලුත් ප්‍රයිස් මිනිස්සුන්ට කියන්නේ කෝමද? ඉම්පෝට් බෑග් රුපියල් 1500ට විතර තිබ්බේ. දැන් 8000/= විතර වෙනවා. අපු අවුරුදු 10ක් තිස්සේ බිස්නස් කරනවා. රුපියල් 500 – 600 කින් බෑග් එකක් වැඩි වුණාට කමක් නෑ. දැන් සියයට තුන්සීයකින් විතර වැඩිවෙලා තියෙනවා. රුපියල් 8/=ට තිබ්බ බෑග් සිප් එක දැන් රුපියල් 35/=යි. ඉස්සර උදේ දහය වෙනකොට රුපියල් 30,000/=කට වැඩිය බිස්නස් තියෙනවා. දැන් ෆස්ට් බිස්නස් එක වෙනකොට සමහරදාට දවල් එකත් පනිනවා. පන්දාහේ කොළයක් දුන්නොත් මාරු සල්ලි ගේන්න බැංකුවට යන්න වෙනවා.”

අපට නැවතත් හඬක් ඇසුනේ මල්වත්ත පාරේ පරණ සපත්තු අලෙවියට ඇති තැනකිනි. මේ ව්‍යාපාරයේ හිමිකරු ගීත් චමින්ද පෙරේරාය.

“ඉස්කෝලේ ළමයින්ගේ පාවිච්චි කරපු සපත්තුවලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. රුපියල් 2700 විතර සපත්තු දෙකකට අපි නම් රුපියල් 850/=කට වැඩිය ගන්නේ නෑ. දෙමාපියන්ගේ නැතිබැරිකම් අපිට හොඳට තේරෙනවා.”

“දැන් ඔය සපත්තු ගන්න එන දෙමාපියෝ මොනාද කියන්නේ.”

“පොලිසියේ මහත්තයෙක් ආවා කලවානේ ඉඳන්. ලෝන්වලට කැපුණාම අතට එන ගාන ළමයි තුන්දෙනාට සපත්තු අරන් දෙනවා තියා ගෙදර කරන්න බොන්නත් මදිලු. පොලිසියේ ඩියුටි ඕෆ් වුණාම ත්‍රීවිල් එකේ හයර් දුවනවා කිව්වේ.”

මේ බෑග් කඩවල පාසල් සිසුන්ට විකුණන්නට ඇති සමහර බෑග්වල ප්‍රමාණය දුටුවිට අප පුදුමයට පත්වූයේ එතරම් විශාල බෑග් කරගහගෙන දරුවකුට පාසල් යා හැකිද යන ප්‍රශ්නය ය.

අප අසා ඇත්තේ කූඹියාට උගේ බර මෙන් දස ගුණයක බරක් ඔසවා ගමන් කළ හැකි බවය. එහෙත් පාසල් දරුවා කූඹියකු නොවේ. පාසල් දරුවාට ඉසිලිය හැකි බර ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාව මගින් තක්සේරු කර තිබේ. එය දරුවාගේ සිරුරේ බර ප්‍රමාණයෙන් 10%කට වඩා අඩු විය යුතුය. පාසල් දරුවන්ගේ කොඳුඇට පෙළ කුදු ගැසීම සහ කශේරුකා ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු තවමත් නොවිසඳුණ සහ අවධානය යොමු නොවූ සමාජ අර්බුදයක් වී තිබේ. මෙම අර්බුදය මැනවින් අවබෝධ කර ගත් ඉන්දියානු රජය පාසල් සිසුන්ගේ අධි බරැති පොත් බෑගය සහ ගෙදර වැඩ නවතා දැමීමට තීරණය කරන ලද්දේ කලකට ඉහතය. ඒත් ඉතින් අපේ දරුවෝ තවමත් තඩි පොත් බෑගයක් (තමන්ගේ බරටත් වැඩි) කරගහගෙන පාසල් යාම ඛේදවාචකයක් වී තිබේ.

පිටකොටුව තොග කඩවල ඇති සමහර පාසල් බෑග් දුටු විට අපට ප්‍රශ්නයක් වූයේ ඒවා පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට කෙසේ බලපානු ඇත්ද කියාය. කලක් පාසල් සිසුන් සම්බන්ධයෙන් පැනනැඟුණු ප්‍රධානම ගැටලුවක් බවට පත්වී තිබුණේ පාසල් බෑගයයි. මේ නිසා පාසල් ශිෂ්‍යයන්ට නොයෙක් ශාරීරික ගැටලු මතු වන බව තහවුරු විය. නමුත් ඒ කුමන හේතුවක් නිසා දැයි බොහෝ දෙනකුට නිශ්චිත අදහසක් තිබුණේ නැත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ලදී. ඒ අධ්‍යයනය සඳහා තෝරා ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගත්තේ, ඒ ප්‍රදේශය තුළ සියලුම සමාජ තත්ත්වයන් නිරූපණය වන නිසාය. ඒ ප්‍රදේශයේ පාසල් වර්ගීකරණ ස්වරූපය විවිධය. එහිදී පාසල් 55ක, පන්ති කාමර 55ක සිසුන් 1607 මේ අධ්‍යයනයට භාජනය කරන ලදි.

ජාත්‍යන්තරව පිළිගත් වඩාත් සෞඛ්‍යාරක්ෂිත යැයි හඳුනා ගෙන තිබෙන්නේ උරහිස් දෙකට පටි යොදා පිටෙහි එල්ලාගෙන යන බෑග් (Back Pack) මාදිලිය වේ. අපේ රටේ ළමයින්ගෙන් 80%ක්ම පාවිච්චි කරන්නේ Back Pack මාදිලියේ බෑග් වුවත් එහි අඩුපාඩුකම් රැසක් තිබේ. එහි බර අධිකය. නිවැරදි ක්‍රමය අනුව බෑගයේ මුළු බර සිරුරේ බරෙන් 10%ක් විය යුතුය. නමුත් අපේ දරුවන්ගේ බෑග්වල බර 10% ඉක්මවා තිබුණි. පාසල් බෑගයේ බරින් 67%ක්ම වෙන්වී තිබුණේ පොත්වලටයි. සිසුන්ගෙන් 72%ක් පැවසුවේ බෑගය නිසා ඔවුන්ට විවිධ ශාරීරික අපහසුතා දැනෙන බවයි. සිසුන්ගෙන් 30%ක් දිගින් දිගිටම මාංශ පේශී වේදනාවලින් පෙළෙන බව හෙළි වී ඇත. ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ පාසල් බෑගයයි. නමුත් අප මේ පාසල් බෑග් විකුණන කඩවලින් අලෙවි කරන පාසල් බෑග්වලට ප්‍රමිතියක් තිබේදැයි ඇසූ විට ඔවුන් ඒ ගැන දැනුම්වත් වී සිටියේ නැත. ඔවුන් පවසා සිටියේ බසාර් එකේ ඉම්පෝටඩ් බෑග් සහ ලස්සන බෑග්වලට වැඩි ඉල්ලුමක් තිබෙන බව පමණකි.

නැවතත් ආනයනික සපත්තු හා ස්කූල් බෑග් වෙළඳපළට කලඑළි බැස ඇත. එවැනි බොහෝ බෑග්වල ගණන් ඇසූවිට වෙළෙන්දන් කිව්වේ ඩොලර් මිල ඉහළ ගිය නිසා බෑග් සහ සපත්තු මිල ඉහළ ගිය බවය. එහෙත් ඒ ඇතැම් නිෂ්පාදනවල ඇති ‘බාකෝඩ්’ එක පරීක්ෂා කළ විට තහවුරු කරගත හැකිවූයේ ඒවා කොරෝනා වසංගතය පැතිරෙන්නටත් පෙර මෙරටට ආනයනය කළ ඒවා බවය.

සපත්තු සහ ස්කූල් බෑග් මිල වැඩිවීමත් සමඟ කොළඹ දැන් සපතේරුවන් නොහොත් බෑග් සහ සපත්තු අලුත්වැඩියා කරන ශිල්පීන්ගෙන් සෑම වීදියක්ම පිරීගොස් ඇති බව දැකගත හැකිය. බොහෝ දෙමාපියන් කරන්නේ තම දරුවන්ගේ කැඩුනු සපත්තු, බෑග් මේ නුපුහුණු කාර්මිකයන්ට දී රෙපයාර් කර ගැනීමය. දුරබැහැර සිට පවා පුද්ගලයන් මේ කර්තව්‍යයට කොළඹටම ඒමට හේතුව මේ අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය සපත්තු අඩි, බකල්, සිප්, බැජ්, රෙක්සින්, ගම්වර්ග, නූල් ආදිය තොග කඩ මේ කොළඹ ප්‍රින්ස් ස්ට්‍රීට් හි අලෙවියට තිබීමය. ඒ අතරින් අප සමඟ කතාවට එක්වූයේ ‘චන්ද්‍රා’ ය.

“දැන් දෙමවුපියෝ ගන්නේ පරණ සපත්තු. අපිට කියලා අලුත් අඩියක් ගස්සවා ගන්නවා. මේ මිලට සපත්තු ගන්න පුළුවන්ද? දැන් සපත්තු රෙපයාර් කර ගන්න එන පිරිස වැඩියි. දැන් සපත්තු උස්සන් එන්නේ මවුපියෝ. රෙපයාර් කරන්න බැරි තරම් ඩැමේජ් සපත්තු දෙකක් දීලා මොනවා හරි කරල දෙන්න කියල බැගෑපත් වෙනවා.”

බොහෝ දෙමාපියන් A4 කොළයක ළමයාගේ කකුල තියා කකුල ඇඳගෙන විත් එම ප්‍රමාණයේ සපත්තු ගැන විමසනු අපිට දැකගත හැකි විය.

සපත්තු – බෑග් රෙපයාර් කරන අමතර කොටස් ගැන කියවෙන ප්‍රින්ස් ස්ට්‍රීට් එකට යන්නට ද අප අමතක කළේ නැත.

මල්වත්ත පාරෙන් හැරී අපි ප්‍රින්ස් ස්ට්‍රීට් එකට ගියේ සපත්තු හදන හම්, අඩි, ගම් ඇත්තේ එහි කඩවල නිසාය. රුපියල් 300ට තිබුණ සපත්තු ගම් ඩප්පිය රුපියල් 900කි. රුපියල් 300ට තිබූ සපත්තු අඩිය රුපියල් 1200කි. සපත්තු මහන හම්වල නම් වැඩිවීම 400%ටත් වැඩිය.

සපත්තු මිල – බෑග් මිල ඉහළ ගිය විට ආණ්ඩුවට බැණ බැණ යාමේ ඇති කිසිදු පලදායීතාවක් නැත. පිටකොටුවේ තැන් කීපයකම සපත්තු සහ බෑග් හදන තැන් දැක ගත හැකිය. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ද ඕනෑතරම් තිබේ. එවැනි වැඩපලක ‘කුමාර’ අප සමඟ එක්වූයේ මේ අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් යෝජනා කරමිනි.

“දැන් බලන්න සපත්තු හදන එක. ඒක සුළු කර්මාන්තයක්. සපත්තුවේ සයිස් එකට බ්ලොක් තියෙනවා. ඒවා ඇඳල කපල මහන්න පුළුවන්. සයිස් එක අනුව අඩි ගන්න තියෙනවා. නිකන් මේ පරණ සිංගර් මැෂිමකින් මේ අපි සපත්තු මහන්නේ. බෑග් මැහිල්ලත් ඒ වගේ තමයි. ඇයි මේ වගේ දේවල් පාසල් විෂය ධාරාවට එක් කරන්නේ නැත්තේ. එතකොට ළමයෙක් පාසලෙන් ඉගෙන ගන්නවා තමන්ගේම සපත්තු දෙකයි, බෑග් එකයි මහගන්න. එතකොට ළමයෙක්ට පුළුවන් සපත්තු – දෙකක් – බෑග් එකක් අමතරව හදල ආදායමක් ලබාගන්න. ඔය පේරදෙණියේ තිබ්බා ‘තම්බපන්නි’ ආයතනය. ප්‍රේමකුමාර එපිටවෙල මහත්තයාගේ. ඒකේ ලියන කඩදාසිය හිටන් උන්නැහේ හැදුවා.”

ලංකාවේ සපත්තු අඩු මිලට නිෂ්පාදනය ගැන අවධානයකින් සිටි පුද්ගලයකු නම් හිටපු ජනපති ප්‍රේමදාසය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තය දියුණු කළ අවදියේ සපත්තු කර්මාන්තය ද මේ රටේ දියුණු කළ හැකි කර්මාන්තයක් ලෙස හඳුනා ගෙන ඊට අනුග්‍රහය දැක්විණි. ලක්ෂ්මන් ආර්. වටවල ආයෝජන මණ්ඩල සභාපති කාලයේ ඊට ආයෝජන මණ්ඩලය තුළ පිළිගැනීමක් ලැබිණි.

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදනය වෘත්තීය කරගෙන සිටින පිරිස පුහුණු කිරීමට විදිමත් ක්‍රමයක් නැත. ඉන්දියාවේ නව දිල්ලියේ සම්භාණ්ඩ නිෂ්පාදනය උගන්වන පුහුණු පාසලක් පවා තිබේ. තාක්ෂණය මෝස්තර ආදී සියලු දේ උගන්වන දියුණු පාසල් ලෙස මෙයට ඇත්තේ විශාල පිළිගැනීමයි. හිටපු කර්මාන්ත අමාත්‍ය සී.ටී. ගුණරත්න යුගයේදී ඔහුගේ ඔහුගේ උනන්දුව මත මොරටුව කාර්මික සංවර්ධන මණ්ඩලය ආශ්‍රිතව සම්භාණ්ඩ නිෂ්පාදනය පුහුණු කරන ආයතනයක් ආරම්භ විය. බණ්ඩාරනායක සම්භාණ්ඩ පුහුණු ආයතනය නම්වූ මෙමඟින් කර්මාන්තයට සෑහෙන සේවයක් සිදුවිය. දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන සමාගම් මෙන්ම පුද්ගලික නිෂ්පාදකයෝ ද මෙහි සේවය ලබා ගත්හ. රජයට මුදල් නැත කියා මෙම ආයතනය ද වසා දමා තිබීම අද පාවහන් මිල ඉහළ යාමට ඍජුව බලපා ඇත.

දැන් මෙරට පාසල් දරු පරපුර පාසල් යාමට ප්‍රථම පුහුණු විය යුතු වන්නේ තමන්ගේම කියා සපත්තු දෙකක් සහ බෑග් එකක් මහගන්නා අන්දම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පසුගිය කාලයේ පැවති ආනයන තහනමත් සමඟ ගියවර පාසල් වාරයේ නම් ‘චීන – ඉන්දියන්’ සපත්තු, බෑග් වෙළෙඳපල තිබුණේ නැත. ඒත් මෙවර ක්‍රම ක්‍රමයෙන් මෙම ආනයන වෙළෙඳපලට පැමිණෙමින් තිබේ. ආනයන තහනමත් සමඟ වුයේ පාසල්, සපත්තු වෙළෙඳපල දේශීය නිෂ්පාදකයන් දෙදෙනකු අතට පත්වීමය. එයින් සිදු වූයේ මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම බලවත් අසාධාරණයකට ලක්වීමය.

අප ප්‍රින්ස් ස්ට්‍රීට් එක හරහා ගියේ එදා ලංකාවේ හදපු හොඳම සපත්තු හදපු ආණ්ඩුවේ කොම්පැනිය DI කොම්පැනියෙ ශාඛාවක් එම මාර්ගයේ තිබූ නිසාය. සුද්දාගේ කාලෙ 1932 වසරේදී සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම හෙවත් ලංකා සම් භාණ්ඩ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කිරීමේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය සපත්තු වර්ග සහ සම්භාණ්ඩ උපාංග නිපදවීමයි.

දේශීය වෙළෙඳ පොළට පමණක් සීමාවූ DI වෙළෙඳ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට ද අපනයනය කිරීම ආරම්භ කරන ලද්දේ 1972 දීය. නමුත් අප තවමත් අඩු මිලට චීනයෙන් සපත්තු එනකම් බලාගෙන සිටිමු. අද බොහෝ දෙනා පාසල් සපත්තු මිල ඉහළ යාම ගැන දොස් කිව්වත් ලංකාව පිටරටට ද සපත්තු අපනයනය කළ රටක් බව බොහෝ දෙනාට අමතකය. ජපානය, යුරෝපය, නෙදර්ලන්තය, ඉතාලිය, ඉන්දියාව හා චීනය යන රටවල ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ආරක්ෂක සපත්තු, බඳපටි, කාන්තා විලාසිතා සඳහා අවශ්‍ය නවීන මාදිලියේ අත්බෑග්, පසුම්බි, ඒ එක් ඍතු සඳහා ගැළපෙන සපත්තු මේ ආකාරයට අපනයනය සඳහා එක්වූ ප්‍රධාන නිෂ්පාදන භාණ්ඩ වූ බව ලංකා සම්භාණ්ඩ නිෂ්පාදන සංස්ථාවේ ඉතිහාසය පිරික්සූ විට පෙනේ. එදා ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ DI ප්‍රදර්ශනාගාරය තිබු තැන දැන් තියෙන්නේ චීනයෙන් ආනයනික සපත්තු හා බෑග් අලෙවි කරන වෙළෙඳහලක් වීම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද?

එදා දේශීය ලෙදර් සපත්තුවක් ලොකු අයියාගෙන් පසුව දෙවැනි අයියාට ලැබුණි. පවුලේ බඩපිස්සා වූ මලයාට ඒ සපත්තු දෙක ලැබුණේ ඊටත් පසුවය. අක්කලා නංගිලා හිටියත් එහෙමය. අද ඇති සපත්තු සහ බෑග් එවැනි කල්පැවැත්මක් නැත. ඒවා බොහෝවිට වර්ෂාවසානය වන විට අබලංව දමන්නට වෙන්නේ ගෙදර කුණු බක්කියටය.

අප අවසානයට දේශීය වෙළෙ නාම ඇති අලෙවිසල් කීපයකටම ගොස් සපත්තු, බෑග් මිල ගණන්වල වැඩිවීම ගැන විමසුවෙමු. එයින් එක් අලෙවි සැලක කළමනාකරුවකු කළ ප්‍රකාශයක් තවමත් දෙසවනේ ප්‍රතිරාව දෙන්නේ මෙසේය.

“ඕගොල්ලන් මේ සපත්තු – බෑග් මිල අහනවා. මෙතැන වැඩ කරන අපි උදේ හවස කල්පනා කරන්නේ ගෙදර ළමයි දෙතුන් දෙනාට සපත්තු – බෑග් අරන් දෙන්නේ කොහොමද කියලා!”

මේ ප්‍රකාශය පාසල් බෑග් හා සපත්තු හමුවේ තම ද්‍රවශිලතාව හීනව අසරණව ඇති දෙමාපියන්ගේ ප්‍රශ්න කැටිකොට කරන ලද සරල විග්‍රහයක් වනු නියතය.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division