Home » විදෙස් ප්‍රේෂණ වැඩි වුණු හැටි

විදෙස් ප්‍රේෂණ වැඩි වුණු හැටි

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

සුගිය වසරේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස ශ්‍රී ලංකාවට ගලා ආ ඩොලර් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 5,969.6ක් බවත්, මෙය 2022 වසරට සාපේක්ෂව 57.5% ක වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණේය.

බොහෝ කරදරකාරී කාල වකවානුවකට පසු, විදේශ ගත ශ්‍රමිකයන් විසින් මෙසේ විදේශ විනිමය රටට එවීම සතුටුදායක කාරණයක් බැවින් මේ සාධනීය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, ඒ.ඒ.එම්. හිල්මිගෙන් අප විමසා සිටියෙමු.

” ඇත්තටම විදේශගත වන ශ්‍රමිකයන්ට නිසි ආරක්ෂාව සහ වගකීම ලබා දෙන එකම රාජ්‍ය ආයතනය ලෙස අප මේ තත්ත්වය පිළිබඳ සතුටට පත්වනවා. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වර්තා අනුව 2023 වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 5,969.6ක් වි‍දේශ ප්‍රේෂණ ලෙස ලැබුණේ ඒ විදේශ ගත ශ්‍රමිකයන් බහුතරය තමන් ඉපැයූ මුදල් මවු රටට එවූ නිසා.

ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වර්තා අනුව, 2017 සිට 2023 දක්වා කාල පරාසය තුළ අවම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් වාර්තා වූයේ 2022 වසරේදී. එය, ඇමෙරිකන් ඩොලර් මිලියන 3,789.5ක්.

2023 වසරේදී එම ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 5,969.6 ක් ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ අනුව එය, අවම අගය වාර්තා වූ 2022 වසරට සාපේක්ෂව 57.5%ක ශ්‍රමික ප්‍රේෂණ වර්ධනයක්.

මෙම තත්ත්වය ළඟා කර ගැනීම සඳහා කාර්යාංශය ද අංශ ගණනාවක් යටතේ දායක වූ බව කියන්න කැමතියි.

එනම්, විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවීම ප්‍රවර්ධන කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩසටහන් ගණනාවක් අඛණ්ඩව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මඟින්, විදේශ දූත මණ්ඩල මඟින්, පෙර විගමණික පුහුණු පාඨමාලා මඟින් සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මඟින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

• ඊට අමතරව, ඒ සඳහාම සැකසූ

විදේශ රැකියාවේ නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් උපයන මුදල් නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීම සඳහා පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම.

• නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණ සිදුකරනු ලබන විගමණික ශ්‍රමිකයන්ගේ තීරු බදු රහිත දීමනාවට අමතරව, ඔවුන් විසින් එවා ඇති ප්‍රේෂණ වටිනාකම් මත පදනම්ව අමතර තිරුබදු දීමනාවක් ලබා දීම.

• විදේශ රැකියාවෙන් උපයන මුදල් නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන බවට විදේශ රැකියාවකට පිටත්ව යාම සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා පුද්ගලයන්ගෙන්, ස්වයං ප්‍රකාශන ලබා ගැනීම.

• තම විදේශ රැකියාවෙන් උපයන මුදල් නීත්‍යානුකූල මාර්ගවලින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමට, එතෙර රැකියාවේ නියුක්ත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිරිමත් කිරීම සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මාර්ගයෙන් ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම.

• ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් ගත ශ්‍රමිකයන්ගේ මුදල් නීත්‍යානුකූලව මෙරටට එවීමට හඳුන්වා දී ඇති (Lanka Remit) නමින් ජංගම දුරකතන යෙදවුමක් විගමණික ශ්‍රමිකයන් අතර ප්‍රවර්ධනය කිරීම.

• විදේශ රැකියාවල නියුක්ත වූවන්ට “මනුසවි” දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

• විදේශ රැකියවල නිරතව සිට පැමිණෙන ශ්‍රමිකයන්ගේ ආර්ථිකය නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක “මනුසවි” ශ්‍රමික දිරිය වැඩසටහන යටතේ ස්වයං රැකියා ආධාර ලබා දීම.

වැනි ශ්‍රමිකයන් දිරි ගන්වන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා.

ඒ වගේම කිව යුතුයි, 2022 වර්ෂයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 310,955 ක් රැකියා සඳහා විදේශගත වීමට කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අතර, ඔවුන් අතරින් ගෘහස්ථ ගෘහ පාලක සහායක රැකියා සඳහා ලියාපදිංචි වී ඇත්තේ 24%ක් පමණයි. එය හොඳ ප්‍රවණතාවක්.

එමෙන්ම, 2023 වර්ෂයේදී කාර්යාංශයේ ලියාපදිංචි වූ 297,665 ක ශ්‍රමික පිරිස අතරින් ගෘහස්ථ අංශයේ රැකියා සඳහා ලියාපදිංචි වූ කාන්තා ප්‍රතිශතය 23% ක් පමණයි. ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රමික ප්‍රේෂණවලින් බහුතරය, ගෘහ සේවාවේ නියැළි කාන්තාවන් විසින් එවන ලද මුදල් ම පමණක් නොවන බව කිව හැකියි.

මොකද, විදේශ ප්‍රේෂණ පිළිබඳ තොරතුරු කාර්යාංශය විසින් ලබා ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මාසික වාර්තා මඟින්. එම වාර්තාවල විදේශ ප්‍රේෂණ එවනු ලබන රැකියා කාණ්ඩ පිළිබඳ තොරතුරු සඳහන් වී නොමැති නිසා, ශ්‍රමික ප්‍රේෂණ පිළිබඳ තොරතුරු රැකියා කාණ්ඩ අනුව වර්ගීකරණය කර ලබා ගැනීමට හැකියාවකුත් නැහැ.

කෙසේ වෙතත් මේ සඳහා නිහඬව දායකත්වයක් සපයන විදේශ සේවා නියෝජිත ආයතන පිළිබඳවත් යමක් කිව යුතුයි. බලපත්‍ර ලාභි විදේශ රැකියා නියෝජිතායතන විසින් විදේශ රැකියා සඳහා විශාල පිරිසක් යොමු කරවන අතර, ඔවුන් විසින් මෙරටට ආර්ථිකයට ලබා දෙන දායකත්වය අගය කළ යුතු යුතුයි. ඒ වගේම, විදේශ සම්ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් ලෙස, පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම, විගමණික ශ්‍රමිකයන් විසින් එවා ඇති ප්‍රේෂණ වටිනාකම් මත පදනම්ව අමතර තීරු බදු රහිත දීමනාවක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් අමාත්‍යාංශ හා ආයතන සමඟ එක්ව කටයුතු කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව එම විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීම සඳහා විගමණික සේවකයන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව හා එකාබද්ධව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා “මනුසවි” විගමණක ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමඟ එක්ව විගමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කිරීමට කටයුතු කරමින් පවතින අතර, ඒ සඳහා පහසුකම් සැලසීමට දේශීය බැංකු මාර්ගයෙන් නිවාස ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර පොලී ප්‍රති භාගයෙන් කොටසක් ප්‍රතිපූරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට කාර්යාංශය විසින් රුපියල් කෝටි 200 ක් ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිටීම, විදේශ රැකියාවල නියුතුව සිට ආපසු මෙරටට පැමිණෙන හා පැමිණි විගමණික ශ්‍රමිකයන් දේශීය ව්‍යවසායකයන් බවට පත්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ආරම්භක පියවරක් වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම එක් ව්‍යවසායකයකු සඳහා රුපියල් ලක්ෂ 10ක් දක්වා මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට කටයුතු කරමින් පැවතීම. (මේ සඳහා කාර්යාංශය විසින් රුපියල් ලක්ෂ 3,310ක් වෙන් කිරීමට කටයුතු කරමින් පවතී.) ආදී සැලසුම් දැක්විය හැකියි.

මේ සියල්ල අතරේ, 2024 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 340,000ක් පමණ රැකියා සඳහා විදේශගත වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංයේ ලියාපදිංචිය ලබා ගනු ඇති බවට අප අපේක්ෂා කරනවා. ඒ හරහා උපයා ගත හැකි සමස්ත ඩොලර් ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 7,000ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ සඳහා 2024 වසරේදී බලපත්‍රලාභී ‍විදේශ ‍රැකියා නියෝජිත ආයතන මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 170,000 ක පමණ පිරිසක් විදේශ රැකියා සඳහා විදේශ ගත වේ යැයි ද අප අපේක්ෂා කරනවා. විදේශ ප්‍රේෂණ මෙරටට ගෙන්වා දීම සඳහා නිහඬ මෙහෙවරක යෙදෙන බලපත්‍ර ලාභී නියෝජිත ආයතන හෙවත්, ඒජන්සිකරුවන් විසින් සිදු කරන කාර්යය ද සුළුපටු නැත. එහෙයින්, බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිතායතන සංගමයේ ලේකම්, ඒම්. එෆ්. එම්. අර්ෂාද් සම්බන්ධ කර ගතිමු.

” ඇත්තටම බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන තමයි 90%ක්ම විදේශ රැකියා අවස්ථා ලංකාවට ගෙනැවිත් දෙන්නේ. නමුත් කිසිම අවස්ථාවක අපගේ මේ නිහඩ කාර්යභාරය කිසිදු ඇගැයීමකට ලක් වන්නේ නැහැ. ඒ ගැන ඇත්තේ කණගාටුවක් වුවත් රට වෙනුවෙන් අප යමක් කළා යැයි කියන ආඩම්බරය සහ සතුට තිබෙනවා.

සාමාන්‍යයෙන් සෑම වසරකම 250,000කට ආසන්න ප්‍රමාණයක් අප පිටත් කළත්, 2020 – 2021 කොවිඩ් වසංගතය නිසා බොහෝ පිරිසකට විදේශ ගත වන්නට බැරි වුණා. ඒ නිසා තමයි 2022-2023 වසරවල ශ්‍රමිකයන් වැඩිපුර විදේශගත වුණේ. ප්‍රේෂණ වැඩි වුණේ ඒ නිසයි.

නමුත් දෙයක් කිව යුතුයි. කොවිඩ් වසංගතයේ දී විදේශගත ශ්‍රමිකයන් රැකියා අහිමිව අසරණව ලංකාවට ආ වෙලාවේ නිරෝධායනය මුවාවෙන් එවක රජයේ ද ඇතැම් තීරණ සමඟ බොහෝ ජාවාරම් සිදු වුණා. ශ්‍රමිකයන් ගසා කෑමට ලක් වුණා. එවැනි දේ සමඟ කලකිරුණු ශ්‍රමිකයන් යළි විදේශ ගත වුවත්, මුදල් එවීම නතර කළා. නමුත් රජය පසුව ගත් යම් යම් සාධනීය තීරණය නිසා, දැන් තත්ත්වය හොඳ අතට හැරීගෙන එනවා. එය අනාගතයට හොඳ පාඩමක්. රැකියා සඳහා ශ්‍රමිකයන් විදේශ ගත කිරීමේදී 75%ක දායකත්වය සපයන්නේ අපි. නමුත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා රජය ගෙන තිබෙන ඇතැම් තීන්දු තීරණ අපව දැඩි අපහසුතාවට පත් කරනවා. අපගේ බලපත්‍රලාභී ආයතන 1,100ක් තිබෙනවා. දැන් බලපත්‍ර අලුත් කිරීමේදී, වර්ග අඩි 1000ක කාර්යාලයක් තිබීම අනිවාර්ය වීම, බැංකු ඇපකරය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දැමීම, වැනි නීති එකතු කර තිබෙන නිසා බලපත්‍ර ලාභීන් වන අප දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධව අප රජයට දැනුම් දී තිබුණත් තවමත් සාධනීය පිළිතුරක් නැහැ.

අනික තමයි, පෝලන්තය ඇතුළු නැගෙනහිර යුරෝපයේ ඇතැම් රටවලට ලංකාවේ තානාපති කාර්යාල නොමැති වීම නිසා, වීසා ලබා ගැනීමට ඉන්දියාවට යා යුතුයි. ඉන්දියාවේ දවස් 10-15කට වඩා වියදම් දරමින් රස්තියාදු විය යුතුයි.

ඒ වගේම, ඉන්දියාවේදී ලංකාවේ අයට එම තානාපති කාර්යාලවලින් වේලාවක් ලබා ගැනීම පවා ඉතාම අපහසු කටයුත්තක්. මේ වියදම සහ රස්තියාදුව නිසා අඩුම තරමේ ඒ රටවලට අදාළව ලංකාවේ වීසා මධ්‍යස්ථානයක් වත් පිහිටුවන්න යැයි අප රජයෙන් කිහිප වරක් ඉල්ලා සිටියා.

එය තවමත් ක්‍රියාත්මක වන පාටක් පේන්නට නැහැ.

ඒ වගේම, සෘජුව රාජ්‍ය තාන්ත්‍රිකව කාර්යාංශයට ලැබෙන රැකියා අවස්ථා බලපත්‍ර ලාභී පෞද්ගලික අංශයට නොදෙන නිසාත් බොහෝ හොඳ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ගෙන් ගිලිහී යනවා.

අප විදේශ ප්‍රේෂණ රටට ගෙන්වා දෙන්නේ කිසිදු ආයෝජනයක් නොකරයි. ඒ වගේම ශ්‍රමිකයන් යැවීමේදී, ටිකට්, මෙඩිකල්, වීසා සහ ලියාපදිංචිය සඳහා වන ගාස්තු සේවා යෝජකයා ලංකාවට එවන්නේ බැංකු හරහා නීත්‍යානුකූලවයි.

එහෙම බලද්දී සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයක් පමණ අපගේ බලපත්‍ර ලාභී ඒජන්සිවලින් සේවා ගාස්තු ලෙස ලංකාවට ගෙනැවිත් දෙනවා. එය විදේශ ප්‍රේෂණවලට අමතරව ලැබෙන තවත් විශාල මුදලක්. ඒ ගැනවත් තකා අපගේ මේ අපහසුතා පිළිබඳ රජය අවධානය යොමු කළ යුතුයි.

මේ සියලු කාරණා පිළිබඳ රජය අප සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දෙන්නේ නම් මීට වඩා විදේශ ප්‍රේෂණ ලංකාවට ගෙනැවිත් දීමට අපට දායක විය හැකියි…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division