Home » TIN නොම්බරේ ගැන මෙන්න විස්තරේ

TIN නොම්බරේ ගැන මෙන්න විස්තරේ

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment
දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය කොම­සා­රිස් ජන­රාල් එම්.එස්.එම්. සියාම්

මේ වන විට TIN (Taxpayer Identification Number) අංකයක් ලබාගැනීම පිළිබඳ කා අතරත් කතාබහක් ඇති වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ පිළිබඳව අවබෝධයක් නොමැති ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ටින් බිල්ලකු මවමින් ඇති නිසාය.

අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස එහි ලියාපදිංචි වීමට නොදන්නා අයගෙන් මුදල් අය කරන පුවතක් සමාජ මාධ්‍යවල පළවී තිබුණි. මෙනිසා TIN අංකයක් ලබාගැනීම යනු කුමක්ද යන්නත්, ඕනෑම අයකුට පහසුවෙන් එහි ලියාපදිංචි විය හැකි ආකාරයක් ගැන දැනුම්වත් වීම වැදගත් ය.

මේ සඳහා අදහස් දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්.එස්.එම්. සියාම් පවසා සිටියේ මෙවැන්නකි.

“බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයකය (Taxpayer Identification Number) හෙවත් ටින් අංකයක් ලබා ගැනීම ගැනීම යනු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත ගොනුව තුළ ලියාපදිංචිය හිමි කර ගැනීමයි.

ටින් අංකයක් ගත්ත පලියට කිසිවකු විසින් බද්දක් ගෙවිය යුතු වන්නේ නැහැ. බදු ගෙවිය යුතු පාර්ශ්ව ඒ සඳහා මෙහි පැමිණ ලියාපදිංචිය වෙනවා. මේ වන විට සෑම පුරවැසියකුටම ටින් අංකයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. මේ විදියට ලියාපදිංචි වෙන්න කියලා ඉල්ලීමක් සිදු කර තිබෙන්නේ ඒ නිසයි. සාමාන්‍යයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංකයක් ඔබ සතුව තිබෙනවා වගේ ටින් අංකයක් ඔබ සතුව පැවතිය යුතු බවයි රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ආදයම් බදු ගෙවීම සම්බන්ධයෙන් ලිපි යැවීම හෝ වෙනත් දෙයක් ඉන් අදහස් වෙන්නේ නැහැ.

එය සාමාන්‍ය ලියාපදිංචියක් පමණයි. ලංකාවේ සියලු ආයතන හා පුද්ගලයන් මේ විදියට ලියාපදිංචි කළාම අපට තොරතුරු හුවමාරු කිරීමේදී බද්ධට යටත් පිරිස හඳුනා ගන්න පහසු ක්‍රමවේදයක් බවට මෙය පත්වෙනවා. හැමෝම මේ විදියට ලියාපදිංචි නොවී සිටියම අපට ඒ අයව හොයා ගන්න අමාරුයි. නමුත් මේ ආකාරයට ලියාපදිංචි කළාම බදු නොගෙවා පැහැර හැර සිටින පුද්ගලයන් වඩා පහසුවෙන් මේ හරහා හඳුනාගත හැකියි. උදාහරණයක් විදියට අපට තොරතුරක් ආවම ඒ පිළිබඳව තොරතුරු පරීක්ෂා කර යම් තැනැත්තකු හෝ ව්‍යාපාරයක් මේ ක්‍රමවේදය යටතේ පහසුවෙන් හඳුනා ගන්න හැකි වෙනවා.

සමහර අයට අපි ලියුමක් යැව්වාම ලියුම අාපසු අප වෙත ලැබෙනවා. ලිපිනය වැරදි එකක්. නමුත් මේ වගේ දත්ත ගොනුවක් තිබුණම ඒ කාර්යය පහසුයි. මෙමඟින් ගැටලුව මත් වන්නේ බදු නොගෙවා පැහැර හරින පුද්ගලයන්ට මිසක් මෙහි ලියා පදිංචි වූ අයට නෙමෙයි. එනිසා කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම හදිසියේ මේ තුළ ලියාපදිංචි වෙන්න ඕන කියල බල කිරීමකුත් නැහැ. තමන්ට ඉඩපාඩුවක් ලැබුණම අපේ වෙබ් අඩවියට ඇතුළු වෙලා අයැදුම් පත්‍රය පුරවලා තියන්න. ඒ වගේම කෝටි දෙකකට ආසන්න ජනතාවක් ලියාපදිංචි කරනවා කියන්නේ විශාල කාලයක් ගතවන කර්තව්‍යයක්. එ්ක මාසෙන් දෙකෙන් කළ හැකි කාර්යයක් නෙමෙයි.

මගේ අදහස නම් මේ සඳහා ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලබාදීම අනිවාර්යයි. මොකද ඒ සඳහා අවශ්‍ය සම්පත් හෝ ක්‍රමවේදයක් සකස් නොකර කාලයක් ලබාදී ලියාපදිංචි වෙන්න, එහෙම නොකළොත් දඩ මුදලක් අය කරනවා කිව්වොත් ඒක ආචාරධාර්මිකව වැරදියි. ඒ නිසා ජනතාවට ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදිය යුතුයි.

මෙහිදී බියට පත් විය යුත්තේ ඉහළ ආදායම් ලබමින් බදු නොගෙවා පැහැර හරින පිරිස මිසක් පොඩි පොඩි ආදායම් මාර්ග හිමි අය නෙමෙයි. එහෙම අය පස්සෙ පන්නන්න කාලයකුත් අපට නැහැ. අප මෙහිදී සැලකිලිමත් වන්නේ ඉහළ ආදායම් ලබමින් බදු නොගෙවා සැඟවී ඉන්න අය පිළිබඳවයි. අප මේ වන විටත් ලංකාවේ සෑම ග්‍රාම නිලධාරි වසමකම සිටින ජනතාව ඇප් එකක් මාර්ගයෙන් ලියාපදිංචි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් සිටින්නේ. ඒ අනුව කටයුතු කරන විට ජනතාව අනවශ්‍ය විදියට මෙහි ලියාපදිංචි වීම සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. සියලු කටයුතු ඉතාම පහසු ආකාරයෙන් ඉදිරියේදී සිදු වේවි. එනිසා මේ පිළිබඳ අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ.

එනිසා මෙහි ලියාපදිංචි වීම සඳහා කිසිදු කෙනකුට ශතයක්වක් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ. අපේ වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා තිබෙනවා‘

රසික කොටුදුරගේ, ඡායාරූපය - මාලන් කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division