Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
January 13, 2024 12:30 am 0 comment

මේෂ – ගෘහ ජීවිතයේ සතුට

සදු ගමන් කරන්නේ 11, 12 ලග්නය සහ දෙවැන්න හරහාය. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිත වුවද මුදල් තත්ත්වය නිසි ලෙස පරිහරණය කරගත යුතු වේ. ගෘහ ජීවිතය සමාජ ඇසුර හොඳින් පවත්වාගත හැකි සතියකි. දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපත් කරුණු කාරණාවලට සුබපල දෙයි. අපල තත්ත්වයන් මත සිත් රිදීම් ඇති විය හැකි බැවින් භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 4, 5 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

 

වෘෂභ – රැකියා ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 10,11,12 හා ලග්නය මතිනි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබිය හැකි ගෙදරදොර කටයුතුවලටද වෙහෙසීම් වැඩි සතියකි. සෑම දෙයක්ම පිළිවෙළකට සිදු කරයි. ගමන්බිමන් වැඩි වේ. ස්ත්‍රී පාර්ශ්වවලින් උදවු උපකාර ලැබේ. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉටුවේ. ආවේගශීලී අදහස් උදහස් මතුවිය හැකි බැවින් චිත්ත පාලනයක් ඇති කරගන්න. අපල අවම වීමට උදේ සවස බුදුන් වඳින්න.

සුබ අංකය – 06 / සුබ වර්ණයන් – ක්‍රීම්, රෝස / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

 

මිථුන – පුණ්‍ය සිතුවිලි මතු කරයි

සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය සුබපල ගෙන දෙයි. රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන සතියකි. උත්සාහයෙන් අලසකම් මඟහැර කටයුතු කළහොත් ඔබට අතමිට සරු වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පල දරයි. අපල අවම වීමට සතිය ආරම්භයේ බෝධි පූජාවක් තබන්න.

සුබ අංකය – 5 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – සිකුරාදා, සඳුදා

 

කටක – දුර ගමන්බිමන්

සඳු ගමන් කරන්නේ 8,9,10,11 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැකිය. දෙවැනි තුන්වැනි දිනවල සිට සතියේ අවසානය දක්වා සුබපල ගෙන දෙයි. රැකියා ව්‍යාපාර දියුණුව සහ ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. සහජ හැකියා තුළින් ධනය උපයයි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අරමුණු සපල වීමට ඉඩකඩ සැලසේ. දුර බැහැර ගමන්බිමන් යෙදේ. ඉවසීම සහ ආගමික නැඹුරුව තුළින් අපල අවම කර ගන්න.

සුබ අංකය – 7 / සුබ වර්ණය – සුදු / සුබ දවස්- සඳුදා, අඟහරුවාදා

 

සිංහ – ව්‍යාපාරවලින් ලාභ

සඳු ගමන් කරන්නේ 7,8,9,10 යන භාවයන් හරහාය. තමන් කරගෙන යන ව්‍යාපාරවලින් සෑහෙන ලාභයක් ගෙන දෙයි. තැන්පත් ධනය ඉතිරි කරගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟයි. සාමාජයීය ඇසුර තුළ ඔබ ප්‍රියමනාප පුද්ගලයකු බවට පත්වේ. පුණ්‍ය කටයුතු සිදු කරන පරාර්ථකාමී කෙනෙක් බවට පත්වේ. ගෘහ ජීවිතයේ බොහෝමයක් වැඩ කටයුතුවලට වෙහෙසේ. ධෛර්යය කැපවීම තුළින් හරිහම්බ කරයි. අපල අවම වීම සඳහා පින් දහම් කළ යුතුය.

සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

 

කන්‍යා – සතිය අවසානයේ යහපත් ප්‍රතිඵල

සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. සුබපල මෙන්ම අසුබ පලද හිමි විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අරමුණු අපේක්ෂා සිතන පතන ආකාරයෙන් ඉටු කර ගැනීමට බාධා පැමිණේ. බුද්ධිමත්ව සහ ඉවසීමෙන් වැඩ කරන්න. සතිය අවසානය යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. අපල අවම කරගැනීමට බෝධීන් වහන්සේට වත්පිළිවෙත් කරන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස – සිකුරාදා

 

තුලා – යහපත් සිතුවිලි උපදවයි

සඳු ගමන් කරන්නේ 5,6,7,8 යන භාවයන් මතිනි. යහපත් සිතුවිලිවලින් සතිය ආරම්භ කරයි. කරන කියන කටයුතුවලට බාධා පැමිණිය හැකි වුවත් බලාපොරොත්තු තරමටම නැතත් සෑහෙන ආදායමක් හිමි වේ. කනගාටුදායක අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. සතුරු කරදර ඉවත් වෙයි. ගෘහ ජීවිතය සාමකාමීය. දුර බැහැර ගමන් යෙදේ. අපල අවම වීමට අසරණ අයෙකුට උපකාර කරන්න.

සුබ අංක – 6 / සුබ වර්ණ – ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික – උත්සාහයෙන් ජය ලබයි

සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවයන් මතිනි. පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කටයුතු කර ගනී. දූදරු මවුපිය සබඳතා වර්ධනය කරයි. සතුරු කරදර ඉවත් වේ. සාමාජයීය ඇසුරේදී නව හිතවතුන් මුණ ගැසේ. වෙළහෙළඳාම් කටයුතු දියුණු වේ. දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනාවලට සුබපල ගෙන දෙයි. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංකයන් – 4,5 / සුබ වර්ණය – රතු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා

 

ධනු – දරුවන්ගේ අධ්‍යාපන දියුණුව

සඳු ගමන් කරන්නේ 3,4,5,6 යන භාවයන් හරහාය. පවුලේ එකමුතුකම සමඟිය වර්ධනය වෙයි. සහෝදරාදීන්ගේ මවු දෙමාපියන්ගෙන් උපකාර හිමි වේ. ගමන්බිමන් අධික වේ. රැකියා සඳහා ද ඇවිදිලි වැඩි වේ. ප්‍රමාද වූ විවාහ දරුපල ආදිය සම්බන්ධයෙන් සුබ සතියකි. දරුවන්ගේ ඉගෙනීමේ දක්ෂතා ඔප් නැංවේ. අපල අවම වීමට පින් දහම් කටයුතුවලට සහාය වන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා

 

මකර – අතමිට මිල මුදල් ගැවසේ.

සඳු ගමන් කරන්නේ 2,3,4, 5 යන භාවයන් හරහාය. සහජ හැකියාවන් තුළින් මුදල් උපයයි. පදිංචි ස්ථානයේ දියුණුව ගොඩනඟන්නට වෙහෙසෙයි. රැකියා සහ ගෙදරදොර වැඩ උනන්දුවෙන් කරගෙන යන අතර පුණ්‍ය කටයුතුවලටද දායකත්වයක් ගෙන දෙයි. පදිංචි ස්ථානයේ වෙනසකටද මුල පුරයි. අපල අවම කරගැනීමට තිරිසන් සතුන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංකයන් -5, 6 / සුබ වර්ණ – කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා

 

කුම්භ – රාජකාරියට කැප වේ

සඳු ගමන් කරන්නේ ලග්නය 2,3,4 යන භාවයන් හරහාය. අතමිට මුදලක් ගැවසෙන අතර තම රාජකාරී කටයුතු වෙනුවෙන් නොමඳ කැප කිරීම් කරයි. සියල්ල ඉවසා දරා ගැනීමේ ගුණය නිසා අන්‍යයන් අතර සුහදතාව රඳවා ගනියි. ගුණධර්ම වර්ධනය කරගෙන සතුටින් කල් ගෙවයි. ගැටලු බාධා ගණන් නොගනී. අපල අවම කර ගැනීමට පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.

සුබ අංකය – 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස – සිකුරාදා

 

මීන – සහජ දක්ෂතා මතු වේ

සඳු ගමන් කරන්නේ 12, 1, 2,3 යන භාවයන් හරහාය. ආරම්භය කලකිරීමක් ඇතිවිය හැකි වුවත් ඉන් පසු දින කිහිපය යහපත්ය. සාමාජයීය වැඩ කටයුතු වුවමනාවෙන් ඉටු කරයි. මිල මුදල් උපයා ගැනීමේ කටයුතුවල නිරත වෙයි. සමහරවිට ආවේගශීලී අදහස් ඇති වුවද ඒවා යහපත් කරගැනීම වටී. සහජ දක්ෂතා මතු කරයි. පින් දහම් කටයුතුවල නියැළෙයි. අපල අවම කරගැනීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

සුබ අංක – 3,9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division