Home » නවග්‍රහ පූජාවක් නිවැරදිව තබන්නේ මෙහෙමයි

නවග්‍රහ පූජාවක් නිවැරදිව තබන්නේ මෙහෙමයි

by thanushika
January 13, 2024 12:31 am 0 comment

‘වේද පුරුෂයාගේ ඇස’ ලෙස හැඳින්වෙන ජ්‍යොතිෂය නම් ශක්ති කදම්භයෙන් අතීතය, වර්තමානය මෙන්ම අනාගතයද ඉතා නිවැරදිව විශ්වය තුළ සාක්ෂාත් කරගත හැකි එකම මඟ නව ග්‍රහ පූජාවයි.

සුර්යය, චන්ද්‍ර ලෙස ප්‍රධානම නව ග්‍රහ මණ්ඩලය අපේ ජීවිතවලට වරින්වර දෘෂ්ටි වැටෙමින්, උච්ඡ වෙමින් ස්වක්ෂේත්‍ර වෙමින් වක්‍ර වීම්, නිවෘත වීම් තුළින් කරන ග්‍රහ යුද්ධය තුළින් මොනවට පැහැදිලි වේ. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහ මණ්ඩලයේ දරුණුම පහදා දීම් හමුවේ පරාජය වන ඔබ නොසැලෙන්න. මේ ග්‍රහ අපලවලට සෙත් ශාන්ති ලබා ගැනුමට ඉතා නිවැරැදිම ක්‍රමවේද ඇත. ග්‍රහ අපල, දේව අපල, මනුෂ්‍ය අපල, වෙනත් විවිධ අපල දෝෂ මුලිනුපුටා දමා සසරේ ඉදිරියට ජය ගත හැකි මේ මහානුභාවසම්පන්න මාර්ගය මෙලෙස අනුගමනය කරන්න.

මෙය අත්දුටුම ඉතා සාර්ථක පිළිවෙතකි. මෙයින් කර්මයද වෙනස් කළ හැකිය. මේ සෑම පූජාවක්ම පළමුව උතුම් බෝධීන් වහන්සේ නමක් ළඟ පුර පස දිනෙක පවත්වන්න. කුමන බෝධීන් වහන්සේ ළඟ පූජාව තැබුවද උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන ඉතා භක්තිමත් ජීවි පූජාවක් ලෙස මනසින් සිතා ඒ සියලුම අධිගෘහිත කළුබණ්ඩාර ඇතුළු සියලු දේව මණ්ඩලවලට පින් දෙන්න. ආත්ම ශක්තිය නීරෝගී බව, දියුණුව අත්දුටුවයි.

රවිගේ අපලයට:

ඉරිදා දිනක දහවල් කාලයේ රතු නෙළුම්, ඕලු, මානෙල් සුවඳ සියලුම රතු මල් වර්ග, සුවඳවත් දුම්, බැදි හාල් පිටි සහ රත් හඳුන් එකතු කරගන්න. බෝධීන් වහන්සේ අවට පරිසරය පවිත්‍ර කොට සුදු වැලි අලුතින් කුඩා ප්‍රමාණයක් අතුරන්න. සුවඳ යෙදු පැන් කළ 07ක් බෝධිය නහවන්න. සුවඳ දුම් අල්ලා චතුමධුර, බෙහෙත්, ගිලන්පස පූජා කරන්න. “රවිගේ අපලය දුරුවේවා” යි ලියු ජන්මියාගේ නම සඳහන් රතු පාට කොඩියක් නැඟෙනහිරින් එල්ලන්න. ජන්මියාගේ උසට රතු මල් මාලයක් බෝ සමිඳුට පලඳන්න. මේ සියලු පූජාවෝ බෝධීන් වහන්සේට නැඟෙනහිරින් තැබිය යුතුය. (කොකුම් පොතු, වැල්මී , නෙළුම් අල, එනසාල්, මනෝසීල, පළොල්, දේවදාර ඖෂධ තම්බා ගත් වතුරින් ස්නානය කර පිටත් වීම අපල දුරු වීමට හේතු වේ.) මහා මංගල සුත්‍රය මෝර පිරිත සූර්යය පිරිත 7වර බැගින් නැඟෙනහිර බලා කියන්න.

“ඕම් සුර්යය නමඃ”

“ජපා කුසුම සංකාශ්‍යයං

කශ්‍යජෙයං මහා ද්‍යුතිමි

තමෝරිං සර්ව පාප ගණං

ප්‍රාණතොස්මි දිවා කරමි”

මේ ස්තෝත්‍රය කියමින් 7 වරක් බෝධින් වහන්සේ ළඟ සත්‍ය ක්‍රියාවක් කරන්න. (නැඟෙනහිර බලා) ඊශ්වර දෙවිඳුට, විෂ්ණු දෙවිඳුට සහ ජන්මියාගේ ඉෂ්ට දෙවිඳුට ඉතා භක්තියෙන් පින් දී පිහිට ඉල්ලන්න. ඉඹුල් පැළයක් ඉරිදා දිනෙක තම වත්තේ සිටුවා ගස ස්පර්ශ කිරීම තුළින් අපල දුරුවේ. ඉරු දින 07ක් එක දිගට මෙලෙස පූජා තබන්න.

සඳුගේ අපලයට:

පුර පස සඳුදා දිනෙක කිරි, දී කිරි, ගිතෙල්, ඇත් දත්, යක් බෙල්ලන්, පළිඟු, කුමුදු තැම්බු වතුරින් ස්නානය කොට රාත්‍රී කාලයේ සඳු දින 07 එක දිගට පහත පූජාව තබන්න.

සුදු නෙළුම්, කුමුදු, දෑසමන්, සුදු අරලිය සියලු සුවඳැති සුදු මල් වර්ග, ජන්මියාගේ උසට සුදු මල් මාලයක් යොදාගෙන බෝධින් වහන්සේ සුවඳ පැනින් නහවා උතුරු පැත්තෙන් මල් මාලයද, සුවඳ දුම්ද අල්ලන්න. “සඳු අපලය දුරුවේවායි” ජන්මියාගේ නමද ලියු සුදු කොඩිය උතුරු දිශාවෙන් එල්ලන්න. චන්ද පිරිත, රතන සුත්‍රය 07 වරක් උතුරු දෙස බලා කියන්න. පහත සඳු ස්තෝත්‍රය 07 වරක් කියා සත්‍ය ක්‍රියා කොට අධිෂ්ඨාන කරන්න.

“ඕම් සෝමාය නමඃ”

“දධී සංක තුෂාරහං

ක්ෂෝධාර්ණීව සම්භවං

නමාමි සයිනං සෝමං

සම්හෝර් මුකුට භූෂණං”

අමෘතංගාය විද්මහේ, කලා රූපාය ධීමගී

තත්තෝ සෝමඃ ප්‍රචෝදයාත්” (108 වාරයක් ජප කරන්න) උතුම් පත්තිනි මෑණියන්ට, සමන් දෙවිඳුන්ට ජන්මියාගේ ඉෂ්ට දේවතාවුන්ට පින් දී පිහිට ඉල්ලන්න.

කුජ අපලය සඳහා:

පුර පස අඟහරුවාදා දිනෙක බෙලි කොළ, සුදු හඳුන්, බැබිල, කනේරු මල්, පෙරුංකායම්, රුක්මල්, මූනමල්, ජටාමාංශ තැම්බු වතුරින් ස්නානය කොට රාත්‍රී කාලයේ අඟහරුවාදා 07 දිනක් නියමාකාරයෙන් මේ පූජාව තබන්න.

රතු නෙළුම්, රතු අරලිය, රතු කනේරු, රතු පොකුරු වද මල් වට්ටි 07 සහ ජන්මියාගේ උසට තැනූ මල් මාලයක් “කුජගේ අපල දුරුවේවා” යි ජන්මියාගේ නමද සඳහන් කළ රතු කොඩියක් යොදා ගන්න. එළඟිතෙල්, තලතෙල් මිශ්‍ර පහන් 07ක් පත්තු කරන්න. සුවඳ පැන් කළ 07ක් උතුම් බෝධිය නහවා සුවඳ කුඩුවලට හල් දුම්මල යොදා දුම් අල්ලන්න. මහා මංගල සූත්‍රය, චක්ක පිරිත, අභිසම්භිධාන පිරිත 7 බැගින් කියන්න.

“ඕම් කුජාය නමඃ”

“ධරණී ගර්භ සම්භූතං

විද්‍යුත් කාන්ති සම්ප්‍රහම්

කුමාරං ශක්ති හස්තංච”

මංගලම් පාණ මාම්‍යහම්ඃ

සත්‍ය ක්‍රියා කර මේ ස්තෝත්‍රය 21 වරක් කියන්න. කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට ජන්මියාගේ ඉෂ්ට දේවතාවුන්ට පින් දී පිහිට ඉල්ලන්න.

බුධ අපලයට:

පුර පස බදදා දිනෙක නාමල් රේණු, යව ඇට, ගෝරෝචන, මී පැණි, ගල් පෙඳ, රත්, කොහොඹ තැම්බු වතුරින් ස්නානය කර දවසේ ඕනම වේලාවක බදාදා දින 07ක් පුජාව තබන්න. තල මල්, නාමල් ඇතුළු නිල් මල් වට්ටි 07ක් සහ ජන්මියාගේ උසට තැනූ නිල් මල් මාලයක්, “බුධ අපල දුරුවේවායි” ජන්මියාගේ නම ලියු කොඩියක් යොදා ගන්න. මේ පූජාවද උතුම් බෝධීන් වහන්සේ පවිත්‍රකොට සුවඳ දුම් ලා නැඟෙනහිර බලා පූජා දවස පුරා කරන්න. ගිතෙල්, අබතෙල් මිශ්‍රිත පහන් 07ක් පත්තු කරන්න. බෝධීන් වහන්සේගේ දකුණු පයින් පැන් කළ 07ක් ගෙන ස්නානය කළ යුතුයි.

108 වරක් “සබ්බ පාපස්ස” ගාථාව කියා දසදියා පිරිත කියන්න.

“ඕම් බුධාය නමඃ”

“ප්‍රියංග කාලිකා ශ්‍යාමං

රූපේණු ප්‍රතිමං බුධං

සෞම්‍ය සර්ව ගුණෝ පේතං

තං බුධං ප්‍රාණ මාම්‍යහම්”

7 වරක් මෙම ස්තෝත්‍රය කියා සත්‍ය ක්‍රියා කරන්න. විෂ්ණු දෙවිඳුන්ට ජන්මියාගේ ඉෂ්ට දේවතාවුන්ට පින් දී පිහිට ඉල්ලන්න.

ගුරු අපලයට:

පුර පස බ්‍රහස්පතින්දා දිනෙක සමන්පිච්ච, සුදු අබ, ඉද්ද කොළ, වැල්මී තැම්බු වතුරින් ස්නානය කොට දහවල් කාලයේ බ්‍රහස්පතින්දා දින 07ක් පුරා තබන්න.

බෝ මළුව ශුද්ධ පවිත්‍ර කොට සුදු මල් යම් ප්‍රමාණයක් ඉස රන්වන් පාට, කහ මල් වට්ටි 07ක් පූජාව සඳහා ගන්න. කහ මල් මාලයක් ජන්මියාගේ උසට බෝධීන් වහන්සේට පූජා කරන්න. කොකුම් මිශ්‍ර සැදු සඳුන් ඉඹුල් ලාටු දුම් අල්ලන්න. “ගුරු අපල දුරුවේවායි” ජන්මියාගේ නම සඳහන් කහ කොඩිය එල්ලන්න. මේ සියල්ල නැඟෙනහිර බලා නැඟෙනහිරට පූජා කළ යුතුය. රතන සුත්‍රය, දසදිසා පිරිත, අභිසම්භිධාන පිරිත 07 වර බැගින් කියන්න. සත්‍ය ක්‍රියා කොට

“ඕම් බ්‍රහස්පතාය නමඃ

“දේවනාංච රිසි නන්ච

ගුරුං කන්චනා සප්තිබම්

බුධි භූතං ත්‍රිලෝ කේශං

තං නමාමි බ්‍රහස්පතිං ” 7 වරක් කියන්න. කතරගම දෙවියන්ට ජන්මියාගේ ඉටු දෙවියන්ට පින් දී පිහිට ඉල්ලන්න.

සිකුරු අපලයට:

පුර පස සිකුරාදා දිනක එනසාල්, මනෝසීල, ගෙඩි මල් සහිත කුංකුම තැම්බු වතුරින් නා පිරිසිදු වී දිවා කාලයේ උතුරු දෙස බලා සිකුරාදා දින 07ක් පූජාව තබන්න. වෛවර්ණ සමන්පිච්ච, සේපාලිකා මල් වට්ටි 07 සහ ජන්මියාගේ උසට තැනූ මල් මාලාවක්, සිකුරු අපල දුරුවේවායි ජන්මියාගේ නම සඳහන් විවිධ වර්ණ කොඩියක් උතුරු දෙසට එල්ලන්න. පස් තෙලින් පහන් 07ක් පත්තු කරන්න. දොඩම් වැනි පැඟිරි කුලයේ බීම ගිලන්පසට තබන්න. සියලු පූජා තබා සුවඳ දුම් අල්ලා අභිසම්භිධාන, ධජග්ග, ජිනපංජර පිරිතින් 07 වරක් පිරිත් කරන්න. සත්‍ය ක්‍රියා කරමින්

“ඕම් ශුකාය නමඃ”

“හිම කෘන්ද මෘණාලාභං

දෛත්‍යානං පරමං ගුරුං

සව් ශක්ති පවක්තාරං

භර්ගවං ප්‍රාණ මාම්‍යහම්ඃ”

07 වරක් කියා පාර්වතී (කාලි) දෙවඟනට විෂ්ණු කතරගම සහ ජන්මියාගේ ඉටු දෙවිඳුට පින් දෙන්න.

සෙනසුරු අපලයට:

සෙනසුරාදා දිනක කළු තල, අංජන ඇට, ළොත් සුබුළු, බැබිල, වී පොරි, සතකුප්ප තැම්බු වතුරින් ස්නානය කරන්න.

නිල් කටරොඩු, නිල් මානෙල් ඇතුළු නිල් මල් වට්ටි 07 ජන්මියාගේ උසට නිල් මල් මාලයක් “සෙනසුරු අපල දුරුවේවා” ජන්මියාගේ නම සඳහන් නිල් කොඩියක් බස්නාහිර පැත්ත බලා ගිතෙල් සහ තල මිශ්‍ර කිරිබත් සහ ගිතෙල්, අබතෙල් මිශ්‍ර පහන් 07ක් පූජා කරන්න. කරණීයමෙත්ත සහ ධජග්ග සුත්‍ර 07 වර බැගින් කියන්න.

“ඕම් ශනිශ්චය්‍යාය නමඃ”

“නීලංජන සමා භාෂං

රවි පුත්‍රං යමා ග්‍රජං

ජ්‍යා මර්තණ්ඩ සම්භුතං

තං නමාමි ශනේශ්වරම්”

මේ ගාථාවෙන් 07 වරක් සත්‍ය ක්‍රියා කොට මහා බ්‍රහ්මයාටත්, විෂ්ණු කතරගම දෙවිවරුන්ටත් ජන්මියාගේ ඉටු දෙවියන්ටත් පින් දී පිහිට ඉල්ලන්න.

රාහු අපලයට:

පුර පස අඟහරුවාදා හෝ බදාදා දිනක ඊතණ, කොලොං කොළ, කලාඳුරු, ඇත් දත්, කස්තුරි, එළකිරි තම්බා ගත් වතුර ස්නානය කර නාග රුව අඹා ඇති බෝධියක (මුචලින්ද නාග දරණය සහිත) මෙම දින 07ක් බෝධි පූජා තබන්න. වැටකේ මල්, නිල් මල්, දම්පාට මල් වට්ටි ලෙස 07 ජන්මියාගේ උසට “රාහු අපල දුරුවේවායි” තැනූ මල් මාලයක් (මෙම මල්ම යොදාගන්න) නිල් පාට කොඩියක් හෝ අළු පැහැති කොඩියක “රාහු අපල දුරුවේවායි” ජන්මියාගේ නම ලියූ කොඩිය උතුර බලා පලඳවන්න. චන්ද පිරිත, සුර්ය පිරිත, කන්ද පිරිත නව වර බැගින් කියන්න. සත්‍යයක් ක්‍රියා කරන්න.

“ඕම් රාහේය නමඃ”

අර්ධ කායා මහා වීර්යයං

චන්ද්‍ර දිත්‍ය විමදි නම්

සිංගිකා ගර්භ සම්ශුතං

තං රාහුං ප්‍රාණ මාම්‍යහම්ඃ”

108 වරක් කියා යම දේවතාවුන්ටත් කතරගම දෙවිඳු සහ ජන්මියාගේ ඉටු දෙවිඳුන්ටත් පින් දී පිහිට ඉල්ලන්න.

කේතු අපලයට:

පුර පස සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා දිනෙක ඊතණ, තල, කොලොන් කොළ, කලාඳුරු අල, කස්තුරි, එළුකිරි, තැම්බු වතුර ස්නානය කර ඉහත කී දින 07ක් පූජාව තබන්න. විචිත්‍ර වර්ණ කොඩි, පුවක් මල්, කෙසෙල් මුව, දම් සහ නිල් මල් වට්ටි 07 ක්, රතු මල්ද යොදා ගත හැක. “කේතු අපල දුරුවේවා” යි නම ලියු දම්පාට කොඩියක් සහ දම්පාට ජන්මියාගේ උසට මල් මාලය බෝධියේ ඊශාන පැත්තට තබන්න. තල තෙල්, ගිතෙල් මිශ්‍ර පහන් 09 ක් පත්තු කරන්න. චන්ද පිරිත, සුර්යය පිරිත, කරණීයමෙත්ත සුත්‍රයෙන් 7 වරක් පිරිත් කරන්න. ඔසු පැන් දැහැත් ගිලන්පස පූජා කරන්න. සුවඳ දුම් අල්ලා සුවඳ පැනින් බෝධිය නහවන්න.

“ඕම් කේතුයේ නමඃ”

“පලාශ පුෂ්ප සං කාශං

තාරකා ග්‍රහ මස්තකං

රෞදං රෞද්‍රංත මකංඝෝරං

තං කේතුං ප්‍රාණ මාම්‍යහම්ඃ”

මෙම ස්තෝත්‍රය 07 වරක් කියා චිත්‍ර ගුප්ත දේවතාවාටත් විෂ්ණු කතරගම දෙවිඳුන්ටත් ජන්මියාගේ ඉෂ්ට දේවතාවුන්ටත් පින් දී පිහිට ඉල්ලන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division